Sinhala story Blog

මැයි 5, 2017

සමාවෙන්න: වෙන පිරිවිතරයකින් 5

Filed under: Uncategorized — arunishapiro @ 7:44 පෙ.ව.

මම නැඟිටිද්දී, මට මුලින්ම දැනගත්තේ හැරී ජූනියර් බෙරිහන් දෙන හඬයි. වැනි වැනී හිටගත් මම කෙඳිරි ගාන්නට පටන් ගත් මේබල්ගේ සිරැර උඩින් පා තැබුවෙමි. දරුවාගේ කාමරයට ගොස් මම බබා ඔසවාගත්තෙමි. “අඬන්න එපා,” මම යාප්පු වීමි. “තරහා වෙන්න එපා. මම ඔයාගේ ඩ්‍රින්කෝ ආයෙ ගෙනැල්ල දෙන්නම්. උන් පල් හොරු, මම ඒක ආපහු ගන්නම්.” ඔහුව එක කිහිල්ලක් අස්සේ රඳවා ගත්තමි, ඔහුගේ කලිසමෙන් තෙත් බිංදු බේරි වැටෙයි. මම හිතන්නෙ මාව පෙනුනෙ පිකිනීස් බල්ලෙක් වගේ, මගේ කොණ්ඩෙ මගේ ඇස් වැහෙන්න වැටිලා. මම ‘කතනය වෙත ගියෙමි, හැරීගේ අංකය ඩයල් කළෙමි, කළින් සිද්ධියම නැවත දිග හැරැණි.

“මට වැරදි පිරිවිතරයක් ලැබී නැහැ,” සම්බන්ධීකරැවා විසන්ධි කරන්නට පෙර මම හයියෙන් කියන්නට සමත් වීමි. “මේක හදිසියක්. වංචාකාරයෝ දෙන්නෙක් මගේ ඩින්ක්‍රෝව හොරකම් කළා. කරුණාකරල මට දෙන්න පිරිවිතර පොලීසිය.”

“ඔයාට ඩ්‍රින්කෝ එකෙක් ඉන්නව?” සම්බන්ධීකරුවා ප්‍රවේසම් සහගතව විමසීය. “මොකක් හරි වැරැද්දක් සිද්ධ වෙලා තියනව. ඔයා කතා කරන්නෙ පෘතුවියේ ඉඳල? 1954 න්? මට සමාවෙන්න. පිරිවිතර පද්ධතියට 1954 පෘතුවිය සම්බන්ධ නොවිය යුතුයි කියල කොංග්‍රසය තීරණය කළා. ඩ්‍රින්කෝ කෙනෙක් අයිති කරගන්න ඔයාට කොහෙත්ම බැහැ.”

“වංචාකාරයෝ දෙන්නෙක් මගේ ඩ්‍රින්කෝව හොරකම් කළා!” මම තරයේ කියා සිටියෙමි.

“මිනිත්තුවක් දෙන්න, කරුණාකරල. සුපවයිසර් කියනව මේක අවසර නැතිව කරන කෝල් එකක්ය කියල. පොලිස් පරීක්ෂණයක් පවත්වන්න අවශ්‍ය වේවි.” ක්ලික් හඬවල් ඇසුණි. බසර හඬ ඇසුණි. පැහැදිලි නැති ඈතක සිද්ධ වූ කතාබහ ඇසුණි. අවසානයේ පොලීසිය පැමිණියහ.

“වංචාකාරයෝ දෙන්නෙක් මගේ බබාගේ ඩ්‍රින්කෝව හොරකම් කළා!” හඬ වැඩිකර මම නැවත කිව්වෙමි. “පිරිවිතර-පුරවැසියෙක් හැටියට මම මගේ අයිතීන් ඉල්ලා සිටිනව.”

“හොරු දෙන්නෙක් ඔබේ ඩ්‍රින්කෝව බලයෙන් සතු කරගත්ත,” දයාවක් නැති කටහඬක් කියා සිටියේය. “ඉතින් එහෙනම්. කරුණාකරල එයාලව විස්තර කරන්න. චරිතය ගැන කෙටියෙන්, ඔවුන් පළ කරපු හැඟීම්, සහ ඔවුන්ගේ කටහඬවල් හැසිරුවේ කොහොමදැයි කියලත් කියන්න.” මම ඒවා විස්තර කළෙමි. “හරි හොඳයි. ඔයා කිව්වෙ 1954 පෘතුවිය කියල ද? විශිෂ්ටයි. පිරිවිතර හයක් සහ වසර තිහක් පමණ දෙයක්. අපි වහාම පරීක්ෂණය පවත්වන්නම්.” ඔහු ඇමතුම විසන්ධි කළේය.

“හායි, ස්ටෙලා,” මේබල් කීය, ඇය එක වැලමිටකට හේත්තු වී නැඟිට අපහැදිලි ගතියකින් මා දෙස බලා සිටින්නීය. “බිල්ගෙ රෑ කෑම උදුනට දාන කාලය පරක්කු නොවී මේකෙන් ගැලවෙන්න මට පුළුවන් වෙයි කියල ඔයා හිතනව ද? රෑ කෑම පොඩ්ඩ පරක්කු වුනොත් බිල් අමනාප වෙනව.”

“එහෙනම් එයාට පාඩමක් උගන්වන්න,” ඇය සමඟ උරණ වී මම තරහෙන් කියා එවර කවුදෝ තට්ටු කරන නිසා දොර වෙත දිව්වෙමි. “එයාව හදාගන්න. එයාගෙ බලාපොරොත්තු කඩකරන්න. එයාගේ හැදියාව කඩන්න. රෑ කෑම හදන්න එපා. සුබ රාත්‍රියක්, මහත්වරුනි,” දොර අරින ගමන් මම කීවෙමි. පොලීස් නිලධාරීන් ඇතුලට ආහ. ඔවුන් බීනි අල්ලාගෙන සිටියහ. ඔවුන් ජේක් අල්ලාගෙන සිටියහ.

පොලිස් නිලධාරීන් තිදෙනෙක් වූහ. ඉදිරියෙන් වූ අය, තරුණ, හොඳ පෙනුමින් යුතු අය, ඔහුගේ කැප් තොප්පිය අත ගා හඬ නොනඟා සිනාවක් පෑය. “මෑ’ම්, මෙන්න ඔයාගෙ ඩ්‍රින්කෝ,” ඔහු කීය, නමුත් මා ඒ වනවිටත් ඩ්‍රින්කෝ නැවත ඇවිත් යැයි දැන සිටියෙමි. හැරී ජූනියර් හැඬීම නවත්වා ඇත. ඔහු සතුටින් සුරතල් බස් කියයි. ඔහුට ඩ්‍රින්කෝ පෙනෙනවා ඇතැයි ඔට්ටු අල්ලන්න වුනත් මම සූදානම්. මම ඔහුව බිම තැබුවෙමි. පොලිස් නිලධාරියා ඩ්‍රින්කෝව බිම තැබුවේය. එය සුන්දර විය, මගේ බබා වෙතින් ගලා ගිය ඒ සතුටු සිනා හඬ. තරුණ පොලිස් නිලධාරියා නැවතත් සිනාවක් පෑය, නිහඬ, හොඳින් රන්වන් වූ මුහුණකින් පෑ සිනාවක්.

“මෑ’ම්, අපිට ඕන ඔබට ස්තූති කරන්න. මේ දෙන්න තමයි පිරිවිතර පද්ධතියෙම ඉන්න නරකම අපරාධකරුවන් දෙන්න. ඔවුන්ව අල්ලගන්නට අපිට උදව් කිරීමට තෑග්ගක් වශයෙන් ඩ්‍රින්කෝව තියාගන්න ඔබට පුළුවන් කියල කියන්න මම කැමතියි. ඒ වගේම, මම කැමතියි කියන්න පිරිවිතර-පුරවැසියෙක් වගේ පෙනී සිටීමේ ඔබේ ට්‍රිපෝ එක ගැන මා ඔබව අගය කරනවා කියලත්, මොකද, ඇත්තෙන්ම, ඔයා එය නොවෙද්දී.”

“ට්‍රිපෝ?”

“එඩිතර, ඒක වඩා කැමති නම්.”

“ඉතින්, මට මගේ බබාගේ ඩ්‍රින්කෝ ආපහු ගෙන්න ගන්න ඕන වුණා,” මම කීවෙමි.

“ඇත්තෙන්ම,” ඔහු සිනාවක් පෑය. “ඩ්‍රින්කෝලා කදිම සුරතල් සත්තු. 1954 පෘතුවිය පිරිවිතර-පද්ධතිය එක්ක එකතුවෙන දිනය ඒවා කවද හරි -එතකොට තව ඩ්‍රින්කෝල ලබාගන්න හැකියාව ලැබේවි.”

“අපිට බැරිද,” මම ඇහුවෙමි, “අපේ මේ නිහඬ පුංචි අවකාශයේ තනියම ඔහෙ අපේ පාඩුවේ ඉන්න?”

“මම හිතුවෙත් ඒකම තමයි,” මේබල් කීය, නැඟිටගන්නට සමත් වූ ඇය කොණ්ඩය පිටුපසට ගසා දැමීය. “අනික, මෙතනින් ගැලවෙන්න හැකි චාන්ස් එකක් ඇද්ද? මෙතන හරියට හද ඉපිලන, ත්‍රාසය ඇතිකරන, රොමැන්තික වූ තැනක්, ඒත් බිල්ට කන්න ඕන.”

“වහාම, මැඩම්! සුළු වැඩක්, කාල-අවකාශයේ නියුට්‍රොනික් ක්‍රොනො-ෆීල්ඩ් එකේ තියන ග්‍රැවිටොනික් ව්‍යුහය එක්ක පැටලැවිල තියෙන ක්‍රොනො-බීම් එකෙන් අයින්කරන එක විතරයි.”

“හා!” මේබල් කීවේය. “ඒකයි වෙලා තියෙන්නෙ එහෙනම්! ඔය හොඳට පැහැදිලි කළේ!”

ජේක් සහ බීනි සතුව තිබූ උපකරණය හා සමාන වූවක් ඔවුන් ලැහැස්ති කළහ. කාමරයේ විකර්ණයන් සොයා ඒ අනුව බොත්තම් එබූහ. අනතුරුව ඔවුන් දොර විවෘත කළහ. “මිනිත්තු දෙකකින්, මෑ’ම්,” සිනා පෑ පොලිස් නිලධාරියා කීය. “සුබ දවසක්, මගේ බලාපොරොත්තුව අපි ආයේ දවසක හමුවේවි කියල.” ඔවුන් දොරෙන් පිටව නොපෙනී ගියහ. සහතිකයෙන්ම, අළු හුමාලයේ එල්ලෙමින් කේක්-පෑන් හැඩයක නැවක් තිබ්බ. ඔවුන්ට ඒකට එකා පස්සෙ එකා නැඟල, එහාට මෙහාට හෙලවෙද්දී නැව පිටවෙලා මට තව දුරටත් නොපෙනෙන ඈතකට ගියා.

තව මිනිත්තුවක් යද්දී අළු හුමාලය දියවෙලා ගියා, මේබල් ද ඒ සමඟින් පිටවෙලා ගියා.

හැමදාම එන වේලාවට හැරී ගෙදර ආව. “බබා අද දවසෙම පොඩ්ඩක්වත් ඇඬුවෙ නැති තරම්!” මම ඔහුට සතුටින් කිව්ව. “ලොකු අස්වැසිල්ලක්! ඔයාගෙ ඇඳුම් ගොඩක් අණ්ඩ දාන්න මට හැකිවුණා සහ මම සැටඩේ ඉව්නින් පෝස්ට් තුනක කොටස් වශයෙන් පළවෙන කතා කියෙව්ව.”

“හරි හොඳයි!” වටපිට බලමින් හැරී කීවේය. “වෙන මොනව ද වුනේ?”

“වැඩි දෙයක් නෑ,” ඔහුට සිද්ධිය ටිකින් ටික දිගහරින්නට අදිටන් කරගත් මම කීවෙමි, “අපිට ඩ්‍රින්කෝ කෙනෙක් ඉන්නවා හැරෙන්නට.” මම ඔහුව බබාගේ කාමරයට එක්කගෙන ගියෙමි. බබා හොඳින් නිදා සිටියි. ඩ්‍රින්කෝ ද නිදාගෙන ඇති. “අර ඉන්නෙ එයා,” තොටිල්ල පාමුල ඇති වළ ගැසීමට අත දිගු කරමින් මම කීවෙමි. “ඒ තමයි ඩ්‍රින්කො.” මම හැරීට සම්පූර්ණ කතාව කියුවෙමි. ඔහු සිනා නොවී අසාගෙන සිටියේය.

“ඉතින්!” ඔහු කීය. “කොච්චර ත්‍රාසජනක වික්‍රමාන්තයන් ද ඔයාට තිබිල තියෙන්නෙ. කියන්න මට, මේ වගේ දේවල් සමහර විටෙක ත්‍රාසජනක වැඩිවෙන්න පුළුවන් නේද?”

“පොඩ්ඩක් වත් එහෙම වෙන්නෙ නෑ,” එයාට එය නිසි ලෙසින් හඟිස්සවන්නට පෙර එයාගෙ බඩ පුරවන්නට තීරණය කරගත් මම කීවෙමි. “ඔය ඔක්කොම වැටෙන්නෙ අඳුරු ඒකාකාරී වූ ගෘහණියකගේ වගකීම් යටතේ. එන්න දැන්, රෑ කෑම ලෑස්තියි.”

නිමි.

Advertisements

මැයි 4, 2017

සමාවෙන්න: වෙන පිරිවිතරයකින් 4

Filed under: Uncategorized — arunishapiro @ 7:11 පෙ.ව.

හරි හරියට පොර අල්ලන්නට යෑම නොකළ යුතු යැයි මම දැන සිටියෙමි. ඉතින් මම ඔහුගේ අත දිහා පහතට බැල්මක් එල්ල කළෙමි. ඔහු අත ඉවත්කර ගන්නා තෙක් එක එල්ලේ අත දිහා බලා සිටියෙමි. ඔහු දත් විලිස්සා පෑ සිනාව බොහෝ දුරට මැකී ගියේය. “ඉතින් කොහෙද ඒකා?” ඔහු කීය, ඔහුගේ වදන් රළු සහ අප්‍රසන්න ස්වරයකට හැරිණ.

“ඒකා ගැන කරදර වෙන්න එපා,” මම කීවෙමි. “දැන් ඇත්තෙන්ම ඒ රකුසා ගැන බය මට අඩුවෙලා ගිහින්. ඔහු බබා එක්ක මුළු දවසෙම සෙල්ලම් කරමින් ඉන්නවා, බබා ඒ ගැන කිසිම විරෝධයක් දක්වල නැහැ. ඔබ මහත්වරු දෙපල අපි වෙනුවෙන් කළ යුතු ප්‍රධාන දේ තමයි අපිව ආපහු අපේ පිරිවිතරයට ගෙනියන එක.”

“ඒක හරි,” මේබල් කීය, ඇය අත් ඉනේ ගසා ගත්තාය. “අනික, අපිට මේ දැන් කියන්න ඕන ගාස්තුව කීයක් වෙයි ද කියල, ගාස්තුවක් ඇත්නම්?”

“ගාස්තුවක් නෑ,” ඔවුන් දෙදෙනා අතර කුඩා සිරුරින් යුතු බීනි කීවේය, ඔහු ඇයගේ කකුල් දිහා ආසාවෙන් බලා සිටියේය. “එකම දේ, අපි රකුසව අරන් යනව. හරි ගණන්, ඔය රකුසන්. ඩ්‍රින්කෝ, එහෙමයි එයාලව හඳුන්වන්නෙ. ඉඳ හිටල පිරිවිතර අස්සේ ඔවුන් අතරමං වෙනව. එකෙක් හොයාගත්ත අවුරුදු පනකට පෙර හෝ පසුව ප්ලූටෝ වල දී.”

“පෙර?” මම කීවෙමි.

“පසුව,” ඔහු නිවැරදි කළේය.

“මේ අහන්න,” මම තීරණයක් ගෙන කීවෙමි. “රකුසා අරන් යන්න බෑ ඔයාලට. ඔහු බබාව මුළු දවසෙම සතුටින් තිබ්බා. ඒත් මම කියන්නම් මම කරන්නෙ මොකක් ද කියල. මට කියන්න ඔහු කන්නෙ මොනවා ද, ඔහු වෙනුවෙන් කළ යුත්තෙ මොනව ද කියල එතකොට මම ඔහුව තියාගන්නම්. මගෙ සාක්කුවේ තියෙනව ඩොලර් විසිපහක් පෝකර් වලින් දිනපු සල්ලි ඔයාට දෙන්න පුළුවන්. එහෙම හරි ද -ජේක්?”

ජේක් මහ හයියෙන් සිනාසිණි. “ඔය දරුවෝ නියමයි,” ඔහු කීවේය. “ඔයාල දන්නෙ නෑ මෙතන වෙන්නෙ මොකක් ද කියල. ඔයාල හරි කියුට්!”

“ස්තූතියි,” මම අමනාපයෙන් පැවසීමි. “මගේ විශ්වාසය නැවත ගොඩනඟනව ඔයා. ඔයාගෙ දැවෙන බැල්මෙ යටින් මාව මල්ඵල දානව වගේ මට දැනෙනව.”

“ඔය ඩ්‍රින්කෝ වටිනව ක්‍රෙඩිට් මිලියන ගණනක්. ඒකයි මම කියන්න හදන්නෙ. ඔයා අපිට නිකං ඩොලර් විසිපහක් දෙන්න හදද්දී. මම කියන්න ද එහෙනම්, බ්ලොන්ඩි,” ඔහු මා වෙත ඇසක් ගැසුවේය. “ඔය දරුවෝ වැඩ වැඩි නිසා මහන්සියෙන් ඉන්නෙ. ඔය දෙන්න දිහා එක පාරක් බැලුවම ඒක කියන්න පුළුවන්. ඉතින්. බීනිටයි මටයි තියනව එල්-පිරිවිතරයේ පුංචි කාමරයක්, ඔක්කොගෙන්ම අයින් වෙච්ච. අපි හතරදෙනාට පුළුවන් එහෙ ගිහින් හොඳ ෆන් එකක් ගන්න. අපිට පුළුවන් එහෙ මාසයක් ඉඳලා, ඔයාලගෙ සැමියන් අද වැඩ ඇරලා ගෙදර එද්දී ඔවුන්ට හාදු දෙන්න වේලාවට ගෙදර එන්න. මොකද කියන්නේ, බ්ලොන්ඩි? එතකොට ඔයාට පුළුවන් ඩ්‍රින්කොව තියාගන්න!”

“අපි කිසිම යෝජනා බාරගන්නේ නැහැ මේ සතියේ,” මේබල් කීවේ උදාරත්වයකිනි.

“හයියෝ, සතුටට කැමති නැති දෙන්නෙක්,” ගොරවමින් කියූ බීනි ශාලාව පැත්තට ඇවිද ගියේය.

මා දිහා බැලූ මේබල් ගිනි-උදුන මතින් වූ කනප්පුවේ ඇති මල්පෝච්චියක් අතට ගත්තේය. මම ඇයට හිස සලා අනුමැතිය දුන්නෙමි. “ඒ ඩ්‍රින්කෝ ගෙන් ඈත් වෙලා හිටිය නම් හොඳයි,” ඇය බීනිට අනතුරු ඇඟවූවාය, “නැත්නම් මම පාඩමක් උගන්වනව.”

බීනි අමනාප විය. ඔහු නැවතිණ. කරන්නට අවසර දෙන්න යැයි කියන බැල්මක් ජේක් වෙත පෑවේය. ජැක් කටවසාගෙන හිනා වූයේ සම්පූර්ණ සිද්ධිය ඔහුගේ හාස්‍යය විඳීමේ ශක්තිය කිති කවන්නක් හැටියට සලකමිනි. පූසෙක් මෙන් ඔහු මේබල් වෙතට පා තැබීය. දකුණතින් එල්ල කළ පහරෙන් ඇය මල්පෝච්චිය අත් හැරියාය. ඒත් ඔහු සිය දකුණතින් තමන්ව වසාගෙන තිබුණි. මල්පෝච්චිය අතේ වැදී රූපවාහිනී පෙට්ටියේ වැදී බිඳී ගියේය. අනතුරුව ඔහු මේබල්ව වලහෙක් මෙන් බදාගත්තේය.

මාව කුලප්පු කළේ එයයි. ඒ අවස්ථාවේ මට හැරී නැතිකම හොඳින් දැනුණි. මේ මැරයන්ට ඔහු හොඳ පාඩමක් කියාදෙන්නට තිබිණ. එච්චරයි ඔවුන් – මැරයන්, බාල වංචාකරයන්. එක කකුලකින් උඩ පැන මම මගේ ඔක්ස්ෆර්ඩ් සපත්තු ගලවා ගත්තෙමි. එහි අඩිය මම ජේක්ගේ කැරලි හිස මතට පාත් කළෙමි. ඒත් එය ඔහුව තවත් කෝපාවිෂ්ට කළා මිසෙක කිසිත් සේ නොදැනුණි. මට සාප කරමින් ඔහු අත ආපහු ගෙනාවේය. එය මගේ ලිප්ස්ටික්වල වැදුණි. ඔහු මට පහරදෙනවා යැයි මා පුදුම වූ බව මට මතකයි. ඒත් ඔහු කළේ එයයි.

මැයි 3, 2017

සමාවෙන්න: වෙන පිරිවිතරයකින් 3

Filed under: Uncategorized — arunishapiro @ 7:36 පෙ.ව.

මේබල් ගැස්සුනාය. “හා හොඳයි,” ඇය කීවාය. “ඒත්, රෑ කෑම උදුනට දාන එක ගැන මම තාම කණගාටු වෙනව. බිල් කියාවි …”

“ආන්න, ඔන්න ඔයා දැන් සැක කරන්න යනව,” සද්ගුණය පැත්තකට දා මම කීවෙමි. “කණගාටු වෙන එක නතර කරන්න. මම ආයෙමත් හැරීට කතා කරන්න යනව.” මෙවර මම ගොඩක් සංසුන් වීමි. විශ්වය වැඩියෙන් විශ්වාස කරන්නට මම තීරණය කළෙමි. හැරීගේ අංකය මම කරකැව්වෙමි. තැනින් තැන කැඩී ඇහෙන පිරිමි කටහඬක් ගලා ආවේය:
“සමාවෙන්න, මේ පිරිවිතරය පාවිච්චියේ තියන්නෙ. කරුණාකරලා ලයින් එකෙන් අයින් වෙනව ද?”

මම සටන් අගල් කිහිපයක් හාරා වෙඩි තියන මාර්ගයක් පාදා ගත්තෙමි.

“මේ අහන්න,” මම කීවෙමි. “මම කරදරයක වැටිලා ඉන්නෙ.”

“කාන්තාවක්,” ඔහු පුදුමයෙන් මෙන් කීවේය.

“ඔව්, කාන්තාවක්,” මම හඬ ගෑවෙමි. “මොකක් ද කාන්තාවක් වීමේ අපූරුව? මුළු මහත් විශ්වයේම ඉන්න ඔක්කොම පිරිමි මොකද මේ කාන්තාවක් එක්ක කතාකරද්දී අමුතු ස්වරයක් කටහඬට එකතු කරගන්නෙ? සැබැවින්ම මම කාන්තාවක්, හොඳ පෙනුමක් ඇති කාන්තාවක්! ඒක ඔප්පු කරන්න ඔයාගෙ ඇහැට පාරක් ගහන්න මම කැමතියි!”

ඔහු සිනාසුනේය. ඔහු ‘කතනයෙන් වෙනතකට හැරුණා විය හැකියි. “ඒ කාන්තාවක්!”

“ඕකේ, අහන්න ඇයට මොනව ද ඕනෙ කියල?”

“කියන්න,” ඔහු ‘කතනයට කීවේය. මම සියල්ල කීවෙමි. “මොකක්ද ලිපිනය කියල නැවතත් කියන්න,” ඔහු විමසීය. මම එය ඔහුට කීවෙමි. “නෑ, නෑ,” ඔහු නොඉවසිල්ලෙන් කීය. “ග්‍රහලෝකය. ඔබේ ග්‍රහලෝකය. සහ වසර කුමක් ද කියල කියන්න.” මම ඔහුට කීවෙමි.

ඔහු නැවතත් ‘කතනයෙන් වෙනතකට නැවතත් හැරුණා විය හැකියි. මන්ද, මට ඔහුගේ කටහඬ වෙන පැත්තකින් ඇසුණි. “ඔවුන් වසර දහයක් ඈතකින් පමණයි ඉන්නෙ.” මම ගල්ගැසුණෙමි. ඔහු නැවතත් පිවිසියේය. “මොකක්ද මේ රකුසු බබෙක් ගැන කිව්වෙ? ලොම්? කොරපොතු? හොඬවැලක්? හැරී ජූනියර් බර කොච්චරක් ද? මෑ’ම්, අපි හනිකට ඔතෙන්ට එන්නම්,” ඔහු ඇමතුම විසන්ධි කළේය.

මේබල් මගේ කන අසලින් නොසන්සුන්ව ගැවසෙමින් සිටියාය. ඒත් ඇය ඇසූ ප්‍රශ්නවලට උත්තර දෙන්නට අවස්ථාවක් මට ලැබුනේ නැත. විසිත්ත කාමරයේ දොර විවෘත වී ඔවුන් ඇතුලට ඇවිද ආහ.

අළුපාට හුමාලයේ එල්ලෙමින් පවතින කේක් පෑන් හැඩයේ නැවක් මට මොහොතකට පෙනුණි. එවිට ඔවුන් දොර වසා දමා අප දිහා බලා සිනාසුනහ. ස්වභාවික පෙළඹවීමකින් මේබල් සහ මම අපේ පපු පෙදෙස් පුංචි කරගන්නට යත්න දැරුවෙමු.

“හලෝ,” උස අය කීහ. ඔහු සිය මයිල් සහිත උදරය කසමින් සිනාව පුළුල් කළේය. ත්‍රිපාදයක වූ කැමරාවක් වැනි යාන්ත්‍රික මෙවලමක් ඔහු අතැතිව සිටියේය. “මම කවුදැයි හඳුන්වා දෙන්නම්,” ඔහු කීවේය. “ජේක් කොම්ස්ටොක්. අපි ආවේ ඔය කාන්තාවන් දෙන්නට උදව්වක් දෙන්න. අපි ඔයාල අයිති පැත්තට ආපහු යවන්නම්.”

“ඔව්, නිසැකවම එහෙම කරාවි,” මම කීවෙමි.

“ඉතින් මේ ඉන්නෙ බීනි රොසිනි. එයා මගේ සහායකයා. අපි -අහ්- එකට වැඩකරන්නෙ.”

“හායි එහෙනම්,” බීනි කීවේය, “රකුසා කොහෙද?”

“හඳුන්වාදීම්,” සගයා වෙතට තද බැල්මක් හෙළමින් ජේක් කීවේය. “ආචාරශීලීත්වය.”

ඉතින් අපි දෙන්නාව මම හඳුන්වා දුන්නෙමි. “මම වීවර් මහත්මිය,” මම කීවෙමි. “මේ ඉන්නෙ මගේ අසල්වැසියා, ඇස්පෙටිකා මහත්මිය.”

“ඔබ දෙදෙනාව හඳුන්වාගැනීමට ලැබීම සතුටක්, කෙල්ලනි,” ජේක් දත් විලිස්සා සිනාසුණි. ඔයා වෙන්නැති ‘කතනයෙන් කතා කළේ. මම කැමතියි ඔයා බීනිව හසුරවපු ආකාරය ගැන. මාර කියුට්.” ඔහු ත්‍රිපාද වැන්න කොනකට අතහැර මා සිටි පැත්තට පා තැබීය. “ඉතින් කෝ මේ රකුසා?” ඔහු විමසීය, නිරාවරණය වූ මගේ බාහුව වටා අතක් යවමින් ඔහු පහළ බලමින් මා වෙත සිනාවක් පෑවේය.

මැයි 2, 2017

සමාවෙන්න: වෙන පිරිවිතරයකින් 2

Filed under: Uncategorized — arunishapiro @ 6:52 පෙ.ව.

දත් එන නිසා හපන රවුම් කෑල්ල බබා අතින් ගිලිහිණ. බබා උඩු බැලි අතට වැටිණ. රවුම් කෑල්ල මඳ වේලාවක් හිස් අවකාශයේ ඉහළින් රැඳී සිට බබාගේ වැනෙන අත් දෙසට ගමන් කර ඔහුට එය අල්ලාගන්නට ඉඩ දුනි.

මේබල් කට විවෘත නොකර අත් අතරින් කෑ ගැසුවාය, “බබා අල්ල ගත්ත, රකුසා අල්ල ගත්ත, දැන් බබා අල්ල ගත්ත!” ඇය බිමට පාත්වෙන්නට පටන් ගත්තාය.

“කලන්තෙ දාන්න නම් එපා,” මම තදින් කිව්වෙමි, “අනික, අපි ටෙනිස් ගහන්නෙ නැතිව ඉම්මු.” මාව වෙව්ලා ගියේය. මම තොටිල්ල ඇතුලට එබුනෙමි. මගේ අත්වලට අහුවූයේ මගේ කොඳු නාරටියට අයිස් වතුර වත්කරන්නට සමත් වූවකි. එය සැබැවින්ම රකුසෙකි.

“මට ලොම් අහුවුනා!” මම රහසින් කීවෙමි. මට තවත් අතගා බැලුවෙමි. “තෙත කොරපොතුත් තියෙනව!” මම එය තොටිල්ලෙන් උඩට ඉස්සුවෙමි. “හොඬවැලකුත් තියෙනව!” බබාව බේරාගැනීම මගේ දැඩි අභිප්‍රාය විය. බබා අඬන්නට පටන් ගති!

ඒ අදෘශ්‍යමාන රකුසා සමඟ බබා සෙල්ලම් කරද්දී, අපි පුටු ඇදගෙන අවුත් මිනිත්තු දහයක් එකිනෙකාට ළං වී වාඩිගෙන සිටියෙමු. “මොකක් කරන්න ද කියල මං දන්නෑ!” මම කීවෙමි. “ඌට පණ තියෙනව. සමහර විට ඌ විෂඝෝරයෙක් වෙන්නැති. ඒත් ඌ හිතවත්. සමහර විට තවත් බබෙක් වෙන්නැති!”

“වෙන පිරිවිතරයකින්,” මේබල් කීය.

“මොන විකාරද,” මම කීවෙමි; මම හිතන්නෙ ඒක මම අහුල ගත්තෙ අර සැටඩේ ඉව්නින් පෝස්ට් එකේ කොටස් වශයෙන් පළවෙන කතාවේ රහස් පරීක්ෂකයන්ගෙන්. “අපි සිහි කල්පනාවෙන් ඉම්මු.”

“බබාගෙ එක එයා තියාගත්තොත්,” මගේ යෙහෙළිය මේබල් කීය.

ඒක මගේ සිතට කා වැදුණි. “හැරීට කෝල් කරන්න ඕන,” මම කියාගෙන ගියෙමි. “ඒ අය කැමති නැහැ වැඩ කරද්දී එයාට කතා කරනවාට, ඒත් මම කතා කරන්නම ඕන.”

“ඔයා නිකම් එයාට වද කරනව,” මේබල් කීය. “පොලීසියට කතා කරන්න.”

“නෑ!” මම කීවෙමි. මට ඇඬෙන්නට ගියේය. බබා ඉතා සතුටින් සිටියි. සමහර විට රාක්ෂ බබා ද සතුටින් ඉන්නවා ඇති. පොලීසිය ඌට නපුරු දෙයක් කරාවි. ඒත් මගේ මව් ආශය ගැන කුමක් කරන්න ද? මගේ බබා බේරගන්න ඕනයි කියල මට කොහෙන් හරි දැනෙනව! “මම හැරීට කෝල් කරන්න වෙනව,” මම තරයේ කියමින් ‘කතනය වෙතට ගියෙමි.

ඩයල් සද්දය ඇසුනේ අමුතු විදියකට බව මට මතකයි. ඒත් මම හැරී වැඩකරන තැනට ඇමතුමක් ගත්තෙමි. කාර්යබහුල ලෙසකින් යුතු කාන්තා කටහඬක් මැද්දට පැන්නේය: “කරුණාකරල කියන්න, ඔයා කතා කරන්නෙ මොන අංකයට ද?”

“Cහාර්ලමොන්ට් 7-890,” මම රහසින් කීවෙමි.

“සමාවෙන්න, ඔයාට ලැබිලා තියෙන්නෙ වැරදි පිරිවිතරය.” ක්ලික් හඬක් නඟමින් ඇය ‘කතනය විසන්ධි කළාය. මම එතැන පිළිමයක් සේ ගල්ගැසී සිටියෙමි. ගෙදරට අඳින කිළිටි ඇඳුමක් ඇඳගත් විඩාබරිත වූ පිළිමයක්. මාස දෙකකින් ඇස් බැමි ගලවා නැති පිළිමයක්. මට තියෙන බලය කුමක්ද. මම නරක අම්මා කෙනෙක්. මම නරක අඹුවක්. ඉතින් මට හිටිය හරි හොඳ සැමියෙක්. එයාට කිසි පැකිළීමක් නැතිව බොරු කියන්න පුළුවන්. මම කිසිකමකට නැතිවුනත්, මම කැත වුනත්, මම කිළිටි වුවත්. මම ඇඬුවෙමි. “මේබල්,” මගේ වචන උගුරේ හිරවිණ.

එය මගෙන් ඉවත් කරන්නට ඇයට ටික වේලාවක් ගතවිණ. අනතුරුව ඇයගේ නිල් දෑස් දිළිසිණ. “මම ඔයාට කිව්ව!” ඇය තදින් කීවාය. “වෙන පිරිවිතරයකින්!” කැඩී ගිය කොළපාට සෙරෙප්පු අද්දමින් ඇය දොර දෙසට ගමන් කළාය. එය සමඟ ඇය පොර බදිනවා මට ඇසිණ. ඇයට එය විවෘත කරන්නට නොහැකි විණ. ඊ ළඟට ඇය ජනේලය අරින්නට උත්සාහ කළාය. එය විවෘත වූවත් ඇයට අත එළියට දාන්නට නොහැකි විණ. ඇය විගසින් ආපසු හැරුනාය.

“ස්ටෙලා, මොකක් හරි හරි අපූරු ෆැන්ටසියක් මැද්දෙ අපි හිරවෙලා,” අර ලස්සන උඩුතොල වෙව්ලද්දී ඇය කීවාය. “අපි ජීවත්වෙන්නෙ පිස්සු ලෝකයක, ස්ටෙලා. ඒ-බෝම්බ, එච්-බෝම්බ සහ පියාඹන පීරිසි සහ අජටාකාශ ගමන් -ඒ ඔක්කොම ප්‍රබන්ධ දේවල් ඇත්ත වෙන්න පටන් ගෙන. දැන් අපි වෙන පිරිවිතරයක හිරවෙලා. මට රෑ කෑම උදුනට දාන්නත් තියෙනව.”

“කරුණාකරල,” මම මිමිණුවෙමි. “වැරදි දේවල් ගැන කම්පා වෙන්නෙ නැතිව ඉම්මු අපි.” ගෙදර දොර ජනේල සියල්ල මම විපරම් කර බැලුවෙමි. එය සත්‍යයකි. අපි සිරගතවී සිටිමු. ගෙදර වටේටම යම් බාධකයක් පවතියි. අළු පාට හුමාලයක් හැරෙන්නට පිටත දකින්නට වෙනත් දෙයක් නොමැත.

මම නැවත ගියේ බබා ගැන හොයා බලන්නට. ඔහු තවමත් රකුසා සමඟ සෙල්ලම් කරමින් සිටියි. මම තොටිල්ල වෙතට නැවී පුළුන් පුරවන ලද සත පනහේ සෙල්ලම් ටෙඩිබෙයාර් ඇල්ලුවෙමි. රකුසු බබා එය අදෘශ්‍යමානව මගේ අතින් ගත්තේය. ඔහු එය බබා වෙත තල්ලු කළේය. බබා ඉතා සතුටින් සිනාසී හුරතල් බස් දොඩවයි. මට යම් දැනුමක් ලැබෙන්නට පටන් ගති.

“සැක කිරීම වැරදියි,” මම මේබල්ට කීවෙමි. “හැම තිස්සෙම. ඔබේ ලෝකය සඟරාවේ අපි මාස කිහිපයකට කළින් කියවපු විදියට එහෙම තමයි කියල තිබුණේ. මතකනෙ ඔයයි මායි තීරණය කළා අපි කවදාවත් සැක කරන්නේ නැතිව ඉන්නව කියල. සමහර විට ඒක වෙන්නැති අපි -කිළිටි වුනත්- සතුටින් ඉන්න හේතුව. අපිට කරන්න පුළුවන් නම් අපි කිසිම කෙනෙක්ව සැක කරන්නෙ නැහැ. දැන් ඒක පටන් ගන්න වේලාව නෙමෙයි. රකුසා බබාගෙ යාළුවෙක්.”

මැයි 1, 2017

සමාවෙන්න: වෙන පිරිවිතරයකින්

Filed under: Uncategorized — arunishapiro @ 6:56 පෙ.ව.

රොස් රොක්ලින් (Rocklynne) (1913 පෙබරවාරි 21 – 1988 ඔක්තෝබර් 29) රොස් ලුවිස් රොක්ලින් (Rocklin) නැමැත්තා යොදාගත් අන්වර්ථ නාමයයි. ඔහු ඇමෙරිකන් විද්‍යා ප්‍රබන්ධයන්හි ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අවධියේ රචකයෙකි. එවක ප්‍රකාශනය වූ, පුදුම කතන්දර -Astounding Stories, අපූරු වික්‍රමාන්ත -Fantastic Adventures, ග්‍රහලෝක කතන්දර -Planet Stories වැනි ජනප්‍රිය (පල්ප්) විද්‍යා ප්‍රබන්ධ සඟරා කිහිපයකට ලියන ලද්දෙකි. 1939 පැවති ලෝකයේ පළමු විද්‍යා ප්‍රබන්ධ සම්මන්ත්‍රණයේ දී වෘත්තීය හැටියට ආරාධිත අමුත්තෙක් ලෙසින් ද සහභාගී වූයෙකි. සම්මාන ලාභියෙකි. එසේම ඔහුගේ නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ එකතුකර හැදෙන කෘතීන්ට බොහෝ විට ඇතුළු කෙරෙයි. එවැනි දේවල් හා කොතරම් සම්බන්ධ වූවත්, අගනා ප්‍රබන්ධ රැසක් එකතු කරන්නට සමත් වූවත්, එවක අතිශය ජනප්‍රිය වූ අයිසෙක් ඇසිමොව් වැන්නවුන් හා කරට කරට ජනප්‍රියත්වයක් දිනාගන්නට හේ අසමත් විය.

මේ ඔහු ලියූ කෙටි කතාවක සිංහල පරිවර්තනයයි. කොටස් වශයෙන් පළ කරමි. ගූටන්බර්ග් ව්‍යාපෘතියෙන් මෙහි මුල් නිර්මාණය මිලක් නොගෙවා ඉංග්‍රීසියෙන් කියවත හැකියි.

*****

සමාවෙන්න: වෙන පිරිවිතරයකින් – Sorry: Wrong Dimension

කර්තෘ: රොස් රොක්ලින්

ඉතින් බබාට සුරතල් රකුසෙක් හිටිය. බබා ඇරෙන්න වෙන කාටවත් ඌව පෙනුනේ නැහැ. කොහෙන්ද කියල කියන්න බැරි විදියට හිටිහැටියෙ පාත් වෙච්ච මිනිස්සු දෙන්නෙක්, රකුසට ලැයිසන් තියෙනවද නැද්ද කියල හොයන්න. ඉතින් ඒකේ ඇති අරුම පුදුම බව මොකක් ද?

දවස පුරාම බබා ඇඬුවේ නෑ. මොකද එයත් එක්ක සෙල්ලම් කරන්න රකුසෙක් හිටිය නිසා. ඒත් මං දැනන් හිටියේ නෑ එයත් එක්ක සෙල්ලම් කරන්න කෙනෙක් හිටිය බව. ඒ විතරක් නෙමේ ඒක රාස්සයෙක් කියලත් මං දැනන් හිටියේ නෑ. අවංකවම ඇත්ත කිව්වොත්, බබා ඉපදුන දවසේ ඉඳලා මේ තමයි මගේ ස්නායු පාලනය කරගන්න මට පුළුවන් වෙච්ච ප්‍රථම දවස. ඒ නිසා ඔහු අඬන්නේ නැත්තේ ඇයි කියල හොයල බලන්න මං ගියෙ නෑ. මදින්න තිබ්බ රෙදි ඔක්කොම මැදගත්ත -ඒ කිව්වෙ, ඔක්කොම රෙදි- ඒ වගේම හැරීගේ වැඩට යන්න අඳින ඇඳුම්වල අඩුපාඩු මහගත්ත. ඒ හැරෙන්න මම කියවන්න ප්‍රවේසම් කරලා තියගත්ත පහුගිය සැටඩේ ඉව්නින් පෝස්ට් පත්තර තුනක ගිය කතන්දර ටික කියවල ඉවර කළා. මේවා ඇරෙන්න, මගේ අසල්වැසියා මේබල්, එයයි මායි කෝපි කෝප්ප තුනක් බීලා ඉවර කළා. අපි දෙන්න කිචිබිචි සිනා සාගරයකත් ගිලුන. එක පාරක් ඒ විදියට හිනාවෙන හැටි, වැඩිවෙච්ච ගෙදර වැඩ වලින් වෙහෙස වෙලා වයස විසිතුනේ දී -ඇදිලා පෑදිලා ගිය නාකි ගෑණු දෙන්නෙක්- දැකල අපි දෙන්න වියරු වැටිලා වගේ හිටිය. හිනාව යාන්තම් නවත්ත ගත්තම, “ඒත් දෙයියන්ට ස්තූති වෙන්න මුළු දවසෙම බබා ඇඬුවේ නෑ!” කියල මම හිනාව අස්සෙ අමාරුවෙන් කියාගත්ත.

“මගේ එක්කෙනත් නෑ,” මේබල් කිව්ව, එයගෙ බබා ඉපදෙන්න තව මාස හයක් තියෙනව.

“මේබල්, ඔයා මාව හිනාගස්සල මරනව,” මම කිව්ව, “පොඩ්ඩක් කමාකරන්න, මම මගේ අවුල් වෙච්ච කොණ්ඩෙ පීරාගන්න තෙක්, -මොකද මම ජරාවට ගිහින් නැහැ. හැරී එහෙම කිව්ව. ඔහු කියන්නෙ උසස් පෙළ පාසැල් කාලයේ සිට මේ වෙනකන් ඔහුට හමුවෙලා තියන පියකරුම කාන්තාව මමයි කියල- අනික, අපි විවාහ වෙලා අවුරුදු දෙකක්!”

මේබල් වියරුවෙන් තවත් නැළවෙද්දී මං ගියා බාත්රූම් එකට. මම බාත්රූම් එකෙන් එළියට එද්දී, ඇය වියරු වැටිල ඒත් වෙන විදියකට. ඇය හොයාගෙන ඇයි හැරී ජූනියර් අඬන්නේ නැත්තෙ කියල. ඇය බබාගේ කාමරේට ගිහින්. ඇයගේ මුහුණ බිත්තර කටුවක සුදු පාටට හැරිල.

“ඔහු මොකක්ද එකක් එක්ක සෙල්ලම් කරනව,” ඇය කියන්නට ගත්ත. “ඒකට පණ තියෙනව. මට ඇහුණ ඒක ආපහු හුරතලේට මුමුණනව.”

මම බබාගේ තොටිල්ලට අඩි තුනකින් දිව්ව… එකක් ලිට්ල් ජැක් හෝනර් තිබ්බ කොනේ, අනෙක ලිට්ල් බෝ ශීප් උඩ, අනෙක ඕල්ඩ් මදර් හබර්ඩ්ගෙ කබඩ් එක මත. “බබා!” මම කෑ ගහන්න ඔන්න මෙන්න තරම් හයියෙන් කිව්ව. ඒත් බබා සුරතල් විදියට හඬ පිටකරමින් සතුටින් සිනා වෙලා පුංචි කලිසම උඩින් එහාට මෙහාට පෙරලුනා. අලුත් දත් එද්දී විකන්න දීපු රවුම එක්ක ඔහු සෙල්ලම් කරනව. ඒත් මොකෙක් හරි ඒ රවුම ඇදලා උදුරගන්න හදනව. ඉතින් බබා ඒකට කැමතියි.

අප්‍රේල් 22, 2014

කිබිසිනි – නිමාව

Filed under: Uncategorized — arunishapiro @ 11:11 පෙ.ව.

ඔවුන් තිදෙන නිවසට පැමිණියහ.

අම්මාගේ තනි රකිනු පිණිස දෙදෙනාටම තේ කෝප්ප හදාගෙන මෙහෙකාරිය ඉස්තෝප්පුව වෙත ගමන් කරමින් සිටියාය.

ඉස්තෝප්පු කාමරයේ දොර හැරගෙන එළියට ආ ඔවුන් තිදෙන දකිද්දී මෙහෙකාරිය සිතුවිලි කිහිපයක හිරවෙන හැටි ලීලා දුටුවේ සිත සතුටින් පිරී යද්දී.

“ඔව්, අපි ගිහිනුත් ආවා,” ඇසුවේ නැති ප්‍රශ්න වලට පිළිතුරැ දෙමින් ලීලා කීවාය.

“ඔව්, අපිටත් තේ ඕනෑ,” ඇය මෙහෙකාරිය වෙතින් තේ කෝප්ප ඉවත් කළේ නැත්නම් ඒවා බිම ඉහිරෙන නිසයි.

“ඔව්, ඉක්මණට නූනත් වැඩි කලක් නොයා තාත්තාට හොඳටම හොඳට සනීප වේවි.”

මෙහෙකාරිය අත් දෙක එකට එක බැඳගත්තාය. ඇය අම්මා ළඟට දිව්වාය. ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක හරිබරි ගැහෙන්නට උත්සාහ කරමින් සිටි අම්මා අසුනින් හනිකට නැඟිට්ටේ දෑතින් මුව වසා ගනිමින්.

තාත්තාගේ මුහුණින් ඔහු වටපිටාව හඳුනාගත් බව මනාවට කියත හැකියි. වාත්තම් කරගෙන යන ඔහු අඩියෙන් අඩිය දුර්වල ලෙසකින් තැබුව ද එහි වූයේ අම්මා ළඟට යන්නට ඔහු විසින්ම ගත් දැඩි අධිෂ්ඨානයයි.

ලීලාගේ වදන් සිහි වී මෙහෙකාරිය කඩාගෙන බිඳගෙන මුළුතැන්ගෙයට දිව්වේ ගමනේ විස්තරය මඟහැරෙන්න කළින් අනික් අයටත් තේ හදාගෙන විජහට එන්න.

“තේ හදාගෙන එනකම් අපි ඉන්නම්,” දිව යන ඇයට ලීලා හඬ ගෑවේ තවත් පිරෙන්නට ඉඩක් නැතැයි ඇයට දැනුනු සතුටු හදවතින්. දිව යන මෙහෙකාරිය කෑම මේසයේ පුටුවක ද වැදෙන හඬත් “නෑ නෑ මුකුත් කැඩුනේ නෑ” යැයි ඇය කියන හඬත් ඇසී ඔවුන් සියල්ලන්ටම සිනහා නවත්වා ගනු නොහැකි විණ.

තාත්තා හාන්සි පුටුවේ වාඩිගත් විගස අම්මා තමනට ගෙනා තේ කෝප්පය තාත්තාට පොවන්නට ලැහැස්ති වූවාය. ඔහු අනිත් අයටත් තේ හදාගෙන එන තෙක් තමන් ද ඉන්නවා යැයි අතින් සංඥා කරද්දී අම්මාගේ දෑසින් කදුළු බිංදු එකින් එක කම්මුල් දිගේ පහළට රූස්සා යන හැටි දැක තාත්තා ඇඟිලි තුඩුවලින් ඒ කඳුළු පිස දැම්මේය.

ඔහු කුමක්දෝ මුමුණන්ට උත්සාහ කරයි.

“නෑ නෑ මට කියන්න ඕනෙ නෑ වෙච්ච දේවල්. සනීප වෙනවා නම් ඒ ඇති,” යැයි අම්මා කඳුළු අස්සෙන් කියන්නීය.

“මතකනෙ අම්මා,” ලීලා සුමුදු හඬකින් අම්මාට මතක් කර දුන්නාය, “එපා කියන්න එපා. අම්මා දැනගන්න ඕනෙ කියල තාත්තා හිතනවා නම් ඒවා කියන්න ඉඩක් දෙන්න.”

අම්මා ඔළුව මඳක් උස්සා ලීලා සමඟ එකඟ වෙමින් කෘතඥ සිනාවක් පෑවාය.

ලීලා දෙසට ඇඟිල්ලක් පෑ තාත්තා “හරි,” යැයි කීවේය. ගිලන් වූවාට පසු තාත්තා වෙතින් පිට වූ ඒ එක වචනයේ වැදගත්කම කොතරම් දැයි හරියටම වැටහෙන්නට අම්මාටත් ලීලාටත් තවත් කාලයක් ගතවෙනු නිසැකය.

ඔහු තුල වූ විඩාබර බව හොඳටම පෙනුනත් තාත්තා නිදි කිරුවේ නැත. ඔහු ගෙවත්ත දිහා ඇස් යොමු කළේය. එය පාළුවට යා නොදී බලාගත්තාට ස්තූතියි කියන්නට අම්මා දෙස බලා සිනාවකින් සංග්‍රහ කළේය.

“පිටුවක් පෙරලපුවාම නැත්නම් පරිච්ඡේදයක් අවසානයේ පොත වසා දැම්මාම කතාව ඉවර වෙන්නෙ නැහැ. මොකක් හරි පොතක මම කියවල තියනවා ලීලා ඉඳ හිටලා වත්තෙ හොඳ හෙවනක් හොයාගෙන සුමුදු තණකොළ පිඩැල්ලක වාඩිවෙලා පොත කියවීම නතර කරලා සතුටු වෙන්නත් ඕනෑ කියල.”

“අවසානයක් නැහැ ඒ කියන්නෙ?”

“ඔව්.”

“කතන්දරේ කියන එක නවත්තවා විතරයි එහෙනම්.”

“ඔව්.”

මාර්තු 23, 2014

කිබිසිනි -ඔවුනට වඩා යමක් දන්න මම ඇයි ඔවුනට අවනත විය යුත්තේ

Filed under: Uncategorized — arunishapiro @ 9:58 පෙ.ව.

“මම … මම ඔබෙන් ක්ෂමාව යදිනවා, මිස්ටර් ගාල්ට්,” අල්ලපු කාමරයෙන් ඔවුනට ඇසිණ.

“ඔබ නිවැරදියි. මම පිළිගන්නම් ඔබ නිවැරදියි කියල. ඉතින් මම ඉල්ලා සිටින්නෙ ඔබේ අනුකම්පාව. මගෙ හද පතුලෙන් මට විශ්වාස කරන්නට බැහැ ඔබ මේ ජනතාව ගැන කණගාටුවක් නැති ස්වාර්ථකාමියෙක් කියල.

“බලන්න මේ.. මේක පාසැල් දරැවන් දහ දාහක් අත්සන් කරපු කන්නලව්වක් ඔයාට අපි එක්ක එකතු වෙලා ඔවුන්ගේ ජීවිත බේරා දෙන්න කියල. මේක අංග විකල අයගෙ නිවාසයකින් එවපු ආයාචනයක්. මේ තියෙන්නෙ මේක එවලා තියෙන්නෙ විවිධ ආගමික ස්ථාන දෙසියයක් එකතු වෙලා. මේක රටේ අම්මලා කරන බැගෑපත්වීමක්, කියවන්න මේවා.”

“මේක ඕඩර් එකක් ද?”

“නෑ!” යැයි කවුදෝ කෙනෙක් හැඬුම්බර ලෙසකින් කෑ ගැසීය. “ඒක ඕඩර් එකක් නෙමෙයි.”

“මේ සරල මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු, මිස්ටර් ගාල්ට්,” කළින් කටහඬ නැවතත් බැගෑපත් බවකින් කියන්නට විණ. “ඔබ කුමක් කළ යුතුද කියා ඔවුන්ට බැහැ ඔබට කියන්න. ඔවුන් දන්නෙ නැහැ. ඔවුන් ආයාචනය කරනවා පමණයි. ඔවුන් දුර්වල, අසරණ, අන්ධ, මුග්ධ බවින් සිටින අය වෙන්නැති. ඒත් ඔබ, ඔබ බුද්ධිමත්. ඔබ ශක්තිමත්. ඉතින් ඒ නිසා ඒ අය ගැන අනුකම්පා කරල, ඒ අයට පිහිට වෙන්න බැරි ද?” මුලින් යාප්පු වූ තැනැත්තා නැවතත් කියාගෙන යයි.

“මගේ බුද්ධිමත් මට්ටම පහළට ගෙනැවිත් ඔවුන්ගේ අන්ධ බව අනුගමනය කරන්න යැයි මට කියනව ද?” මිස්ටර් ගාල්ට් අසයි.

“ඔවුන් වැරදි වෙන්නැති, ඒත් ඊට වඩා යමක් ඔවුන් දන්නෙ නැහැ!”

“ඉතින් මම, ඔවුනට වඩා යමක් දන්න මම, ඇයි මම ඔවුන්ට අවනත විය යුත්තේ?”

“මට වාද කරන්න බැහැ, මිස්ටර් ගාල්ට්. මම ඔබේ අනුකම්පාව ඉල්ලා ආයාචනය කරනවා පමණයි. ඔවුන් දුකින් ඉන්නෙ. මම ඉල්ලා සිටින්නෙ ඒ දුකින් ඉන්න අයට පිහිට වෙන්න කියල.”

එහා කාමරයේ අය දිගින් දිගට බැගෑපත් වූව ද කිසිම බුරුලක් නොලැබෙන බව, ඒ ආයාචනා සියල්ල හිස් බවකින් වැය කරන නිශ්ඵල වෙහෙසක් යැයි ද, එය මෙම ගමනෙන් ඔවුන් තිදෙනා පසක් කරගත යුතු වූව බවත් මෙහා කාමරයේ සිට සවන් දී සිටින මිස් සුරම්‍යාටත්, ලීලාටත්, ලීලාගේ තාත්තාටත් වැටහී ගියේ එකම මොහොතක දී.

ඔවුන්ගේ දෑස් හමුවූහ.

ඔවුන් තිදෙනා හිස් වනමින් තමන්ට එය වැටහී ගිය බැව් ගැන කතාබහකින් තොරව එකඟත්වය පළ කළහ.

“මෙහෙම ආපු ගමන්වලදී මගෙ හිත එපා කියද්දී මම ගියා කතාවෙන් පිටට. පළාතේ රටේ ලෝකෙ විස්තර වලින් මහතුන්ගෙ කොළුවා ගැන හොයාගන්න ලැබේවි කියල හිතිල. එහෙම ගිහින් තමයි මට විඩාව වැඩිවුනේ. අසනීපෙ හැදුන වතාවේ මම ගියෙ කඩමණ්ඩියකට. එතැන රැඳිලා ඉන්න කියල හිත කියද්දි මම ගියා ඈත දැක්ක දුම්රිය නැවතුම් පොලකට. කඩමණ්ඩියෙන් ඈත් වෙද්දි ඇඟට වාරු නැතිවේගන යනවා වගේ දැනුනත් මම ඒක නිකම් මහන්සියක් වෙන්නැති කියල ගණන් ගත්තෙ නෑ. හොඳ වේලාවට පාරේ ඇදගෙන වැටෙන්න කළින් එදා මුද්ද ගලවන්න මතක් වුනේ.”

“ඒකයි එහෙනම් අර උමග කපන කතාවට ගියාම උදේ අනික් අය පිටවෙලා යද්දි තාත්තත් ඒ ගෙදරින් යන්න හැදුවේ?”

“ඔව්, කතාවෙන් පිට යන්න බැරි සීමාව අපි කැඩුවොත් තව මොන වින්නැහියක් පාත්වෙයි ද කියල හිතල.”

“ඒත් ඉතින් අන්කල් ඒ ගමන් යන එක නවත්තලා හිටිය කාලේ අසනීපෙන් ගොඩ ආවේ නැත්තෙ ඇයි?”

“ඒ අසනීප වෙච්ච ගමනෙන් පස්සෙ ගෙදර හිටිය කාලේ ගැන වැඩි නිච්චියක් නෑ මිස්,” ලීලාගේ තාත්තාගේ මුහුණ දොම්නසින් පිරි තිබිණ.

“මිස් සුරම්‍යාට මෙහෙ එන්න කළින් පුස්තකාලේ දී ගෙදර දී වෙච්ච දේවල් මතක තියෙනවා නේද?” ලීලා ඇසුවාය.

“ඔව්.”

“ආපහු ගියාට පස්සෙ ඒත් ගමන මතකයිනෙ, අර අපි දැක්ක ඈන් කෙල්ල ගැන තවම මතකයිනෙ?”

“ඔව්.”

“ඒත් තාත්තා .. තාත්තා අර උමග කපන ගෙදෙට්ට ගියාමයි දැනගත්තෙ ගෙදර දී කතා කරන්නත් බැරිබව,” ලීලා පැහැදිලි කරද්දී තාත්තාගේ මුහුණේ අඳුර මැකී ගොස් දෙනෙත් දීප්තියකින් බබළන්නට පටන් ගති.

“මහතුන්ගෙ කොල්ලා කැමැත්තෙන් ගිය ගමනක් නම්, ඌ කැමැත්තෙන් ගිය තැනක කැමැත්තෙන් නතර වුනා නම්, ඒක වෙනස් කරන්න හරි ඒක ගැන තීරණයක් දෙන්න හරි මගේ වැඩක් නෙමෙයි කියලා මම අවබෝධ කරගත්තෙ නැති නිසා නොවෙන්නැති,” තාත්තා කීවේය.

“ඒ කියන්නෙ අර අයියා අතුරුදහන් වුනාට පස්සෙ තාත්තා ගිය මේ වගෙ අපූරු ගමන් වලින් තාත්තගෙ ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය දේවල් තාත්තා මඟ හැරියා කියන එක ද?” ලීලා ඇසුවාය.

“ඔව්.”

“අසනීප වුනේ පාඩමක් උගන්වන්න?” මිස් සුරම්‍යා යටිතොලේ කොනක් සපමින් ඇසුවාය.

“එහෙම වෙන්නැති. උඩ දැම්මම බිම වැටෙනවා. අපිට ඕනෑ වුනයි කියලා එහෙම නොවී තියෙන්නෙ නැහැනෙ. ඒත් එහෙම නොවන වාතාවරණයක් අපි හදාගත්තම බිමට නොවැටි පාවි පාවි තියේවි. සීමාවන් හොයාගෙන ස්වභාවික නීති කඩන්නෙ නැතිව සීමාව ඉක්මවා යන හැටි හොයාගන්නයි ඕනෑ.”

“මේ වගේ අස්වාභාවික ගමන් වල දී වුනත්,” යැයි ලීලා කියද්දී ඔවුනට දැනුනේ සැනසිලිදායක සුවයකි.

“ආපහු යමු එහෙනම්,” තාත්තා කීය. මිස් සුරම්‍යා ලීලාගේ වැලමිටක් අල්ලා ගත්තාය. ලීලා තාත්තාගේ අත අල්ලා ගෙන හිමිහිට නූපුරය ගැලවීය.

අයින් රෑන්ඩ් ලියූ ඇට්ලස් හැකිළුණි -Atlas Shrugged (1957) කතන්දරයේ පසුබිම වෙයි.

මාර්තු 8, 2014

කිබිසිනි -දැන් මොකද කරන්නෙ?

Filed under: Uncategorized — arunishapiro @ 5:46 පෙ.ව.

ඔවුන් ගැන සොයන්නට කිසිවෙක් ආවේ නැත.

“දැන් මොකද කරන්නෙ?” ලීලා වැඩිහිටියන් වෙතින් අසයි.

“අපිට කතාබහ කරගන්න වෙන්නැති මෙතැන්ට එන්න ඇත්තෙ,” මිස් සුරම්‍යා යටිතොලේ කොනක් සපමින් සැකයෙන් පවසයි.

“ඒ කියන්නෙ අපිට අවශ්‍ය දේ කළින් දැනගන්න හැකියාවක් .. අබරණ වලට නැත්නම් ඉස්තෝප්පු කාමරයට තියෙනවා කියලා ද?” ඒ ලීලා. “අපිව මෙතෙන්ට එව්වෙ කතාබහ කරගන්න නම් .. අපිව මෙහෙයවන වෙන බලයක්?”

“නෑ නෑ,” තාත්තා අසුනෙන් නැඟිට්ටේ කලබලයෙන් තොරව. ඔහු සිරමැදිරියේ එහා මෙහා ඇවිදින්නට පටන් ගති. ඒ දුටු ලීලාගේ දෙනෙතට කඳුළු මෝදු වුණි. තාත්තා මෙසේ කල්පනාවේ ගිලී ඇවිදිනවා දකින්නට ලැබුනේ කොච්චර කාලෙකට පස්සෙ ද?

“මේ අරුම පුදුම ගමන් හරියට ලෝක ස්වභාවය වගේ. සමහර දේවල් කිසිම විදියකට වෙනස් කරන්න බෑ. ඒත් එහෙම තියෙද්දී අපේ උත්සාහයෙන් අපිට ඕනෑ නම් .. ” තාත්තා සක්මන නවතා නිශ්චල වෙයි, “අපිට පුළුවන් වෙනස් කරගන්න අපේ තත්වය.”

ලීලාත් මිස් සුරම්‍යාත් තාත්තා දෙස බලා සිටියා මිසෙක කිසිත් නොකීහ.

“කොහොම ද මේක විස්තර කරන්නෙ?” තාත්තා යළිත් සක්මන පටන් ගනියි.

ලීලාත් මිස් සුරම්‍යාත් නිහඬව බලා සිටියහ.

පිටතින් ආ ආලෝකයක් නොමැති වූයෙන් මෙය දහවල දැයි හෝ රාත්‍රිය දැයි දැනගන්නට නොහැකියි. ඔවුනට ඇසුණු දෙබස් ගලා ආ සිරකාමරයේ කතාබහ අවසන් වී පැමිණ සිටියවුන් විසිර ගිහින් ඇත. ඒ පැත්තෙන් කිසිත් හඬක් ඔවුනට ඇසුනේ නැත. එහෙත් දවසක් නිමාවී අඳුර පහත් වෙන්නට සූදානම් නම් ඒ බවට දැනගන්නට මේ කාමරයේ සිටි කිසිවෙකුටත් අවශ්‍යතාවයක් ද නොවීය.

“මෙහෙම බලමු,” තාත්තා පටන් ගනියි, “වැස්සක් වහිනවා කියමු. ධාරානිපාතයක්. ඒක නවත්තන්න විදියක් අපි දන්නෙ නැහැ. ඒක ඇද හැලෙනවා කියල දැනගෙන හිටියත් ඒක වළක්වන්න අපිට බැහැ.”

ලීලාත් මිස් සුරම්‍යාත් එය වැටහුන බව පෙන්වන්නට හිස් වනති.

“ඒත් අපි දන්නවා නම් ඒක වළක්වන්න බැරි වුනාට ඒක ඒ විදියට සිද්ධ වෙනවා කියලා එතකොට අපි පුළුවන් එක්කෝ ඒ වැස්සෙන් බේරිලා ඉන්න වෙන තැනකට යන්න. නැත්නම් ඒ වැස්සෙ දී වුනත් තෙමෙන්නෙ නැතිව ගමනක් යන විදියක්, වාහනයක් හොයාගන්න. එහෙමත් නැතිනම් අපිට පුළුවන් පොඩ්ඩක් තෙමුණට මොකෝ කියලා වැස්සෙන් වැඩ ගන්න හැටි හොයාගන්න. තව තව ඒවා .. අර කරන්න බැරි රාමුව ඇතුලේ කරන්න පුළුවන් දේවල් කොච්චරක් කියලා තියෙනවා ද?”

ඔහු සක්මන නැවතීය.

“වැස්සෙ යන්න සිද්ධ නොවෙන්න ඊට කළින් වැහි දවසකට අවශ්‍ය ඔක්කොම ලෑස්ති කරලා තියාගන්න පුළුවන්,” ඔහු ඔවුන් දෙස බැලුවේය.

“ඒත් හෙට වහිනවා කියල අද දන්නෙ නැත්නම්?”

“අන්න එතැන දී තමයි ලීලා අපි අසරණයන් කියලා හිතෙන්නෙ,” තාත්තා කියයි.

“හෙට සිද්ධ වෙන හැම දෙයක් ගැනම අද දැනගන්න නොහැකියාවත් අර වෙනස් කරන්න බැරි ලෝක සිද්ධාන්තය වෙන්නැති,” මිස් සුරම්‍යා යටිතොල සැපීම මඳකට නවතා දමා ඇත.

“ඉතින් අපි අලුත් දේවල් හොයාගෙන ඒවයෙ බැරි පුළුවන්කම් ගැන දැනගන්නකම් අසරණයි.”

“ඒත් හොයාගන්න හැකි ඇබිත්තෙන් වුනත් වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණයකුත් තියෙනවා නේද අන්කල්?”

“ඔව් මිස්. සමහර විට ඒ ප්‍රමාණය ඇතිවේවි ජීවිතය බේරගන්න,” ඔහු ලීලා දෙස බැලුවේ දයාවෙන් පිරී ගිය දෙනෙතින්. “මයෙ කෙල්ල හොයාගත්තා මාව අරන් මෙහෙට එන හැටි. එහෙදි කතා කරන්න බැරි වුනාය කියල වෑයම අත්හැරලා දැම්මෙ නෑනේ.”

ලීලාට හදිසියේම යමක් මතක් විණ. “ඉතින් තාත්තට ආයේ එන්න ලැබෙන්නෙ අපිට අලුත් අබරණයක් වැස්සකින් පස්සෙ ලැබුනොත් විතරයි ද?”

“ඔව්, අනික් ඒවා ඔක්කොම පාවිච්චි කරලා ඉවරයි,” ඔහු කීවේ අන්න තවත් වෙනස් කරත නොහැකි වූවක් ඔබ සොයාගත්තා කියන ලෙසින්.

ලීලා නූපුරය දෙස බැලුවේ එය තම විලුඹෙන් ගිලිහී නැතැයි සැක හැරගන්නට මෙනි.

“දැන් අපි ඇවිත් ඉන්නෙ මේවා ගැන කතා කරගන්නට ඕන නිසා කියල ද තාත්තා හිතන්නෙ?”

“සමහර විට, එහෙම වෙන්නැති.”

“හරියටම දන්නෑ.”

“නැහැ.”

“හරියටම දැනගන්න විදියකුත් නැහැ.”

“නැහැ.”

“ගමන් යන්න පටන් ගත්තු කාලේ මට එච්චර නිච්චියක් තිබ්බෙ නෑ ඇයි මේ යන්නෙ කියල. ටික දොහක් යද්දි ඒත් තේරුම් ගියා මේවයෙ ගිහින් දැනගන්න ඒවා ජීවිතේට උදව් වෙන වග.”

“තාත්තා ලේඩි ෂැටර්ලිගෙ ආදරවන්තයාව දැකලා තියෙනවා නේද?” කටින් පැන්න වදන් ආපසු එකතු කරගන්නට හැකිනම් කියා සිතී ලීලාගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවිය.

“දුවත් ගියා ද? .. ඒත් ඒ කොහොම ද?”

“නෑ නෑ මම ගියෙ නෑ. දවසක් මගෙ යාළුවෝ ඇවිත් ඉන්න වේලාවෙ .. කවුද ඒ පොතේ නම කියද්දි තාත්තාට අසනීප වෙලා වැඩිය තේරුමක් නැතිව හිටියා වුනත් ඒ නම ඇහිලා ඒ ගැන දන්න බවක් පෙනුණ.”

“ජීවිතේට උදව් වෙන ඒවා?” මිස් සුරම්‍යාගේ ද මුහුණ මඳක් රතු වී ඇත.

“ඒ කාලේ ලීලැයි අම්මයි මායි පොඩ්ඩක් විරසක වෙලා හිටි කාලයක්. බැඳලා අවුරුදු දෙකක් විතර. ලීලා ලැබෙන්න කළියෙන්.”

ලීලාත් මිස් සුරම්‍යාත් නෙත් අයා ඔහු දිහා බලා සිටිති.

“විවාහ ජීවිතයක් පටන් ගත්තම වැටහේවි. ඒ පොතේ වගේ හැම දෙයක්ම අපි කියවපු අනිත් පොත්වල ලියලා තිබුනෙ නැහැනෙ,” මෙවර ඔහුගේ මුහුණ ද රතු වූ සේයාවක් දකින්නට හැකිවිණ.

මාර්තු 1, 2014

කිබිසිනි -හවුල් වෙලා කරන වැඩක් හරියාවි

Filed under: Uncategorized — arunishapiro @ 7:54 පෙ.ව.

ලීලාත්, තාත්තාත්, මිස් සුරම්‍යාත් එකිනෙකා දිහා බැලූහ.

“අපි ඇවිල්ලා තියෙන්නෙ මේ කතාවේ හොඳ හරියකට නෙමෙයි,” ලීලා පහත් ස්වරයෙන් කීවේ තාත්තා නිශ්ශබ්දව ඉන්නැයි කියූ බව නොසලකා හරිමින්.

“වැඩි කාලයක් නැති වෙයි වගේ අපටත්,” මිස් සුරම්‍යා කිව්වෙත් හෙමින්.

“මිස් ආවේ අපිත් එක්ක ද?” තාත්තා ඇසුවේ ඔවුන් දෙදෙනාටත් වඩා අඩු හඬකින්.

“ඔව්, මම ලීලා පොත් අරන් යන්න එන පුස්තකාලේ වැඩ කරන්නෙ.”

“අපේ ගෙදරින්?”

“ඔව් එහෙන් තමයි අපි තුන්දෙනාම එකටමයි ආවේ.”

“මට මතකයක් නෑ.”

“ඔව්, එහෙදි බැරි නිසයි මෙහෙම අපි එන්න හිතුවෙ.”

“අම්මා?” ඔහු ලීලා දිහා බලාගෙන දුකින් අසයි.

“අම්මා ඔක්කොම දන්නවා.”

අල්ලපු කාමරයේ අය සිගරට් ගැන කතාබහ කරනවා ඔවුනට ඇසිණ. එහෙත් කිසිවෙක් ඔවුන්ගේ කතාබහ ඇසී මේ පැත්තට පැමිණියේ නැත. එයින් දිරිමත් වූ ඔවුන් එකිනෙකා ළඟට ළං වූහ.

“මෙහෙම ආවම කරන්න ඕන දේවල්, නැත්නම් කරන්න ඕනෙ නැති දෙයක් ගැන නිකම් දැනෙන හිතෙන විදිය,” ලීලා අනෙක් දෙදෙනා දිහා මාරුවෙන් මාරුවට බලා අසයි, “එහෙම ගතියක් දැනෙනවා ද?”

ඔවුන් දෙදෙනම එසේයැයි හිස් වනමින් එකඟ වූහ.

“මේ වෙලාවෙ?” ලීලා අසයි.

“මුකුත් කරන්න දෙයක් නැහැ කියලා තමයි හිතෙන්නෙ,” මිස් සුරම්‍යා කියයි. තාත්තා ද එයට එකඟත්වය පාමින් හිස සොලවයි.

“මම ගිය එක වතාවක දී, මට ඇහෙන්න ඕන දෙයක් අහගන්න ඉඩ සැලසුනා කියල තමයි මට හිතුනෙ. කිසිම විදියකින් කාටවත් පේන්නෙ නැතිව ඉඳලා,” ලීලා පැහැදිලි කරයි.

“මගේ ගමන් සේරම මට ආපහු ගියාම ප්‍රයෝජනවත් වෙන ඒවා,” තාත්තා පටන් ගත්තට ඔහුගේ මුහුණ හදිසියේම අඳුරු විණ.

“මහතුන් මාමගේ ලොකු පුතා?” ලීලා විමසුවේ මෙතැනින් යන්නට හදිසියේම සිද්ධ වුවොත් යැයි බියෙන්.

“එයා අතුරුදහන් වෙන්න ඇත්තෙ මෙහෙම ඇවිත් කියල මාත් හිතුව. ඉතින් මම මෙහෙම එන එන හැම වතාවක දී ම එයාව හොයන්න පටන් ගත්තා.”

ඔහු හදිසියේ යමක් මතක් වූ ලෙසකින් ලීලා දිහා බැලීය.

“වැස්සකට පස්සෙ අළුත් රත්‍රං බඩුවක් හම්බ වුනාද?”

“ඔව්, එදා තාත්තත් එක්ක ඇවිදින කොට හොයාගත්ත එකෙන් මාත් ගියා. ඊට පස්සෙ ඒකෙන් තාත්තත් ගියා. ආපහු මං ගියාම තමයි එනකොට තාත්තා අසනීප වුනේ.”

“අපි දෙන්නම එකපාර ගිහින්?”

“නෑ. මම හිතන්නෙ කළින් තාත්තා ගියා. ඊට පස්සෙ මං ගිහින් ආවමයි තාත්තා ගියෙ. ඒ කියන්නෙ තාත්තා දෙවැනි වතාවටත් ගිහින් ඇවිත් තිබුණ.”

“ඔව්, දෙපාරයි යන්න පුළුවන්,” තාත්තා ලීලා හා එකඟ වූයේය.

“හරි, මාත් දෙපාරක් ගිය එකක් ආයේ දැම්මම කොහෙවත් ගියෙ නැහැ තමයි,” ලීලා කිව්වේ තමන් එළඹුණ නිගමනය නිවැරදි යැයි දැනගත් සතුටෙන්.

“අළුතෙන් හම්බ වෙච්ච එකෙන් එහෙනම් අපි අර උමගක් හාරන ගෙදරකට ගියෙ.”

“ඔව්, කොහොම ද ඒ ගමන අපිට ප්‍රයෝජනවත් වෙන්නෙ?”

“ඒක නැගෙනහිර ජර්මනියෙ. බටහිර ජර්මනියට පළායන්න තාප්පෙ හදන්න කළින් කපන උමඟක්,” මඳක් නැවතී “මම ඒ කාලෙ පොත් කියවලා තියෙනවා,” යැයි මිස් සුරම්‍යා දිහා බලා ඔහු පවසා ඔහු නිහඬ වූයේය.

“ඒ ගමන ප්‍රයෝජනවත් වෙන විදිය,” ලීලා නැවත මතක් කරයි.

“හවුල් වෙලා කරන වැඩක් හරියාවි කියලා වෙන්නැති,” ඔහු ඔවුන් දෙදෙන වෙත නෙත් යොමු කරමින් කීවේය.

“අන්කල් අසනීප වුනේ ගමනක දී ද?”

“මම එහෙම යන්න පුළුවන්කම තිබ්බට වැඩිය ගියේ නෑ. ඒත් මහතුන්ගෙ කොලුවා අතුරුදහන් වුනාට පස්සෙ ඒ ඉඩම මේ වගේ යන්න පුළුවන් තැනක් කියල හිතුන.”

“අපිට අම්මා කිව්වා ඒ අයියා නිතරම ඉඩම පැත්තෙ ගියා කියල.”

“ඒ නිසා තමයි මාත් හිතුවේ මෙහෙම හැකියවක් ඇතැයි කියල අපේ පවුලෙ තව කෙනෙකුටත්.”

“අන්කල් අසනීප වුනේ?”

“පෙට්ටියෙ තියෙන ඔක්කොම ඉවර වෙනකම් එහෙ මෙහෙ යන්න පටන් ගත්තා කොළුවා හම්බ වෙයි හිතාගෙන.”

“මහන්සි වැඩි වෙලා ආවට පස්සෙ නින්ද යනවා, අර බෙහෙත් අනෝදා බොන්න පටන් ගත්තෙ ඒ නිසා ද?”

“ඒකිත් දන්නවා එහෙනම්?”

“ඔව්, ඔව්, එයා නැත්නම් අපි අද හරි අමාරුවක…” කියන්න ගිය ඉතිරිය ගිලගත් ලීලා දිග හුස්මක් ගෙන, “සමහර විට අළුතින් ලැබිච්ච එකෙන් ඉක්මණින් දෙපාරක් ගිය නිසා වෙන්නැති එහෙනම්,” යැයි හුස්ම පිටකරමින් වාක්‍යය අවසන් කළාය.

පෙබරවාරි 23, 2014

කිබිසිනි -මෙහෙම වෙන්න ඉඩ දීලා ඔබ බලාගෙන ඉන්නවා ද?

Filed under: Uncategorized — arunishapiro @ 8:37 පෙ.ව.

ඔවුන් තිදෙන ඉන්නේ සිරකාමරයක යැයි හඳුනාගන්නට අපහසු නොවිණ.

තමන් තවත් අපූරු ගමනක පැමිණ ඇතැයි වටහා ගත් තාත්තාගේ මුහුණේ සිනාවක් පැතිර ගියත් ලීලා සමඟ සිටින මිස් සුරම්‍යා දැක තාත්තාගේ දෑස් විසල් විය. ඔහු යමක් කියන්නට යද්දී අහල කාමරයක දොරක් හැරී වැසෙන හඬ ඔවුනට ඇසිණ.

“මම ඔබට එව්ව රහසිගත වාර්තා ඔබ කියෙව්ව ද?” පිරිමි කටහඬක් කෙඳිරිගාන ස්වරයකින් අසයි.

අහල කාමරයේ කතාබහට සවන් දෙනවාට වඩා ලීලාට තාත්තා වෙතින් දැනගන්නට ඇති කරුණු කාරණා බොහොමය හනිකට අහන්නට අවශ්‍යයය. එහෙත් ඇයගේ වෙනස් වූ ඉරියව්වෙන් ඇයගේ නොඉවසුම් ගතිය හඳුනාගත් තාත්තා නිහඬව ඉන්න යැයි තොල් වලට ඇඟිල්ලක් තබා සංඥා කළේය.

“මම කියෙව්වා,” සංසුන් හඬකින් දුන් ප්‍රතිචාරයක් ඔවුනට ඇසිණ.

“වැඩි කාලයක් ඉතිරිවෙලා නැහැ,” කෙඳිරිගාන අය කියයි.

“නැහැ.”

“මෙහෙම සිද්ධ වෙන්න ඉඩ දීලා ඔබ බලාගෙන ඉන්නවා ද?”

ඔබ?”

“කොහොම ද දන්නෙ නිශ්චිතවම ඔබ හරියටම හරි කියලා?” තවත් කටහඬක් සද්දය වැඩි නොකරමින් එහෙත් හැඬිල්ලකින් මෙන් ඇසුවේය. “මේ වගේ ඛේදනීය වාතාවරණයක දී, මුළු ලෝකයම විනාශ වෙලා යන්න අවදානමක් තියෙද්දී, ඔයා කොහොම ද ඔයාගේ අදහස් වලම එල්ලිලා ඉන්නෙ?”

“අනුගමනය කරන්න ඕනැයි කියල මම විශ්වස කළ යුත්තෙ එහෙම නම් කාගේ අදහස් ද?”

“ඔයා කොහොම ද දන්නෙ ඔයා නිවැරදි යැයි කියල? කොහොම ද ඔයා දන්නෙ? කාටවත් බැහැ තමන්ගෙ දැනුම ගැන සහතිකයක් තියා ගන්න! කාටවත්ම බැහැ! ඔයා වෙනකාටවත් වඩා වැඩියෙන් හොඳ නැහැ.”

“ඉතින් එහෙම නම් ඔබට මාව අවශ්‍ය කුමකට ද?”

“ඔයා කොහොම ද අනුන්ගේ ජීවිත එක්ක සූදු කෙළින්නෙ? ජනතාවට ඔබේ දැනුම ඕනෑ වෙද්දී අපිට කියා නොදී ඉන්න තරම් ඔයා ආත්මාර්ථකාමී වෙන්නෙ කොහොම ද?”

“එයාලට මගේ අදහස් අවශ්‍ය යැයි කියා ද ඉතින් ඔබ අදහස් කරන්නෙ?”

“කිසිම කෙනෙක් සම්පූර්ණයෙන් හරි හෝ වැරදි නැහැ! කළු සුදු කියලා දෙයක් නැහැ! සත්‍යය ගැන ඔයාට මොනොපොලියක් නැහැ!” කටහඬ අයිති තැනැත්තාගේ ස්වරය හැඬුම්බර බැවින් තවත් වැඩි වෙයි.

“ඔයාට යාන්තමෙන් හරි වගකීමක් ගැන අංශ්‍ර මාත්‍රයක හැඟීමක් තියෙනවා නම්,” ඔහු කියයි, “එහෙනම් මෙවැනි ඛේදනීය අවස්ථාවක දී ඔයා ඔයාගේ තනි විනිශ්චයක් ගැන පමණක් විශ්වාසයක් තියාගන්නෙ නැහැ! ඔයා අපිත් එක්ක එකතුවෙලා ඔයාගෙ අදහස් විතරක් ගැන සලකන්නෙ නැතිව අනිත් අයගේ අදහස් ද සලකලා බලන්න ඕන. අපිත් කියන දේ නිවැරදි වෙන්න පුළුවන් යැයි පිළිගන්න ඕන! ඔයා අපේ සැලසුමට උදව් කරාවි! ඔයා …”

නිහැඬියවක් පැතිරිණ. කවුදෝ පුටුවක් තල්ලු කරමින් නැඟිටින හඬ ගලා ආවේය. කාමරයේ එහාට මෙහාට අඩි තබන සද්දය ඔවුනට ඇසිණ.

“.. ඔයාගෙ හෘදය සාක්ෂිය!” හැඬුම්බර කටහඬ යාප්පු වෙයි. “මම මෙහෙ ආවේ ඔයාගේ හෘදය සාක්ෂියට අභියාචනා කරන්න! දහසක් මිනිස්සුන්ගේ ජීවිත එක්ක ඔයා කොහොම ද ඔයාගේ මනස ඊට වඩා අගයකින් යුතු යැයි කියන්නෙ? මිනිස් ජීවිත අහිමි වෙමින් පවතිනවා – දෙයියන්ගේ නාමයෙන්,” කතා කරන්නා උරණ විය, “එහාට මෙහාට ඇවිදින එක නවත්තන්න!” යැයි ඔහු ගුගුලේය.

අඩි තබන සද්දය නැවතිණ. “ඒක ඕඩර් එකක් ද?”

“නෑ, නෑ!” අනෙක් තැනැත්තා යාප්පු වෙයි. “ඒක ඕඩර් එකක් නෙමෙයි. අපිට අවශ්‍ය නැහැ ඔයාට ඕඩර් දෙන්න .. ජිම්, පොඩ්ඩක් බලාගෙන.”

“ලෝකය හැකිළෙමින් පවතිනවා,” හැඬුම්බර කටහඬ නුරුස්සුම් බවකට හැරී ඇත. “මිනිස් ජීවිත අහිමි වෙමින් පවතිනවා -ඉතින් ඔයාටයි පුළුවන් ඒක නවත්තන්න! කවුද හරි කවුද වැරදි කියලා හොයන එකෙන් ඵලක් තියෙනවා ද? අපි වැරදි යැයි කියලා හිතුවත් ඔයා අපි එක්ක එකතු වෙන්න ඕන, ඔයාගෙ මනස කැප කරන්න ඕනෑ එයාලගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන්!”

“මොකක් පාවිච්චි කරලා ද මම එයාලව බේරගන්නෙ?”

“ඔයා කවුරු කියලා ද ඔයා හිතන්නෙ?” යැයි හැඬිල්ලකින් යුතුව යාදින්නා මුරගෑවේය.

“ඔයා දන්නවා මම කවුද කියල.”

“ඔයා ස්වාර්ථවාදියෙක්!”

“ඔව්.”

“ඔයා මොන විදියෙ ස්වාර්ථවාදියෙක් ද කියලා ඔයා දන්නවා ද?”

ඔබ දන්නවා ද?” පිළිතුරු දුන් ස්වරය තියුණු විය.

Older Posts »

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.