Sinhala story Blog

මැයි 5, 2017

සමාවෙන්න: වෙන පිරිවිතරයකින් 5

Filed under: Uncategorized — arunishapiro @ 7:44 පෙ.ව.

මම නැඟිටිද්දී, මට මුලින්ම දැනගත්තේ හැරී ජූනියර් බෙරිහන් දෙන හඬයි. වැනි වැනී හිටගත් මම කෙඳිරි ගාන්නට පටන් ගත් මේබල්ගේ සිරැර උඩින් පා තැබුවෙමි. දරුවාගේ කාමරයට ගොස් මම බබා ඔසවාගත්තෙමි. “අඬන්න එපා,” මම යාප්පු වීමි. “තරහා වෙන්න එපා. මම ඔයාගේ ඩ්‍රින්කෝ ආයෙ ගෙනැල්ල දෙන්නම්. උන් පල් හොරු, මම ඒක ආපහු ගන්නම්.” ඔහුව එක කිහිල්ලක් අස්සේ රඳවා ගත්තමි, ඔහුගේ කලිසමෙන් තෙත් බිංදු බේරි වැටෙයි. මම හිතන්නෙ මාව පෙනුනෙ පිකිනීස් බල්ලෙක් වගේ, මගේ කොණ්ඩෙ මගේ ඇස් වැහෙන්න වැටිලා. මම ‘කතනය වෙත ගියෙමි, හැරීගේ අංකය ඩයල් කළෙමි, කළින් සිද්ධියම නැවත දිග හැරැණි.

“මට වැරදි පිරිවිතරයක් ලැබී නැහැ,” සම්බන්ධීකරැවා විසන්ධි කරන්නට පෙර මම හයියෙන් කියන්නට සමත් වීමි. “මේක හදිසියක්. වංචාකාරයෝ දෙන්නෙක් මගේ ඩින්ක්‍රෝව හොරකම් කළා. කරුණාකරල මට දෙන්න පිරිවිතර පොලීසිය.”

“ඔයාට ඩ්‍රින්කෝ එකෙක් ඉන්නව?” සම්බන්ධීකරුවා ප්‍රවේසම් සහගතව විමසීය. “මොකක් හරි වැරැද්දක් සිද්ධ වෙලා තියනව. ඔයා කතා කරන්නෙ පෘතුවියේ ඉඳල? 1954 න්? මට සමාවෙන්න. පිරිවිතර පද්ධතියට 1954 පෘතුවිය සම්බන්ධ නොවිය යුතුයි කියල කොංග්‍රසය තීරණය කළා. ඩ්‍රින්කෝ කෙනෙක් අයිති කරගන්න ඔයාට කොහෙත්ම බැහැ.”

“වංචාකාරයෝ දෙන්නෙක් මගේ ඩ්‍රින්කෝව හොරකම් කළා!” මම තරයේ කියා සිටියෙමි.

“මිනිත්තුවක් දෙන්න, කරුණාකරල. සුපවයිසර් කියනව මේක අවසර නැතිව කරන කෝල් එකක්ය කියල. පොලිස් පරීක්ෂණයක් පවත්වන්න අවශ්‍ය වේවි.” ක්ලික් හඬවල් ඇසුණි. බසර හඬ ඇසුණි. පැහැදිලි නැති ඈතක සිද්ධ වූ කතාබහ ඇසුණි. අවසානයේ පොලීසිය පැමිණියහ.

“වංචාකාරයෝ දෙන්නෙක් මගේ බබාගේ ඩ්‍රින්කෝව හොරකම් කළා!” හඬ වැඩිකර මම නැවත කිව්වෙමි. “පිරිවිතර-පුරවැසියෙක් හැටියට මම මගේ අයිතීන් ඉල්ලා සිටිනව.”

“හොරු දෙන්නෙක් ඔබේ ඩ්‍රින්කෝව බලයෙන් සතු කරගත්ත,” දයාවක් නැති කටහඬක් කියා සිටියේය. “ඉතින් එහෙනම්. කරුණාකරල එයාලව විස්තර කරන්න. චරිතය ගැන කෙටියෙන්, ඔවුන් පළ කරපු හැඟීම්, සහ ඔවුන්ගේ කටහඬවල් හැසිරුවේ කොහොමදැයි කියලත් කියන්න.” මම ඒවා විස්තර කළෙමි. “හරි හොඳයි. ඔයා කිව්වෙ 1954 පෘතුවිය කියල ද? විශිෂ්ටයි. පිරිවිතර හයක් සහ වසර තිහක් පමණ දෙයක්. අපි වහාම පරීක්ෂණය පවත්වන්නම්.” ඔහු ඇමතුම විසන්ධි කළේය.

“හායි, ස්ටෙලා,” මේබල් කීය, ඇය එක වැලමිටකට හේත්තු වී නැඟිට අපහැදිලි ගතියකින් මා දෙස බලා සිටින්නීය. “බිල්ගෙ රෑ කෑම උදුනට දාන කාලය පරක්කු නොවී මේකෙන් ගැලවෙන්න මට පුළුවන් වෙයි කියල ඔයා හිතනව ද? රෑ කෑම පොඩ්ඩ පරක්කු වුනොත් බිල් අමනාප වෙනව.”

“එහෙනම් එයාට පාඩමක් උගන්වන්න,” ඇය සමඟ උරණ වී මම තරහෙන් කියා එවර කවුදෝ තට්ටු කරන නිසා දොර වෙත දිව්වෙමි. “එයාව හදාගන්න. එයාගෙ බලාපොරොත්තු කඩකරන්න. එයාගේ හැදියාව කඩන්න. රෑ කෑම හදන්න එපා. සුබ රාත්‍රියක්, මහත්වරුනි,” දොර අරින ගමන් මම කීවෙමි. පොලීස් නිලධාරීන් ඇතුලට ආහ. ඔවුන් බීනි අල්ලාගෙන සිටියහ. ඔවුන් ජේක් අල්ලාගෙන සිටියහ.

පොලිස් නිලධාරීන් තිදෙනෙක් වූහ. ඉදිරියෙන් වූ අය, තරුණ, හොඳ පෙනුමින් යුතු අය, ඔහුගේ කැප් තොප්පිය අත ගා හඬ නොනඟා සිනාවක් පෑය. “මෑ’ම්, මෙන්න ඔයාගෙ ඩ්‍රින්කෝ,” ඔහු කීය, නමුත් මා ඒ වනවිටත් ඩ්‍රින්කෝ නැවත ඇවිත් යැයි දැන සිටියෙමි. හැරී ජූනියර් හැඬීම නවත්වා ඇත. ඔහු සතුටින් සුරතල් බස් කියයි. ඔහුට ඩ්‍රින්කෝ පෙනෙනවා ඇතැයි ඔට්ටු අල්ලන්න වුනත් මම සූදානම්. මම ඔහුව බිම තැබුවෙමි. පොලිස් නිලධාරියා ඩ්‍රින්කෝව බිම තැබුවේය. එය සුන්දර විය, මගේ බබා වෙතින් ගලා ගිය ඒ සතුටු සිනා හඬ. තරුණ පොලිස් නිලධාරියා නැවතත් සිනාවක් පෑය, නිහඬ, හොඳින් රන්වන් වූ මුහුණකින් පෑ සිනාවක්.

“මෑ’ම්, අපිට ඕන ඔබට ස්තූති කරන්න. මේ දෙන්න තමයි පිරිවිතර පද්ධතියෙම ඉන්න නරකම අපරාධකරුවන් දෙන්න. ඔවුන්ව අල්ලගන්නට අපිට උදව් කිරීමට තෑග්ගක් වශයෙන් ඩ්‍රින්කෝව තියාගන්න ඔබට පුළුවන් කියල කියන්න මම කැමතියි. ඒ වගේම, මම කැමතියි කියන්න පිරිවිතර-පුරවැසියෙක් වගේ පෙනී සිටීමේ ඔබේ ට්‍රිපෝ එක ගැන මා ඔබව අගය කරනවා කියලත්, මොකද, ඇත්තෙන්ම, ඔයා එය නොවෙද්දී.”

“ට්‍රිපෝ?”

“එඩිතර, ඒක වඩා කැමති නම්.”

“ඉතින්, මට මගේ බබාගේ ඩ්‍රින්කෝ ආපහු ගෙන්න ගන්න ඕන වුණා,” මම කීවෙමි.

“ඇත්තෙන්ම,” ඔහු සිනාවක් පෑය. “ඩ්‍රින්කෝලා කදිම සුරතල් සත්තු. 1954 පෘතුවිය පිරිවිතර-පද්ධතිය එක්ක එකතුවෙන දිනය ඒවා කවද හරි -එතකොට තව ඩ්‍රින්කෝල ලබාගන්න හැකියාව ලැබේවි.”

“අපිට බැරිද,” මම ඇහුවෙමි, “අපේ මේ නිහඬ පුංචි අවකාශයේ තනියම ඔහෙ අපේ පාඩුවේ ඉන්න?”

“මම හිතුවෙත් ඒකම තමයි,” මේබල් කීය, නැඟිටගන්නට සමත් වූ ඇය කොණ්ඩය පිටුපසට ගසා දැමීය. “අනික, මෙතනින් ගැලවෙන්න හැකි චාන්ස් එකක් ඇද්ද? මෙතන හරියට හද ඉපිලන, ත්‍රාසය ඇතිකරන, රොමැන්තික වූ තැනක්, ඒත් බිල්ට කන්න ඕන.”

“වහාම, මැඩම්! සුළු වැඩක්, කාල-අවකාශයේ නියුට්‍රොනික් ක්‍රොනො-ෆීල්ඩ් එකේ තියන ග්‍රැවිටොනික් ව්‍යුහය එක්ක පැටලැවිල තියෙන ක්‍රොනො-බීම් එකෙන් අයින්කරන එක විතරයි.”

“හා!” මේබල් කීවේය. “ඒකයි වෙලා තියෙන්නෙ එහෙනම්! ඔය හොඳට පැහැදිලි කළේ!”

ජේක් සහ බීනි සතුව තිබූ උපකරණය හා සමාන වූවක් ඔවුන් ලැහැස්ති කළහ. කාමරයේ විකර්ණයන් සොයා ඒ අනුව බොත්තම් එබූහ. අනතුරුව ඔවුන් දොර විවෘත කළහ. “මිනිත්තු දෙකකින්, මෑ’ම්,” සිනා පෑ පොලිස් නිලධාරියා කීය. “සුබ දවසක්, මගේ බලාපොරොත්තුව අපි ආයේ දවසක හමුවේවි කියල.” ඔවුන් දොරෙන් පිටව නොපෙනී ගියහ. සහතිකයෙන්ම, අළු හුමාලයේ එල්ලෙමින් කේක්-පෑන් හැඩයක නැවක් තිබ්බ. ඔවුන්ට ඒකට එකා පස්සෙ එකා නැඟල, එහාට මෙහාට හෙලවෙද්දී නැව පිටවෙලා මට තව දුරටත් නොපෙනෙන ඈතකට ගියා.

තව මිනිත්තුවක් යද්දී අළු හුමාලය දියවෙලා ගියා, මේබල් ද ඒ සමඟින් පිටවෙලා ගියා.

හැමදාම එන වේලාවට හැරී ගෙදර ආව. “බබා අද දවසෙම පොඩ්ඩක්වත් ඇඬුවෙ නැති තරම්!” මම ඔහුට සතුටින් කිව්ව. “ලොකු අස්වැසිල්ලක්! ඔයාගෙ ඇඳුම් ගොඩක් අණ්ඩ දාන්න මට හැකිවුණා සහ මම සැටඩේ ඉව්නින් පෝස්ට් තුනක කොටස් වශයෙන් පළවෙන කතා කියෙව්ව.”

“හරි හොඳයි!” වටපිට බලමින් හැරී කීවේය. “වෙන මොනව ද වුනේ?”

“වැඩි දෙයක් නෑ,” ඔහුට සිද්ධිය ටිකින් ටික දිගහරින්නට අදිටන් කරගත් මම කීවෙමි, “අපිට ඩ්‍රින්කෝ කෙනෙක් ඉන්නවා හැරෙන්නට.” මම ඔහුව බබාගේ කාමරයට එක්කගෙන ගියෙමි. බබා හොඳින් නිදා සිටියි. ඩ්‍රින්කෝ ද නිදාගෙන ඇති. “අර ඉන්නෙ එයා,” තොටිල්ල පාමුල ඇති වළ ගැසීමට අත දිගු කරමින් මම කීවෙමි. “ඒ තමයි ඩ්‍රින්කො.” මම හැරීට සම්පූර්ණ කතාව කියුවෙමි. ඔහු සිනා නොවී අසාගෙන සිටියේය.

“ඉතින්!” ඔහු කීය. “කොච්චර ත්‍රාසජනක වික්‍රමාන්තයන් ද ඔයාට තිබිල තියෙන්නෙ. කියන්න මට, මේ වගේ දේවල් සමහර විටෙක ත්‍රාසජනක වැඩිවෙන්න පුළුවන් නේද?”

“පොඩ්ඩක් වත් එහෙම වෙන්නෙ නෑ,” එයාට එය නිසි ලෙසින් හඟිස්සවන්නට පෙර එයාගෙ බඩ පුරවන්නට තීරණය කරගත් මම කීවෙමි. “ඔය ඔක්කොම වැටෙන්නෙ අඳුරු ඒකාකාරී වූ ගෘහණියකගේ වගකීම් යටතේ. එන්න දැන්, රෑ කෑම ලෑස්තියි.”

නිමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.