Sinhala story Blog

ජූනි 5, 2012

කාන්තාවන් විසින් යුද්ධයක් අවලංගු කරන ලදි

Filed under: Uncategorized — sinhalashortstories @ 6:40 පෙ.ව.

ආරක්ෂක ලේකම්වරයා නැගෙනහිර මුහුදු වෙරළේ පුහුණුව නවත්වන විධානය නිකුත් කළේ පැය හයකින් පසුව ය.

ඊට හේතු ගණනාවකි. ප්‍රධාන වූ හේතුව නම් තව දුරටත් ජනතාව එය පිළිනොපැදීමයි. පුහුණුව අවසන් කරනවා හැරෙන්නට වෙනත් තෝරා ගැනීමක් නැති බව ඔහුට පෙනී ගියේය. ඒකීය පුද්ගලත්වය අගයන දීර්ඝ ඉතිහාසයක් ඇති රටක කිසිත් ජන කොට්ඨාශයක්, වඩාත්ම විශාල ජනගහණයක් ආණ්ඩු කරන්නට ඉතාමත් ම ස්වල්ප වූ නීති රැසක් ප්‍රිය කරන ජන කොට්ඨාශයක්, කිසිත් හේතුවක් පෙන්වන්නේ නැතිව සහ ඉවර වෙන්නේ කොයි වේලාවේ දැයි නොකියා ගෙවල් වල හා කඳවුරු වල රඳවා තැබීම අපහසුය. රේඩියෝ, රූපවාහිනි, සීතකරණ සහ අයිස් දැමූ බීම, කෝපි කෝප්ප හා විස්කි වීදුරු හෝ බියර් වීදුරු නැතිව වඩාත් කාලයක් ඔවුන්ව රඳවා ගන්නට නොහැකිය.

එසේ ඉන්නවාට වඩා මරණය සැපයි කියා අවදානමක් ගන්නා අය වැඩි ය. තමන්ට උවමනා පහසුකම් නැතිව සිටීම එක්තරා අකාරයක ජීවත්වන මරණයක් යැයි ඔවුන්ගේ අදහසයි. දරුවන් වෙතින් වෙන් වූ මව්වරුන් පැය දෙකකට වඩා කාලයක් බලා සිටින්නට කැමති වූයේ නැත. ආරක්ෂිත කඳවුරු බාරකරුවන්ගේ ආයාචනා වලින් හෝ පොලීසියට දන්වනවා යැයි කියූ තරවටු වලින් ද ඵලක් නොවීය. ඔවුන්ගේ නිවෙස් වල ඉන්නා සේ ඔවුන්ගේ ආරක්ෂාව සැලසෙනවා යැයි කියූ වදන් හෝ දේශප්‍රේමීත්වය ගැන කියූ වදන් වලින් ද කිසිත් වැඩක් නැත. කුමන මොහොතක දී හෝ හැන්දක් පුරවන තරම් වූ අළු ගොඩක් බවට පත්වෙන අවදානම ඉදිරියේ මව්වරුන් නිවෙස් වලින් පිට වූයේ කාන්තාවන්ට සුවිශේෂී වූ දරුණු කෝපයෙන් තමන්ව තම දරුවන් කරා රැගෙන යන්න යැයි ඉල්ලන ගෝරනාඩු වලිනි.

ඔවුන්ගේ උදහස හමුවේ සිවිල් ආරක්ෂක සංවිධානයේ හමුදාවන් අසරණ වූහ. කාන්තාවන් ජයගත්හ. නිවාස වූ පැතිවල නිල වශයෙන් පුහුණුව තියෙනවා යැයි කියුවත් එහි නීති රකින්නට කිසිවෙක් වූයේ නැත. මෙය නිව් යෝර්ක් අවට පමණක් නොව බොස්ටන් හි ද, ෆිලඩෙල්ෆියාවේ ද, වොෂිටන් ඩී.සී. අවට ද සහ රෝඩ් අයිලන්ඩ් හි ප්‍රොවෙඩන්ස් නගරයේ ද දකින්නට හැකි විය. ප්‍රථම වරට ඇමෙරිකාවේ, සමහර විට මුළු ලෝකයේ වෙන්නටත් පුළුවන, කාන්තාවන් විසින් යුද්ධයක් අවලංගු කරන ලදි.

නගරයේ මැද උද්ඝෝෂණ හටගන්නට ඊට වඩා කාලයක් ගත විය. පුහුණුව නිසා එහි හිරවූයේ වැඩි වශයෙන් පිරිමි අයයි. පරම්පරා ගණනාවක් තිස්සේ සක්‍රීයව යුද වැදීම නිසා පිරිමින් ගාල් කිරීමේ අවශ්‍යතාවයට හුරු වී තිබිණ. ඒ නිසා ආරක්ෂිත කඳවුරු වල උද්ඝෝෂණ හටගන්නට ඔවුනට පැය තුන හතරක් ගියේය. නිව් යෝර්ක් නගරයේ අඟහරු ලොවෙන් ආ මිනිස්සු ගැන කටකතාවත්, පියාඹන පීරිසි වලින් පාත් වූ අය ගැන කට කතාවත් පැතිර යද්දී මුලින් ම තැති ගැන්මක් පටන් ගති. තැති ගැන්මට පසු බොරු නිර්භීතකම, මවා පා පෙන්වන චණ්ඩිකම මතු විය. එයින් පසු “ජනේලයෙන් පෙනෙන බලු පැටියා” යනාදී සිංදු ගැයෙන්නට පටන් ගති. එහෙත් අනතුරුව කිසිත් සිද්ධ නොවූ නිසා නොසන්සුන්තාවය පැතිර ගියේය. නොඉවසිලිවන්ත බව උද්ඝෝෂණයක් බවට හැරී උමං දුම්රිය තොටුපළ වල වූ ආරක්ෂිත කඳවුරු වලින් තම නිවෙස් බලා යන්නට ඔවුන් තරයේ ඉල්ලා සිටියහ.

නිව් යෝර්ක් නගරයේ තත්වය පාලනය කරන්නට ආරක්ෂක ලේකම්වරයා හැකි තාක් වෑයම් ගත්ත ද, අඟහරු ලොවෙන් ආ මිනිස්සු ගැන වූ කටකතාව නවතන්නට සිවිල් ආරක්ෂක ප්‍රධානියා, ජනරාල් ස්නිපෙට් පවා පිටත් කර හැරිය ද, ඉන් ඵලක් සිදු වී නැත. ඔහුව යවා පැය තුනක් ගත වී ඇතත් ජනරාල් ස්නිපෙට් වෙතින් කිසිම වාර්තාවක් නැත. ජනගහණය පාලනය කරගත නොහැකි යැයි කියන වාර්තා හැම පැත්තෙන් ම ගලා එන්නට විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.