Sinhala story Blog

මැයි 17, 2010

බ්‍යාමප්‍රභාව 4.22 -මේ තමාරා දාබරේ

Filed under: Uncategorized — sinhalashortstories @ 2:17 ප.ව.

“අපරාදේ ඔයා මරුතිය විකුණලා දැම්මෙ,” සමන්ත නිවාඩු මාසයකට ලංකාවට ඇවිත්. ඔහුට යා යුතු තැන් බොහෝය. හමුවිය යුත්තෝ ගණනාවකි. ගෙදර ඉන්නේ නිදා ගන්නා කාලය පමණි.

“ඔයා එනකම් ස්ටාට් නොකර තියාගන්නයැ,” ප්‍රීනි සිය ලිපිගොණුවල ඇහැ ගහගෙන.

බරාස් ගා වාහනයේ තදින් තිරිංග පාරක්. ප්‍රීනිගෙ ඔඩොක්කුවෙ තිබුණ කඩදාසි කකුල් ළඟට වැටුණ. බිම නැවිලා සාරියේ වාටිය පැත්තකට කරල කොළ එකතු කරන කොට සමන්ත ආයෙත් තිරිංග තද කරනවා.

“දවසක් යනවා වැඩක් කරගන්න,” සමන්තගේ කෙඳිරිල්ල ප්‍රීනිට කරදරයකි.

වාහන තදබදයක් නොමැති පළාතක කාලයක් වාසය කළ අයෙක් නැවතත් කලබැගෑනියට හුරුවන්නේ අමනාපයෙනි. ප්‍රීනි විකුණලා දැම්මේ ඇයගේ රතුපාට මරුතියයි. ඇය සමන්තගේ ටොයෝටා රථය පාවිච්චි කරන්නේ දරුවන් දෙදෙනාද තම දෙමව්පියන්ද කැටුව යන්නට එහි පහසු ඉඩකඩ ඇති හෙයිනි. සමන්තගේ නොමනාපය වැඩි වන්නේ ඔහුට අවශ්‍ය විටෙක අවශ්‍ය තැනට යන්නට වාහනයක් නැතිකමට. හැම ගමනක්ම තීරණය වන්නේ දරු දෙදෙනා, ප්‍රීනිගේ දෙමව්පියන්, ප්‍රීනිගේ රාජකාරී කටයුතු හා අවසානයේ සමන්තට අවශ්‍ය කටයුත්ත යන පිළිවෙලට.

“දෙන්නට අපේ ගෙදරට එන්න කිව්ව නම් හරි,” සමන්ත කියයි.

“අයිය මල්ලි බලන්න පස්සෙ දවසක ගෙදෙට්ට එනවා,” ප්‍රීනි කියයි.

“ඉතින් එහෙනම් මෙහෙදිත් හම්බවෙන්නෙ මොකටද?” සමන්ත ඇසුවේ දැනගන්න.

“රුක්ෂානිට වැඩ ගොඩයි. බිස්නස් එකේ වැඩයි. සාගරගෙ පවුලෙ අය හමුවෙන්නයි,” ප්‍රීනි කියාගෙන යන්නේ තවමත් ලිපිගොණුවේ විවිධ තැන් කියවමිනි.

“ඉතින් අපිට වැඩ නෑ කියල ද එයා හිතන්නෙ,” සමන්තගේ අමනාප ස්වරය ප්‍රීනිගේ නිරීක්ෂණ මීටරයට වැටුනෙ නැහැ.

“අද යන්නෙ සාගරව මුණ ගැහෙන්න. බබාල බලන්න රුක්ෂානි තනියම එනවා කිව්ව,” ප්‍රීනි හා රුක්ෂානි කතා කරගත් හමුවීම් ඔවුන් දෙදෙනාගේ පහසුව මිස සමන්තගේ පහසුව ගැන සොයා බලා තීරණය කරන ලද්දක් නොවේ.

සමන්තත් ප්‍රීනිත් වාහනය නතර කළේ‍ ගෝල්ෆේස් හෝටලයේ රථගාලේ. රුක්ෂානි හා සාගර දෙදෙනා එහි ආලින්දයේ අවන්හලෙහි මුහුද පැත්තට මුහුණලා වූ හාන්සි පුටුවල වාඩිවී පළතුරු පාන අතැතිව සිනහ මුහුණින් බලා සිටිති. එකිනෙකා හඳුනාගෙන කතාබහට මුල පුරන්නට ඔවුන් ළං කරගත් හාන්සි පුටුවලට බර දුන්හ.

“ලොකු මැණිකට හරි වයසයි දැන්. ඒත් අපිට උයන්න හදනවා තුන් වේලම. පැනලා මේ පැත්තට ආවේ එයාට විවේකයක් දෙන්න,” රුක්ෂානි කියයි.

“ගෙදට්ට එන්න කිව්වෙ නැත්තෙ මට නම් ගෙයක් නැති නිසා,” සාගර සිනා පිරි මුහුණින් කියන්නේ කිසිම පසුතැවිල්ලක් නැතිව.

“ඔයා දන්නවද සමන්ත දැන් චූටි මැණිකා මහරගම කැන්සර් හොස්පිටල් එකේ වැඩ කරන්නෙ,” ප්‍රීනි තමනට කියන්නට අමතක වූ විස්තරයක් සමන්තගේ කණ තැබුවාය.

“මෙයා අයියා මල්ලිට ඉක්කාවක් ගියත් මට ලියනවා. කතා කරාමත් අයියා අරක කරනවා මල්ලි මේක කරනවා කියනවා මිසක් මට රටේ ලෝකෙ වෙන කිසිම දෙයක් ගැන කියන්නෑ,” සමන්ත රුක්ෂානිටත් සාගරටත් කියුවේ ඔවුන් ගැන යමක් නොදන්නවා නම් තරහ නොවන්න යයි කියාද එකතු කරමිනි.

ඔවුන් ක‍ට්ලට්, පැටිස් හා චයිනීස් රෝල් කිහිපයක් ගෙන්වා ගත්හ. දෙහි යුෂ පානයක් ඉල්ලා ගත් ප්‍රීනි අනුගමනය කරමින් සමන්තද එයම ගෙන්වා ගත්තේ දහදිය වැගිරෙන දහවල පෙන දමන සීතල බියර් වීදුරුවක් බොන්නට ඇති ආශාව යටපත් කරගනිමිනි. තනිවම බියර් බොන්නට ඔහු අදිමදියි.

මුහුදේ ඝෝෂාව පසුබිම් සංගීතය සපයයි. ආගිය කතාබහටත්, අතීතයේ කවුරු කෙසේ හමු වූවාද යන මතකයන් අවදි කරන්නටත් පටන් ගත් කල අද දිනයේ කළ යුතු වූ තවත් වැඩ රාශියක් හිතේ තිබූ බව සමන්තටද අමතකවී ගියේය.

හාන්සි පුටු දෙකක දිගාවී සිටියත් රුක්ෂානි හා සාගර ඉඳහිට එකිනෙකාගේ අත් අල්ලා ගනිති. රසවත් යමක් පිළිබඳ විස්තර බෙදාගත් විට තවත් බෙදා නොගත් යමක් ඔවුන් ඇස් වලින් එකිනෙකා සමඟ රස විඳිති.

රුක්ෂානිගේ දඟ වැඩවලට කැමති සාගර වගේ කෙනෙක් එයාට මුණ ගැහිච්ච එක හොඳයි යයි ප්‍රීනි සිතුවාය. අපි ජීවිතේ බර කරට අරන් වැඩි යයි සමන්ත සිතුවේය.

අත්ඔරලෝසුව දිහා බලා ප්‍රීනි යන්නට වේලාව පැමිණ ඇතැයි කියූ කල රුක්ෂානි හා සාගර ඔවුන් හා පිටත්ව යන්නට නැඟිට සිටියහ.

“හලෝ සමන්ත කවදද ලංකාවට ආවේ?”

“ආ. මේ තමාරා. මම ඇවිත් සති දෙකක් විතර,” සමන්ත තටමන්නේ තමාරා හා බැඳි කුමක් හෝ ඒ නුසුදුසු සිද්ධිය සිහියට නඟා ගත නොහැකිව.

“හලෝ රුක්ෂානි, ගොඩක් ක‍ාලෙකින්,” තමාරා දාබරේ සතුටින් රුක්ෂානිගේ කම්මුල් දෙකට වායූ හාදු දෙන්නීය.

“මේ සාගර මගේ සැමියා. මේ තමාරා දාබරේ.”

රුක්ෂානි එකිනෙකා හඳුන්වා දෙන විට සාගර සමඟ වචනින් නොකියූ දේ ඇස්වලින් බෙදා ගන්නා ආකරය ප්‍රීනි දුටුවාය. මෙයා හැම දෙයක්ම සාගරට කියා ඇතිබව දැන් ප්‍රීනිට සැකයක් නැත. සාගරගේ අත තම අත් දෙකින්ම අල්ලා ගෙන ඉහළ පහළ හෙළන තමාරා දාබරේ මඳක් කුදුවී ඉරට්ටක් මෙන් කෙට්ටුවී ඇතැයි ප්‍රීනිට සි‍ෙතයි.

“ඔයා හොඳින් ඉන්න බව පෙනුමෙන් කියන්න පුළුවන්,” තමා වෙතට හැරෙන තමාරාට ප්‍රීනි සිනාමුසු මුහුණින් පවසන්නීය.

“හලෝ ප්‍රීනි. බබාල දෙන්නෙකුත් ලැබුණට තාමත් ඔයා ඉස්සර වගේම ලස්සනයි. පොඩ්ඩක්වත් වෙනස් නැහැ,” තමාරා දාබරේ ප්‍රීනිගේ කම්මුල් අහලින් මුවාහ් මුවාහ් කියා හාදු දෙයි. තමන් මූණිච්චාවට කිව්වත් තමාරා කියන්නේ සත්‍යයක් යයි සිතා ප්‍රීනි සතුටු වූවාය.

‍‍‍”සමන්ත දන්නවද? රොෂ්නිත් හාවඩ් ඉන්නෙ.”

ඔවුන් හතරදෙනාගෙන් සමුගෙන යමින් තමාරා කියා ගියාය.

“කවුද රොෂ්නි කියන්නෙ?” ප්‍රීනි සමන්තගෙන් අසයි.

“කවුද? කාවද? කවුද?” යයි තටමද්දි සමන්තට මතක් වුනා තමාරාව අන්තිමට දැක්කෙ කොහේදීද කියා.

“හාවඩ් ගිය අයයි, ඉන්න අයයි, යන අයයි සේරම සමන්ත දන්නවා කියල ලංකාවේ අය හිතනවා ද කොහෙද?” සාගර කිව්වේ සමන්ත අපහසුතාවයක වැටී සිටින බව ඉවෙන් මෙන් දැනගෙන.

“අයියා මල්ලි බලන්න මම බදාදා එනවා ප්‍රීනි,” රුක්ෂානි තමාරා අනුකරණය කරමින් සමු ගන්නට ප්‍රීනිගේ කම්මුල් දෙපැත්තෙන් වායු හාදු දුන්නේ සැවොම සිනහා ගස්සවමිනි.

‍ගෝල්ෆේස් හෝටලයෙන් එළියට එද්දී ලී කැටයම් දැමූ පත දොර අබියස සේවයේ යෙදී සිටි වයෝවෘද්ධ දොරටුපාලකයා අසලට ගොස් අත්ල එකතුකර ගිහින් එන්නම් කියා සමුගන්නටද රුක්ෂානි අමතක නොකළාය. චට්ටු කුට්ටන් මහත්තයා ඇය කුඩා කාලයේ සිටම දන්නා හඳුනන එහි සේවයේ යෙදෙන හෝටලයේ වයසැතිම සේවකයාය.

******
පසුව එකතු කරන ලදි: කාංචනමාලා නම මුලින් ලියූ නම වුවත්, එම නම මෙහි වෙනත් තැනක ගුරුවරියක් හැටියට සඳහන් කර ඇති නිසා, එය රොෂ්නි යන නමට වෙනස් කළෙමි.

එක් ප්‍රතිචාරයක් »

  1. […] This post was mentioned on Twitter by Kottu. Kottu said: බ්‍යාමප්‍රභාව 4.22 -මේ තමාරා දාබරේ http://bit.ly/a7eWjx […]

    පින්ග්කිරීම විසින් Tweets that mention බ්‍යාමප්‍රභාව 4.22 -මේ තමාරා දාබරේ « Sinhala story Blog -- Topsy.com — මැයි 17, 2010 @ 5:35 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: