Sinhala story Blog

නොවැම්බර් 3, 2013

කිබිසිනි -මම ආපහු යන බස්හෝල්ට් එකේ ඉන්නම්

Filed under: Uncategorized — arunishapiro @ 12:22 ප.ව.

“බේබි, බේබි, අනේ පොඩ්ඩක් ඉන්න මාත් එනවා.”

ගෙදරට අඳින කඩමාල්ලට වැඩි වෙනසක් නොවූ චීත්තයක් ඉනවටා පටලවා ගනිමින් මෙහෙකාරිය ලීලා පසුපසින් දිව එයි.

“බස් එකට සල්ලි විතරයි මං ගෙනාවේ, කඩේ යන්න සල්ලි නෑ,” ලීලා කිව්වෙ ඇය එනතෙක් නතර නොවී.

ඇය හතිලමින් ලීලා සමඟ ගමනට එක්වූයේ කිසිත් නොකියා. ඇයගේ අතේ වූ පන්කොළ මල්ලේ බරින් ඇය පැත්තකට ඇළ වී අඩි තබන හැටි ලීලා දැක්කාය.

“මොනව ද ඕකෙ?”

“බතල.”

“බතල?”

ඇය නෝංජල් හිනාවක් පා අහක බලාගත්තාය.

“ඇයි අපි බතල අරන් යන්නෙ? මිස් සුරම්‍යාට දෙන්න ද?”

“නෑ බේබි .. මේ .. මම මේ .. මේ ටික අරන් ආවේ හංදියෙ කඩේට දීලා වෙන මක්කා හරි දෙයක් ඉල්ල ගන්න පුළුවන් වෙයිදැයි බලන්න,” ඇය ලීලා දිහා හොරැහින් බැලුවාය. ඉස්සරහ බලාගෙන ඇවිදින ලීලාගේ මුහුණේ කිසිත් වෙනසක් දකින්නට නොහැකියි. යෝජනාවට ලීලා අකැමත්තක් නොදැක්වූ නිසා මෙහෙකාරිය “ඒ මිස්ටත් ඕනෑ නම් දෙන්න ඕනතරම් තියෙනවා,” යැයි එකතු කළාය.

“පුස්තකාලේ අරිද්දීම එතැන හිටියා නම් හොඳයි,” ලීලා කියයි.

“මං ගිහින් කඩේ අය එක්ක කතා කරලා බලන්නම්, බස් එකක් ආවොත් බේබි යන්න. බේබි ආපහු එනකම් මම බස්හෝල්ට් එකේ ඉන්නම්.”

ලීලාත් අම්මාත් ඇතුළුව දැන් මෙහෙකාරියත් වෙනදා පැකිළෙන දේවල් කරන්නට සිත් ධෛර්යමත් කරගෙන සිටිති. මෙහෙකාරිය කඩය තුලට වැදි සැණින් ටවුමට යන බස් රථයක් පැමිණ ලීලා ඉදිරියෙන්ම නැවතිණ. බස් රථය ඉදිරියට ඇදෙද්දී ඇය අසලින් අසුන් ගත්තේ මෙහෙකාරියයි. කකුල් දෙකට හිර කරගත් මල්ලේ බතල පිරී තිබිණ. ඒ දිහාත් ඇය දිහාත් බැලූ ලීලා කිසිවක් ඇසුවේ නැත.

“එපැයි කිව්වා.” ඇය මුමුණයි. බසය ගැස්සී ඉදිරියට ඇදී යයි. රෝස පැහැති පූසෙක්ගෙ හැඩයෙන් හැදූ කුඩා ප්ලාස්ටික් පසුම්බියක් හැරගත් මෙහෙකාරිය එයින් මුදල් නෝට්ටුවක් එළියට ගෙන එය අතින් පිරිමැද දිග හැරියාය.

මෙහෙකාරියට අන්තිමට පඩි ගෙව්වේ කවදා දැයි අම්මා ගෙන් අසා ඵලක් නැත. පඩි නොගෙව්වාය කියා මෙහෙකාරියට ඔවුන් දමා යන්නට වෙනත් නිවහනක් ද නැත.

“මිස් අද වැඩට ඇවිත් නැත්නම් මම එයාගෙ ගෙදර හොයාගෙන යනවා.”

“මම ටවුමේ බලන්නම් බේබි මේ බතල ගන්න කවුරැ හරි ඉඳිවි ද කියල. විකුණන කෙනෙක් ගත්තෙ නැත්නම් මං හරි ඔය කොහෙන් හරි තැනක වාඩිවෙලා විකුණනවා.”

“තාත්තා නිදිමත යන්න කියලා බෙහෙත් අනෝදා කොළ බොන්න පටන් ගත්තෙ කොයි කාලේ ඉඳන් ද?”

මෙහෙකාරිය ඇහිබැමි එකතු කරමින් ඇස් රවමින් කල්පනා කරන්නට වූවාය.

“ලෙඩ වෙන්න ඉස්සර .. හැමදාම නෙමේ .. ඉඳ හිටලා දවසක තමයි කියන්නෙ උදේට හදලා දෙන්න කියල.”

“රූට කියන්නෙ?”

“ඔව්, රූට තමයි කියන්නෙ.”

“ලොකු වැස්සක් වැස්සට පස්සෙ?”

ඇය නැවතත් කල්පනා කරයි. ඇස් හා ඇස්බැමි පමණක් නොව මෙවර ඇයගේ මුව ද උල් වී එහාට මෙහාට ඇඹරෙයි.

“ඔව් එහෙම දවස්වලට තමයි මම හිතන්නෙ. අකුණු ගහලා එහෙම ලොකු වැස්සක් වැස්සට පස්සෙ.”

ලීලා කල්පනාවට වැටුණාය. ඉස්තෝප්පු කාමරයේ සියළු ආභරණ වලින් තාත්තා අපූරු ගමන් ගිහින් අවසන් ද? වැස්සකින් පසු පෑදෙන අළුත් ආභරණයකින් පමණක් ඔහුට එවැනි ගමන් බිමන් යා හැකියාව සීමා වී තිබේ ද? එහෙම ගමන් නිසා නිදිමත වැඩිවීම ගැන තාත්තා හොඳින් දන්නා බව ගැන ලීලාට සැකයක් නැත.

“අසනීප වෙච්ච දවසෙ .. එදා මතක ද? එදා උදේට ඔය කොළ දාලා තේ වත්කරලා දෙන්න කියලා කළින් දා රෑ ඉල්ලුවා ද?”

ඇය විස්මයෙන් විසල් වූ දෑස් වලින් ලීලා දිහා බලා ඉතා සෙමෙන් ඔළුව ඉහළටත් පහළටත් වැනීය.

“ඔව්. කුස්සියෙ හදලා තිබ්බෙ. මම මේසේට ගේන්න කළින් තමයි මහත්තයා අසනීප වුනේ. එදා බිව්වෙ නැහැ.”

“ඒක බිව්වෙ නැති නිසා නෙමෙයි තාත්තා අසනීප වුනේ,” ලීලා කිව්වේ මෙහෙකාරිය සනසන්නට පමණක් නොවේ.

බස් රථය ටවුමේ නැවතිණ. ඔවුන් දෙදෙනම එයින් බහින පොදියට එක් වූහ.

“මම ගිහින් මිස් සුරම්‍යා ගැන හොයාගෙන එන්නම්.”

“මම ආපහු යන බස්හෝල්ට් එකේ ඉන්නම් බේබි එනකම්.”

ඔක්තෝබර් 26, 2013

කිබිසිනි -නිදිමත කඩන්න බෙහෙත් අනෝදා

Filed under: Uncategorized — arunishapiro @ 8:08 පෙ.ව.

“තේකට මොනා ද දැම්මෙ?” කට බෙරි කරමින් ලීලා විමසුවාය.

“බේබිලැයි තාත්ත තමයි ගෙනැත් දුන්නෙ මේ බෙහෙත් අනෝදා,” මෙහෙකාරිය හිස් කිරිපිටි ටින් එකක් ඇර එහි ඇතුලත වූ වියළි කොළ පෙන්වයි. “නිදිමත කඩන්න හොඳයි කියලා ඉඳ හිටලා මට කියලා මේකෙන් ටිකක් දාලා තේකක් හදලා ඉල්ලනවා .. ඉස්සර.”

ලීලා මෙහෙකාරිය දිහා බලාගෙන සිටියේ ඇය වැදගත් යමක් කියූ බව වැටහී ගිය නිසයි. තාත්තා මේවා බිව්වේ කොච්චර කාලයක් පුරා ද? කාගේ හරි අනුදැනුමක් ඇතිව ද? අරහෙම ගමනක් ගිහින් එන හැම වතාවක දී ම ද? ඒත් ඉස්තෝප්පුවෙන් ගලා එන මහතුන් මාමාගේ කියැවිල්ල නැවතී නැති නිසා ඇය මෙහෙකාරියගෙන් ප්‍රශ්න ඇසීම පසුවට කල් දමා අමුතු රහක් ඇති තේ කෝප්පය මුළුමනින් හිස් කර ඉස්තෝප්පුවට පා නැඟුවාය.

“මට ඒ ඉඩමෙ පස් පාගන්න හිතෙන්නෙ නෑ,” මහතුන් මාමා කියයි. “එහෙම ඉඩමක් තියාගෙන ඉන්න කියලා හැමෝම මට බලකරන්නෙ ඇයි කියල පොඩ්ඩක් හරි හිතන්න සුදු අක්කෙ,” ඔහු මිදුල දිහා බලාගෙන කියයි.

“ඇයි මාමා ඒ ඉඩමට යන්න අකමැති?”

අම්මාත් මහතුන් මාමාත් තිගැස්සී ඇය දෙස බැලුවාය. ඔවුන් එකිනෙකාගේ මුහුණු බලාගත්හ. මාමාගේ මුහුණ වේදනාවකින් පිරී ගිය බවක් ලීලා දැකීය. අම්මා අතකින් මුව වසාගත්තාය. ඇයගේ වියැළී ගිහින් තිබූ නෙත් නැවතත් කඳුලින් පිරුණි. ඔහු ලීලා දෙස අසීරුවෙන් මඳ සිනාවක් පා නැඟිට්ටේ මෙච්චර කන්නලව් කළා මදැයි ඊ ළඟ පියවර ඇත්තේ ලීලාගේ අම්මා අත බව කියන බැල්මක් අම්මා වෙත පාමින්.

“අම්මාගෙන් අහගන්න දුවේ, හැමෝම දන්නවා වෙච්ච සන්තෑසිය,” ලීලාගේ ඔළුව අත ගා ඔහු මිදුලට බැස පිට වී ගියේ ආපසු නොබලාය.

“මොකක් ද ඒ ඉඩමෙ වුනේ?”

අම්මා නිහඬව ඉකිබිඳයි.

“හැම දේකටම අඬලා හරියන්නෙ නැහැ අම්මෙ. ඇඬුවයි කියලා ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. අම්මා දන්නවා ද තාත්තා බෙහෙත් අනෝදා කොළ දාලා තේ බිව්වා කියල .. ඉස්සර?”

හැඬිල්ල නැවතූ අම්මා ලීලා දෙස වික්ශෝහයෙන් බලා සිටියි.

“වෙන දේවල් මොනවා ද කියලා මට කියන්නෙ නැත්නම් … මම කොහොම ද .. ” කියද්දී ලීලාගේ සිහියට නැඟුනේ මිස් සුරම්‍යාවයි. නිදිමත ගැන කිසිත් දැනුම් දීමක් නොදුන් නිසා මිස් සුරම්‍යා සිය ප්‍රථම අත්දැකීමෙන් පසුව කොතරම් දුෂ්කරතාවයට පත් වී සිටිනවා ඇත්දැයි ලීලා කල්පනා කළාය. තමන් ද කිව යුතුවම තිබි යමක් දැඩිසේ අතපසු කර ඇත.

“අපි හැමෝම වාඩිවෙලා දන්න ඔක්කොම දේවල් බෙදා ගන්න ඕනෑ. තාත්තව සනීප කරගන්න නම්. මිස් සුරම්‍යා … අර පුස්තකාලේ මිස් .. එයාටත් යන්න පුළුවන් අර කාමරේට,” ලීලා හෙමිහිට කිව්වේ අම්මාගේ අතක් අල්ලාගෙන.

“මම ගිහින් ඒ මිස්ව බලලා එන්න ඕනෑ දැන්. කාමරේ ඇතුලෙන් වෙන තැන් වලට යන්න පුළුවන්. එහෙම ගියා තාත්තා, මම. තාත්තයි මායි ගියා. මිස් සුරම්‍යයි මායි ගියා. ගිහින් ආවම සෑහෙන්න නිදිමතයි.”

අම්මා ඇය දෙස බලා සිටියේ අග මුල පහදා ගත නොහැකි විලාසයකිනි. ලීලා නැඟිට්ටාය. අම්මාට පැහැදිලි කරන්නට පෙර මිස් සුරම්‍යා ගැන සොයා බැලිය යුතුයි. ඇය යම් අපහසුතාවයකට ලක් වී සිටින්නේ නම් එය තමන් කරන ලද වරදකි.

“ඔක්කොටම කළින් මම ගිහින් මිස් සුරම්‍යාව බලලා එන්න ඕනෑ. මම පුස්තකාලෙට ගිහින් එයා ගැන හොයලා එන්නම්. ගිහින් ආවම මට කියන්න මහතුන් මාමාගෙ ඉඩම ගැන. මම කියන්නම් කාමරේ ගැන. අම්මා දන්න දේවල් මට කියන්න ඕනෑ. මම දන්න දේවල් අම්මට කියන්නම්. එතකොට අපිට පුළුවන් තාත්තව සනීප කරගන්න … සමහර විට.”

ඔක්තෝබර් 19, 2013

කිබිසිනි -මහතුන් මාමා ඇවිත්

Filed under: Uncategorized — arunishapiro @ 9:27 පෙ.ව.

“බේබිලැයි මහතුන් මාමා ඇවිත් අන්න,” මෙහෙකාරිය ලීලාව තදින් සොලවයි.

ඔළුව ඇතුලේ පැතිරෙන දෝංකාරයක් මෙන් ඇහෙන මෙහෙකාරියගේ කටහඬ ඇය අවදි කළත් නිදිමත කඩා ඇස් විවෘත කිරීම ලීලාට වෙහෙසකි.

“අන්න නෝනට ඒවා මේවා කියනවා මොකක්ද ඉඩමක් ගැන,” මෙවර මෙහෙකාරිය ලීලාගේ කකුලෙන් අදියි. කකුල් දෙක ඇඳෙන් බිමට තබා නින්දේ සිටින ඇයව සිටුවා නැඟිටවන්නට අසාර්ථක උත්සාහයක නියැළෙයි.

“ගිහින් පොඩ්ඩක් බැලුවා නම් බේබි,” ඇය යාප්පු වෙන්නේ කුමකටදැයි ලීලාට සිතාගත නොහැකියි.

“බේබි අනේ බේබි නැඟිටින්නකො, බේබිලැයි අම්මා අඬනවා ද කොහෙද?”

ඇඳ අසල මෙහෙකාරියට හේත්තු වී හිටගෙන ඉන්න ලීලා ඇස් යාන්තමෙන් විවර කළාය. ඇඳට පැන ගුලි වී දෙනෙත් තදකර පියාගන්න දැඩි ආශාවක් ඇයට දැනේ.

“ඒ මහත්තයා යන පාටක් පේන්න නෑ බේබි, අනේ ගිහින් බලන්න,” මෙහෙකාරිය ඇයගේ නිදන ඇඳුම මාරු කරන්නට උත්සාහ කරමින් කියන්නීය.

මෙහෙකාරියට සහාය දෙනු පිණිස ලීලා ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ විය. අම්මා ළඟට හනිකව යෑමට ලීලාට උවමනා වුවත් මෙහෙකාරියගේ කාර්යය පහසු කරනවාට වඩා තමා ඇයට බාධකයක් වෙන හැටි ඇරෙන වැහෙන ඇසිපිය අස්සෙන් එහාට මෙහාට වැනෙන අත පය ලීලාට පෙනිණ.

“තව ඩිංගක් නිදාගෙන නැඟිටින්නම්,” කියමින් මෙහෙකාරියගේ දෑත් එහා මෙහා වූ සැනින් ලීලා යළි ඇඳේ වැතිරුනාය. එහෙත් මෙහෙකාරියට ඒ දෙඩවිල්ල වැටහුනේ නැත. මුළුතැන්ගෙය පිටුපසට දිව ගිය මෙහෙකාරිය ගුරුලේත්තුවෙන් සීතල වතුර කෝප්පයක් වත්කර ගෙනැවිත් ලීලාගේ මුහුණට හලා කාමරයේ දොර අසලට දිව්වාය.

ලීලා තෙත කොට්ටයෙන් හිස ඔසවන්නට උත්සාහයක් ගති. මුහුණත් කොණ්ඩයත් තෙත් වී වතුර බිංදු බේරී ඇද හැලේ. ඇයගේ මුවේ සිනහාවක් පැතිර යනු දුටු මෙහෙකාරිය හිමින් හිමින් යළිත් ඇඳ ළඟට කිට්ටු වූවාය.

“බේබි ගියොත් මහතුන් මහත්තයා නෝනාව අඬවන්න කියන දේවල් නතර කරාවි.”

“කෝ තාත්තා?” ලීලාගේ වදන් පැහැදිලි නැත. ඇය උගුර පාදා යළි පිටකළේ “තාත්තා?” පමණකි.

“මහත්තයාත් තාම නිදි. උදේට කන්න කවුරුත් ආවේ නැහැ, ඒ තම්බපු බතල තමයි ඉතින් දැන් දවල්ට කන්න වෙන්නෙ,” කියමින් මෙහෙකාරිය ලීලා ඇඳේ වාඩි වී සිටිය දී ම ලීලාගේ තෙත් වූ නිදන ගවුම උනා දමයි. ගෙදරට අඳින ගවුමක් හිස දමන්නට උත්සාහ ගනියි. ලීලා අතක් එසැවූයේ ඉතා අපහසුවෙනි. ඔළුවට ගවුම මුලින් දාන්නට එපා යැයි කියන්නට ඔළුව වැනුවේ ඊටත් වැඩි දුෂ්කරතාවයකිනි. ඇය කියන්න හදන්නේ කුමක් දැයි මෙහෙකාරිය වටහා ගති.

“වතුර?” ලීලා කෙඳිරියක් සේ පිටකරයි.

“යමු, කුස්සියට ගිහින් තේකක් බොමු.”

උණු තේ උගුරුදණ්ඩ රත්කරමින් හිර වූ නිසා ලීලා කහින්නට වූවාය. මෙහෙකාරිය හිනැහෙයි. ලීලා ඇය දිහා රවන්නට ගත් උත්සාහය හරි ගියේ නැහැ.

“මාව නැඟිට්ටෙව්වා එහෙනම්.”

“බේබිව නැඟිට්ටන්න මට බැරි වෙලා නැහැනෙ කවදාවත්,” ඇයගේ සිනහාව තවත් පුළුල් වෙයි. “යන්න ඉක්මණට බේබිලැයි අම්මා දැන් පැය දෙකක් තුනක් තිස්සේ වාඩි වෙච්ච තැනින් හෙලවුනේ නැහැ.”

නිකමෙක් ලෙසින් කාලය ගෙවන මහතුන් මාමා ඔවුන්ගේ ඥාතීන් සියළු දෙනාගේම උදහසට නිතර පාත්‍ර වෙන්නෙකි. හරි හැටියකට ඉගෙනීමක් අවසන් නොකළ ඔහු තැනක රස්සාවක් පටන් ගෙන ඉන් අස් වී තවත් තැනකට යයි. ඉඩමක් කොටස් කර වෙන්දේසියට ඔහු උත්සාහ කරන බව ලීලා දන්නීය. කළින් දවසක පැමිණි නෑදෑයින් පිරිසක් ඊට ඉඩදෙන්න එපා යැයි අම්මාට තරයේ කියා සිටියහ. අම්මා ද ඊට එකඟ වූ බව ලීලාට මතකයි. ඒත් ඒ තීරණය ඇය දැන් වෙනස් කරන්නට හිතනවා ද?

ඔක්තෝබර් 12, 2013

කිබිසිනි -එහෙම ගියාම අපි එහෙයි මෙහෙයි දෙකේම ඉන්නවා ද?

Filed under: Uncategorized — arunishapiro @ 7:38 පෙ.ව.

ලීලා සිය නිවසේ ඉස්තෝප්පු කාමරයට පිවිස සිටියාය.

මිස් සුරම්‍යා ඉස්තෝප්පු කාමරයේ දොරට ඉස්තෝප්පුවේ සිට සෙමෙන් තට්ටු කරයි.

“ලීලා, ලීලා .. ඔයා ඇතුලෙ ද? ඔයා ආපහු ආව ද?” ඇය රහසින් අසයි.

ලීලා කාමරයේ දොර හැරගෙන ඉස්තෝප්පුවට ආවේ ගේ ඇතුලතට ඇස් යොමු කරමින්. අම්මා හෝ මෙහෙකාරිය පෙනෙන මානයක නැත. ගස් කොළන් සියල්ල අඳුරින් නැහැවී තද කොළ පැහැයකින් පෙනෙයි. හිරු එළිය සම්පූර්ණයෙන්ම මැකී ගිහින් නොතිබුණි. දිය වී ගිය තැඹිලි පැහැයෙන් යුතු අහසේ තැන තැන රෝසපාට දම්පාට වළාකුළු රටාවන් දකින්නට හැකියි.

“මිස් සුරම්‍යා ආපහු ආවේ දොරෙන් මේ පැත්තට?”

“ඔව්, මම ආවෙ ඉස්තෝප්පුවට.”

“මට දැනගන්න ඕනේ .. දැන් එහෙම ගියාම අපි මෙහෙ නෑනේ…”

“ඔව් ..” මිස් සුරම්‍යා පුටුව අසල බිම තිබුණු ඇයගේ ගමන් මල්ල හා අත්බෑගය අතට ගනියි.

“දැන් .. අපි එහෙම ගියාම අපි මෙහෙයි එහෙයි දෙකේම ඉන්නවා ද?”

“තැන් දෙකක එකම වේලාවෙ ඉන්නෙ කොහොම ද?” මිස් සුරම්‍යා ඇසුවේ ඈනුමක් වසාගන්නට දැරූ අසාර්ථක වෑයමකින්.

“එක වෙලාව නෙමේ .. අතීතයට යද්දී ..” වාක්‍ය අවසන් කරන්නට නොහැකි වූයේ ලීලාටත් වළක්වාගත නොහැකි දිග ඈනුමක් ගිය නිසයි.

“18 වැනි සියවසට .. ඈන්ගෙ කතන්දරේ ලියැවෙච්ච කාලේ .. අපේ අම්මලාත් ඉපදිලා නැහැනෙ ලීලා,” මිස් සුරම්‍යා කිව්වෙත් දෙනෙත්වල මෝදු වූ විඩාබර ගතිය යවන්නට මෙන් අතක ඇඟිලි තුඩු වලින් ඇස් පිරිමැද නැහැය තදින් අල්ලා ගනිමින්.

මිස් සුරම්‍යා සමඟ කතාබහෙන් තේරුම් බේරුම් කරගත යුතු බොහෝ දේවල් ඇතැයි ලීලාගේ සිත කිව්වත් ඇඟට දැනුනු හෙම්බත් ගතිය නිසා හරිහැටියකට වදන් පිට කිරීම පවා අසීරු විය.

“අපි දෙන්නම එකපාර යන්නෙ නැතිව … ඊ ළඟ සැරේ .. මම හරි මිස් හරි ගිහින් .. අනික් එක්කෙනාට පුළුවන් එතකොට ..”

“ඒත් ලීලා .. කාමරේ හිටියොත් ඒත් යන තැනකටත් ගිහින්?” මිස් සුරම්‍යා ගේ ඇතුලට නෙත් යොමු කරයි.

“අම්මාට කියන්නම් මිස් ගියා කියල,” ලීලා ද කිසිත් සද්දයක් ඇහෙන්නේ නැති ගේ ඇතුල දිහා බැලුවාය.

ඔවුන් දෙදෙනාම මිදුලට බැස්සහ.

“මේ කාලේ නෙමෙයි අපි ආපස්සට යන්නෙ. මම හිතන්නෙ, මම හිතන්නෙ .. අපි යන්නෙ මේ හා සමාන්තරව යන .. වෙන .. ඒත් අපිම ..” ඇය අතක් වනයි. පැහැදිලි කරන්නට ගන්නා උත්සාහයෙන් තවත් විඩාවට පත්වෙයි. උත්සාහය අත්හැර දමයි.

“මට හරි මහන්සියි ලීලා, මම ගිහින් එන්නම්,” මිස් සුරම්‍යා ගේට්ටුවෙන් පිට වූයේ මේ අරුම පුදුම දවසේ තව වචනයක් වත් කතාබහ කරන්න තරම් ඇඟට පණක් නැත්තේ මන්දැයි සිතමිනි.

නැවතුම් පොළක් නොමැති වුවත් කොහෙන්දෝ ඇවිත් නවත්තා ඇයව එකතු කරගත් බස් රථය ඉගිල්ලී යද්දී ලීලා ද අඩවන් වෙන දෙනෙත් විවරව තබාගන්නට වෑයම් කරමින් නිදන කාමරය බලා ගියේ මෙහෙම ගමනක් ගිහින් ආවම සෑහෙන මහන්සියක් හා නිදිමතක් දැනෙන බව මිස් සුරම්‍යාට කියන්නට තමන් අමතක කළ බව ගැන දැඩි පසුතැවිල්ලක් සිත වෙළාගනිද්දී.

ඔක්තෝබර් 5, 2013

කිබිසිනි -එහෙම තමයි කතාවෙත් ලියලා තියෙන්නෙ

Filed under: Uncategorized — arunishapiro @ 7:56 පෙ.ව.

සභාවේ සියළු සිත් ළගන්නා ආකාරයෙන් නිර්මාණය අවසන් විය.

කොණ්ඩයේ තැනින් තැන මැණික් ගල් දිළිසෙන කොණ්ඩ විලාසිතාවකින් වූ සිහින් කාන්තාව වේදිකාවෙන් සමුගත්තේ හිමිහිට පටන් ගත් අත්පොළසන් නාදය දෙගුණ දෙගුණ වී යද්දී.

වේදිකාව මත දිගහැරුණු රසවත් කවි හා කථනයන් වෙනත් කිවිඳියන් සහ රචකයන් අතින් බිහි වූ නිර්මාණයන් වූහ. තමන් දන්නේ නැති වුනාට ප්‍රේක්ෂකයන් අතර බොහොමයක් ඒවා සියල්ල මීට කළින් කියවා හෝ අසා තියන බව ලීලාට සිතුනේ ඔවුන්ගේ සංවේදී මුහුණු දකිද්දී. මිස් සුරම්‍යාගේ දෑස් වේදිකාව වෙත පමණක් යොමුව තිබිය දී ලීලාගේ නෙත් වේදිකාව දිහාත් නරඹන්නන් දිහාත් වරින් වර ඇදී ගියේය.

ඈන්ගේ නම කියැවිණ.

“ඈන් සෑහෙන සබකෝලයකින් ඉන්නෙ, අරයා තරම් ලස්සනට කරන්න බැරිවේවි කියල,” මිස් සුරම්‍යා ලීලාගේ කනට කෙඳුරුවාය.

“මේ වගේ සභාවක ඈන් මීට ඉස්සර කවදාවත් කතා කරලා නැහැ,” මිස් සුරම්‍යා කොඳුරයි. ඈන්ගේ මුහුණෙන් කියත නොහැකි වුවද ඇයගේ ඇස්වල නොසන්සුන් කලබලයක් ඇතැයි ලීලා ද දැක්කාය.

“ඈන්ට වඩා බයවෙලා ඉන්නෙ ඈන්ගෙ යාළුවා, අර බලන්න ඩයානා දිහා,” ලීලා හෙමිහිට මිස් සුරම්‍යාගේ කණට රහසින් කියයි. මිස් සුරම්‍යා ශාලාවේ පිටුපස අසුන් දිහා නොබලාම හිස වනමින් එකඟ වෙයි, “ඔව්, ඔව්, ලීලා හරි, එහෙම තමයි කතාවෙත් ලියලා තියෙන්නෙ.”

සභාව නිහඬය. හැමෝම ඇය පටන් ගන්නා තෙක් බලාගෙන සිටිති.

“මොකක්ද ..” ලීලා කියද්දී, “එයා දකිනවා ගිල්බට් එක්ක ඉන්න ජෝසි පයිගෙ මූණ. එයා හිතන්නෙ ජෝසි ගිල්බට් ළඟින් වාඩිවෙලා එයාට ආඩම්බර පෙන්වනවා කියල. ඒක දැක්ක ගමන් ඈන්ට අමුතු ධෛර්යයක් එනවා,” ඈන් දිහා ඇසිපිය නොගහා බලාගෙන සිටින මිස් සුරම්‍යා සභාව දිහා නොබලයි. ලීලා ගිල්බට් ළඟින් අසුන්ගත් ජෝසිගේ මුහුණේ පැතිර ගිය අවඥා සහගත බැල්ම දැක විශ්මයට පත්විය. ඇය එසැනින් ඈන් දිහා බැලුවාය. ඈන්ගේ දෑස්වල අභියෝගය පිළිගත් වෙනසක් සිදුවිය. ඈන් නොසැලෙන මිහිරි කටහඬකින් ඇයගේ කවි පංතිය ඉදිරිපත් කළේ සභාව විශ්මයට පත් කරමිනි.

හෘදයාංගම රසාස්වාදයෙන් හටගත් අත්පොළසන් නාදය පැතිර යද්දී රතු වූ මුහුණකින් ඈන් තම පුටුවේ වාඩිවෙන හැටි දැක සභාව උනන්දුවෙන් ‘තවත් වරක්, තවත් වරක්,’ යැයි හඬ නැඟූහ. ගිල්බට් බ්ලයිත් පුටුවෙන් නැඟිට අත්පොළසන් ගසන හැටි ලීලා බලාගෙන සිටියේ ද ඉතා සතුටින්. මිස් සුරම්‍යාගේ දෑස් ඈන් වෙතින් ඉවතට නොගිය ද ඇය ලීලා ගිල්බට්ව දැක්ක බව කියන්නට හදද්දී තමා එය දන්නවා යැයි කියන්නට හිස වනමින් පැතිර යන අත්පොළසන් නාදයට සහාය දෙන්නට එකතු වූවාය.

ඈන් අසලින් අසුන්ගෙන සිටි රෝස පැහැති ගවුමකින් සැරසී ගත් ස්ථුල කාන්තාවක් ඇයට සුබ පතයි. ඈන් ඇයට පිළිතුරු දෙයි. ඒ පිළිතුරෙන් ස්ථුල කාන්තාවගේ කාරුණික සිනහව තවත් පුළුල් විය. ඇය ඈන්ට සභාව පෙන්වන හැටි සියල්ලන්ම බලාගෙන සිටියහ.

නොනැවතී දිගටම පැතිරෙන අත්පොළසන් නාදය හමුවේ ඈන් නැවතත් නැඟිට සිටියාය. මෙවර ඇය ඉදිරිපත් කළ කවි පංතිය පළමු උත්සාහයටත් වඩා අතිශය මනරම් විය. එය අවසන දී වැඩිහිටි සමහර කාන්තාවන් නෙත්අග මෝදුවෙන සතුටු කඳුළු බිංදු ලේන්සු කොන් පිසදමන්නට වූහ. සභාවේ සිටි සියළු කාන්තාවන් ඈන්ගේ දක්ෂතාවය නිසා ඔවුනට ද යම් අනගි තත්වයක් ලැබුණා යැයි සිතන බවක් ලීලාට හැඟිණ.

“ඔව්, අද ඉඳන් තමයි ඒ වෙනස පටන් ගත්තෙ. මේ පුංචි ඈන් කෙල්ල තමයි මේ ගම්බද පළාතේ හැම කාන්තාවක්ම ධෛර්යයමත් කරවන්නෙ,” ලීලා ඇය දෙසට හැරී අහන්න හදන ප්‍රශ්නයට මිස් සුරම්‍යා පිළිතුරු දුන්නාය.

සංදර්ශනය අවසන දී හැමෝම වටකරගත්තේ ඈන්ව.

“අපිත් එයාට සුබ පතන්න යනවා ද?”

“ඕනෙ නැහැ ලීලා, ගිල්බට්ට අවස්ථාවක් ලැබෙන්නෙත් නැති එකේ .. අපි ආපහු යමු.”

ඉදිරියේ යන ගමන් සියල්ල මිස් සුරම්‍යා සමඟ යන්නට හැකිනම් යැයි මිස් සුරම්‍යාගේ අතින් අල්ලාගත් ලීලා වළල්ල ගලවමින් සිතුවාය.

Lucy Maud Montgomery ලියූ Anne of Green Gables (1908) කතන්දරයේ පසුබිමයි.

සැප්තැම්බර් 28, 2013

කිබිසිනි -අර ඉන්නෙ ඈන්ගේ හොඳම මිතුරිය

Filed under: Uncategorized — arunishapiro @ 7:22 පෙ.ව.

විදුලි බලයෙන් නැහැවුණු ශාලාවේ අමුතු දීප්තියක් ඇතැයි ලීලාට සිතිණ.

කාන්තා පක්ෂය විසින් යහමින් තවරන ලද සුවඳ විලවුන් සුවඳ එකිනෙකින් වෙන්කර හඳුනාගැනීමට නොහැකි ලෙසකින් මිශ්‍ර වී තිබිණ. වැඩිහිටි අය ඉදිරියෙන් ද තරුණ කැළ පසුපස පුටු පේලිවල ද අසුන් ගෙන සිටිති. මුහුණට ඉදිරියෙන් අල්ලා ගත් ඈත බලන කුඩා ඇස් කණ්ණාඩි යුගලයකින් තරබාරු කාන්තාවක් ශාලාවේ අසුන් ගෙන ඉන්නා සියල්ලන්වම හොඳට පිරික්සා කර බැලුවේ කිසිත් චකිතයක් නැතිව. ඒ කාන්තාවගේ ඇස් කණ්ණාඩියට හසුවෙද්දී තමන් නොදන්නා නොහඳුනන අයෙක් එසේ කරද්දී ලීලා පුටුවේ නොසන්සුන් බවකින් ඇඹරුනේ මන්දැයි කියා ලීලාටම හිතාගත නොහැකි විය.

මිස් සුරම්‍යා විකසිත වූ මුහුණකින් වටපිට බලන්නීය. පසුපස අසුනක වාඩිගත් කෙල්ලක් දිහා බලා ඇයව කාලයක් තිස්සේ දන්නා හඳුනන ලෙසින් මිස් සුරම්‍යා ඇය හා සිනාසුනාය.

“අර ඉන්නෙ ඈන්ගේ හොඳම මිතුරිය,” ශාලාවේ ගුමුගුමුවට එකතුවෙමින් මිස් සුරම්‍යා ලීලාට පහත් හඬින් කීවාය.

“කොයි එක්කෙනා ද?”

“වැල් රෝස පාට ගවුමක් ඇඳලා ඉන්න කළු කොණ්ඩයක් තියෙන කෙල්ල. එයා තමයි මේ කෙල්ලන්ගෙ වයසේ ලස්සනටම ඇඳුම් පැළඳුම් අඳින්න දන්න එක්කෙනා කියල තමයි කතාවේ කියැවෙන්න,” මිස් සුරම්‍යා විස්තර කරයි.

“කතාව ඈන් ගැන ද?” ලීලා ඇසුවාය. ඔවුන් අසල සිටි අයගේ කතාවක් නතර වූයෙන් ලීලාගේ ප්‍රශ්නය අනිත් අයටත් පැහැදිලිව ඇසිණ.

“මොකක් ද ඒ ගමන ඈන් කරලා තියෙන්නෙ?” ලීලා අසල වූ කාන්තාවක් අසයි.

“කවුද ඈන් ගැන කතාවක් ලියන්නෙ?” මිස් සුරම්‍යාට එහා පැත්තේ වාඩිගත් අය අසයි. මිස් සුරම්‍යා ඔහුට පෑවේ සුන්දර හිනාවක්. මිස් සුරම්‍යා අනුගමනය කරමින් ලීලා ද හැකිතරම් සුහද සිනාවක් පා උත්තරයක් නොදුන්නාය.

“කෝ ගිල්බට් බ්ලයිත්?” මිස් සුරම්‍යා ඔළුව කරකවමින් වටපිට බලයි. “ගිල්බට් වාඩිවෙලා ඉන්නෙ ජෝසි පයි එක්ක,” මිස් සුරම්‍යා ඔවුන් දෙදෙනාව හඳුනාගෙන ඇත. සෙනඟ සිසාරා ගිල්බට් නැමැත්තාට අයිති කොයි මුහුණ දැයි සොයන ලීලාගේ දර්ශන පථයට ඔහු හසුවෙද්දී වැලමිටෙන් ඇන එයා තමයි යැයි ඔහු හඳුනාගන්නට මිස් සුරම්‍යා උදව් කළාය.

“එයා තමයි,” වටපිට බලා ලීලාගේ කණට කොඳුරමින්, “එයා තමයි ඈන්ට ධෛර්යයක් දෙන්නෙ මේ උත්සවයේ දී. ඈන් දන්නෙ නැහැ එයාට ගිල්බට් විහිළු කරන්නේ කැමති නිසා කියල. ඉතින් ගිල්බට් විහිළු කරනවාට අකමැති හින්ද එයාට පෙන්න අද දවසේ හොඳම නිර්මාණය බිහිවෙන්නෙ ඈන් අතින්.”

ලීලා නැවතත් හැරී ගිල්බට් දිහා බැලුවාය. ජෝසි පයි ගිල්බට් සමඟ ඉඳගෙන ඉන්නේ ඉතා ආඩම්බරයකින් බව ලීලාට සිතුණි.

ශාලාවේ ලයිට් මඳක් අඩවන් වෙද්දී ගුමුගුමුව සැනෙකින් නැවතිණ. විදුලියෙන් නැහැවුණු වේදිකාවට පිවිසියේ දිළිසෙන අළු පැහැති මනරම් දිගු ගවුමක් හැඳගත් කළු කොණ්ඩයකින් සහ අලේප කරන ලද විසල් කළු ඇස් ඇති සිහින් කාන්තාවකි. ඇයගේ ගෙල වටා සහ කළු කොණ්ඩයේ තැනින් තැන පාට පාට මැණික් ගල් දිළිසුණි. වේදිකාවේ සිට ඉතා පැහැදිලි ලෙසින් සිත් ඇදගන්නා ලාලිත්‍යයකින් කවියක් කියමින් ඒ කාන්තාව ලීලා හා මිස් සුරම්‍යා ඇතුළු මුළු සභාව තවත් අමුතු ලෝකයකට කැඳවා ගෙන ගියාය.

සැප්තැම්බර් 21, 2013

කිබිසිනි -මේක හරිම ලස්සන කතාවක්

Filed under: Uncategorized — arunishapiro @ 8:25 පෙ.ව.

එකිනෙකාගේ අත් අල්ලාගත් ලීලා සහ මිස් සුරම්‍යා සුදු කුළුණු සහ සුදු ගරාදි වැටකින් සමන්විත පුළුල් ආලින්දයක් මැද්දේ හිටගෙන.

ඔවුන් සිටින ගොඩනැඟිල්ල යම් උත්සවයක් සඳහා සරසා ඇත. හැම තැනම රන්වන් පාටින් බැබළෙන ලයිට් ගණනාවකි. එහෙත් තවම අඳුර පහත් වී නැත. මුහුදු වෙරළක් ආසන්නයේ සිටින බවක් හමා ගිය සිහින් සුළඟෙන් ඔවුන් දෙදෙනාටම දැනුණි.

“ලයිට් තියෙන කාලයක්,” මිස් සුරම්‍යා මිමුණුවාය.

“ඒත් අශ්ව කරත්ත වලින් යන්නෙ,” ලීලා එක දිගට ඇවිත් නවත්වා අමුත්තන් බස්සවා යන කරත්ත පෙළ දිහා බලමින් කීවාය.

එකිනෙක පසුපසින් ඇවිත් නතර වෙන අශ්ව කරත්ත වලින් බහින තරුණ තරුණියන් ද එකිනෙකාගේ අත් අල්ලාගෙන ආලින්දයට කෙටි පඩි කිහිපයක් නැඟ්ඟේ ආනන්දජනක සුන්දර සන්ධ්‍යාවක බලාපොරොත්තු පිළිබිඹු කරන මුහුණු සමඟින්.

ඔවුන් දුටු විගස මිස් සුරම්‍යා තමන්ගේ ඇඳුම් පැළඳුම් දිහා බැලුවේ කුතුහලයෙන්.

“යන තැනට ගැලපෙන්න ඇඳුම් නම් ලැබෙනවා,” ලීලා සිනාවකින් කීවාය.

අළුතින් එන අය සමඟින් ඔවුන්ව ඇතුලට තල්ලු වී ගියහ. ඇතුලත පොලිෂ් කර ඔප දමා ඇති ලී පොළවේ නොනැවතී එන අමුත්තන්ගේ අඩි හැප්පුනේ ද උත්සවාකාර ලතාවකට. මිස් සුරම්‍යා හැඳ සිටින්නේ දෙපා වැසෙන තෙක් දිගට වැටෙන පළල් විහිදෙන සායක් සමඟින් වූ රතුපුල් පැහැති ගවුමකි. ලීලාගේ අතින් ඇද, සාය මඳක් උස්සා ඇය සිය සපත්තුවක් ලීලා වෙත පෑවාය.

“අපි ඇවිල්ලා තියෙන්නෙ බාල් නැටුමකට ද දන්නෑ.”

ඇයගේ ගවුමේ පැහැයෙන්ම නිමැවූ අඩි උස විල්ලුද සපත්තුවෙන් වැසුනු ඇඟිලි හරහට දිවෙන කළු පාටින් තුනී පීත්ත පටියක් දිළිසෙයි.

තල්ලු වී යන පැත්තටම අඩි තබමින් ලීලා තම ගවුමේ හැඩ බැලුවාය. ඇයගේ ඉන වටා ලොකු රෝස පාට පීත්ත පටියකි. වළලුකරය දක්වා දිගට වැටෙන සේ නිමකරන ලද පිම්බුන අත් වලින් සහ නිකට ළඟට යන කරපටියක් ඇති ගවුම සැන්දෑ අහසක් සිහි කරන පාට වලින් යුතු සිල්ක් රෙද්දෙන් නිමා වී තිබේ. ඇය ගවුම අත ගා බැලුවේ ආශාවෙන්. ඒ ගවුමෙන් ඇයගේ දෙපා වැසී තිබුනේ නැත. ඇය පැළඳ සිටියේ රෝස පැහැති අඩි උස නැති සපත්තු යුගලයකි.

“මම නටන්න දන්නෙ නැහැ,” ලීලා කියද්දී අහළින් ගිය කොල්ලාගේ අතේ එල්ලී ගත් කෙල්ලක් ඇය වෙත අමුතු බැල්මක් පෑවාය. ලීලා සිල්ක් රෙද්ද යටින් තියෙන වළල්ල අතගා බැලුවේ අළුතින් හුරු වී තිබුණ පුරුද්දට.

“ඔයාගෙ පෙට්ටියෙ තියෙන මාළ වළළු මුදු කරාබු ඔක්කොම දාගත්තු එක්කෙනෙක් ඉන්නවා,” මිස් සුරම්‍යා ද අමුත්තන් යන දෙසට ඇදී යමින් ලීලාගේ කනට කොඳුරන්නීය. ඇය ඇස් කොණකින් උස මහත කාන්තාවක් පෙන්වූවාය. අඳුරු නිල් අළු පාටකින් ඝනකම සිල්ක් ගවුමක් හැඳගත් ඒ කාන්තාව පැළඳි කණකර ආයිත්තම් බොහොමයකි.

“ඈන්,” කවුදෝ සතුටින් කියනවා හැමෝටම ඇසුණි. “එන්න අද සංදර්ශනයට ඉන්න අයට වෙනම කාමරයක් තියෙනවා, එන්න,” ඔවුන්ට පසුපසින් අළුතින් ආලින්දයට ගොඩවැදිච්ච අයෙකුට කියන්නක් ඇසී මිස් සුරම්‍යා තිගැස්සී වටපිට බැලුවාය.

“මේ වයිට් සෑන්ඩ්ස් හෝටලය ද?” මිස් සුරම්‍යා අසලින් වූ පිරිමියෙක් වෙතින් විමසීය.

“ඒ නමින් තියෙන එකම එක මේක තමයි,” ඔහු සිනාවෙමින් පවසයි.

ඇදී යන අයගෙන් ඈත් මෑත් වෙමින් මිස් සුරම්‍යා ආපහු යන්නට මහත් උත්සාහයක් ගත්තේ පිටුපසින් සිටි අයගේ බලවත් අප්‍රසාදයට හසුවෙමින්. ලීලාගේ අතින් ඇදගත් මිස් සුරම්‍යා සමාවෙන්න, සමාවෙන්න යැයි කියමින් තමන් ඉදිරියට එන අය මැද්දෙන් ආපසු යෑමට අඩි කිහිපයක් තැබුවාය.

සුදු ඕගැන්ඩි රෙද්දකින් මහන ලද චාම් ගවුමක් හැඳගත්, කිරි සුදු ගෙලක මුතු ඇට පොටක් දමාගත්, කැරට් අලයක පාටකින් වූ ගොතන ලද කොණ්ඩ කැරලි දෙකකින් නිමැවූ හිස් සැරසිල්ලක නැවුම් සුදු රෝස මලක් පැළඳගත්, තම නොසන්සුන්කම වසාගන්නට වෙහෙසෙන පුංචි කෙල්ලක් ආලින්දයට ගොඩ වී ඇත.

“ඈන්,” යැයි හෙමින් මුමුණමින් කෙල්ල දිහා ඇසිපිය නොගහා බලා සිටින මිස් සුරම්‍යාගේ මුහුණ පිරී ඉතිරී යන ප්‍රමෝදයකින් විකසිතයි.

“මිස් සුරම්‍යා මේ කතාව දන්නවා ද?” ලීලා සෙමින් ඇසුවාය.

“ඔව්, මේක මම දන්නවා. මේක හරිම ලස්සන කතාවක්. මම ඇවිත් වයිට් සෑන්ඩ්ස් හෝටලේට … මේ මම.. ඔයා ..,” ඇය කියාගෙන ගියේ ලීලාගේ අත් දෙක ඇයගේ අත්දෙකෙන් තදින් අල්ලා ගනිමින්. “අද තමයි ලස්සනම දවස, මේ කතාවේ මම ආසම තැන .. මගේ ජීවිතෙත් ලස්සනම දවස,” ඇය බිත්තියට පිට දී වැඩිහිටි කාන්තාවන් සමඟ ඇතුලට ගිය ඈන් දිහා බලාගෙන කියයි. ඈන් නොපෙනී ගිය පසු ඇස් පියාගෙන දිගු හුස්මක් ඉහළට ඇද සිනාවෙන් පිරී ගිය මුහුණේ ඇස්පියා ගත්තාය.

“ලීලා මාව එක්කගෙන ආවට ඔයාට ස්තූතියි කියලා කියන්න මට වචන නැහැ. ඔයාට ඕන උදව්වක් කියන්න මම කරලා දෙන්නම්,” මිස් සුරම්‍යා ලීලා උත්තර දෙන්න කළින් අල්ලාගත් අත් මුදා නොහැරම ලීලාවත් ඇදගෙන අනිකුත් අය තල්ලු කරගෙන මෙන් ඇතුලට ගියේ “ඉස්සරහින් වාඩිවෙන්න කොහොම හරි පුටු දෙකක් හොයාගන්න ඕනෑ,” යැයි මතුරමින්.

“මම නෙමෙයි මෙහාට එන එක තීරණය කළේ,” ලීලා හිමිහිට කිව්ව ද ඔවුන් ඇතුල් වූ ශාලාවේ රැස් වී සිටි පිරිසගේ ගුමුගුමු හඬින් පැතිර ගිය කටහඬවල් මැද්දේ එය මිස් සුරම්‍යාට ඇසුනේ නැත. උජාරුවට හැඳ පැළඳගත් තරුණ තරුණියන් සහ වැඩිහිටියන් සතුටින් අල්ලාප සල්ලාපයේ යෙදෙන ශාලාවකට ඔවුන් දෙදෙනා පිවිසුනහ.

සැප්තැම්බර් 14, 2013

කිබිසිනි -මොකද කියන්නෙ, අපි කොහෙ හරි යමු ද?

Filed under: Uncategorized — arunishapiro @ 7:37 පෙ.ව.

“මේකක් දාගත්තම?”

“ඔව්.”

“ඔයා හිතන්නෙ කතන්දර පොතක තියෙන කතාවකට යන්නෙ?”

“ඔව්.”

“කොහාට ද? කොයි වසරකට ද? ඒවා නොදැන?”

“ඔව්.”

“එක එක ඒවා දාගත්තම වෙන වෙන තැන්වලට?”

“ඔව්, එකම තැනට දෙවතාවක් ගිහින් නැහැ, ඒත් …” ලීලා අබරණ එහාට මෙහාට කරමින් වැඩි ඔපය නැති එහෙත් එහි කහ මැණික් ගලක් හොබවන ලද රත්තරන් මුද්දක් සොයාගත්තාය. “.. මේ තියන්නෙ මේක දාගෙන මුල් පාර ගියාම තමයි එංගලන්තෙ අර කවෙන්ට් ගාඩන් රඟහලේ දී අර ජර්මන් ඔපෙරාව දැක්කෙ. මේකම දාගෙන දෙවැනි පාර ගියෙ සොල්දාදුවෝ හිටපු ට්‍රේන් ස්ටේෂන් එකකට.”

“ආයෙ ආයේ පාවිච්චි කරන්න පුළුවන් එහෙනම්,” මිස් සුරම්‍යා තවමත් කිසිම ආබරණයක් අතට අරගෙන නැත.

“මේ මුද්දම තුන්වැනි වතාවේ දාගත්තම කොහෙවත් ගියේ නැහැ. ඒත් දෙවැනි වතාවේ ගිහින් එද්දී තමයි තාත්තට අසනීප වෙලා තිබ්බෙ.”

“පිටරට යන්න පුළුවන් මේකක් දාගත්තම,” මිස් සුරම්‍ය අබරණ පෙට්ටිය දිහා බලාගෙන හිමිහිට මිමුණුවාය.

“තාත්තයි මායි දෙන්නම එකපාර ගියෙ වැරදීමකින්. මාව පුටු ඇන්දෙන් වැටෙන්න යද්දී තාත්තව අල්ල ගනිද්දි මෙන්න මේක මගේ කකුලේ වැටුනමයි,” ලීලා නූපුරය පෑවාය.

“ලීලා හිතන්නෙ තාත්තා අසනීප වෙන්න කළින් මෙහෙම ගමන් ගොඩක් ගිහින් තියෙනවා කියල නේද?”

“ඔව්,” ලීලාගේ මුහුණ ලැජ්ජාවෙන් රතු විණ. “ලේඩි ෂැටර්ලිගෙ ආදරවන්තයා පොතේ කතන්දරයට තාත්තා ගිහින් තියෙනවා කියල මට හිතෙනවා.” එය ඇසුණු මිස් සුරම්‍යා ද මුහුණ පැත්තකට හරවා අතින් මුව වසා ගත්තේ හිනාවක් පිටවන්නට නොදී උරහිස් හකුළුවා ගනිමිනි.

නොසන්සුන්බවක් වෙනුවට තුරුණුවියේ කාන්තාව සහ ගැටවර වියේ කෙල්ල අතර ලෙන්ගතු සමීප බවක් වැඩියෙන් දැනුණි. පුද්ගලික අත්දැකීම් නොමැති නිසාම කියැවූ කතන්දර පොතේ විස්තර ඔවුන් දෙදෙනාගේම මතකයේ හොඳින් රැඳී තිබිණ.

“කොයි එක දාගෙන ද දන්නෑ? එංගලන්තෙ යන්න ආසයි, ඒත් ඒ පොතේ කතන්දරයට යන්න නම් ඕනෙ නැහැ,” යැයි මිස් සුරම්‍යා ඇසුවේ අල්ල මුවෙන් ඉවත් නොකරම.

කට ඇද කර මුහුණ සොලවමින් තමන් නොදන්නා බව පෑ ලීලාට කාලයක් තිස්සේ පැවති හිතේ කැළඹිල්ල මඳක් අඩු වී ගියා මෙන් දැනිණ.

ලීලා අබරණ පෙට්ටියේ පියන විවෘතව තිබිය දී ම මේසය මත වූ තමන් සටහන් තබන කොපි පොත සොයාගති. එහි පිටු පෙරලමින් ඇයගේ කෙටි සටහන් වලින් ගිය ගමන්වල විස්තර මිස් සුරම්‍යාට දැන්වූවාය. මුලින් ම ගිය මඩ ගොහොරුව ගැන විස්තර තමන් කියවා ඇති රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවක කතාවකින් මතක ඇති බවක් දැනෙනවා යැයි මිස් සුරම්‍යා කියා සිටියාය. ඒ ගැන පුස්තකාලයට ගිය පසු යළි සොයා බලන්නට ඇය ලීලාට පොරොන්දු වූවාය.

“මේවා මතුවෙන්නෙ ධාරානිපාත වැස්සකින් පස්සෙ අපේ වත්තෙන්. ඒත් හැමෝටම කාමරේට එන්න බෑ වගේම හැමෝටම කාමරෙන් පිටත දී වුනත් මේවා අල්ලන්නත් බැහැ. කාමරේ දොර අගුලට අත තියද්දී වගේ තමයි විසිවෙලා වැටෙනවා.”

“මම බිම වාඩිවෙලානෙ ඉන්නම්,” මිස් සුරම්‍යා බිම වාඩි වී අතක් පෑවාය.

මෙහෙකාරිය බංකුවක් උඩ සිටිය දී නූපුරය අල්ලට නොලැබී විසි වී ගිය හැටි ලීලාට මතක් වුණි.

“විසිවෙලා යන්න ඉඩ තියෙනවා ඔන්න,” ලීලා අබරණ පෙට්ටියෙන් පාට පාට මැණික් ගල් අල්ලන ලද රත්තරන් වළල්ලක් එළියට ගත්තාය.

මිස් සුරම්‍යා එක අතකින් මේසයේ කකුලක් අල්ලාගෙන අනිත් අතේ අල්ල පෑවාය. ලීලා ඒ අල්ල මතට වළල්ල අතහැර ක්ෂණයෙන් ඈත් වූයේ මිස් සුරම්‍යා විසි වී ඇවිත් තමන්ගේ ඇඟේ හැපේවි යැයි සිතමින්.

මිස් සුරම්‍යා විසි වී ගියේ නැත. අල්ල මත වළල්ල සැනසිල්ලේ පසුවෙයි.

“ඉතින් මිස් සුරම්‍යා, මොකද කියන්නෙ, අපි කොහෙ හරි යමු ද?”

සැප්තැම්බර් 7, 2013

කිබිසිනි – එහෙම නෙමෙයි ද සාමාන්‍යයෙන් වෙන්නෙත්

Filed under: Uncategorized — arunishapiro @ 7:42 පෙ.ව.

“ලීලගෙ තාත්තාව ඉස්තෝප්පුවේ තනියම දාලා?”

“කමක් නෑ. අපි ඉස්සෙල්ලා ඉස්තෝප්පු කාමරේ ඇතුලට යන්න පුළුවනි ද බලමු.”

මිස් සුරම්‍යා ඇඳුම් පිළිවලක් කරගනිමින් නැඟිට සිටියේ අවිනිශ්චිත බවකින්. ලීලා ගේ ඇතුලට ඔළුව දැමුවේ අම්මා පෙනෙන හරියක ඉන්නවාදැයි බලන්න. මිස් සුරම්‍යාගේ පැමිණීමත් සහ ඇයගේ කතාබහත් ගැන යම් සතුටකින් ඉන්නා අම්මාව නැවත නොසන්සුන් කරවන්නට ලීලා අකැමති වූවාය. අම්මා පෙනෙන පළාතක නැත.

“ඇදගෙන වැටෙන්න බලාගෙන දොරට අත තියන්න,” ලීලා උපදෙස් දුන්නාය.

“ඇදගෙන වැටෙන්නෙ කොයි විදියට ද?” මිස් සුරම්‍යා දොර වෙතට ළං වී එහෙත් අගුලට අත නොතබා අසයි.

“විසිවෙලා ගිහින් වැටෙනවා.”

“පස්ස බිම ඇනිලා ද නැත්නම් පැත්තකට පෙරලිලා ද බිමට වැටෙන්නෙ?” ඇය එහාට මෙහාට හැරෙමින් දෙකටම සූදානම් වෙන්නේ කෙසේදැයි සිතමින් තොලේ අගක් විකන්නට පටන් ගෙන.

“හිතාගන්න බැරි තරම් … වුනේ කොහොමද කියලා දැනගන්න කළින් සිද්ධ වෙනව. දැනගන්නෙ වැටිලා ඉන්නව කියලා දැක්කම.”

“හ්ම් … එහෙම නෙමෙයි නේද සාමාන්‍යයෙන් වෙන්නෙත්? සාමාන්‍යයෙන් අපි වැටෙන්න හරි පෙරලෙන්න හරි යනවා කියලා සිද්ධ වෙන්න ඔන්න මෙන්න තියලා දන්නවා. එතකොට අපි වැටෙන්න කළින් වැටෙන විදිය දැනගන්න සූදානමින් නේද ඉන්නෙ …,” තමනට මුමුණා ගන්නා ඇය තවමත් දොර අගුලට අත තබා නැත.

“ඒ කියන්නෙ වැටෙනවා කියලා කළින් දැනගෙන ඉන්නවා නම් …”

“නෑ නෑ වැටෙනවා කියල විතරක් නෙමෙයි, කොහොම ද වැටෙන්නෙ කියලත් දැනගෙන ඉන්න ඕනෑ. ඒකයි මම ඇහුවෙ බස්ස බිම ඇනෙන විදියට ද නැත්නම් පැත්තකට පෙරලිලා ද කියල .. අනික මුනින් අතට වැටෙන්නත් පුළුවන් .. නැත්නම් ඔළුව බිම වැදෙන විදියකට වැටෙන්නත් පුළුවන් …” මිස් සුරම්‍යාගේ තොල අග දත් වලට හිර වී ඇත.

කොපි පොත රැගෙන ඉස්තෝප්පු කාමරයෙන් එළියට එන්න ගත් උත්සාහය ලීලා සිහි කළාය. එහෙත් ඇයට දොර අගුලට අත තබද්දී විසි වී ගොස් ඇද වැටුන බව මතක තිබුණා මිසෙක එය සිද්ධ වූයේ කෙසේදැයි මතකයක් නොවීය. එය එදා ඇය බලාපොරොත්තු නොවූවකි.

“මේකයි මිස් සුරම්‍යා වැඩේ. ඇතුලට අරන් යන්න පුළුවන් දේ මට එළියට ගෙන්නයි බැරි. එහෙම වෙලාවකයි මාව වැටුනෙ. නැත්නම් මට කොහොම ද වෙන්නෙ කියලා පෙන්වන්න පුළුවන් මිස් සුරම්‍යාට බලාගන්න.”

අඳුර පාත් වෙන්නට වැඩි කාලයක් නැතැයි මතක කරන්නට මෙන් බැස යන සූර්යයාව රෝස පැහැති වළාකුළුකින් වැසී ගිහින් ඉස්තෝප්පුවේ ආලෝකය මඳක් අඩුවිය.

“අපි දෙන්නම එකම වෙලාවේ දොරේ අගුලට අත තිබ්බොත්?” ඔවුන් දෙදෙන එකිනෙකාගේ මුහුණු බලාගෙන එකිනෙකාගෙන් එක වරම ඇසූහ.

ඔවුන්ගේ අත් දොර වෙතට ළං වූයේ හෙමින්. එහෙත් අගුලට පාත් වූයේ ක්ෂණයෙන්. දොර විවෘත වී ඔවුන් ඇතුලට පිවිසි විගස තඩාස් ගා වැසුනේ අකමැති දෙයක් කරන්නට සිද්ධ වූ දරුවෙක් සිය අප්‍රසාදය දක්වනවා සේ ය.

මිස් සුරම්‍යා අස්සක් මුල්ලක් නෑර කාමරයේ පිරී තිබෙන පොත් සහ ලියකියවිලි දිහා විසල් ඇස් වලින් බලාගෙන සිටියි. ලීලා ඇයගේ අතින් අදගෙන ගියේ මේසය අසලට. බොකු ගැසුණු වේවැල් පුටුව පැත්තකට ඇද සිමෙන්ති පොළවේ ලෑලී තීරුව උස්සා එහි රඳවා තිබූ පෙට්ටියේ මුතු මැණික් ඇල්ලූ රන් රිදී අබරණ අතක් පුරා ඉහළට උස්සා පෙන්වද්දී මිස් සුරම්‍යාගේ මුව විමතියෙන් විසල් වී විවර වූයේ තොල අග සපන්නට ද අමතක කරමිනි.

අගෝස්තු 24, 2013

කිබිසිනි -යන්නෙ කොහොම ද කියලා දැන ගන්න ඕනා නේද?

Filed under: Uncategorized — arunishapiro @ 9:36 පෙ.ව.

“මම කළින් ගිය තැනක …” ලීලා මිස් සුරම්‍යාගේ මුහුණ බැලුවේ ඇය තමා කියන්න විශ්වාස කරනවා දැයි බලන්නට.

මිස් සුරම්‍යා කිසිත් නොකියා තමනට ඇහෙන්න එයාකාරයෙන් අහන්නම් යැයි කියන ඇස් වලින් ලීලාව දිරිමත් කළාය.

“… කළින් ගිය තැනක දී මට අහන්න ලැබුන අපිට ලෝකය දෙන සාක්ෂි හඳුනාගන්න වෑයම් කරන්න ඕනා කියල නාකි මනුස්සයෙක්, මම හිතන්නෙ එයා පූජකවරයෙක් වගේ කෙනෙක් එයාගෙ යටතේ ඉගෙන ගන්න කෙනෙකුට දෙන අවවාදයක්.”

“එහෙම යන ගමන් වලින් එක එක දේවල් ජීවිතේට එකතු කරගන්න ලැබෙනවා කියල ද ලීලා හිතන්නෙ?”

“ඔව්, ඒත් මුලින් ම ගමන යද්දී තාත්තා හිටියෙ අසනීපයක් නැතිව. හැබැයි ඒ ගමනේ දී මම දැනගන්න තිබ්බෙ මොකක් ද කියන එක මට අතහැරුනා .. ජරා මඩ ගොඩකට මුලින් ම ගියෙ.”

මිස් සුරම්‍යා කුමක් දෝ අහන්නට තමා දිහා බලා නැවතත් වෙනතකට හිස හරවා එහෙත් ඒ සැණින් ම ආයෙත් ලීලා දිහාට හැරුනේ දෙගිඩියාවකින් බව ලීලා දුටුවාය.

“යන්නෙ කොහොම ද කියල දැනගන්න ඕනා නේද?”

මිස් සුරම්‍යා හිස ඉහළටත් පහළටත් වැනුවේ ඉතාමත් සීරුවෙන්.

ලීලා ඉස්තෝප්පු කාමරය හිසෙන් ඉඟි කළාය.

“ඉස්තෝප්පු කාමරේ ඇතුලෙන්?”

“මෙහෙමයි, ඒක ඇතුලෙ මාල වළලු මුතු කරාබු දාපු පෙට්ටියක් තියෙනවා. එයින් එකක් දා ගත්තම යන්න පුළුවන්. හැබැයි කොහාට යනවා ද කියල හොයා ගන්න විදියක් නැහැ.”

මිස් සුරම්‍යා අතකින් මුව වසා ගත්තාය. “ඕන කෙනෙකුට යන්න පුළුවන් ද?” ඇයගේ කටහඬ ගොරෝසු බවකින් පිටවුණි.

“දන්න තරමින් අපේ ගෙදර තාත්තටයි මටයි විතරයි ඒ කාමරේට ඇතුල් වෙන්න හරි පුළුවන්.”

“අම්මා? .. වැඩ කරන එක්කෙනා?”

“එයාලට බැහැ. දොර ඇරෙන්නෙ නැහැ විතරක් නෙමෙයි දොර අගුලට අත තිබ්බමත් එයාලව බිමට ඇදගෙන වැටෙනවා.”

මෙවර මිස් සුරම්‍යාගේ මුව වැසී තිබුණ අතට උඩින් අනෙක් අත්ල ද එකතු විය.

“ඒ මාල තියෙන පෙට්ටිය එළියට අරන් එන්න ..” මිස් සුරම්‍යා මිමුණුවේ කෙඳිරියකින් වගේ.

“.. බැහැ, එහෙම හදද්දී මාව ඇතුලේ ඇදගෙන වැටුණා.”

ඔවුන් දෙදෙනාම නිහඬ බව අරක් ගත් කල්පනා ලොවකට පිවිසුනහ. දවසක වැඩ නිමාකර ගෙවල් බලා ගිය මිනිසුන් මෙන්ම දවසේ වැඩ හමාර කරන ලද බවක් දක්වන කුරුල්ලන් ද රාත්‍රිය ගෙවන්නට නවාතැන් කරා ගොස් ඇතැයි කියා පාමින් පරිසරයේ සද්ද බද්ද අඩු වී ඇත.

“මිස් කැමති ද ..” ලීලා කියද්දී, “මට යන්න ..” මිස් සුරම්‍යා කීවේ එකම අවස්ථාවක දී.

“ඇතුලට ..” මිස් සුරම්‍යා ලීලාගෙන් ඇසුවේ ඇයගේ වදන් තවත් හඬ බාල වූයේ නම් ඇහෙන නොඇසෙන තරමට පත්වෙද්දී.

“… යන්න පුළුවන් ද බලන්න?” ලීලා වාක්‍යය අවසන් කළාය. ඔවුනට අනෙකාගේ අදහස වටහා ගන්නට හැකියාවක් තිබිණ.

“හොඳටම හවස් වෙලා,” මිස් සුරම්‍යා මුව ඇතුලතින් තොල විකන්නට පටන් ගෙන.

“කාමරේ ඇතුලේ දී වේලාව ගෙවුනට ගමනක් ගියාම ආපහු එන්නෙ ගිය වේලාවටම. ඒත් අන්තිම වතාවේ මොකක්ද වුනේ කියල ෂුවර් නැහැ මට .. පොඩ්ඩක් පරක්කු වුනා මම හිතන්නෙ මිනිත්තුවක් දෙකක් විතර පරක්කු වුනා වගේ.”

“මෙහෙ කාලය ගෙවෙන්නෙ නැහැ.”

“ඔව්, මෙහෙ කාලය ගෙවෙන්නෙ නැහැ යන තැනේ දවස් දෙක තුනක් හිටියත්.”

“අම්මා දන්නවා ද?”

“නැහැ. අහන්න අකමැතියි වගේ නිසා මම කියන්න ගියේ නැහැ.”

මිස් සුරම්‍යා මුව වසාගෙන සිටි දෑත් වලින් ඇයගේ පියකරු මුහුණ සඟවා ගත්තාය. තීරණයක් ගන්නට ධෛර්යයක් උපදවා ගන්නට උත්සාහ කරන ඇයට ඉඩ දී ලීලා නිහඬ විය.

« Newer PostsOlder Posts »

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.