Sinhala story Blog

ජනවාරි 14, 2010

7 මංජුලා මගේ කෑම!?

Filed under: Uncategorized — sinhalashortstories @ 7:36 ප.ව.

ප්‍රීනිගෙ දෙමව්පියන් නීතීඥ වෘත්තියේ සේවය කළ අය වූහ. උසස් පෙළේ ව්‍යාපාරික හා ආණ්ඩුවේ ඉහළ පෙලේ නිලධාරීන් හා කුළුපගව ගැවසෙන්නට ඔවුනට ඉඩකඩ තිබුණි. ආණ්ඩු පක්ෂය කවුරු වෙතත් රටේ සල්ලි ඇත්තෝ ඔවුනොවුන් හා එකතුව ගැවසෙති. පාලන නීති සාමාන්‍ය ජනතාවට ලොකු වෙනසක් ඇති කළ ද ඉහළ මට්ටමේ වූ ප්‍රභූන්ගේ ජීවන රටාව වෙනස් වූයේ සුළුවෙනි.

“ඉගෙනීම විතරයි කාටවත් බලෙන් පැහැර ගන්න බැරි. ඒ නිසා ඔයා ඉහළින්ම ඉගෙන ගන්න ඕන මගෙ සුදු දුවේ,” කියවමින් සිටි පුවත්පත දෙකට නවා දැමූ ප්‍රීනිගේ පියා ඇය ඇමතීය.

“අප්පච්චිත් හරි කතා තමයි කියන්නෙ,” ප්‍රීනි සිය පියාගේ පුටු ඇන්දේ වාඩි වූවාය.

“රට ආණ්ඩු කරන අය රටට ආදරේ නැහැ. නීති රීති වෙනස් කරනවා. ඕවා ඔහොම කළාම ඉස්සරහට ප්‍රශ්න.”

“කොහොමද මගෙ ඉගෙනීමට ඒවා බලපාන්නෙ?”

“ළඟඳීම එයි ව්‍යවස්ථාවක්. අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්නයි කියල තමා. ඒත් ඉතින් අපි අපට ආධාර දෙන රට රටවල් අනුගමනය කරන්න යනවා අන්ධයෝ වගේ.”

ප්‍රීනිගේ පියා මඳ වේලාවක් නිහඬව කල්පනාවේ රැඳී සිටියේය. නොනවත්වාම කතා කරන්නට කැමති ප්‍රීනි කිසි කතා බහක් නැතුව හිටියෙ සිය පියා ඉදිරියේ පමණි. ඔහු හෙළිදරව් කරන ආරංචි අහන්නට ඇය කවදත් ඉතා ආසාවෙන් සිටියාය.

“මේ ලෝකෙ තියනවා සල්ලි ඇති ධනවත් රටවල්. බලය, ආයුධ තියෙන රටවල්. ලංකාවට සල්ලිත් නැහැ. බලයත් නැහැ. අපිට තියෙනවා ජාතික සම්පතක්. අපේ රටේ හැම මිනිහම ආසයි හොඳ රස්සාවක් කරන්න. අන්න ඒ සම්පත අපි ආරක්ෂා කරගන්න ඕන.”

“අප්පච්චිට ආරංචියි වගෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කරන්න යන වෙනස්කම් ගැන,” ප්‍රීනිගේ අම්මා අලුතින් මසමින් සිටි ඇඳුමක නූල් ගලවමින් සාලයට පිවිසියාය.

“වෙනසට මම අකැමති නැහැ. ඒත් හිතල බලන්නෙ නැතුව, ප්‍රතිවිපාක සැලකිල්ලට නොගෙන කරන වෙනස්කම් නිසා අහිංසක මිනිස්සු පාඩු විඳිනවා දකින්න දුකයි.”

“අපිට වඩා උගත්තු ඔය තනතුරු වල ඉන්නවනෙ අප්පච්චි.”

ප්‍රීනිගෙ අම්මා ගෙදර දී තම සැමියා ඇමතුවේ අප්පච්චි කියාය. ගැමි පරිසරයක හැදුනෙ වැඩුනෙ නැති වුවද ඇය කතා බහෙන් හිටියේ සිත් ගන්නා හෙළ චාරිත්‍රයන්ට නැඹුරු වූ පසුබිමකය. කිසි දිනෙක ඇය නම කියා තම සැමියා ඇමතුවේ නැත්තේ එසේ ඇමතීම ඔහුට කරන මදිපුංචි කමක් හැටියට සැලකූ නිසයි.

“අර අතුරුපාන ළමයා සුදු දුවගෙ පංතියේ නේද?” මාතෘකාව වෙනස් කිරීමට කැමැත්තෙන් ප්‍රීනිගෙ අම්මා ඇය ඇමතීය.

“ඔව් අම්මි. හරිම රණ්ඩු කෙක්කක්. කතා කරන්නෙත් එකට එක.”

“එංගලන්තයෙන් බෝ වෙන්න ඇති ඔය පුරුදු. එහෙ ඉතින් අපි වගෙ කළු හම තියෙන අයට හරියට කරදර. සුදු හමට සමාන සැලකිලි නැති හන්දා.”

“ආනන්ද අතුරුපානට එහෙ මෙහෙ කියල වෙනසක් නෑ රාණි. කේම්බ්‍රිජ් වල එයා ආශ්‍රය කළේ අපිත් එක්ක හිටිය කාණ්ඩෙ නෙමේ. අපිට කළුවො කියල කෑ ගහන අය එයාලගෙ කරට අත දාගෙන යන්නෙ බොන්න අරන් දෙන නිසා.”

“අනේ මේ සුදු දුව ඉස්සරහ ඕවා කියන්න පටන් ගන්න එපා.”

කියන්න කියන්න යැයි ප්‍රීනි හිතෙන් කීවාට වැඩක් වුනේ නැහැ.

“ලෝකෙ හැටි දැන ගන්න ඕන,” ඒත් ප්‍රීනිගෙ අප්පච්චි එතනින් එහාට කතා කළේ නැත.

ඔහු නීතිය වැඩි දුරට හැදෑරුවේ එංගලන්ත‍යේ දී ය. ඒ ශිෂ්‍යත්වයක ආධාරයෙනි. සීතලේ ගැහි ගැහී නොයෙකුත් අගහිඟකම් මැද ඉගෙනීමේ නියැලෙද්දී අතුරුපාන වැන්නන්ට සුඛෝපභෝගී ලෙසින් අත දිග හැර වියදම් කිරීමට මුදල් තිබීම ඔහු අනුමත නොකළේය. ලංකාවෙන් පවුම් වලින් පිටරට ගෙන යන්නට දුන්නේ එහිදී මාසයක පාවිච්චියට මදි ප්‍රමාණයකි. එහෙත් අතුරුපානලා වැනි පිරිසකට මත්පැන්හල් වලට යහළුවන් හා යන්නට තරම් සල්ලියක් තිබිණ. විදේශ විනිමය රැක ගන්නට යයි නීති පණත් පැන වූ අය අතුරුපානලා වැනි සුපිරි ධනවත් පවුල්වල පිටරට ආදායම් මාර්ග ගැන දැන හිටියද ඒවා ගැන කිසිවක් කර කියා ගත නොහැකිව සිටියහ.

ප්‍රීනි පසුදා පාසැලට ගියේ රුක්ෂානි ගැන කුතුහලයෙනි. රුක්ෂානි පිටරට දේවල් පෙන්වමින් උදම් අනින්නේ නැත. අනෙකුත් ළමයිනට කිසිවක් බෙදා දෙනවා ද ප්‍රීනි දැක නැත. රුක්ෂානි ලෝභ ඇති යයි ප්‍රීනි සිතුවාය. පංතියේ පාඩම් කාල වේලාවන් එකින් එක ගෙවී ගියේ කිසිවකුටත් නොදැනීම. අලුතින් එන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ගුරුවරියන් ද කසුකුසුවෙන් කතා කරනු පෙනිණ. ශිෂ්‍යාවන් අතර ඒ ගැන කිසිම අවබෝධයක් ඇති බවක් පෙනුනේ නැත. පංතියේ වැඩි දෙනෙකු පාසැල් ආවේ එන්නන් වාලේය.

දහවල් විවේක කාලය ළඟා වූයෙන් ප්‍රීනි හරි බඩගිනියි කියා ආපනශාලාව වෙත ඉක්මණින් දුවන්න සැරසෙන මංජුලා අත සල්ලි තැබුවාය.

“මට චයිනීස් රෝල් දෙකක් ගෙනැත් දෙන්න මංජුලා.”

මුදල් සාක්කුවේ දමාගත් මංජුලා පංතියෙන් පිට වුනේ විවේක කාලයට සීනුව නාද වෙන්නටත් කළින්. මානෙල් ගෙදරින් ගෙනා පොල් සම්බෝල හා ඇස්ට්‍රා මාජරීන් ඇතිරුණ පාන් පෙති එළියට ගත්තාය. පොල් සම්බෝල සුවඳ මුළු පංතිය පුරාම පැතිරිණ. මානෙල් දිනපතාම ගෙන එන්නේ මෙයයි. රුක්ෂානි මානෙල්ගේ ආහාරයට කියන්නේ හාට් ස්ටොපර් කියාය. කෑමට බීමට රුචි වුවද කන බොන දෑ ගැන විමසිලිමත් වෙන රුක්ෂානි ධනවත් පංතියේ බොහෝ ළමුන් මෙන් තරබාරු නැත.

අමිරන්ති පංතියේ ළමුන්ට කුඩා කෝප්පයන්හි අසුරන ලද වටලප්පන් බෙදා දුන්නාය. ඇය පංතියේ කිසි දිනෙක කතා නොකළ ළමුන්ට ද මෙසේ කෑම බෙදා දීම රුක්ෂානිට ප්‍රශ්නයක් විය. වැදගත් අවස්ථාවන්හි දී බෙදාගන කෑම පංතියේ සිරිතක් බව හසන්ති පැහැදිලි කර දීමට සමත් වුණි. මුස්ලිම් ආගමික උත්සවයක් වූ රාමදාන් කාලය අවසානයේ මෙසේ සැමටම වටලප්පන් ගෙන ඒමට අමිරන්ති අමතක නොකරයි. කෑම රැගෙන ආ රියැදුරාට කා බී ඉවරුන කෝප්ප සියල්ල වේවැල් කූඩයක අහුරා දුන්නෙන් ඔහු එයත් රැගෙන පංතියෙන් පිටව ගියේය. කැන්ටිමට ගිය මංජුලා තවමත් නැත.

“බර්ත්‍ ඩේ එකටත් ළමයි කේක් එහෙම අරගෙන එනවද?” කල්පනාවේ නියැලී සිටි රුක්ෂානිගෙන් ප්‍රශ්නයක්.

“ප්‍රීනි ගේනවා ලොකු කේක් එකක්. පංතියෙ ළමයින්ට විතරක් නෙමේ. එයා දන්න ටීචර්ස්ලටයි අනිත් පංතිවල ඉන්න එයාගෙ යාළු ප්‍රිෆෙක්ට්ස්ලටයි සේරටම.”

“ඇයි මම පුදුම වෙන්නෙ නැත්තෙ.”

විවේක කාලය අවසන් වෙන්න ඔන්න මෙන්න තිබියදී මංජුලා ඉහළ පංතිවල ළමුන් සමූහයක් හා කතාවේ යෙදෙමින් සෙමෙන් සෙමෙන් පංතියට ආවාය.

“මංජුලා….මංජුලා…” හසන්ති දුකින් මිමිණුවාය.

“මංජුලා මගේ කෑම!?” ප්‍රීනි බෙරිහන් දුන්නෙ අහල පහල පංතිවලට ඇසෙන තරම් දැඩි හඬකිනි.

“හානේ.. වෙරි සොරි ප්‍රීනි. වෙරි සොරි. මට අමතක වුනා ඔයාගෙ සල්ලි.”

“මොකක්ද මංජුලා ඔයා ආයෙමත් මගෙ සල්ලි වලිනුත් කෑවද?” ප්‍රීනි ඇහුවෙ ඉහවහා ගිය තරහින්.

“මට අමතක වුනා අනේ. සොරි. මම හෙට ගෙනත් දෙන්නම් ඔයාගෙ සල්ලි හො‍ඳේ,” ලැජ්ජාවෙන් ඇඹරී ගිය මංජුලාගේ කන් දෙකත් රතුවෙලා.

කන්නට ගියාම මංජුලාට උන් හිටි තැන් පවා අමතක වෙනව. ප්‍රීනිගේ මුදල් වලින් ගත් චයිනීස් රෝල් මඟදි හමුවුන ළමයි හා කතාබහේ නියැලෙද්දි ඇය කුසට ගියේ තමා රැගෙන යන්නේ තවත් කෙනෙකුගේ කෑම යයි අමතක කරමිනි.

“මංජුලා ඔහොම තමයි. අනිත් අය සල්ලි දුන්නම එයාට අමතක වෙලා ගත්තු කෑම සේරම කාලා පංතියට එනකොට,” මවිතයෙන් වටපිට බලන රුක්ෂානිට හසන්ති පැහැදිලි කරයි.

“ඉතින් ඇයි ප්‍රීනි එයාට සල්ලි දෙන්නෙ?”

“ප්‍රීනි කැමති නැහැ කැන්ටිමේ පෝලිමේ ඉන්න. අනික මංජුලා කොහොම හරි ඉස්සරහට ගිහින් හැමෝටම කලින් කෑම ගන්නවා. එකම වැරැද්ද කන්න පටන් ගත්තාම කාගෙ කෑම ද කියලා එයාට අමතක වෙන එකයි.”

එහෙන් මෙහෙන් ළමයෙක් දෙන්නෙක් සිනහා වුනා. රුක්ෂානියි හසන්තියි හිනාවුනේ මංජුලාගේ වැඩ ගැන වුනාට ප්‍රීනිට ළමයි හිනා වෙනව දැකල තරහ තවත් වැඩිවෙලා. කර කියා ගන්න දෙයක් නොමැතිව ඇය දත්මිටි කාගෙන පොතක් ඇතුලට එබුනා.

“ප්‍රීනි මොකක් හරි දෙයකට ලැහැස්ති වෙනවා,” රුක්ෂානි පැවසීය.

හසන්ති කිසිවක් නොකියා සිටියාය.

“මම මේ පංතියට ආ දවසෙ ඉඳලම ප්‍රීනි කවදාවත් මංජුලාට සල්ලි දුන්නෙ නෑ කෑම ගේන්න. එයාගෙ හිතේ අද වෙන මොනවද ලොකු දෙයක් තියෙනවා. අමතක වෙලා මංජුලාව යැව්වෙ. මානෙල්ව යවන්නෙ නැතුව.”

රොෂානා මිස් පංතියට පැමිණියෙන් හසන්තිට කිසිවක් පවසන්නට නොහැකි විය. රුක්ෂානි දකින සුළු දේවල් පවා මෙපමණ කාලයක් පංතියේ හිටිය තමන් නොදැකපු හැටි. අලුත් ඇසකින් අවට සමාජය දෙස බලන්නට තමනට හැකිද? සිතුවිලි ගොන්නක රැඳුන හසන්තිට පංතියේ ළමුන් තමන්ව නාට්‍ය චරිතයකට නම් කරනවා සිහිනෙන් මෙන් ඇසිණ.

“මිස් සංජීවනීට දෙන්න ඒ පාට් එක. මට මේන් රෝල් එකක් කරන්න බැහැ මිස්.”

“හසන්ති ඔයා බෑ කියල පටන් ගන්න එපා,” රුක්ෂානිගෙන් චෝදනාවක්. “සංජීවනී තමයි ඔයාගෙ නම කිව්වෙ. එයා හරි ඔයාගෙ උසට ඔය පාට් එක ගැලපෙනවා.”

“යාළුවට කියල ඉංග්‍රීසියෙන් කතා කරන්නත් ඉගෙන ගන්න බැරියැ,” ප්‍රීනි අමනාපයෙන් පැවසීය. වජිරා ඇරුනම හසන්ති ළඟට උස ළමයෙකුට ඒ පංතියෙ හිටියේ ප්‍රීනි.

“දැට්ස් අ ගුඩ් අයිඩියා. රුක්ෂානි ඔයා උදව් දෙන්න හසන්තිට එයාගෙ ලයින්ස් ප්‍රැක්ටිස් කරන්න,” එතෙක් නිහඬව අසා සිටි රොෂානා මිස් හසන්තිගෙ චරිතය ස්ථාවර කළාය.

පංතිය හමාර‍ වෙනකොට ප්‍රීනිට තද හිසදරයක් පටන් ගෙන. දවල්ට කන්න බලාගෙන හිටිය චයිනීස් රෝල් ලැබුනෙත් නැහැ. හකුරු යහමින් දාලා හදපු වටලප්පන්වල සීනි රහ වැඩි නිසාද කොහෙද ඉසරදය තවත් දරුණුව දැනුන. හරියට කිසිදෙයක් සිදු නොවන දවසක්.

ප්‍රීනිට ලැබුනෙ නාට්‍යයේ ප්‍රධාන චරිතය. ඒත් එයාල රඟ දක්වන්නෙ දොළොස්වන රාත්‍රියේ අංක 3 නේ 4 වන ජවනිකාව. එකේ ප්‍රධාන චරිතය වන වයොලා වේදිකාව මත ඉන්නෙ සුළු වේලාවක්. හසන්තිත් සංජීවනීත් හැරුන කොට අනිත් හැම දෙනාම ලබා හිටියෙ එක හා සමාන චරිත.

ළමයි ගොන්නක් ඉන්න මේ රංගන පුහුණුව පුංචි යුද්ධයක් වෙයි. සමහර ළමයි මුලින් එකඟ වුනාට ගෙවල් වලින් අවසර නොලැබුනාම නාට්‍යයෙන් ඉවත් වෙනව. ඒ පුරප්පාඩු පුරවන්න තව දවස් යනව. රුක්ෂානියි සංජීවනියි කොහොමද ඒවා දන්නෙ. අද ඊයෙ පාසැලට එකතු වෙච්ච අය. හසන්තිත් දැන් එයාල එක්ක. ප්‍රීනි පංතියෙන් නැඟිටලා පාසැලේ හෙදි කාමරයට පා නැඟුවෙ පාසැල් හෙදියගෙන් පැනඩෝල් පෙත්තක් ඉල්ල ගන්න.

රොමේන් හා නීලමනී සෙල්ලම් කර කර හිටිය ජෙලි බෝලය රුක්ෂානිගෙ මේසයට වැටුනෙ මේ වෙලාවෙ. මේසේ වැදුණ පාරට බෝලෙ ඇරිලා ඇතුලෙ තිබුන ලියුම රුක්ෂානිගෙ ඔඩොක්කුවට වැටුණ. දිසානායක මිස් හති දදා පංතියට ඇතුළු වුනෙත් ඒ එක්කම. රොමේන් හා නීලමනි බැලුවෙ වත් නැහැ රුක්ෂානි දිහා. තක්බීරි වෙලා දෙන්නම පොත් ඇරගෙන ඒවා අස්සෙ ඔළු හංගගෙන ලියුම අහුවෙයි බයට.

දිසානායක මිස් පහුගිය දවස්වල හදපු ගණිත අභ්‍යාස පොත් අරගෙන එක එක්කෙනා බැඟින් ශිෂ්‍යාවන් තම මේසයට කැ‍ඳෙව්වා. අභ්‍යාස සියල්ලටම තමා නිවරදිව පිළිතුරු සපයල තියන බව දන්න රුක්ෂානිට පංතිය ඉ‍දිරියේ ගණන් හදන්න කැඳවයි යන බයක් තිබුනෙත් නැහැ. ජෙලි බෝලයෙන් වැටුන ලියුම දිග ඇරියෙ ආදර කතාවක රස විඳින්න. ඒත් පේලියක් දෙකක් කියවන කොට ඒක ආදර හසුනක ඉතා දුර්වල වෑයමක් යයි ඇයට දුක සිතිණ. ඉංග්‍රීසියෙන් ලියන ලද එහි සැලකිය යුතු ප්‍රමාණයක ව්‍යාකරණ දෝෂ හා අක්ෂර වින්‍යාස වැරදි ඇති බව ද පෙනින. එහෙන් මෙහෙන් අහුලා ගත් වදනින් පිරි අච්චාරු හැලියක් මිස ආදරයේ සොඳුරු වදන් එහි නොවීය. තමාව ගුරුවරිය අසලට කැඳවන තෙක් ඇති කාලය මිඩංගු කර‍ බොළඳ යෞවනයට අයත් ආදර වදනින් පිරි රස වින්දනයේ උපරිම ආශ්වාදයක් ගෙන දෙන ලිපියක් සකස් කරන්නට ඇයට හැකිවිණ.

වතාවක් දෙකක් හිස ඔසවා රුක්ෂානි දෙස බැලුවද හසන්ති රුක්ෂානි කරන්නේ කුමක්ද කියා විමසිලිමත් වූයේ නැත. රුක්ෂානිගේ නම කියැවුන සැණින් ඇය නැඟිට ගුරුවරියගේ මේසය වෙත ගියේ රොමේන් හා නීලමනී අසුන් ගත් පුටු අසලිනි. ජෙලි බෝලයත් සමඟ එහි වූ ඔවුන් ලියූ ලිපිය හා තමන් අතින් සැකසුන ලිපිය ගුරුතුමියට නොපෙනෙන සේ ඔවුනත තැබීමට ඇය සමත් වූවාය.

ක්‍රිකට් ක්‍රීඩකයනට පෙම් බැඳි ශිෂ්‍යාවන්ගේ ආදර හසුන් ඇතුළුව පංතියේ පෙම් පත් හුවමාරු කරගත් බොහෝ දෙනෙකුගේ ලිපි වලට රුක්ෂානිගේ ශෛලිය එකතු වුනේ එදා පටන්. ආදරවන්තයෝ සිටින හැම දෙනාම රුක්ෂානි ලවා ලිපි ලියා නොගත්ත ද උපදෙස් ගන්නට අමතක නොකළහ.

එක් ප්‍රතිචාරයක් »

  1. ඔන්න අද කොටසත් කියෙව්ව. ඊලඟ කොටස දානකම් බලන් ඉන්නව….

    ප්‍රතිචාර විසින් indik — ජනවාරි 14, 2010 @ 7:46 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: