“මැඩම් අන්න රුක්ෂානි මැඩම් අද කතා කරනවා කිව්වා,” ගෙදරට අඩිය තියෙන කොටම මෙහෙකාරිය ප්රීනිට කියයි.
“කීයට ද?”
“රෑ අටහමාරට.”
ප්රීනි එයාටයි සමන්තටයි වෙන් කරපු කාර්යාල කාමරයට ඔළුව දාලා බැලුව සමන්ත ඇවිත්ද බලන්න. වෙනදා හවස් වෙනකොට එන්න පරක්කු වෙනවද නැද්ද කියන මනුස්සය දැන් දැන් කෝල් එකක් දෙන්නත් අමතක කරනවා. වැඩ කන්දරාවකට යටවෙලා ඇති.
ඇඟට දැනුනු අමතු වෙහෙසක් නිසා ප්රීනි ගියා නා ගන්න. රෑට කන්න කරවල ටිකක් තිබුනොත් හොඳයි කියල හිතුන නිසා ඇය නාන කාමරයේ ඉඳන්ම මෙහෙකාරියට කෑ ගහල ගෙන්න ගෙන රෑට කරෝල ටිකක් තෙල් දාන්න කිව්ව.
“ලීක්ස් තියෙනවා මැඩම්. ඒ ටිකකුත් එක්ක තෙල් දාන්න ද?”
“ඇයි රට ළූණු නැද්ද?”
“එක ගෙඩියයි ඉතුරු.”
“ඉතින් උදේට යන්න කලින් කිව්වා නම් එනකොට මහත්තයට හරි මට හරි අරන් එන්න පුළුවන්. දැන් කියලා වැඩක් නෑනේ. උදේට මතක් කරන්න.”
සීතල වතුර ඇඟට වැටෙන කොට මහන්සිය අඩු වුනත් ඇඟට අමුතු ගතියක් දැනෙන එක නතර වුනේ නැහැ. හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එනවද කියල ඇයට හිතුන. හැබැයි උගුර කට නම් වේලිලා නැහැ. හසන්ති හිටියා නම් අහන්නවත් තිබුන. දැන් චැනල් කරන රිසිට් ගන්න කෝල් දෙන්නයි දොස්තර මුණ ගැහෙන්නයි ගියාම දවස ඉවරයි. නිකං කලබල වෙන්නෙ නැතිව කොත්තමල්ලි වීදුරුවක් හදාගෙන බොන්න ඕන කියල නාලා අලුත් ගවුමක් ඇඟට දාගෙන ප්රීනි ලන්ඩනයෙන් එන දුරකතන ඇමතුමට සූදානම් වුනා.
ප්රීනිගේ රතු පාට මරුතිය මිදුලේ. සමන්ත ආවම ඒ පස්සෙන් එයාගෙ ටොයෝටා එක නවත්තනවා. උදේට එයා ප්රීනිට කලින් යන නිසා ප්රීනිට කමක් නෑ වාහනය එහෙම අවහිර වුනාට. රෑ කොහේ හරි යන්නෙ දෙන්නා එක්ක. එතකොට යන්නෙ සමන්තගෙ වාහනේ. ප්රීනි උසාවි දවස්වලට උසාවි ගියාට වැඩ බොහොමය ඉවර කරන්නෙ වෙන තැන්වල සිට. උසාවියට යන එක නම් ප්රීනිට තාම අල්ලන්නෙ නෑ. කකුලක් උඩ කකුලක් දා නොගෙන ඉන්න එක පහසුයි. ඒත් එයාට සුදු සාරි ඇඳගෙන යාම එපා වෙලා. කළු කබායයි සුදු සාරියයි උසාවියේ නිල ඇඳුම. කාක්කො කියල නම වැටිලා තියෙන්නෙ නීතිඥයෝ ගසා කන නිසාම නෙවේ. කළුයි සුදුයි විතරක් ඇඳලම ප්රීනිට ඒ පාට දෙක එපා වෙලා. පිරිමි නීතීඥයන් දාන්නෙ කළු ටයි පටි. හරියට හැමදාම මරණ ගෙදරක යනවා වගේ. ඒත් තමන්ගෙ කාර්යාලයේ ඉන්න දවස්වලට කැමැති පාටක් අඳින්න පුළුවන්. ඒ නිසා ප්රීනි කැමතියි කාර්යාලයේ වැඩට.
උසාවි ගියාම වැරදි කරපු නැති අයත් ගැහී ගැහී ඉන්නෙ වැරදි වෙලාවට කැස්සක් ආවත් උසාවියට නිග්රහ කළා කියල දඩ ගහන්න හැකියාව ඇති නිසා. උසාවියෙන් පිටවෙන්න ඒ අය බලාගෙන ඉන්නෙ. ප්රීනි විතරයි උසාවි ගියාම ඇඳුමට ඇති අප්රසාදය නිසා එළියට එනකන් බලාගෙන ඉන්න එකම එක්කෙනා.
ඉස්තොප්පුවේ වාඩිවෙලා ප්රීනි සතුටින් දවසේ පත්තරය ගත්තා කියවන්න. ගෙයක්, වාහනයක්, රැකියාවක්, සැමියෙක් ඔක්කොම මට තියෙනවා කියන සතුටෙන්.
කුස්සිය පැත්තෙන් කරවල තෙලෙන් බැදෙන සුවඳ හමා එයි. ප්රීනි පත්තරය පැත්තකට දාලා වෙලාව බැලුවා. කෝ සමන්ත තාම නෑ. එයාට කතා කරන්න හිතුනත් කරදර කරන එක මදිකමක් කියල හිතල නිකං හිටිය.
“බත් උයල ද මාලි?”
“ඔව් මැඩම්.”
“සර් කතා කරේ නැද්ද?”
“නෑ මැඩම්.”
“අද පරක්කු වෙනවා කියලා කිව්වද කියල මට මතක නෑ.”
මෙහෙකාරිය නිහඬය.
ඇය පොල්කටු හැන්දකින් ලීක්ස් හා කරවල සාස්පානේ එහාට මෙහාට තල්ලු කරයි.
“මට සුවඳේ ඉන්න බෑ. බඩගිනියි. බත් ඩිංගක් එක්ක පිඟානකට දාලා මේසේට ගේන්න.”
“අනික් වෑංජන හදලා ඉවර නෑ තාම.”
“අනික්වා නැතුවට කමක් නෑ.”
කටට උනන කෙළ ගිලිමින් ප්රීනි කියයි.
“සර් එනකම් ඉන්නැද්ද?”
“දැන් පොඩ්ඩක් කාලා ආයේ කනවා.”
ප්රීනි මේසයට ගිහින් වාඩි වුනේ අතත් හෝදගෙනමයි. දහවල් ඇය යහළු නීතීඥවරියන් කිහිප දෙනෙක් සමඟ පාර්ක් විව් හෝටලයෙන් ෆ්රයිඩ් රයිස් කෑවාය. ඒත් කරවල සුවඳට දැන් බඩගිනියි.
මෙහෙකාරිය මේසෙ උඩින් පිඟානත් එක්ක වතුර වීදුරුවකුත් ගෙනැත් තිබ්බ. වතුර වීදුරුව එහෙමම තියෙද්දි ප්රීනි කරවල එක්ක බත් අනාගෙන කාලා ඉවර කළා. තවත් බත් පිඟානක් කන්න හිතුනට සමන්ත එනකම් ඉන්න ඕන නේද කියලත් එයාට මතක් වුනා. අනික මෙහෙකාරියගෙන් තවත් බත් පිඟානක් ඉල්ලීමට ඇය සිත නොදෙයි. අපරාදේ. මේසේට අරින්න කිව්වා නම් තව පිඟානක් බෙදාගන කන්න තිබුන.
“අන්න රුක්ෂානිගෙන් කෝල් එකක්.”
රෑ අටහමාරට ප්රීනිව ඇහැරුවේ සමන්ත. එයා එනකම් බලාගෙන ඉඳලා ඇඳට වැටුනු ප්රීනිට එහෙමම නින්ද ගිහින්.
“ඔයා ආවේ කීයට ද?”
“ටිකක් රෑ වුනා.”
“මට නින්ද ගියානෙ දන්නෙම නැතුව.”
“ඔව්. මාලි කිව්වා බඩගිනි හැදිලා බත් කෑවා කියලා. ඒකයි මං ආපු ගමන් ඇහැරෙව්වෙ නැත්තෙ.”
ප්රීනි දිව්වෙ නැහැ දුරකතනයට. රුක්ෂානි ඉඳහිටලා ප්රීනිට කතා කරලා විස්තර අහනවා. දෙන්නා හසන්තිගෙ ආච්චි ගැනයි, චූටි මැණිකා ගැනයි පොඩි මැණිකා ගැනයි කතා කරන එක පුරුද්දක්. ඉතින් ප්රීනි හිතුවේ රුක්ෂානි කතා කරන්නෙ ඒ සඳහා කියලයි.
ඒත් රුක්ෂානිත් එක්ක මෙදා පාර කතා කරල දුරකතනය තියන කොට නම් ප්රීනිගේ සිතට බරක් දැනුන. සංජීවනීට කවදා සහනයෙන් ජීවත්විය හැකි මාර්ගයක් පෑදෙයිද?
පැයක් විතර රුක්ෂානි එක්ක කතා කරලා නිදන කාමරයට එනකොට සමන්ත ඇඟ හෝදාගෙන, කොට පිජාමා කලිසම විතරක් දාගෙන ඇඳ රෙද්දත් ඔළුවේ ඉඳන් පොරව ගෙන ගොරව ගොරව නිදි. කොච්චර කිව්වත් අහන්නෙ නෑ. කමිසයක් නැතුව නිදාගෙන පොරවන රෙද්ද විසිවෙලා ගිහින් රෑට හුළං පාරක් පපුවට වැදුනොත් ඊ ළඟට සුරුස් සුරුස් ගගා උසාවි යන්න වෙන්නෙ. ඒත් තද නින්දෙ හිටපු නිසා ඇහැරවලා කමිසය දා ගන්න කියන්න ප්රීනි ගියේ නෑ. උදේ පහ හය වෙනකොට හැමදාම ඇහැරෙන නිසා කළින් නිදා ගන්න පුළුවන් වෙච්ච දවසේ නිදා ගන්න දෙන්න ඕන.
සමන්තට හෙට උදේට අඳින්න සුදු කමිසෙයි, කළු කලිසමයි, කළු ටයි පටියයි, කළු කෝට් එකයි ලැහැස්ති කරලා ප්රීනිත් ගිහින් සමන්තව ඇහෙරෙන්නෙ නැති වෙන්න හිමිහිට ඇඳේ ඇලවුනා. ඒත් ආයෙත් බඩගිනියි. මෙට්ටෙ හෙලවෙන්නෙ නැති වෙන්න හිමිහිට නැඟිට ගෙන ප්රීනි ගියේ කුස්සියට. මෙහෙකාරිය කෑම අස්පස් කරලා, පිඟන් කෝප්ප හෝදලා දාලා, පොළව අතුගානවා.
“මැඩම් නිදි හන්දා සර් නැඟිට්ටවන්න එපා කිව්ව,” මෙහෙකාරිය තමාට අවලාද අහන්නට වෙයි සැකයෙන් කළින්ම නිදහසට කරුණු කියයි.
“නින්ද කැඩුන කෝල් එකට,” ප්රීනි බොන්න වතුර වීදුරුවක් පුරව ගත්ත.
සීතකරණයේ කෑම සියල්ල දීසිවලම දමා පියන් වලින් වසා ඇත.
“මොකද මේ කෑම සේරම?”
“සර් වැඩිය කෑවෙ නැහැ. මේසේට ඇරලා තිබුන නිසාද කොහෙද වාඩි වුනාට.”
“මම කාලා ඉවරවුනාම අස් කරලා දාන්නම්. මාලි යන්න නිදා ගන්න.”
ප්රීනි එහෙම කියලා පිඟානකට කරවල යහමින් දාගෙන, බත්, එළවළු බෙදාගෙන වතුර වීදුරුවත් අරන් කෑම මේසේට ගියා.
මෙහෙකාරිය ඉක්මණින් කාමරයට ගියේ ඇය ප්රිය කරන රූපවාහිනී වැඩසටහනේ ආරම්භය දකිනු නොලැබෙයි බියෙනි. ඇයගේ කුඩා කාමරයේ පුංචි රූපවාහිනියක් ඇත. රෑට වැඩ නිමා කළ පසු ඇයට කැමති වැඩ සටහනක් නරඹන්නට අවසර ඇත. ගෙදර ස්වාමි පුතුන් රූපවාහිනීය බලන්නේ එහෙමත් දවසකය. එහෙයින් මේ අවස්ථාව ලබා නොදුන්නා නම් මෙහෙකාරිය රස්සාව දමා ගමට යනු ඇත.
ප්රතිචාරයක් ලබාදෙන්න