Sinhala story Blog

අප්‍රේල් 14, 2013

කිබිසිනි -ආයේ තේ බොමු

Filed under: Uncategorized — arunishapiro @ 7:39 ප.ව.

“මොකද වුනේ බේබි?”

“මේක .. මේක අර ඉස්තෝප්පු කාමරේ වගේ,” ලීලා නූපුරය කොණකින් උස්සා පෙන්වීය, “මට මිදුලෙන් හම්බ වුනෙ.”

මෙහෙකාරිය වටහා ගත් ලෙසින් හිස වනයි.

“තාත්තා මිදුලෙ ඇවිද්දෙ මේක හොයන්න.”

ඇය ලීලා වෙතින් දෑස් ඉවත් නොකරම චීත්තය බුරුල් කොට නැවතත් තදින් ගැට ගසා ගත්තීය.

“ඒත් ඉස්තෝප්පු කාමරේ ඇතුලට ගෙනිච්චොත් ආයේ එළියට ගේන්න බෑ. කාමරේ ඇතුලෙ පෙට්ටියක මුදු මාල වළලු කරාබු එහෙම ගොඩක් තියෙනවා. එළියට ගන්න බැරි.”

“බේබිට ඉස්තෝප්පු කාමරේ දොර අරින්න පුළුවන් එහෙනම්,” මෙහෙකාරිය කිව්වේ සතුටින්. එය දැනගත්තා යැයි ඇය අම්මා මෙන් තැති ගත්තේ නැත. එසේම පිටතට ගත නොහැකි වටිනා මුදු මාල ඇතුලත තිබීම ගැන කතාබහක වැදගත්කමක් දැක්කේ ද නැත.

“මහත්තයාටත් කාමරේ ඇතුලට යන්න පුළුවන් ඇති,” මෙහෙකාරිය කිව්වේ අම්මා එනවාදැයි වටපිට බලමිනි.

ලීලා ඔළුව වැනුවේ එය එසේමැයි එකඟ වන්නට. ඒත් එතැනින් එහාට විස්තර පැවසීමට ලීලා අදිමදි වූවාය.

“බේබි හිතන්නෙ …”

“ඔව්, තාත්තාට අසනීපේ හැදුනේ මං ඇතුලට ගිය වෙලාවක,” ලීලා ප්‍රශ්නය අවසන් කරන්නට පෙර ඊට උත්තර දුනි.

“අද බේබිට කලන්තෙ හැදෙන්න ඇත්තෙ ..”

“තාත්තාට මේක හොයන්න ඕනෑයි කියල දැනිච්ච වෙලාවෙ වෙන්නැති,” ලීලා කීවේ එය හරියටම තමන් නොදන්නේ යැයි කියන්නට උරහිස් හකුළවමින් දෙතොල් බෙරි කර ගනිමින්.

“මං තව වතුර කේතලයක් රත් කරන්නම්. නෝනා නාගෙන ආවම ආයේ තේ බොමු.” මෙහෙකාරිය ගුරුලේත්තුවකින් වතුර පුරවා කේතලය ලිපේ තැබුවේ ඕනෑම ගැටළුවකට විසඳුමක් සොයා ගන්නට තේ උගුරක් පානයෙන් පසු පුළුවනැයි කියන විලසකිනි.

ලීලා ඉස්තොප්පුවට පියමං නැඟුවේ කකුලේ නොදා ගත්තොත් සහ ඉස්තෝප්පු කාමරයට ගෙන නොගියත් රාත්‍රියේ නිදා ගත්තාම නූපුරයට කුමක් වෙනු ඇත් දැයි කල්පනාවෙන්. ඒක ඉබේම ඉස්තෝප්පු කාමරේ අබරණ පෙට්ටියට ගිහින් තියේවි ද?

තාත්තා නිකට ළයේ තද කරගෙන තද නින්දක පසුවෙයි. ලීලා ඔහු අසලට ගියේ ඔහු ඉන්නා ආකාරය දැක එය සංසුන් වැඩි යැයි තැති ගත් නිසයි. ළං වෙද්දී ඔහු හුස්ම ඉහල පහල හෙළන ආකාරය ඇයට යාන්තමෙන් ඇසිණ. ඇය වෙතින් සැනසුම් සුසුමක් පිටවුණි. එය අම්මා පිට කරන දිගු සුසුම් හා ඉතා සමාන යැයි ඇයට එය පිටවී ගිය වහාම සිතිණ.

තාත්තා වාඩි වී සිටි පුටු ඇන්දේ ලීලා වාඩි වුනේ දවස පුරා ම ඇවිද්දා යැයි විඩාබර ගතිය හදිසියේ ම ඇයට වැඩියෙන් දැනුනු නිසා. සෝදා නොගිය පුංචි මඩ පැල්ලමක් වියළී ගොස් විලුඹේ ඇල වී තියනවා දැකි ලීලා අනෙක් කකුල පිට ඒ කකුල උස්සා තබාගෙන එක අතකින් විලුඹ අල්ලා ගෙන අනෙක් අතෙන් මඩ පැල්ලම පිස දාන්නට උත්සාහ කළාය. අතේ ගුලි කරගෙන සිටි නූපුරය එවිට අතින් ගිළිහෙන්නට ගියේය. ලීලා එය අල්ලා ගන්නට යද්දී ඇයව පුටු ඇන්දෙන් වැටෙන්නට ගියෙන් ලීලා තාත්තාගේ අත අල්ලා ගත්තා ය. නූපුරය බිමට නොවැටී ලීලාගේ විලුඹේ රැඳුනේ හෙමින් තිරයක දිග හැරෙන රූප රාමු දිහා බලා වෙන්නේ කුමක් දැයි අවබෝධ කරගත් ලීලාගේ මුව විවර වෙද්දී ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: