ස්ථානය කැනඩාවේ නැගෙනහිර මුහුදු කෙළවරක ඇති පෙගීස් කෝව් නැමැති පුංචි වරායයි. මේ සංචාරකයන් නැති හේමන්ත පරිසරයේ හිම මිදෙන කාලයයි. පේගීස් කෝව් පොයින්ට් ලයිට්හවුස් නමින් හැඳින්වෙන ප්‍රදීපාගාරය අසල ගල් පොත්තක වාඩිවී ඇඳගෙන සිටින හිමකබා තුලට පවා දැනෙන සීතල සුළඟින් ගැලෙවන්නට එකිනෙකාට තුරුල්වූ නව යුවළකි. ඔවුන් ගත කරන්නේ ඔවුන්ගේ මධුසමයයි. ඔවුන් නැවතී සිටින්නේ පෙගීස් කෝව් ගමේ ඇති ඇඳක් හා උදේ කෑම පමණක් දෙන නවාතැනේ. ඔවුන්ගේ දෙනෙත් යොමුවී ඇත්තේ මඟීන් තුන්සියයකට ආසන්න පිරිසක් බිළිගත් ගුවන්යානයක් කඩා වැටුණු වරාය වෙතටයි.
“කොහොමද රුක්ෂානිගෙ තොරතුරු?”
“පිස්සි වගේ හැම තැනම යනවා එයාගේ ගේම් එක හදාගන්න.”
“වැඩ වැඩි එක හොඳයි. හිත හිත ඉන්නවාට වඩා. අපි මෙහෙ ආවා කියලා කිව්වද?”
“නෑ. කාටවත් කිව්වෙ නෑ තාම. ප්‍රීනිට මාස තුන පහුවුනා. සමන්ත හෙට අනිද්දා හාවඩ් යන්න ලැහැස්තියි. සංජීවනීට රස්සාව ලැබුණ විතරයි. කාටවත් එන්නත් බැහැ. අනික ආච්චිට නොකියා කාටවත් කියන්නත්…”
“ඔයාට දුකයි ද වෙඩින් එකක් ගත්තෙ නෑ කියලා?”
“එහෙම හීනයක් මට තිබුනෙ නෑ රමේෂ්.”
“එන්න අපි ස්මාරකය පැත්තෙ ඇවිදින්න යමු.”
රමේෂ් හසන්තිගේ අත අල්ලාගෙන පුංචි ගමේ හැම තැනම ඇවිද්දා. ගමේ ඉන්න වැසියන් හතළිස්පස් දෙනාම වාගේ ඔවුන්ට අත වැනූහ. ඔවුන්ගේ මධුසමය සති අන්තයේ දින දෙකක් පමණි. රමේෂ් නැවතත් සිය සීමාවාසිකයට යා යුතුය. හසන්ති නැවතත් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ යුතුය. සංචාරකයන් එන නිවාඩු කාලයක මෙම ස්ථානයේ බරපැන දරන්නට ඔවුන් දෙදෙනාටම වත්කමක් නැත. ඒ නිසා සංචාරකයන් නැති හේමන්තයේ දවසක් ඔවුන් විවාහවන්නටත් මධුසමය ගෙවන්නටත් තෝරා ගත්හ.
සූ’වෙස්ටර් අවන්හලේ පොකිරිස්සන් කෑම ඔවුන්ගේ මඟුල් දිනයේ දිවා ආහාරය විය.
“මේක පටන් අරන් තියෙන්නෙ 1968 දී මේස පහකින්.”
හසන්ති පොකිරිස්සා කන්නට පෙර වස්ත්‍රවල බටර් විසිවෙනවාට දමාගන්නා රඳවනයක් බෙල්ලේ එල්ලන්නට උත්සාහයක් ගනියි. රමේෂ් ඒක එල්ලන්න උදව් කරන ගමන් කල්පනා කළේ ලාබෙට ගත්ත මුද්ද ඇරෙන්නට මාලයක් ඇගේ ගෙලවටා පළඳවන්නට අතේ සතේ නැතිකම ගැන.
“මාගරට් කියන්නෙ 1800 දී පුංචි නැවක් මුහුදු බත් වෙද්දි බේරුන එකම එක්කෙනා. මාගරට් බොක්ක කියලා නම වැටිලා තියෙන්නෙ ඒකයි.”
හසන්ති පුංචි ගම්මානය ගැන ලියැවුනු සංචාරක පත්‍රිකාවලින් දැනගත් තොරතුරු කියයි. ඇය පොකිරිස්සාගේ අඬුවක් කඩන්නට අසාර්ථක උත්සාහයක.
“මේ අඬුව මෙහෙම අල්ලලා තද කරන්න. එතකොට ලේසියෙන් ඇරෙනවා.”
රමේෂ් රිදී අඬුවකින් පුවක් කපනවා සේ පොකිරිස්සාගේ අඬුවක් පහසුවෙන් ඇර පෙන්වයි. හසන්ති එයම අනුගමනය කරන්නට ගියත් ඇයගේ ඇඟිලි එතරම් ශක්තියකින් තොරය. රමේෂ් සිය රිදී අඬුවෙන්ම පොකිරිස්සා ඇර හසන්තිගේ පිඟානට මද දමන්නට විය.
“මාගරට්ගේ සුරතල් නම පෙගී. ඒ නිසාලු මේ ගමට පෙගීගේ වරාය කියලා දාලා තියෙන්නෙ.”
පොකිරිස්සාගේ මද රමේෂ් අනුගමනය කරමින් උණු බටර් ද්‍රාවණයේ ඔබා කටට දමා ගන්නට පෙර හසන්ති කියයි.
“නැව් මුහුදු බත් වෙනවා. අහස්යානා කඩා වැටෙනවා. හැමෝම අවසන් ගමන් යන්න එන තැනක් වගේ,” රමේෂ්ගෙ මුවින් පිටවුනේ හසන්තිගේ විස්තරයට ප්‍රතිචාරයක්.
“මං කවදාවත් පොකිරිස්සෝ කාලා නෑ,” කතාව වෙනතකට යොමු කරන්න ඇය කියයි.
“පේනවා ඒක. ඇරගන්නවත් දන්නෑ,” ඔහු කිව්වේ ආදරයෙන්.
“ලංකාවේ පොකිරිස්සෝ කොහෙද අපිට?” ඇය කිව්වෙ හිනාවෙලා.
“මෙහෙ තරම් ලොකු නැහැ. පුංචි අය තමයි මීගමුවේ හෝටල්වල බෙදන්නෙ.”
“මෙතන සුප්‍රසිද්ධ ඉඟුරු පාන් එක්ක දෙන අයිස්ක්‍රීම්. අපිත් දෙකක් ගනිමු.”
හසන්ති කිව්වෙ සංචාරක පත්‍රිකා වලින් කියවා තියෙන ඒත් කාලා නැති තවත් දෙයක් කන්න බලාගෙන.
“හෙට ඉඳලා අපි දෙන්නට සුප් තමයි.”
රමේෂ් ඉඟුරු පාන් සමඟ අයිස් ක්‍රීම් අතුරුපස දෙකක් ඉල්ලන ගමන් හෙමින් හසන්තිට සිංහලෙන් කොඳුරලා කිව්ව. ඇයගේ කිංකිණි හිනාව ඇහිලා වේටර්ගේ මුවේත් හිනාවක් ඇඳුණ. ඔවුන් ආදරයෙන් බැඳි නව යුවළක් බව මුළු ගමම දනිති.
“නවාතැන ගානේ ඔය දෙන්නට ෂැම්පේන් බෝතලයක් නිදන කාමරේ සීතල වෙන්න දැම්මා.”
සවස නවාතැනට පැමිණි ඔවුනට මුල්මේසයේ උන් යුමිකෝ කාමරයේ යතුරු රමේෂ් අත තබනා ගමන් සිනහවකින් කියා සිටියාය.
සවස හතරහමාර වෙද්දී හතරවටින්ම අඳුර ගලා එයි. නිදාගන්නා කාමරයට ගිය දෙදෙනාටම වෛද්‍යවරුන් වුවද කුළුදුල් අත්දැකීමක ආරම්භයේ ඇති කෝඩුකාර බව දැනුණි. ෂැම්පේන් බොන්න දුන් වීදුරු සිහිවටන සේ රැගෙන යා හැකිය. වීදුරු දෙකේම නවාතැනේ නම රන් අකුරින් ලියා තිබුණි. මත්පැන් නොබිව්ව ද දෙදෙනාම ෂැම්පේන් වීදුරු දෙකක් යාන්තමට වත්කර ගත්තේ කෝඩුකාර ගතිය මඟහරවා ගනු පිණිසය. ඒත් නිදි යහනට එන්නට පෙර නානකාමරය වෙත දිවගිය රමේෂ් කෑ බී සියල්ලම වමනය කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න