Sinhala story Blog

අගෝස්තු 18, 2013

කිබිසිනි – ඒ දෙන්නට මොකද වුනේ?

Filed under: Uncategorized — arunishapiro @ 1:40 ප.ව.

තාත්තා ගෙන් පිළිතුරක් නොලැබුණි.

නොසන්සුන් නිහඬතාවයක් පැතිරෙන්නට කළින් හනිකට මිස් සුරම්‍යා නැවතත් කතාව ඇදගෙන යන්නට වෑයමක් ගත්තාය.

“ජින්සෙන් ගැන ලීලා කියෙව්ව පොතකින් ද?”

“නැහැ ඒක මම .. ආ ඔව් ඔව් .. කොරියාවේ කතන්දරයකින්,” යැයි කියද්දී මිස් සුරම්‍යාගේ කිරි සුදු දත් වලට ඇයගේ තොල් කොනක ඇතුලත අහුවෙන හැටි ලීලා දැක්කාය.

“ජපන් අය ඇවිත් කොරියාවේ යුද හමුදාවක් වෙච්ච කාලෙක. පොලීසි වලට ගෑණු අයව ගෙනිහිල්ලා …” ලීලා නිදිමතින් දෑස් පියවෙන තාත්තා දෙසත් කුතුහලයෙන් තමා දෙස බලා සිටින අම්මා දිහාත් බලා වාක්‍යය අවසන් නොකළාය.

“මේ දරුවා මේ තාත්තගෙ අසනීපය හින්දා මේ දවස්වල මොන පොත් කියවනවා ද මන්දා?” අම්මා කම්මුලක් අතක රඳවා ගනිමින් නැවතත් පටන්ගෙන ඇත්තේ සුසුම් හෙළන්නට.

“ඒත් අම්මෙ ඒ කතාව ඉවර වෙන්නෙ ගමේ මිනිස්සු, ඒ කියන්නෙ කොරියන් අය ගිහින් පොලීසියෙ ඉන්න ජපනුන් බය කරලා ඒ කතාවේ ගෑණු එක්කෙනාව ආපහු අරගෙන ඇවිත්.”

“අනේ එහෙනම් හොඳයි,” අම්මා වෙතින් මෙවර පිටවුනේ සැනසුම් සුසුමක් සමඟ සිනාවක්.

මිස් සුරම්‍යා වෙතින් තිගැස්සීමක් දකින්නට ලීලාට හැකිවිණ.

“ලීලා ඔයා කියවලා තියෙනවා ද සාරභූමි කියලා පොතක්?”

“නැහැ.”

“ඒක ලියපු ලේඛිකාවම තමයි මේ පොතත් ලියලා තියෙන්නෙ.”

“ඇත්තටම, මිස් සුරම්‍යා කියවලා තියෙනවා ද? මේක? පොතේ නම මොකක් ද? පුස්තකාලයේ පොත තියෙනවා ද?” ලීලා ප්‍රශ්න කළේ සතුටින්.

“ඉතින් දරුවො එක පාරක් කියෙව්වා නම් ආයේ කියවන්න හොයන්නෙ මක්කටැයි?” අම්මා සිනාවෙන්නීය.

“සමහර පොත් දෙවැනි වතාවේ කියවද්දී පළමුවෙනි වතාවට වඩා රසවත්,” මිස් සුරම්‍යා කීවත් වචන පිට වූ වහාම ඇය තුලින් දිස්වූයේ අම්මා සහ ලීලා තුල පැවති තරම් සතුටක් නොවේ.

“මහත්තයා නිදි වෙලාවේ මට පොඩි වැඩ ටිකක් ඉවර කරගන්න තියෙනවා,” කියමින් අම්මා නැඟිට්ටා ය. මිස් සුරම්‍යා ද හිටගත්තේ ආරාධනාවක් නැතිවම ඇවිත් හිතුවාටත් වැඩි කාලයක් රැඳී සිටීම ගැන තමන්ටම අවලාද කරගනිමින්.

“යන්න හදිසි වෙන්න එපා මිස්, මේ ළමයා මේ මොනව ද අහන්න නළියනවා වගේ මට පේන්නෙ. ඕවාට උත්තර දෙන්න මම දන්නෙ නැහැනෙ, ඒත් මිස්ගෙ කාලේ නාස්ති වෙන්නැත්තම් විතරක් තව ටිකක් ඉඳලා යන්න.”

අම්මා තේ කෝප්ප පීරිසි එකතු කරගෙන ගේ ඇතුලට ගියේ මනස්තාපයකින් තොරව.

“පොතේ නම ජීවත්වන බටය. බට පඳුරක ලොකු බටගස් කැඩිලා ගියත් පස් යටින් අළුත් බට පඳුරු දළු ලා එනවා. ඔව්, පුස්තකාලේ පොත තියෙනවා, ඒත් ..” මිස් සුරම්‍යා තොල විකන්නීය.

“ඇයි ඒත් කිව්වෙ?”

“ඔයා .. ඔයා ඒ .. කියවපු .. ඔය කියන .. තැන පොතේ අවසානය නෙමෙයි.”

ලීලා මිස් සුරම්‍යාගේ මුහුණ දිහා ඇසිපිය නොගසා බලා සිටියි.

“කතාව ඉවර වෙන්නෙ එහෙනම් …”

“ඔව්, කතාව ඉවර වෙන්නෙ .. ඒ අම්මගෙයි දුවගෙයි කතාව සැපවත් විදියට ගෙවන ජීවිතයකින් නෙමෙයි ඉවර වෙන්නෙ ..”

ලීලාත් මිස් සුරම්‍යාත් එකිනෙකා දිහා බලාගෙන සිටියහ. කියන්න ද නොකියන්න දැයි කාන්තාව හිතාගත නොහැකිව සිටිය දී අහනවා ද නැද්ද යැයි කෙල්ලට හිතාගත නොහැකි විය.

“ඔයාට ඒක පොතක ලියැවෙන කතාවක් විතරක් ම නෙමෙයි නේද?” මිස් සුරම්‍යා මුමුණමින් අසයි.

“ඔව්, පොතක විතරක් තියෙන එකක් නෙමෙයි. අනික් ඒවත් එහෙමයි.”

“නොදැන ඉන්න බැරි ද?”

“දැනගත්තැයි කියල ඇති වැඩේ මොකක් ද කියලත් මට තේරෙන්නෙ නැහැ.”

“ලීලගේ තාත්තා?”

“ඔව්, තාත්තාටත් මේවා පොත් වල විතරක් තියෙන කතන්දර නෙමෙයි.”

“මෙහෙම වුනේ?”

“හරියටම දන්නෑ. ඒත් මොකක් හරි සම්බන්ධයක් තියෙනව කියල හිතෙනවා.”

“හේතුව නොදැන අවුල ලිහාගන්න බැහැ.”

“ඔව්. ඒත් හේතුව හොයා ගන්නෙ කොහොම ද කියන එකත් ප්‍රශ්නයක්.”

“ඔක්කොම හොයාගෙන අනවශ්‍ය ඒවා අත්හැරලා දාන්න.”

“එහෙනම් කියන්න මිස් සුරම්‍යා, ඒ දෙන්නට මොකද වුනේ?”

“ජපන්නු පල්ලියට ගිනි තිබ්බා. දුවයි අම්මයි දෙන්නම ඇතුලේ හිටිය දී බේරගන්න තාත්තත් ගියාම තුන්දෙනාම පිච්චිලා මැරුන.”

“ඉන්දුක් ප්‍රෙග්නන්ට් වෙලා හිටපු බබාත් එක්කම?”

“නැහැ ඒ පුතා ඊට ඉපදුනාට පස්සෙ. එයාව මහත්තයාගෙ අම්මයි තාත්තයි හදාගන්නවා. ඒ පුතා ඊට පස්සෙ වෛද්‍යවරයෙක් වෙනවා.”

“වෛද්‍යවරයෙක්?”

“ඔව් වෛද්‍යවරයෙක්.”

අගෝස්තු 11, 2013

කිබිසිනි -අහිමි වූ මෝහයන්

Filed under: Uncategorized — arunishapiro @ 8:42 පෙ.ව.

ලීලා ආපහු එද්දී තාත්තා ඉස්තෝප්පු කාමරයේ සිටියේ නැහැ.

අත කරට ගියත් මකර තැල්ල ද ඇයගේ කරේ නොවීය. ගිය තැනක කොතරම් කාලයක් ගෙව්වත් ගිය වේලාවට ම ආපහු එන්න හැකියාව මෙවර අහිමි වී ඇත් ද? ඇය දොර හරිද්දී තාත්තා දොර ළඟ එහා පැත්තේ හිටගෙන තව පොඩ්ඩෙන් දොර වැදී ඔහු ඇදවැටෙන්නට ඉඩ තිබුණි. ඔහු තිගැස්සුන හැටි දුටු අම්මා හුන් අසුනෙන් නැඟිට තාත්තා වෙත දිවගෙන පැමිණියේ තාත්තාව අල්ලා ගන්නට.

මිස් සුරම්‍යා යටි තොලේ කොණක් දතින් හපමින් ඔවුන් දිහා කුතුහලයෙන් බලා සිටින්නීය.

“මිස් සුරම්‍යා මෙහෙ හොයාගත්තෙ කොහොම ද?”

“කෝ ලීලා ආපහු පුස්තකාලෙට එනකම් බලාන ඉඳලා මම වයසටත් ගියානෙ,” ඇය සිනාවෙමින් කියමින් පොත් මල්ලකින් පොත් දෙකක් සහ තෙල් කඩදාසියක එතූ කේක් කෑල්ලක් එළියට ගති. “මගේ උපන්දිනේට පුස්තකාලේ කට්ටිය කේක් ගෙඩියක් කැපුවා. මේ පැත්තෙ එන නිසා මම ලීලාට පුංචි කෑල්ලක් අරන් ආවා.”

“අයියෝ මේ දරුවා කරදර වෙලා තියන තරමක්,” අම්මා තාත්තාව පුටුවකට වත්තන් කරන ගමන් කියන්නීය. මවගේ මුහුණේ තිබි මනස්තාපය මිස් සුරම්‍යයාගේ පැමිණීමත් සමඟ පහව ගිහින් යැයි දුටු ලීලාට ද දැනුනේ සතුටකි.

“මෙන්න ලීලාගෙ පොත්. මේ ඔයාගෙ අළුත් කාඩ් එකට දාලා තියෙන්නෙ. මේ දිනය මතක තියාගෙන එදාට කළින් ආපහු ගේන්න.”

“ස්කාලට් පිම්පර්නල් .. අනික, අහිමි වූ මෝහයන් .. මේක ද අර ප්‍රංශයේ කතාව?”

“ඔව් මේක තමයි හෙන්රි බල්සැක් ලියපු කතා වලින් ඩැනියෙල් ඩ’ආර්තේස් සහ ලුසියන් කියන චරිත තියෙන එක. මං මුළු පොතම කියෙව්වා. මට හැබැයි ‘දුප්පත් ඥාතියෝ’ පොත මීට වඩා රසවත්.”

“ඒත් මේ යහළුවන් අතරෙ තිබිච්ච එකමුතුව කොහොම ද?” ලීලා ඇසුවාය.

“ඔයා පොතේ මුල හරිය විතරයි කියවලා තියෙ ..” වාක්‍යය අවසන් නොකර මිස් සුරම්‍යා ලීලා දිහා බලාගෙන නැවතත් තොල් හපන්නට පටන් ගෙන.

“අපි මේ කේක් කෑල්ල කපාගෙන තේ හදාගෙන එමු නේද?” ලීලා මෙහෙකාරිය වෙත හැරුනේ දැන්ම යන්න එපා කියන බැල්මක් මිස් සුරම්‍යා වෙත පාමින්.

“ආන්ටි කියවන්න කැමති පොත් මොනවා ද?” ලීලාගේ මව වෙත හැරී මිස් සුරම්‍යා අසයි.

“අනේ ළමයෝ මේ ලීලාගෙ තාත්තා තමා පොත් කියවන්න හපනා. මේ ලෙඩේ හැදෙන්න කළින් හරියට පොත් කියවනවා …”

“කෑලි හතරකට කපලා ඔයාට කෑල්ලක් තියාගෙන අනිත් තුන ගිහින් දෙන්න. තේත් හදන්න. මම ඉක්මණට එන්නම්,” යැයි මෙහෙකාරියගේ කනට කොඳුරා ලීලා දිවගියේ ඇයගේ නිදන කාමරයට. අමතක වෙන්න කළියෙන් ඇය සාර්ථක ගමනක විස්තර ලියුවේ එහි වූ සටහන් පොතේ.

කොරියාව, ජපන් හමුදාව, මන්සෙයි, ඉන්දුක් …ඇයගේ දැරිය

ආච්චි -කටේ දත් නැහැ

සැර රහක් තියෙන තේ කෝප්පයක්

ක්‍රිස්තියානි ඉන්දුක් විවාහ වෙලා සිටියෙ කුලීන කොරියන් පරම්පරාවකින් ආපු .. ලීලා ඔහුගේ නම මතක් කරගන්නට උත්සාහ කළාය … එයා මොන ආගමේ ද?

පුස්තකාල පොත් දෙක ඇය තැබුවේ කොපි පොත උඩින්. මිස් සුරම්‍යා සමහර විට ඒ කතාවත් දන්නවා ඇති. ලීලා ඉස්තෝප්පුවට යද්දී කේක් ඇල්ලූ තසිම ආපහු අරන් එන මෙහෙකාරිය ඇය වෙත පෑවේ සිනා පිරි මුහුණක්.

“බේබිට මං කෑල්ලක් අරන් තිබ්බා,” මෙහෙකාරිය හිමින් කීය, “චූටි කෑල්ලක් වුනාට රහයි.”

තමන්ට එපා යැයි කියන්නට කට ඇරිය ද මෙහෙකාරියගේ සතුටු මුහුණ අඳුරු කරන්නට අකමැත්තේ ඇය ඔළුව වනා එකඟ විය. “එහෙනම් මටත් එක්ක තේ හදන්න,” යැයි කියද්දී මෙහෙකාරියගේ සතුට ඇයගේ මුහුණේ තවත් ඉස්මතු විය.

අම්මා සහ මිස් සුරම්‍යා යෙදෙන කතාබහ තේරුම් බේරුම් කරගන්නට හදන ලෙසකින් තාත්තා ඔවුන් දිහා බලාගෙන සිටියි. ඔහු අවධානයක් දක්වන්නට යළි පටන් ගෙන ද?

“මට තවත් පොතක් තියෙනවා හොයා ගන්න,” ලීලාට කියැවුනේ නොහිතාම. “ජර්මනියෙ කතාවක් ..” ඇය තාත්තා දිහා බැලුවේ ඔහු මොනයම් ආකාරයකින් හෝ සම්මාදම් වේ යැයි බලාපොරොත්තුවෙන්. එහෙත් ඔහු ලීලා දිහා බැලුවේ වත් නැත. ඇය කියන්න ඇහුණු බවක් පෙන්නුවේ ද නැත.

“උමගක් හාරලා ස්ටාසි කියල කට්ටියක ගෙන් පැනලා යන්න හදන පවුල් වල එක එක වයසේ අය … ජර්මනියෙ,” ලීලා කියා ඉවර කළත් තාත්තා වෙතින් කිසිත් වෙනසක් දකින්නට නොතිබුණි.

“ස්ටාසි කියන්නෙ නැගෙනහිර ජර්මනියෙ හමුදාව. තාප්පෙ හදන්න කළින් ද?”

ලීලා උත්තරයක් දුන්නේ නැත. තාත්තා එහි දී කතාබහට සමත් වුවත් දැන් ඉන්නා තත්වය දකිද්දී ඉන්පසු තනිවම අපූරු ගමනක් ගිහින් කලබලයක විසඳුමක් අත්දැක ගන්නට ලැබීමෙන් දැනුනු සතුට ගිලි හී නොයා දී අල්ලා ගැනීම අසීරුය.

මෙහෙකාරිය තේ කෝප්ප රැගත් බන්දේසිය සමඟින් ඉස්තෝප්පුට ආ නිසා ලීලාගෙන් උත්තරයක් කිසිවෙක් බලාපොරොත්තු නොවූහ. ඔවුන් නිහඬව තම තමන්ගේ තේ කෝප්ප පානය කළහ.

“තේ සැර රහක් කරන්න ඉඟුරැ නෙමෙයි හැබැයි ඒ වගේ මොනා හරි දානවා ද?” ලීලාට ආයෙත් කියැවුනේ නොදැනුවත්වම.

“ජින්සෙන්,” අම්මා කීවාය. “ඔන්න ලීලලැයි තාත්තා දවසක් උස්සන් ආවා ඇඹරිලා ගිය අතු කෑල්ලක් වගේ එකක්. ජරා රහක් මට නම් දැනුනෙ. ඒත් මෙයා නම් කිව්වෙ සැර රහක් දැනෙනවා කියල තමයි, නේද?” අම්මා විමසුවේ තාත්තා වෙතට හැරෙමින්.

අගෝස්තු 3, 2013

කිබිසිනි – එක කාන්තාවක් වටින්නෙ නැහැ

Filed under: Uncategorized — arunishapiro @ 6:50 පෙ.ව.

ලීලා අසල සිටි හතර පස් දෙනා විසි තිස් දෙනෙකු බවට පත්වූයේ ඉතා ඉක්මණින්.

අලුතින් එක් වූ තරුණියන් මෙතෙක් කිසිවෙක් නොකී තොරතුරු ඉදිරිපත් කළහ.

“ඉන්දුක්, ඇයගේ නම ඉන්දුක්.”

“අපේ ගුරුවරයා තමයි යුල්-හාන්. මේ ඔහුගේ බිරිඳ.”

“ඇය දෙවැනි දරුවා ගැබ්ගෙන ඉන්නවා කියල කතාවක් පල්ලියේ දී ඇහුන.”

නොඉවසිලිමත් තරුණයන් ආවේගශීලීව කතා කළහ.

“හැම පැත්තෙන්ම ගිහින් අපි පොලීසියට පහර දෙමු.”

“කට්ටියක් එහෙම ගහද්දී අපි ඇතුලට කඩාවැදිලා ඉන්දුක් බේරාගෙන එන්නම්.”

“හැමදාම බයේ ඉන්න බැහැ. අපි මුකුත් නොකර නිකම් හිටියොත් ඊ ළඟට අපේ ගෑණුන්වත් කුදලාගෙන අරන් යන්න පටන් ගනියි.”

වයෝවෘද්ධයන් සුසුම්ලෑහ. මෙවැනි හැසිරීම් ගැන අහන්නට ලැබීම පාපයක් යැයි කියූහ.

වටෙන් පිටෙන් ඔවුන් වෙතට ඇදී එන ජනකාය කෙමෙන් තවත් වැඩිවුණි. තරුණ අයගේ සාහසික අදිටන් තව උත්සන්න වෙන්නට කළියෙන් කවුරු හෝ පොලීසිය හා කතාබහට මූලික වෙන්නට ඉදිරිපත් විය යුතු යැයි ලීලාට සිතිණ. එහෙත් කෙල්ලන්ගේ වස්ත්‍ර උනා දමන හැදියාවෙන් සිටිනවා යැයි කියන ජපන් පොලීසියක් ඇතුලට යන්නට ලීලා අකමැති වූවාය.

“අපි හැමෝම නොයා ඉම්මු.” ඇය හඬ අවදි කළාය. “වයසක පිරිමි දෙන්නෙක් විතරක් යවමු පොලීසිය ඇතුලට. ඇය ක්‍රිස්තියානි නිසා, පල්ලි යන වයසක ඇත්තො දෙන්නෙක් ඉන්නවා ද කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න?” ඇය ඇසුවාය.

“එහෙම ගිහින් වැඩක් වුනේ නැත්නම් අපි ලෑස්ති වෙලා ඉන්නම් පොලීසියට ගහන්න,” තරුණයන් තරයේ කියා සිටියහ.

වළ පයයි ගොඩ පයයි තියාගෙන ඉන්නා වයසක මහල්ලන් දෙදෙනෙක් ඉදිරිපත් වූහ.

වයසක පිරිමි දෙදෙනා සීරුවෙන් අඩිය තබමින් පඩිපෙළ නැඟ කන්තෝරු කාමරයට ඇතුල් වී එකත්පස්ව හිටගන්නට සෑහෙන කාලයක් ගෙවී ගියේය. පැත්තකින් විවෘත ව තිබි ජනේලයක් අසලට ගොස් ඇතුලත සිද්ධ වෙන්නට කන් දෙන්නට ගිය තරුණයන් දෙදෙනෙක්ට ලීලා ද එක්විය.

ඉන්දුක් හෝ වෙනත් කිසිම කාන්තාවක් පොලිස් ස්ථානයේ සිටිනවා දැයි දැන ගන්නට ඇඟිලි තුඩු වලින් ඉස්සී ඉස්සී විවෘත වූ ජනේල දොරකඩ වලින් හොරෙන් හොරෙන් එබිකම් කරමින් ගිය කිසිවෙකුට කිසිත් වාසියක් නොවීය.

ඇය හෝ වෙනත් කාන්තාවක් එහි සිටිනවා යැයි සොයාගත නොහැකි වූ මහල්ලන් දෙදෙනා කාන්තාවන්ගේ වස්ත්‍ර උනා දමා කරන හිරිහැරයට විරුද්ධව කතා කරන්නට පටන් ගති. පොලීසියේ ලොක්කාගේ මුහුණ අඳුරු විය. මහල්ලන්ට මෙතෙක් දැක්වූ ආචාරශීලී ගතිය ඔහු තුලින් පහව ගියේය.

“ඔබට වැරදිලා, අපේ නීතියට අනුව සිරකරුවන්ගෙ ඇඳුම් උනා දාන එක වැරදි නැහැ. අපි ඒක කරන්න අවශ්‍යයයි ඔවුන් නීති විරෝධී පත්‍රිකා සඟවා ගෙන ඉන්නවා ද බලන්න.”

මහල්ලන් දෙදෙනා ගෙන් වැඩිමහල්ලා නිර්භීතව කතා කළේය. “එහෙනම් ඇයි ඔබ තරුණ කාන්තාවන්ගේ පමණක් ඇඳුම් ගලවන්නේ? ඇයි පිරිමින්ගේ ඇඳුම් ගලවන්නෙ නැත්තෙ?”

පොලිස් ලොක්කා ඊට කිසිත් උත්තරයක් දුන්නේ නැත. සුදු රෙදි හැඳගත්, කළු උස් තොප්පි දමාගත්, හැරමිටි වලට වාරු වී සිටින මහල්ලන් දෙදෙනා දිහා හේ රවා බලාගෙන සිටියේය. එහෙත් ජීවිතයේ නොමඳ අත්දැකීම් විඳ ඇති මහල්ලන් ද බියක් නැතිව ඔහු දිහා ආපසු බලාගෙන සිටියේ ජපනාගේ කුරිරු දෑස් මඟ හරින්නේ නැතිව.

“මේ අයව එළියට දාන්න,” පොලිස් ලොක්කා බයිනේත්තුවක් උස්සාගෙන සිටි සොල්දාදුවෙකුට කීය.

ලීලා සමඟ හුන් තරුණයන් විසිල් පාරක් පැතිර යැව්වේ ලීලාගේ කන් දෙදරවමින්.

තුවක්කුව බිම තබා මහල්ලන් දෙදෙනාගේ උරහිස් සිය අත් දෙකෙන් අල්ලා ගත් සොල්දාදුවා එළියට එද්දී දොරටුව අසල ටවුමේ සියල්ලම පාහේ රැස් ව සිටියහ.

“කෝ ඒ කාන්තාව?” තරුණයෙක් මහ හඬින් ඇසුවේය.

“කාන්තාව නිදහස් කරන්න,” තවත් අයෙක් කෑ ගැසීය.

“ඇයව එළියට එවන්න, නැත්නම් අපිවත් ඇතුලට ගන්න,” යැයි ඔවුන් සියල්ලන්ම කෑ ගහන්නට පටන් ගත්හ.

ඔවුන්ගේ කෑ ගැසීම ඇසුණු පොලිස් ලොක්කා පුටුවෙන් නැඟිට දොර වෙතට ගියේය. ඉද්ද ගැසුවාක් මෙන් කෙළින් සිටගත්තේ ඔහුව දැක ඔවුන් බියවී නිහඬ වේ යැයි සිතා වුවත් ඔහුව දැකීමෙන් ඔවුන් තවත් කුපිත වී කෑ ගැසිල්ල වැඩි කළහ.

පොලිස් ලොක්කා ජපන් බසෙන් ඔවුනට බැන වැදුනහ.

ඔවුන් කොරියන් බසෙන් පොලිස් ලොක්කාට බැන වැදුනහ.

ඔවුන්ගේ හඬෙන් ඔහුගේ හඬ මැකී ගියේය. ඔහු හැරී තම කාර්යාලය වෙත ගියේ “ඒ කාන්තාව නිදහස් කරන්න,” යැයි අණ නිකුත් කරමින්. “මෙච්චර කාලයක් වැය කරන්න වත් කරදර වෙන්න වත් එක කාන්තාවක් වටින්නේ නැහැ,” ඔහු මිමිණුවේය.

එකිනෙකා අසලින් මහල්ලන් දෙදෙනා තවමත් පොලීසියේ දොරටුව ඉදිරියේ සිටගෙන සිටිති. පහර දීම නිසා තඩස්සි වී ගිය මුහුණ පුරා වියළුන ලේ වලින් කතා කරගත නොහැකි ඉන්දුක්ව බාගයක් ඇදගෙන බාගයක් ඔසවාගෙන එන සොල්දාදුවන් දෙදෙනෙක් පොලීසිය ඇතුලෙන් පෙනුණි. ඇයගේ වස්ත්‍ර ඉරා දමා තිබුණි. ඇයගේ නිරුවත ඉදිරියේ රැස්ව සිටි ජනතාව තුලින් එක හඬකින් කෙඳිරියක් මතුවිය. ශක්තිමත් තරුණයෙක් ඉදිරියට අවුත් ඇයව කරපින්නා ගත්තේය. ඔහු පිටුපසින් ජනතාව ගමන් කළහ. පිරිමි ගෙරවූහ. ගෑණු විලාප තිබ්බහ.

ලීලා වෙතට ලොඹු කට පා සිනාවුනු මැහල්ල අවදි වී සිටින දැරියගේ අතින් අල්ලා ගෙන ඇවිත් ඉන්දුක් කරපින්නා ගත් ජනකායට එකතු වූවාය.

ලීලාගේ අත කරේ වූ මකර තැල්ල වෙත ගියේ කිසිවෙකුට නොපෙනී. ඇය එය හෙමිහිට ගැලවූයේ මේ කතාව අවසන් වූයේ කෙසේදැයි සොයාගන්නට මිස් සුරම්‍යා වෙතින් සහාය ලබාගත හැකි යැයි සිනාවක් මුවේ ඇඳී යද්දී.

Pearl S. Buck ලියූ The Living Reed (1963) කතන්දරයේ පසුබිම වෙයි.

ජූලි 21, 2013

කිබිසිනි -මස්කඩකාරයා මේ පවුල එක්ක තරහයි

Filed under: Uncategorized — arunishapiro @ 5:24 පෙ.ව.

තේ කෝප්පයට මොනවා දෝ එකතු කර ඇත.

මේ පළාතේ ඇත්තේ සීනි වෙනුවට ගම්මිරිස් දාලා තේ හදන සිරිතක් දැයි ලීලා සිතුවාය. එහෙත් ඇය තිත්ත කහට කෝප්පය බිංදුවක් වත් ඉතිරි නොකර බී අවසන් කළාය.

දැරිය ඉකිබිඳිල්ල නවතා ඇඟිල්ලක් උරමින් පැතලි කොට්ටය මත නින්දේ පසුවෙයි.

මැහැල්ල මොනවා දෝ මතුරමින් ගේ පුරා එහා මෙහා ඇවිදියි.

පාරේ සද්ද වලින් ඇහෙන්නේ දොරවල් ජනේල වසාගෙන හැංගිච්ච උදවිය නැවතත් එළි පහළියට බැස ඇති බවයි.

තමන් කුමක් හෝ කළ යුතු බව ලීලා දන්නීය. එය හනිකට කළ යුතු බවත් කල් දැමිය නොහැකි බවත් දැනුම් දෙන්නේ ඇයගේ දෙදරන හදවත.

“මේ බබා කාගේ ද?”

මැහැල්ල ලොඹු කටින් පැවසූ වදන් ලීලාට වැටහුනේ නැත. එහෙත් ඒ භාෂාව නොදන්නාකමක් නිසා නොවේ. දොර හැරිය ලීලා පාරට අඩිය තැබූ විට මැහැල්ල ද සාලය ඇතුලට එබිකම් කළ දැරිය තද නින්දේ පසුවන බව දැක ලීලා පසුපසින් පාරට බැස්සේය.

නිවසේ දොර අසලින් ම රංචු ගැසුන පිරිස් කිහිපයක් කඩ ලෑලි වල බඩු අත පත ගාන මුවාවෙන් කතාබහේ යෙදෙති. ලීලා ඔවුන් අතරට ගියේ තමන් විසින් කරන්නට තිබෙන කර්තව්‍ය ගැන යම් හෝඩුවාවක් ලබාගන්නට.

“ඒ ඉල්-හාන් ගේ මිනිපිරිය,” කාන්තාවක් කියන්නේ සුසුම් හෙළමිනි.

“පුතාට ක්‍රිස්තියානි කෙල්ලෙක් එක්ක විවාහ වෙන්න අවසර දුන්නට ඉල්-හාන් හොඳ පරම්පරාවකින් එන කුලීනයෙක්. හාපොයි කාලේ වෙනස් වෙලා තියෙන හැටි,” තවත් කාන්තාවක් සුසුම් හෙළන්නට එකතු වෙමින් කීවාය.

“ක්‍රිස්තියානි ද නැත්නම් බුද්ධාගමේ ද කියල බලන්න නෙමෙයි, ජපනා හැම කාන්තාවකගේ ම ඇඳුම් ගලවන්නයි පොලීසියට අරගෙන යන්නෙ.” තරුණයෙක් කීවේ දැඩි ආවේගයකින් දත්කූරු කමින්.

“අපි කොරියන් කිය කිය හැමදාම චීන්නුන්ට, ජපනුන්ට, රුසියානුවන්ට බයෙන් ඉන්න ද කියන්නෙ?!!!” ඔහු අසලට ආ තවත් තරුණයෙක් දැඩි හිත් වේදනාවකින් ඇසීය. වැඩිහිටියන් කිසිත් නොකීහ. ඔවුන් බියෙන් තැති ගත් ඇස් මහමග හැම අත යවමින් මේ කතාබහට කිසිවෙක් හෝ සවන් දෙන්නේ දැයි සොයා විපරම් කළහ.

“ඇය මන්සෙයි කියනවා කාට හරි ඇහිලා තියෙනවා ද?” ලීලාගේ හදවතින් නැඟ ආ අදහස මුවින් පිටවූයේ මොළයෙන් පිරික්සීමක් නැතිව.

“ගුරුවරියක් වුනාට ඇය වැඩි කතාබහක් නැහැ කිසි කෙනෙක් එක්ක,” කාන්තාවන් දෙදෙනාගෙන් අයෙක් කියද්දී අනෙකා හිස වනමින් එයට එකඟ වූවාය.

“පාඩුවේ ඉන්න ගුරුවරියක්,” දත්කූරු කෑ තරැණයා කීවේය.

“එයා පොළට එන්නෙ මහත්තයට මාළු කූරියෙක් අරන් යන්න,” එතැනට පැමිණි ලේ පැල්ලම් සහිත උඩ රෙද්දක් උනා එයින් අත් පිස දමමින් ඔවුනට එකතු වූයේ මාළුකඩකාරයෙකි. “අර කෑ ගහපු මස්කඩකාරයා ඒ පවුල එක්ක තරහයි. එයාගෙ ගෙදර වැඩකාරකමට විකුණපු පුංචි කෙල්ලෙක්ට අතවර කරද්දී මේ පවුල ඒ කෙල්ලව බේරාගෙන එයාලගෙ ගෙදර නවත්තා ගත්තට.”

“හාපෝයි බුදු හාමුදුරුවනේ,” කාන්තාවන් දෙදෙනා තරඟයට සුසුම් හෙලූහ. මැහැල්ල ලොඹු කටෙන් ඔවුන් සමඟින් එකඟත්වය පළ කර සිටියාය.

“අපි යමු පොලීසියට. මුළු ගමේ හැමෝවම එකතු කරගෙන. ඇය මන්සෙයි කියනවා අපට ඇහිලා නෑ කියල කියමු.” ලීලා කීවේ එය තමන් විසින් කළ යුත්ත යැයි හදිසියේ ම වැටහුනු පැහැදිලි අවබෝධයකින්.

ජූලි 13, 2013

කිබිසිනි -මට මගේ දරුවා මෙතැන තනියම දාලා යන්න බැහැ

Filed under: Uncategorized — arunishapiro @ 7:00 පෙ.ව.

පොලිස් නිලධාරියෙක් කාන්තාවගේ අත්දෙක පිටුපසට තබාගෙන ඇයව අල්ලා ගෙන සිටියි.

පාරට වැටුණ දරුවා තවත් හයියෙන් හඬා වැලපෙයි.

“මන්සෙයි කියලා කෑ ගහලා තියෙනවා ද?” පොලිස් නිලධාරියා අසන්නේ ගෙවල් වලට රිංගා ගත් හැමට ඇසෙන පරිදි ය.

ඔහුගේ මුහුණ ඉදුණ ජම්බෝලයක් මෙන් රතුපාට වී ඇත. ඇස් කුරිරි බවකින් දිළිසෙයි. කොටට කැපූ කළු කොණ්ඩයේ කෙස් ගස් එකින් එක ඉද්ද ගැසුවාක් ඉහළට ඉස්සී පවතී. ඔහු තුවක්කුව ඉස්සුවේ එහි කොණකින් ඇයට ගහන්නට මෙනි.

කාන්තාව තැතිගෙන කිසිත් කියාගත නොහැකිව වටපිට බැලුවාය. ඇයගේ දසුනට මත්පැන් හලේ තරබාරු පුද්ගලයාව හසුවිය.

“ඔබ,” ඇයගේ කටහඬ වෙව්ලීය. “අනේ වැඳලා කියන්නම් -අපි කොරියන්, ඔබත් මාත්.”

ඔහු රළු හඬින් මහා හයියෙන් සිනාසුණි. “දැන් මට වඳිනවා,” ඔහු කෙකර ගෑවේය. “දැන් උඹ මට වැඳලා කියනවා.”

“මැයව පොලීසියට අරන් යන්න,” පොලිස් නිලධාරියෙක් ආඥාවක් නිකුත් කළේය. “ඇත්ත දැනගන්න ප්‍රශ්න කරන්න. ඇය මන්සෙයි කියලා කෑ ගැහුව ද නැද්ද කියලා හොයාගන්න.”

තක්බීරිව වටපිට බැලූ කාන්තාව “එහෙම කියන්න ඇති,” යැයි කෙඳිරි ගෑවාය. ඇත්ත කීමෙන් නිදහස ලැබෙනු ඇතැයි සිතා ඇය සමාව ඉල්ලන ස්වරයකින් “මට ඒ ගැන වැටහෙන්න ගොඩක් කාලයකට ඉස්සර… ගොඩක් ඉස්සර කාලයක දී .. මම කියන්න ඇති .. සමහර විට මන්සෙයි කියලා, ඒත් මම පොරොන්දු වෙනවා ..” යැයි කියන්නට පටන් ගත්තාය.

එහෙත් එම ප්‍රතිචාරය ඔවුනට ප්‍රමාණවත් වුනේ ඇයව නිදහස් කරනු පිණිස නොවේ. හමුදා භටයන් අත්පොළසන් ගහමින් කෑ ගැසූහ. පොලිස් නිලධාරියෙක් ඇයගේ අත් දෙකින් ඇදගෙන යන්නට පටන් ගති. මවකගේ හැඟීම් ඉස්මතු වී කාන්තාව අත් පා විසිකරමින් “මගේ දරුවා, මට මගේ දරුවා මෙතැන තනියම දාලා යන්න බැහැ,” යැයි විලාප දෙන්නට පටන් ගති.

කුඩා දැරිය ද විලාප තබමින් හඬමින් ඇයගේ අම්මා වෙත දිව යන්නට පටන් ගෙන.

තමා වෙත දිව එන දැරිය දෙසට හැරෙද්දී කාන්තාව අල්ලා පාරට තල්ලු කළ හමුදා භටයෙක් බිමට වැටුණු ඇයට හෙලවෙන්නට එපා යැයි තර්ජනය කරමින් තුවක්කුව උරුක් කළේය.

ලීලාව ඇදගෙන ගිය මැහැල්ල ද නිවස ඇතුලත එහා මෙහා යමින් වේදනා හඬකින් ලොඹු කටෙන් බුදු පිහිට යදින්නට පටන් ගත්තාය.

ක්ෂණයෙන් දොර හැරගත් ලීලා පාරට බැස්සේ එක අතක් මකර තැල්ලේ තියාගෙන ය. ඇය සොල්දාදුවන් සහ පොලිස් නිලධාරීන් දිහා නොබලා හැල්මේ දිව ගියේ දැරිය වෙත. බියෙන් ගැහෙන හදවතින් සහ බිය නිසාම ඇඟ පුරා දහඩිය වැක්කෙරෙද්දී ඇය දැරියගේ නෙත් හමුවූයේ “මේ වෙලාවේ මා ගැන බිය වෙන්නට එපා,” යැයි නොකියා කියන ආයාචනයක් සමඟින්. තෙත් වූ කම්මුල් පුරා රූ රා වැටුණු කඳුළු බිංදු ප්‍රමාණය සහ හැඬීමේ සද්දය වැඩි කළා මිසෙක වඩා ගන්නට යද්දී ඇය දැඟළුවේ නැත. මකර තැල්ල අත්හැරිය ලීලා දැරිය උස්සාගෙන ආපසු මැහැලියගේ නිවස තුලට දිව ගියේ තමන්ට වෙඩි වැදේ දැයි බියෙන් කකුල් දෙක ගැහෙද්දී.

ඇයත් දැරියත් ළං වූ විගස දොර හැර, ඔවුන් දෙදෙන ඇතුලට ආ විගස දොර වසා පත පොල්ලක් දොර හරහට හිර කළ මැහැල්ලිය ලීලා අත වූ දරුවා ගන්නට අත් දෙක දිගු කළාය. දැරිය බියෙන් ගැහෙමින් ලීලාගේ බෙල්ලේ මුහුණ සඟවා ගත්තේ අත් දෙකින්ම තදින් ඇයව බදාගෙන. මැහැල්ල ගෙයි ඇතුලට ගියේ මොනවා දෝ මතුරමින්.

ලීලාට තුරුල් වී සිටිය දැරිය හයියෙන් හැඬීම නවතා නිදිමතෙන් පියැවෙන ඇස් හැරගෙන ඉන්නට වෑයම් කරමින් සහ හෙමිහිට ඉකිබිඳිමින් වරින් වර ඉක්කා ගැසුවා ය.

මැහැල්ල ඔවුන් වෙතට පැමිණියේ දුම් දාන තේ කෝප්පයක් අතැතිව ය. එය ලීලා වෙත පෑ මැහැල්ල දැරිය වඩාගන්නට තැතක් නොගෙන දැරියත් සමඟ හිඳ ගන්නට බිම තිබුණු පැතලි කොට්ටයක් අතින් පෙන්නුවාය.

ජූලි 6, 2013

කිබිසිනි -ඔක්කොම ළමයි ටික කුදලාගෙන ගිහින් දැන් පොලීසියේ

Filed under: Uncategorized — arunishapiro @ 7:19 පෙ.ව.

හංදියේ වූ කතාබහ ඊට කළින් දිනයේ යම් කලබලයක් ගැනයි.

කාන්තාවකගේ බෙල්ල වටා අත්දෙක දමාගෙන, ඉන වටා කකුල් දෙක ඔතාගෙන, ඇයගේ උරපත්තේ එල්ලී ගත් කුඩා දැරියකි. ඒ කුඩා දැරියගේ මවට ඇයව මෙසේ කරපින්නා ගෙන යෑම හුරු බව පෙනුණි. එහෙත් දුවගේ බරට වඩා වැඩි බරක් මවගේ විඩාබර මුහුණෙන් දිස්වේ යැයි ලීලාට සිතිණ. ඔවුන් තමා අසලින් යද්දී ලීලා දැරිය වෙත හිනාවක් පෑව ද දැරිය බියෙන් මුහුණු සඟවා ගත්තාය.

පිරිමි සහ ගැහැණු දෙගොල්ලන්ම සරම් හා රෙදි අමුතු විදියකට පටලවා ගෙන සිටියහ. පිරිමි සහ ගැහැණු දෙගොල්ලන්ම තම ඔළුව මුදුනත කොණ්ඩය බැඳ තිබුණහ. හංදියේ රැස්ව සිටි බහුතරයකගේ වස්ත්‍ර ගැමි දිවිය කියාපාන කඩමාළු රෙදි වලින් යුතු වුනත් දැරිය කරේ එල්ලී සිටින කාන්තාවගේ සිල්ක් රෙද්දෙන් නිමැවුන පරණ වස්ත්‍ර ඇය ඔවුනට වඩා යම් තරමක වත්කමක් ඇති බව කියා පෑවේය.

“ආණ්ඩුකාර-ජනරාල් යද්දී ළමයි ටිකක් “මන්සෙයි” කියලා කෑ ගහලා,” මැදිවියේ කාන්තාවක් කට අතින් වසාගෙන මිමිණුවාය.

“එයා කොහෙ යද්දී ද?” කාන්තාව අසලින් ගමන් කළ මිනිහෙක් ඇසුවේ ඇය දිහා නොව වෙනතක් බලාගෙන.

“ඉස්කෝලෙ ඉස්සරහින් මාලිගාවට යද්දී,” තවත් පිරිමියෙක් කතාවට හවුල් වුනේ ඔවුන් යන දෙසට ගමන් කළ ද ගමනේ වේගය අඩු නොකරමින් සහ ඔවුන් දෙස නොබලමින්.

මෙවැනි ගමනක් ආවාම ලැබෙන භාෂාවක් වටහා ගත හැකියාව, යමක් කියන්නට ගියොත් එම භාෂාවෙන් ම කියත හැකියාව තමනට සාමාන්‍ය ජීවිතයේ දී චිදෙස් බසකින් කතාබහ කරන අයෙක් හමු වුවහොත් තියෙනවා ද? එය තම කොපි පොතේ සටහන් කරගත්තා දැයි ලීලාට නිණව්වක් නැත. එය ආපසු ගිය වහාම ලියා තැබිය යුතු යැයි ඇය තම සිතට කියා ගත්තේ බෙල්ලේ එල්ලෙන මකර තැල්ල අතගාමින්.

“ඔක්කොම ළමයි ටික කුදලාගෙන ගිහින් දැන් පොලීසියේ. මයෙ කොල්ලත් අරන් ගිහින්,” ඔවුන් අතරට ආ තවත් කාන්තාවක් කිසිවෙක් දිහා නොබලා එසේ කියා එතැනින් වෙනතක ගියේ ආ වේගයටම.

“කොල්ලෙක්, එහෙම නේද එයා කිව්වෙ?” මැදිවියේ කාන්තාව අසල වූ කඩ ලෑල්ලක තිබි දෙළුම් ගෙඩියක් අත ගා බලමින් විමසයි.

“ඔව්, එයාගෙ එකම කොල්ලා. හැබැයි මුන් වැඩියෙන් වද දෙන්නෙ කෙල්ලන්ටලු,” කාන්තාව අසලින් ම ගමන් කළ පිරිමියා ද මඳකට නැවතී දෙළුම් ගෙඩියක් අතට ගෙන එහා මෙහා හරවා බැලීය.

“ඇයි මන්සෙයි කිව්වම පොලීසියට අරන් යන්නෙ?” ලීලාගේ මුවින් පිටවුනේ නොදැනුවත්වම.

“ඔයා මොන වනාන්තරයක හැංගිලා ද හිටියෙ?” කාන්තාව තරහෙන් ඇසුවාය.

“මේ දරුවා තාම ළාබාලයි. අනික, පරණ කොරියාව ගැන කියා දෙන්න අද ඉන්නෙ කවුද?” දෙළුම් ගෙඩිය අතහැරිය පිරිමියා දිග සුසුමක් හෙළා ඇසුවේ කාගෙන් වත් උත්තරයක් බලාපොරොත්තුවෙන් නොවේ. ඔවුනට සවන් දෙන වෙනත් කිසිවෙක් වටපිටාවක නොමැති බවට සැක දුරු කරගෙන ඔහු ලීලා දෙසට හැරුණි. “කොරියාවේ හඬ තමයි මන්සෙයි කියන්නෙ. මේ ඉන්න ජපන් ආක්‍රමණික හතුරන්ට ඒක මතක් කරලා දෙන්න අද නායකයෙක් නැතිකම, හපෝයි ..” ඔහු නැවතත් සුසුම් හෙලන්නට විය.

මැදිවියේ ගැහැණිය ලීලා දිහා හොරැහින් බලා ඔවුන් වෙතින් ඉවත් වී ගියේ පිරිමියාට ද රවමිනි.

ලීලා හිතුවේ ඇය චීනයට පැමිණ ඇතැයි කියා. එහෙත් ඇය අවුත් ඉන්නේ කොරියාවට. සියල්ලන්ම චීන්නු .. නැහැ නැහැ සියල්ලන්ම .. කොරියානුවන් ද නෙවෙයි. ඇය සුපරීක්ෂාවෙන් වටපිට බලද්දී හමුදා භටයන් මහත් සංඛ්‍යාවක් වෙළඳපොලේ තැන් තැන්වල සැරිසරන බව දුටුවාය. හමුදා භටයන් පෙනුමෙන් කොරියානුවන්ට වඩා වැඩි වෙනසක් නැතැයි ලීලාට මුලින් සිතුනත් ඔවුන් දිහා තවත් විමසිල්ලෙන් බලද්දී ඔවුන් කොණ්ඩ කොටට කපා ඇති බව ඇය දැකීය. එහෙනම් ඒ තමයි ජපන් ආක්‍රමණික හමුදාව යැයි ඇය සිතුවාය.

ගැමියන් කසු කුසුවෙන් හමුදා භටයන් මඟ හරිමින් රහසින් කතාබහේ යෙදුනේ වෙළඳපොලෙන් බඩු මිල දී ගන්නටම නොවේ යැයි ඇයට වැටහුණි. මේ තොරතුරු බෙදා ගන්නට ඔවුනට ඇති එකම මාර්ගයයි. ලීලාගේ අත නැවතත් මකර තැල්ලට දිව ගියේය. ආපහු යනවා ද නැත්නම් මෙතැන සිද්ධ වෙන්නට යන්නේ කුමක් දැයි බලන්නට ඉන්නවා ද යන්න තම තෝරාගැනීම බව ලීලාගේ හිත කීය.

දැරිය කරපින්නා ගත් කාන්තාව මාළු කඩයක් වෙත පිය නඟන්නීය. ඔවුන් යන දිහාට ලීලා හැරුනේ මේ වසර කුමක් දැයි ඒ කාන්තාව ගෙන් අසා දැනගන්නා අදිටන ඇතුව ය.

එහෙත් කාන්තාව දැරිය සමඟින් මත්පැන් අලෙවි කරන කඩයක් පසු කරද්දී එයින් එළියට ආ තරබාරු පුද්ගලයෙක් ඔවුන් දැක ඔලොක්කුවට කෙකර ගෑවේය. එයින් සෑහීමකට පත් නොවූ ඔහු “මෙන්න යනවා ක්‍රිස්තියානිකාරියක්, අර උතුම් ආණ්ඩුකාර-ජනරාල් යද්දී කෑ ගහපු පාසැලේ තමයි මෙයාගෙ මිනිහා උගන්වන්නේ! මට ඇහිලා තියෙනවා මෙයත් මන්සෙයි කියලා කෑ ගහනවා!” යැයි හඬ ගෑවේය.

තැන් තැන්වල ගැවසෙමින් සිටි හමුදා භටයන් පොලීසිය කැඳවමින් ගෑ ගැසූහ. බූට් සපත්තු හඬ නඟමින් දිව ආ ගමේ පොලීසියේ සියල්ලන්ම ජපනුන් වූහ. ඔවුන් කාන්තාව හා දැරිය වටකරගත්තේ එය සිද්ධ වූයේ කෙසේදැයි කිසිවෙකුටත් හිතාගන්නට ඉඩක් නොතබා.

මහළු කාන්තාවක් ලොඹු කටකින් මොනවා දෝ මුමුණමින් ලීලාගේ අතින් ඇදගෙන ගොස් අසල වූ ගෙයක් තුලට වැදී දොර වසා ගති. අනෙක් සියල්ලන්ම ද කඩ හා ගෙවල් තුලට දිවගොස් දොරවල් ජනේල වසා ගත්හ.

පොලිස් නිලධාරීන් මැද හිර වී සිටිනා දරුවා කරපින්නා ගත් කාන්තාවට උදව් කරන්නට කිසිවෙක් නැත. දැරිය මහ හඬින් විලාප තියන්නට පටන් ගත්තාය. පොලිස්කාරයෙක් දරුවා කරෙන් ඇද ගලින් නිමා කර තිබූ පාරේ පැත්තකට විසි කළේය.

ජූනි 27, 2013

කිබිසිනි -මකර තැල්ල

Filed under: Uncategorized — arunishapiro @ 6:53 ප.ව.

තාත්තාට ළං වූ ලීලා එක අතකින් ඔහුගේ බාහුවක් අල්ලා ගත්තාය.

අනෙක් අතෙන් ඇය රතු හා සුදු මැණික් ගල් වලින් අලංකාර වූ මකර තැල්ල රැගත් සිහින් රන් පොට උස්සා හිස නවා එය කරේ දමා ගත්තාය.

ගෙදර ගේට්ටුව ළඟ නැවතුනු කෙනෙක් එය සොලවන හඬක් ඇසුණි. තාත්තා සහ ලීලා තවමත් ඉස්තෝප්පු කාමරයේ හිටගෙන සිටිති. ඇය තම කරේ එල්ලෙන මකර තැල්ල දිහා බැලුවේ ඇයි, අපිව කොහෙවත් එක්කා ගෙන යන්නෙ නැත්තෙ ඇයි කියා අහන්නට මෙනි. ගේට්ටුව සොලවන සද්දය වැඩි විය.

“අද කවුරු හරි එනවැයි කිව්ව ද?” ඉස්තෝප්පුව වෙත පා තබන අම්මා කුස්සියේ ඉන්නා මෙහෙකාරිය වෙතින් හඬ නඟා අසනවා ලීලාට ඇසිණ.

“බේබිගේ යාළුවෙක් වෙන්නැති නෝනා,” කුස්සියෙන් දිවගෙන ආ මෙහෙකාරිය ඉස්තෝප්පුවට පිවිසි අම්මාව පසුකර පසු ගේට්ටුව වෙත දුවන්නේ නැතිව ඇවිද්දේ හනිකට.

“ලීලා ඉන්නෙ මෙහෙ නේද?” කාන්තාවකගේ කටහඬ ඉස්තෝප්පු කාමරයට ගලා ආවේය.

“ආ .. මේ අර පුස්තකාලේ නෝනා නේද?” මෙහෙකාරිය හැරියේ කෙඳිරි ගාන ගේට්ටු පියනකි.

“ඔව් ඔව් .. මෙයාට මතකයි ද මාව?”

මෙහෙකාරිය කුමක් දෝ විමසනවා ලීලාට ඇසුණි.

“මේ පොත ගෙනියන්න ආවේ නැති නිසා මම හොයාගෙන ආවේ.”

මෙහෙකාරිය යළිත් මොනවා දෝ අසයි.

“නෑ නෑ පුස්තකාලෙන් නෙමෙයි මාව එව්වෙ, මම මේ පැත්තෙන් යන ගමන්. එදා පුස්තකාලෙ හිටපු කෙනෙක් ලීලලගේ ගෙදර තියෙන්නෙ කොහෙද කියල දන්න බව මට කිව්ව,” යැයි කාන්තාව කියද්දී ඒ මිස් සුරම්‍යා බව ලීලාට වැටහිණ.

මෙහෙකාරිය යළිත් යමක් මුමුණයි.

“අපොයි නෑ,” මිස් සුරම්‍යා කිව්වේ ඉස්තෝප්පුවේ පඩි නඟින ගමන්.

“මේ ඉන්නෙ බේබිගේ අම්මා,” මෙහෙකාරිය කියයි.

“හලෝ ආන්ටි මේ මම සුරම්‍යා, ලීලා පුස්තකාලයේ දී හොයපු පොතක් ගෙනැල්ලා දෙන්නයි ආවේ.”

“කරදර වෙන්නැති ගේ හොයාගන්න, පොඩ්ඩක් වාඩිවෙන්න එහෙනම්” අම්මා හිමින් පැවසීය.

“අනේ නෑ .. මහන්සියක් නම් නෑ. මේ ළඟපාත කෙනෙක් නිතර පුස්තකාලෙට එනවා. අපේ සර් කිව්ව ගෙදර ඇඩ්‍රස් දන්නවා නම් ලීලාට කාඩ් එකක් හදන්ම යන්න කියල. ඒ නිසා මම මේ කාඩ් එකකුත් හදාගෙන ආවා.”

තාත්තා කාමරය මැද හිටගෙන නොසෙල්වී සිටියි. ඒ කතාබස් ඇසුණු බවක් ඔහු වෙතින් දිස් නොවේ. දොර වෙත යන්නට හදිසි වූ ලීලා තාත්තාගේ බාහුව අත්හැර දොර අගුල අල්ලන්නට ඒ වෙත ළං වූවාය.

සෙනඟ පිරුණු හංදියක තේ කඩයක් අසල ලීලා සිටගෙන. ඇයගේ අත ගෙල එල්ලෙන මකර තැල්ල වෙත ගියේය. එය ඉවත්කර ක්ෂණයෙන් ආපසු ගෙදර යන්නට ඇයට සිතුණි.

තාත්තා දොර තනිවම හැරගෙන ඉස්තෝප්පුවට ගියොත් අම්මා, මෙහෙකාරිය හා මිස් සුරම්‍යා එහි සිටින නිසා ඔහුට කරදරයක් සිද්ධ නොවනු ඇත. එහෙත් මෙහෙම ගමනක දී කොපමණ කාලයක් ගෙවුනත් ආපසු යද්දී ඉස්තෝප්පු කාමරයෙන් පිටත් වූ තත්පරයටම එහි ආපහු යා හැකි බව ලීලාගේ අත්දැකීමයි. එහෙයින් තාත්තා ඉස්තෝප්පුවට දොර අසල හිටගෙන සිටියාට කමක් නැත්ද?

මකර තැල්ල දෙදෙනාවම එක්කගෙන නොගියේ තනිවම ඇවිත් තමා පමණක් දැනගත යුත්තක් දැනගන්නට ද?

හංදියට එකතු වී සිටින ලොකු කුඩා සියලු දෙනාම එකිනෙකා සමඟ කතාබහේ යෙදෙති. ඔවුන් පෙනුමෙන් චීන්නු නිසා කතාබස් කරන්නේ ද චීන භාෂාවෙන් වෙන්නැති යැයි ලීලා සිතුවාය. වෙනදා මෙන්ම ඔවුන්ගේ කතාබහ ඇයට ද වටහා ගත හැකිය. ඇය අදහසක් කියන්නට උත්සාහයක් ගත්තොත් එය පිටවෙන්නේ ඔවුන් කතාබස් කරන භාෂාවෙන්ම යැයි ලීලාට විශ්වාසයි.

ඔවුන් සියල්ල යම් බැරෑරුම් කතාබහකට සූදානම් වෙන්නේ යැයි ලීලාගේ හිත කීය. ඇය ඔවුනට සමීප වූයේ ඒ කුමක් දැයි අසාගනු පිණිසයි.

ජූනි 13, 2013

කිබිසිනි -මට මේක තනියම විසඳන්න බැහැ

Filed under: Uncategorized — arunishapiro @ 6:10 පෙ.ව.

ඉස්තෝප්පු කාමරයේ කොපමණ කාලයක් තමා නිදි වැදුනා දැයි කියන්නට ලීලා නොදත්තීය.

නිදිමතෙන් පියැවී ඉන්නට කැමති දෙනෙත් අසීරුවෙන් විවර කරද්දී තමා වැතිර සිටින්නේ තාත්තාගේ කකුල් දෙක ළඟ සීතල සිමෙන්ති පොළවේ බව ලීලාට දැනුණි. තාත්තා අවදියෙන්. හරි බැරි ගැසී වාඩි වී ඉන්නා පුටුවෙන් නැඟිටින්නට කිසිම උත්සාහයක් ගත් බවක් ඔහු තුලින් පෙනෙන්නට නැත.

“ඇයි එහෙම ගමනක් ගිහින් ආවට පස්සෙ අපිට හොඳටම නිදිමත හැදෙන්නෙ?” ලීලා ඇසුවේ ඔහුගේ මුහුණුට එබෙමිනි.

තාත්තා නිහඬව ඇය දෙස බලා සිටියි. කිසිත් කියන්නට උත්සාහයක් ඔහු තුල නැත. ඇය හඳුනාගත් බවක් නොපෙන්වයි. ඉස්තෝප්පු කාමරයේ දී ඔහුගේ හැදියාව ප්‍රකෘති තත්වයකට පත් වේ යැයි බලාපොරොත්තුවෙන් සිටි ලීලා තුල ඉකියක් දෙකක් හටගත්තේ දෙනෙතින් කඳුළු පනින්නට පෙර.

“මට තනියම මේක විසඳන්න බැහැ,” ඇයගේ දෙතොල් වෙව්ලීය. මුහුණ බෙරිවිය. නැහැය බර විය.

කුඩා දරුවෙකු තුල ඇති කුතුලහය තරමින් හෝ විමසුම් බවක් තාත්තා වෙතින් නොපෙනුණි. ඔහු බලාගත්වනම බලාගෙන සිටියේය.

පොළවේ අඩි හප්පා කෑ ගසා හඬන්නට ලීලාට සිත්වූයේ එයින් කිසිත් ඵලයක් ලැබෙන්නේ නැතැයි වැටහෙද්දීම. තාත්තාව පුටුවෙන් නැඟිටවා ගන්නට ලීලාට පහසු නොවිණ. අම්මා අනේක වාරයක් තාත්තාව නැඟිටුවන හා වාඩිකරවන ආකාරයන් දැක ඇතත් ඔහුගෙන් ලැබෙන උදව්වක් නොමැති කල එය කිරීම කොතරම් අපහසු දැයි ලීලා නිශ්චිතවම දැනගත්තේ සියළු උත්සාහයන් අත්හැර දමන තරමට ගත හා සිත දෙකම කළකිරවන දුකකින් පිරී යද්දී.

අම්මා තාත්තාව නැඟිටුවා ගන්නේ පැත්තකින් සිටගෙන ය. එහෙ මෙහෙ එක්කගෙන යන්නේ ද එක පැත්තකින් අල්ලා ගෙන ය. ලීලා ද එසේ පැත්තකින් තාත්තාව අල්ලාගෙන දොර වෙත ගෙන යන්නට උත්සාහ කළ ද තාත්තා නොසෙල්වී සිටියේය. ඔහු හිටගත් පසු අත හැරියොත් ඇද වැටේවි යැයි බියෙන් ලීලා ඔහුගේ අත් දෙකෙන්ම අල්ලා ගත්තාය. ඇය පස්සෙන් පස්සට අඩිය තබමින් ඔහු ලවා දොර වෙත ඉදිරියට ගමන් කරවන්නට ඇය වෑයම් දැරුවාය.

කොහෙන්දෝ හමා ආ සුළං පහරකින් අතු රිකිළි සිලි සිලි ගා නැළවෙන හඬ පැතිර ගියේය. කුමකට හෝ අමනාප වුනු කුරුලු රෑනක් බාධා කළාට අකමැත්ත කියා පාන ලෙසකින් කිචිබිචි ගාමින් කාමරය අසලින් ඉගිළ ගියහ. කිචිබිචිය සමඟින් ඈතට ගලා ගිය ඉගිලෙන කුරුලු පියාපත් හඬ මැකී යද්දී නැවතත් වරක් පැමිණි තවත් තද සුළං පහරක් අතු රිකිළි ආයෙත් නළවන්නට පටන් ගති.

තාත්තාව කාමරයෙන් පිටතට ගෙන ගියොත් ආපහු ඇතුලට ගෙන එන්න හැකිවේවි ද? නැත්නම් ආයේ කවදා හරි දවසක තවත් වැස්සක් වැස්සට පස්සෙ තවත් අබරණයක් හමුවෙන දවසක් එනතෙක් ඉන්න වේවි ද?

ලීලා තාත්තාගේ අත් මුදා හැරියේ ඉතා හෙමින්.

මෙවැනි තත්වයකින් පසුවන තාත්තා ඉස්තෝප්පු කාමරයෙන් පිටතට ගෙන යෑමෙන් විසඳුමක් සොයා ගන්නේ කෙසේද?

ලීලා සෙමෙන් සෙමෙන් ආපසු පියවර තැබුවේ කාමරය මැද වූ පළල් මේසය වෙතට. බොකු ගැසුණ වේවැල් පුටුව ළඟට. එහි කකුල් අසල වූ සිමෙන්ති පොළවේ ඇති එකම ලෑලි තීරුව අසල ඇය දණ ගසා ගත්තාය. ලෑලි පියන උස්සා පැරණි ලී පෙට්ටිය එහි තිබිය දී පෙට්ටියේ පියන පමණක් හැරියාය.

මොට දිස්නයකින් වූ අනිකුත් අබරණ උඩින් ඇති නූපුරය ඒ ගොඩට අලුතින් එකතු වූවක් සේ නොපෙනේ. තාත්තා සමඟ නිවිහැනහිල්ලේ කතාබහ කරන්නට අවස්ථාවක් පාදා දිය හැකියාව ඇත්තේ මේ අබරණ වලින් කොයි එකට ද? මාල, වළලු, කරාබු යනාදිය එකින් එක උස්සා ලීලා ඒවායේ හැඩ රුව බැලුවේ යන ස්ථානයක් ගැන කුමන හෝ හෝඩුවාවක් ආබරණයක පෙනුමින් අනාවරණය කරගත හැකි දැයි බලන්නට.

කොළ, නිල් හා රතු පාටින් මැණික් ඇල්ලූ පදක්කමකින් යුතු රන් මාලය ඇයව ගෙන ගියේ දුඟද හමන මඩ ගොහොරුවකට ය.

දිලෙන කහ පාට මැණික් කැටයක් සහිත ඔපයක් නැති රත්තරන් මුද්දෙන් ඇය ගියේ එංගලන්තයේ සුප්‍රසිද්ධ කවෙන්ට් ගාඩන් හි රාජකීය ඔපෙරාවක් නරඹන්නට ය. එහෙත් එහි නැවත යන අදහසින් ඒ මුද්දම ආයෙත් ඇඟිල්ලක දාගත් විට ඇය ගියේ කොහේදෝ සීතල රටකට. බයිනේත්තු ඔසවා ගත් සොල්දාදුවන් පිරි දුම්රිය ස්ථානයකට.

හැඩ වැඩ නැති සිහින් තුනී රත්තරන් වළල්ලෙන් ඇය ගියේ තවත් සීතල රටක තරුණයන් රැස් වූ කැන්ටිමක කුස්සියේ වැඩට ය.

නොසිතූ ලෙසකින් අත පැටලුන රිදී පොට ඇයව ගෙන ගියේ අඳුරු මාලිගයක වංකගිරි පුස්තකාලයකටයි.

අනපේක්ෂිත ලෙසකින් තාත්තා කැටුව යන්නට ලැබුන චාම් නූපුරය ඔවුන් දෙදෙනාව ගෙන ගියේ උමගක් කනින නිවසක් වෙත.

එංගලන්තය තමන් ගිය එක රටක් බව ලීලා සොයාගත්තේ තනිවම. තරුණයන් ආහාර ගැනීමට පැමිණි රටේ මුළුතැන්ගෙය පැවතියේ ප්‍රංශය ගැන වූ නවකතාවක යැයි පුස්තකාලයේ මිස් සුරම්‍යා කියූ බව ලීලාට මතකයි. එකම රටකට තමන් දෙවරක් ගිහින් නැතැයි ලීලාට සිතිණ. එහෙත් ඒ ගැන සැකයක් නැතිව දැනගන්නට නම් මේ සිදුවීම් ගැන කියැවෙන නවකතා පොත් ඇය සොයාගත යුතුයි.

මේසය යටින් එබිකම් කරමින් ලීලා තාත්තා දිහා බැලුවාය. අත්මුදා හරින ලද කාමරයේ මැද ඔහු නිශ්චලව හිටගෙන සිටියි. ඇය අබරණ පෙට්ටිය දෙස බලා ඇයට පිටුපා කාමරය මැද සිටගෙන ඉන්නා තාත්තා දෙස නැවත නෙත් යොමු කළාය. තීරණයක් ගන්නට උදව්වට එන්නට වෙන කිසිවෙක් නැත.

පෙට්ටියේ උඩින්ම තිබුණු නූපුරය පැත්තකට කරද්දී රතු සහ සුදු මැණික් ගල් වලින් හැඩගැසි තැල්ලක් ඇය අතට හසුවිය. එහි රත්තරන් පොට ඉතා සිහින් විය. ඇඟිලි තුඩු වලින් එය ඉවතට ගෙන එහෙත් එයින් ඇස් ඉවතට නොගෙන තාත්තා වෙත ළං වූ ලීලා තැල්ලේ මැණික් ගල් වලින් හැඩ ගැන් වී ඇත්තේ මකරෙක් යැයි හඳුනාගත්තා ය.

මැයි 31, 2013

කිබිසිනි -මකුළු දැල් කඩන්නෙ අතුගාන්නෙ එහෙම කවුද?

Filed under: Uncategorized — arunishapiro @ 11:52 ප.ව.

මෙහෙකාරිය ඉස්තොප්පුවේ සිට බෙරිහන් දෙන හඬ නිවස ඇතුලත දෝංකාරය දෙයි.

අම්මා කලබල වෙන්නට පෙර මෙහෙකාරිය නිහඬ කළ යුතුයි. තාත්තා බොකු වේවැල් පුටුවේ හිර වී තද නින්දක පසුවෙයි. මෙහෙකාරියගේ කෑ ගැසිල්ලෙන් ඔහු අවදි වූයේ නැත. ඉස්තෝප්පුවට ඔළුව හොබන්නට ගත් වෑයම අසාර්ථක විය. ඇය පිටුපසින් දොර ඉබේම වැසිණ. එහෙත් ඉස්තෝප්පු කාමරයෙන් එළියට ආ ලීලාව දුටු මෙහෙකාරිය තැති ගත්තේ නැත.

“බේබිට ඇතුලට යන්න පුලුවන් එහෙනම්,” කෑ ගැසීම නතර කළ මෙහෙකාරිය ලීලාට ළං වූවාය.

කාමරයෙන් එළියට එනවා දුටු අම්මා බියෙන් වෙව්ලා ගිය ද කාමරයෙන් එළියට ආ තමන් දැකි මෙහෙකාරිය තුල ජනිත වූයේ ගෞරවයක් යැයි ලීලාට සිතිණ.

“තාත්තා කාමරය ඇතුලේ තියෙන පුටුවක වාඩිවෙලා හොඳටම නිදි.”

“කවුරුත් නොකිව්වට මහත්තයාට ඔය කාමරේ ඇතුලට යන්න පුලුවන් කියලා මම හිතුව,” මෙහෙකාරිය සතුටින් පැවසීය. “නැත්නම් මකුළු දැල් කඩන්නෙ අතුගාන්නෙ එහෙම කවුද?”

ඇතුලත ඇති හාස්කම් ගැන විස්තර මෙහෙකාරිය සමඟ කොතරම් දුරකට බෙදාගත යුතු දැයි ලීලාට හිතාගත නොහැකි විය. තමන් විසින් කළ යුත්තේ කුමක් දැයි හරිහැටියකට නොදන්නා කළ ඇතුලට යන්න නොහැකි මෙහෙකාරියට හෝ අම්මාට එහි විස්තර කීමෙන් ඵලක් ඇත්දැයි ලීලාට හිතාගත නොහැකියි.

ලීලාට දැනුනේ විඩාබර ගතියකි. දැඩි නිදිමතකි.

අම්මා තෙත කෙස්වරලක් ඇඟිලි වලින් සකසමින් ඉස්තෝප්පුවට ආවේ ලීලාත් මෙහෙකාරියත් මුහුණට මුහුණ බලාගෙන සිටිය දී ය. ඉස්තෝප්පුවේ තාත්තා නැතිබව දැකි අම්මා කෑ ගැසුවේ නැත. ඇය නිහඬව ඔවුන් දිහා බැලුවේ තාත්තා කොහේ ගියා දැයි අහන්නට පවා හැකියාවක් නොතිබි ආකාරයෙනි.

“මහත්තයා ඉස්තෝප්පු කාමරයේ,” මෙහෙකාරිය මිමිණුවාය. අම්මා වෙතින් කිසිත් ප්‍රතිචාරයක් නැත. “මේ බේබි කිව්වෙ,” ඇය ඊට එකතු කළාය. අම්මා තැති ගැනීමකින් තොරව ඔවුන් දෙස බලා සිටින්නීය.

“තාත්තා කාමරේ ඇතුලෙ පුටුවක නිදි,” ලීලා එකතු කළේ අම්මාව සනසන්නට මෙනි. “ඇහැරුනාම මම එළියට එක්කගෙන එන්නම්.”

අම්මා කිසිත් නොකියා ඉස්තෝප්පුවේ වූ හාන්සි පුටුවක වාඩි වූවාය.

“නෝනා, මම නෝනට උණු තේ කෝප්පයක් හදාගෙන එන්න ද?” මෙහෙකාරිය ඇසීය.

අම්මා කිසිත් පිළිතුරක් නොදී ඇයට යමක් කරන්න කියන තුරු බලා සිටින කුඩා දැරියක් මෙන් ඔවුන් දෙස බලා සිටින්නීය.

ලීලාගේ ඇස් නිදිමතෙන් පියැවෙයි. ඇඳට වැටී හොඳ නින්දකින් පසු පමණක් ඊ ළඟට කුමක් කළ යුතුදැයි සිතිය හැකි යැයි ලීලාට දැනේ. එහෙත් තාත්තා ඉස්තෝප්පු කාමරයේ සිටිය දී තමා තම නිදන කාමරයට යෑම නොමනා යැයි ද ඇයගේ සිත කියයි. තාත්තා අවදි වී ඉන්නේ කොහේදැයි නොදැන කලබල වනු ඇත් ද? නැත්නම් ඉස්තෝප්පු කාමරයේ දී අවදි වූවාම තාත්තාට කතාබහට යළි හැකියාවක් ලැබෙනු ඇත් ද? ඔහු දැනටමත් අවදි වී ඇත් ද?

“අම්මට තේකක් හදලා දීලා අම්මා ළඟට වෙලා ඉන්න,” යැයි සිහිනෙන් කියවන්නියක සේ ලීලා මෙහෙකාරියට කිව්වාය. “මම තාත්තා ඇහැරුනාම එළියට එක්කගෙන එන්නම්,” ඇය සිහිනෙන් ඇවිදින්නියක මෙන් ඉස්තෝප්පු කාමරය ඇතුලට ගියේ ඔවුන් ඉස්තෝප්පුවේ සිටිය දී ම.

ලීලා දොර හැර ඇතුලට වැදෙද්දී ඇතුලත දකින්නට ඔළුව එහාට මෙහාට හරවමින් මෙහෙකාරිය ගත් උත්සාහය සාර්ථක නොවීය. අම්මා ඒ දිහා බලන්නට උත්සාහයක් නොගෙන උවමනාවෙන්ම වෙනතකට දෑස් යොමුකරගෙන සිටියාය.

මැයි 18, 2013

කිබිසිනි -අපට තියෙන්නෙ මේ අබරණ එකින් එක දාගෙන හැකි තරම් ගමන් යන්න

Filed under: Uncategorized — arunishapiro @ 8:40 පෙ.ව.

තාත්තා වේවැල් බොකු ගැසුන පුටුවේ හිර වී සිටියි.

ඔවුන් දෙදෙනාම ඉස්තෝප්පු කාමරයට පැමිණ සිටිති. පුටුව අසලින් හිටගෙන තාත්තාගේ අතක් අල්ලා ගෙන සිටින බව දැක ඇය අත හිමිහිට ඉවත් කළාය. ඔහු පුටුවෙන් නැඟිටින්න උත්සාහයක් ගත්තේ නැත. මුහුණට එබී බලද්දී ඔහු කුමක් දෝ කියන්නට උත්සාහ කර එය අත්හැර දැමුවේය.

ලීලා කකුල දිහා බැලුවේ නූපුරය එහි නැති බව දැන දැන ය.

ඇය තාත්තා හිඳගෙන ඉන්නා පුටුව අසල වූ ලෑලී තීරුව ඉවත් කළේ නූපුරය එහි ඇති බව දැක බලා තහවුරු කරගන්නට අවශ්‍ය නිසාම නොවේ. නූපුරය එහි අනෙකුත් අබරණ සමඟ එකතු වී සතුටින් සිනාසෙනවා යැයි ඇයට සිතුණි.

“තාත්තෙ ..”

ඔහු කිසිත් පිළිතුරක් නොදී ඇය දිහා බලාගෙන සිටියේය.

“මම අතින් අල්ලාගෙන ඉන්ඳැද්දී ඒක ගැලෙව්වෙ නැත්නම් තාත්තාට ආපහු ගෙදර එන්න බැරිවෙයි කියල හිතුණ නිසයි ගැලෙව්වෙ,” ඇය පැහැදිලි කළාය. ඔහුට එය වැටහුනු බවක් නොපෙණින.

“මම පුටුවෙන් වැටෙන්න යද්දී තාත්තගෙ අතින් අල්ලා ගත්ත. මේක ඒ වෙලාවේ කොහොම කකුලට වැටුන ද කියල මම දන්නෙ නැහැ. හැබැයි එහෙමයි අපි දෙන්නම එහෙ ගියෙ,” ලීලා කීවාය.

“දෙන්නෙකුට එකපාර යන්න පුලුවන් කියල මම දන්නෙ කොහොම ද?” ඇය කීවේ නොදැන කළ වරදකට සමාව ඉල්ලන ලෙසකිනි.

තාත්තාගේ ඇස් ලීලා වෙත යොමු වී තිබුණ ද එහි අවධානයක් ඇති බවක් තව දුරටත් දකින්නට නැත.

“ඒත් තාත්තයි මායි දෙන්නම ගිය එක කොච්චර හොඳ ද?” ඇය ඉස්තෝප්පු කාමරයේ වූ කොපි පොත සොයාගත්තාය. එහි සටහන් ගැසූ පිටු පෙරළමින් හිස් පිටුවක් ඇර ගත්තාය.

“දැන් එහෙම ගියාම තාත්තාට මේ අසනීප ගතිය නැහැ. කතා කරන්න වැඩ කරන්න පුළුවන්.” ලීලා වටපිට බලා පැන්සලක් අතට ගෙන කටින් කියන්න එහි සටහන් කරගති.

අබරණක් දා ගත්තම දෙන්නාටම යන්න පුළුවන්.
ගියාම අසනීප ගතියක් නැහැ.
කතා කරන්න වැඩ කරන්න පුළුවන්.
කන්න බොන්නත් පුළුවන්.

“මට අහන්න තියෙන දේවල් ඔක්කොම අහන්න අවස්ථාවක් ලැබෙන්නෙ එහෙනම් එහෙම ගියොත් විතරයි නේද?” ඇය ඇසුවේ ඊට පිළිතුරක් තාත්තාගෙන් නොලැබෙන බව දැන දැන ය.

ඇය ගමනේ සිද්ධ වූ දේවල් සිහියට නැඟුවේ එහි දී ඉගෙන ගත්තේ කුමක් දැයි පහදා ගන්නට.

ගියාට පස්සෙ අත් හැරලා ඉන්න පුළුවන්.

ඇය සටහනට එකතු කළාය.

ඇය කොපි පොතේ පිටු මුල සිට නැවත පෙරලුවාය.

“අපට තියෙන්නෙ මේ අබරණ එකින් එක දාගෙන හැකි තරම් ගමන් යන්න.” ලීලා තාත්තා දෙස බලා කියද්දී ඔහු නිකට ළයට හිර කරගෙන තද නින්දකට පත් වී සිටියේය.

“නෝනා … නෝනා … මහත්තයා ආයේ මිදුලෙ ඇවිදින්න ගිහිල්ලා,” මෙහෙකාරිය ඉස්තෝප්පුවේ සිට කෑ ගසනා හඬ ඔවුනට ඇසිණ.

« Newer PostsOlder Posts »

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.