Sinhala story Blog

මාර්තු 17, 2010

3.19 -අපි ආවේ ඔයාව බලන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 9:08 පෙ.ව.

“ඒයි, නැඟිටින්න. නැඟිටින්න. මෙන්න සංජීවනීත් ඇවිත්. බලන්නකො දෙන්න එක්ක කෙළ පෙරාගෙන නිදියන හැටි.”

රුක්ෂානිගේ වදන් වලින් තිගැස්සිලා ඇහැරුණ හසන්ති කොහෙද මේ ඉන්නෙ කියල මතක් කර ගන්න උත්සාහයක. හිස අමුතු බරකින් පිරිලා. හීනයක්වත් නොපෙනී තද නින්දක් ගියෙ ගමනේ මහන්සියට. ප්‍රීනි කට අත ගානව කෙළ පෙරිල ද බලන්න. ඒක දැකලා රුක්ෂානි සංජීවනීට වැලමිටෙන් අනිනවා ඒක පෙන්නන්න. සංජීවනී රුක්ෂානිගේ වැලමිට තල්ලු කරනවා දඟලන්නෙ නැතිව ඉන්න කියල. මහ ගෑණු වෙලත් හතර දෙනා එකතු වුනාම හැසිරෙන්නේ නම් මුලින් හමුවෙච්ච ඕ ලෙවල් කාලේ විදියටමයි.

“දවසෙන් බාගයක් විතර ගිහින් දැනටමත්. ඉතින් රට බලා ගන්න කියල ඇවිදින් නිදා ගත්තම හරිද?”

රුක්ෂානිගෙ කට නවත්තන්න ලේසි නැහැ.

“අපි ආවේ ඔයාව බලන්න.”

හසන්ති කියන්නේ සුපුරුදු සුමුදු හඬින්.

“තාම ඉර පායලාවත් නැහැ.”

ප්‍රීනි ජනෙල් තිරයක් මෑත් කරලා අහස දිහා බලන්නී ය. ඇය වෙතින් එන්නේ සුපුරුදු නොක්කාඩු ස්වරයයි.

“ලන්ඩන් වල ඉර පායනකන් හිටියොත් ඉතින් මෙහෙ පදිංචි වෙලා නාකි වෙනකන් ඉන්න වෙයි.”

ජනේලයේ තිර සියල්ල ඇර දැමූ රුක්ෂානි කියයි. පිටත අඳුරු ය. අහසේ වැහි වළාකුළු පැහැදිලිව නොපෙනුන ද ඝන අළු පැහැයෙන් පිරී ඇත. ඒ ලන්ඩනයේ නිතර දැකිය හැකි අහස ය.

යෙහෙළියෙන් හතර දෙනාට කාලයකින් පස්සේ හමුවුනත් ඈත දවසක නවත්තපු තැන සිට යළිත් කතා බහ, සුපුරුදු විහිළු තහළු පටන් ගන්න තත්පරයක් වත් ගියෙ නැහැ. අද එයාල යන්නේ එංගලන්තයේ සුප්‍රසිද්ධ අශ්ව රේස් පිටියකට. ලන්ඩන් වලින් පැය භාගයක් විතර දුම්ර‍ියෙන් ගිහින්, රුක්ෂානි කිව්වෙ ඒ රට බලා ගන්නත් එක්ක කියල, සරේ කියන පැත්තෙ තියන සන්ඩවුන් පාර්ක් තුරඟ තරඟ පිටියට. එතැන අශ්ව රේස් නැති දවස්වල කොම්පැණිවල සම්මන්ත්‍රණ සහ පුහුණු පැවැත්වෙනවා. රුක්ෂානි අශ්ව රේස් බලන්න වගේම සම්මන්ත්‍රණ වලටත් මෙතැනට ඇවිත් සහභාගී වී තිබුණි. සංජීවනී අවුරුදු කිහිපයක් මෙහෙ ජීවත් වුනාට තුරඟ තරඟාවලියක් දැකලා තිබුනේ ටෙලියේ විතරයි.

හතරදෙනා වෙනුවෙන්ම කළින්ම ප්‍රවේශ පත් අරගෙන ආ රුක්ෂානි යෙහෙළියෝ එක්ක අසුන් ගත්තේ ටයිකෝට් විතරක් නෙමෙයි ටොප් හැට් දා ගත්තු, ටයි වෙනුවට අමුතු පදක්කම් කරේ සහ බෙල්ට් බකල් වල එල්ල ගත්තු පිරිමියි නානා ප්‍රකාර මෝස්තර වලින් ගවුම් ඇඳගෙන, නොයෙකුත් පාට වලින් යුතු, නොයෙකුත් හැඩ වලින් යුතු තොප්පි දමා ගත්ත කාන්තාවෝ ඉන්න පැත්තක. ඒ සමහර දෙනා පැළඳගෙන ඉන්න පදක්කම් අශ්වයෝ දිනුවම අයිතිකාරයට දෙන ඒව. අන්තිමේ දී බලන‍ කොට අශ්වයො නෙමෙයි ලාංජන එල්ලගෙන ඉන්නෙ මනුස්සයෝ. එතැනට කන්න බොන්න ගේන මනුස්සයාත් සේවයේ යෙදෙන නිල ඇඳුමකින් සැරසිලා.

යෙහෙළියන්ගෙන් තිදෙනෙක් ඩෙනිම් ජීන්ස් සහ ටී ෂර්ට් යටින් ඇඳ උඩින් ජර්සි වලින් සැරසී සිටියහ. රුක්ෂානි ජීන්ස් වලින් බාගයක්ම වැහෙන, දනහිස ළඟට එනකම් බූට්ස් දාලා. සත්ව හම් වලින් ඇතුලේ වාටියක් තිබුන නිසා කකුලට එයා මේස් දැම්මෙත් නැහැ. ප්‍රීනි සාරියක් ඇන්ඳ. සාරියට උඩින් ජර්සියකුත් පටලවා ගත්ත. මේස් දාලා හීල්ස් දැම්මත් එයාගෙ කකුල් දෙකනම් සාරියට යටින් එන නුපුරුදු සීතලට ටිකක් වේවලුවා. හසන්ති අළුතෙන්ම ගත්ත ඩී.එස්.අයි. සපත්තු දාගෙන. සංජීවනී ලංකාවෙන් ගෙනාපු බාටා සපත්තු කුට්ටමයි තාම දාන්නෙ. සුදුපාට සපත්තු දැන් කහපාට ගැහිලා මදිවට පතුල් ගෙවිලා. ඒත් එයාට ගාණක්වත් නැහැ. ඉස්සර දවසක නම් මෙහෙම සපත්තු එක්ක ගෙයි ඇතුලත වත් ඉන්න කෙනෙක් නොවුනට අද තත්වය වෙනස්. එයත් පාවහන් ගැන නොතකන පිටරට ඉන්නා ඉන්දියානු ජාතිකයන් අතරට එක්වෙලා වගෙයි. සීතල පිටරට වාසය කරන ඉන්දියානු අය බොහෝ අවස්ථාවල ලස්සන ඇඳුම් ඇන්ඳට කකුල්වල දාන පාවහන් ගැලපීමක් නැහැ. යෙහෙළියන්ගෙ ඇඳුම් රේස්පිටියේ හිටිය අනිත් අයගෙන් පැහැදිලිවම වෙනස් වුනාට ඔවුන් දිහා කිසිම කෙනෙක් හැරිල බැලුවෙ නැහැ.

රුක්ෂානි මීට කළින් කීප වතාවක් එයා වැඩ කරන කොම්පැණියෙ අයත් එක්ක ඇවිත් තියෙනවා මෙතෙන්ට. ලොකුම බොස්ලා තුන් දෙනා බිස්නස් කරන්නෙ අශ්වයොන්ට ඔට්ටු දාන ගමන්. සම්මුඛ පරීක්ෂණයට පස්සෙ රුක්ෂානි ඒ අයව දැක්කෙ සන්ඩවුන් පාර්ක් එකේ වාර්ෂිකව පැවැත්වෙන කොම්පැණියේ නත්තල් සාදයේ දී පමණයි.

යෙහෙළියන්ට අශ්ව රේස් ගැන කියලා දෙනකොට මෙන්න ප්‍රීනි ඔට්ටුවක් දාන්න ලැහැස්ති වෙනවා. ටිකට් එකත් එක්ක නොමිලෙ ලැබුන තමන්ගෙ ෂැම්පේන් වීදුරුවයි හසන්තිගෙ එකයි දෙකම බීපු සංජීවනී වෝටර් ක්ලොසට් හොයනවා. ඇඟේ තියන වතුර එළියට දාගන්න තැනක් හොයනවා වෙනුවට තවත් වතුර හොයන්නෙ ඇයි කියල හසන්ති අහනවා. වෝටර් ක්ලොසට් කියන්නෙ වතුර බොන්න ඇති තැනක් නෙමේ වතුර පිටකරන්න තියෙන තැන කියල රුක්ෂානි පැහැදිලි කරනවා. ඉතින් ඒ ගැන හතරදෙනා සිංහලෙන් කතා කර කර එකිනෙකාට තේරුම් කරගනිමින් යද්දි අතරමං වෙලා හිරවුනේ අශ්වයෝ නවතලා තියන ගාල් කොටු අස්සෙ.

“අනේ මගේ හීල්ස් වල අස්ස ගොම.” ඒ ප්‍රීනි.

“අස්ස ගොම නෙමෙ අස්ස බෙටි.” ඒ රුක්ෂානි.

“මට තව අල්ල ගෙන ඉන්න බෑ ඉක්මනට හොයන්න තැනක්.” සංජීවනීගේ කෙඳිරිය.

“කාගෙන් හරි අහන්න ඔය කාමරයක දොර ඇරල බලමු.” හසන්ති කියයි.

වසා තිබුණ දොරකට අත තියනවාත් එක්කම ඇතුලතින් දොර ඇරගත් ජොකියෝ දෙදෙනක් එළියට ආහ. කෙල්ලො හතරදෙනා තරම් උසින් වූ ඔවුන් දෙදෙනාගෙන් වෝටර් ක්ලොසට් තියෙන තැන ඇහැව්වේ රුක්ෂානි.

තරඟ දුවන ජොකියො වැඩිය උස නැති අය. නීතියෙන් බර නියමිත ප්‍රමාණයට අනුව නැත්නම් එයාලට රේස් වල දුවන්න තහනම්. ඉතින් බැලේ නාට්‍යාංගනාවෝ වගේ ජොකියෝ ඉන්නෙත් හාමතෙන්. එක්කෙනක් අතක් දික් කරලා අර පැත්තට යන්න කියලා අමුතු ඉංග්‍රීසි උච්චාරණයකින් කිව්වා.

අත දිගු කරපු පැත්තට හතරදෙනා ගියෙ ජොකියාගේ බස හුරුව ගැන සිංහලෙන් දොඩව දොඩව. ඒ යනකොට අශ්වයෝ බලාගන්න දෙන්නෙක් රණ්ඩු. අතින් පයින් නෙවෙයි. කටින්. ඈත පළාතකින් උදේ පාන්දර අරගෙන ආපු අශ්වයා වතුර ගොඩක් බීලා. බලාගන්න අය සන්ඩවුන් පාර්ක් එකේ ව්‍යායාම කරන්න ගිහින් ඇවිත් වැරදිලා දාලා තියෙන්නෙ වැරදි ගාලට. ඒ ගාල ඊයේ ගෙනාපු අශ්වයාගේ ගාල. ඒ නිසා වතුර බාල්දිය අද ගෙනාපු අශ්වයාගෙ කොටුවෙ තිබිච්ච එකට වඩා ලොකුයි. ගොඩක් වතුර වුනාට තිබහ නැත්තම් ගොඩක් බොන්නෙ නෑනේ. අද ගෙනාපු එකා ගමනෙ මහන්සියටයි ව්‍යායාම කරපු මහන්සියටයි වතුර බාල්දියෙන් බාගයක් විතර බීලා. තව පැයකින් රේස් එක. වතුර ගොඩක් දුවන්න කළින් බීවාම අශ්වයට රේස් එක දිනන්න බැහැනෙ. බැලේ නාට්‍යාංගනාවො සහ ජොකියො හාමතෙන් සිය දස්කම් දක්වනවා වගේම අශ්වයෝ තිබහෙන් ඉන්දැද්දි දස්කම් පෙන්වන්නෙ. මේ දෙන්න එකිනෙකාට බැණ ගත්ත. ඊට පස්සෙ එකඟ වුනා කාටවත් නොකිය ඉන්න. නැත්නම් දෙන්නගෙම ජොබ් ගහල යනවානෙ. අශ්වයා දුවන රේස් එක පටන් ගන්නෙ දවල් එකට.

ගෑණු ළමයි හතර දෙනා පාස් වෙනකම් කටින් ගහ ගත්තු දෙන්නා එයාලව දැක්කෙ නෑ.

“කෙල්ලොන්ට ඇහුන ද අපි කියපුව.” එක්කෙනෙක් අහනවා අනික් එක්කෙනාගෙන් ඉංග්‍රීසියෙන්.

“අපෝ අපිට ඇහුනේ නැහැ.” රුක්ෂානි හයියෙන් සිංහලෙන් කිව්ව.

“මෙයා මාව අමාරුවේ දාන්න හිනා ගස්සනවා.” සංජීවනී මතක් කරයි.

“මේ පැත්තෙ අස්ස බෙටි වැඩියි.” ප්‍රීනිගෙ නෝක්කඩුව.

“අර තියෙන්නෙ දොරක් ඩබ්ලිව් සී කියල ගහල. ඒක ද වෝටර් ක්ලොසට් එක?” හසන්ති පෙන්වයි.

“ඉන්දියන් කෙල්ලො. අපි කතා කරපුව තේරුනෙ නැතිව ඇති.” අශ්වයෝ බලා ගත්තු කටින් අරියාදු කරගත්තු දෙදෙනා සැනසුම් සුසුම් පිට කළහ.

ඔට්ටු දාන්න ගියාම රුක්ෂානි ඒ අශ්වයෝ බලාගත්ත අයගෙ ඇඳුම් වල පාටෙන් එයාලට අයිති අශ්වයෝ දෙන්නාගේ නම ලැයිස්තුවේ පෙන්නුව. වතුර බීපු අශ්වයා තරඟයෙන් දිනන්න නියමිතව හිටපු එකා. අනිකා හිටියෙ ගොඩක් පහළින්. වෙන තොරතුරු දන්නෙ නැති නිසත් ජොලියට ඔට්ටු දාන නිසත් හතරදෙනා ටිකට් එකත් එක්ක ලැබුණු රේස් අල්ලන පවුම් වලින් ඔට්ටු දැම්මේ වතුර නොබීව ඊ ළඟට දිනන්න ඉන්න වෙන අයිතිකාරයෙක්ගෙ අශ්වයට. ආපහු තමන්ගෙ පුටු වලට ගිහින් රේස් එකේ අන්තිමට දිව්ව ඒ අශ්වයා දැකල යෙහෙළියන්ට හිනා. තමන් ඔට්ටු ඇල්ලු අශ්වයා තරඟයෙන් ප්‍රථම ස්ථානය ගනිද්දි හතරදෙනාම උද්දාම වුනා. ඒත් උද්දාමය සීරියස් ලෙසින් වැඩිවුනේ දිනුම් සල්ලි ඉල්ල ගන්න ගියාම. හතර දෙනා පවුම් පන්දාහකට ආසන්න මුදලක් දිනාගෙන.

සන්ඩවුන් පාර්ක් එකේ හවසට තියෙන මියුසිකල් ෂෝ එකට ටිකට් රුක්ෂානි ගත්තෙ නැහැ. ඒ සංජීවනී කොහොමටත් හවස් වෙනකන් ඉන්නෙ නැති බව දන්න නිසා. එතැනින් පිටවෙලා එයාලා ගියා මැඩාම් ටූසෝගෙ ඉටිරූප බලන්න. ඒකටත් කලින්ම රුක්ෂානි ප්‍රවේශපත් අරගෙන. රජීව් ගාන්ධිව, ප්‍රින්සස් ඩයානාව, මාගරට් තැචර්ව නම් හැමෝම දන්නවා. එතැන තිබුන ඉටි රූප වල නොදන්න අය කවුද කියලත් හොයාගෙන එක එක ඉරියව් වලින් ඉටිරූපත් එක්ක පෙනී ඉන්න ඡායාරූප අරගෙන පිස්සු නටල එළියට එනකොට පිටවෙන තැන ඉන්න සේවක කාන්තාවකගෙන් කැමරාව දික් කරලා ප්‍රීනි අහනවා හතරදෙනාගේම පිංතූරයක් අරන් දෙන්න පුළුවන් ද කියලා. ඒත් ඒ කාන්තාව කිසිම ප්‍රතිචාරයක් දුන්නෙ නැහැ. රුක්ෂානි උඩ පැන පැන හිනා වෙන්න ගත්තම සංජීවනීට විතරක් නෙමෙයි හැමෝටම වෝටර් ක්ලොසට් හොයා යන්න සිද්ධ වුනා. මැඩාම් ටූසෝහි වැඩ කරන නිල ඇඳුමෙන් සිටි ඒ සේවිකාව ඉටි රූපයක්.

Advertisements

ප්‍රතිචාර 3 »

  1. mama kathawa beluwe ne

    ප්‍රතිචාර විසින් indika kumara — මාර්තු 17, 2010 @ 11:16 පෙ.ව.

  2. සිරා

    ප්‍රතිචාර විසින් හමුදාව — මාර්තු 17, 2010 @ 1:36 ප.ව.

  3. අපි නම් දැන් බ්ලොග් බලන්නේ ලාංකීය සිතුවිලි වලින්. එකේ ඇයි මේ ලිපිය තාම නැත්තේ එකේ
    http://taboosubjects.wordpress.com/2010/03/17/121-2/

    http://blog.inetlanka.com/

    ප්‍රතිචාර විසින් Local Taboo — මාර්තු 17, 2010 @ 9:25 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: