ලීලාත් මිස් සුරම්‍යාත් අබරණ පෙට්ටිය හැරගෙන ඒ දිහා බලා සිටිති.
තාත්තා බොකු ගැසුණ පුටුවේ හිර වී සිටියි. දිවා ආහාරය ගත් සැනින් වෙනදා නින්දට වැටුනත් අද ඔහු අවදියෙන්. එහෙත් තමන් ඉන්නා ස්ථානය ගැන හෝ එහි සිටින අය ගැන ඔහු කිසිත් අවධානයක් නොදැක්වීය. ඔහුගේ හිස් බැල්ම අරමුණක් නැති ඉලක්කයක් වෙත යොමුව ඇත.
“පරණ වුනාට මේවායෙ අමුතු ලස්සනක් තියෙනවා,” මිස් සුරම්‍යා කිසිවක් අතින් අල්ලන්නේ නැතිව කීවාය.
“මේ දවස්වල අපිට ..” කියන්න ගියේ කුමක්දැයි මතක් වූ ලීලා වාක්‍යය අවසන් නොකළාය.
“මාත් කල්පනා කළා ඒ ගැන. අම්මා රස්සාවකට යන්නෙත් නෑ නේද?” ලීලා නොකියා නැවතුනේ කුමක්දැයි ගැන මිස් සුරම්‍යාගේ අනුමානය නිවැරිදියි.
“නෑ, කවදාවත් රස්සාවක් කරලා නැහැ. අසනීප වෙච්ච තාත්තාව ටික කාලයක් කන්තෝරුව තියාගෙන හිටියා හොඳ වෙලා ආපහු එයි කියල. ඒත් ඊට පස්සෙ අයින් කරලා දැම්ම.”
“මේවා විකුණන්න ද ලීලා හිතුවේ,” මිස් සුරම්‍යා ඇසුවේ කිසිත් අවධානයක් නොදක්වන තාත්තා දිහා හොරැහින් බලමින්.
“නැහැ මේවා නෙමෙයි. මේ කාමරයෙන් එළියට ගෙනියන්න බැහැනෙ අරගෙන එන කිසිම දෙයක්.”
“එහෙනම් අර අළුතෙන් ලැබෙන එකක්.”
“ඔව්.”
“වැස්සකට පස්සෙ.”
“ඔව්.”
“ඒත් කරන්න බැරිකමක් තියෙනවා.”
“ඔව්, මේවා අපිට අල්ලන්න පුළුවන් වුනාට හැමෝටම බැහැ. අපේ ගෙදර වැඩට ඉන්න එක්කෙනාගේ අතට දාන්න හැදුවා. එයාගෙ අතට වැටෙන්න කළින්ම එයාව වාඩිවෙලා හිටිය බංකුවෙන් වැටිලා විසිවෙලා ගියා.”
“ආන්ටිට අල්ලන්නත් බැරිව ඇති.”
“ඔව් මම ඒත් අම්මා අතට දීලා බැලුවේ නැහැ. මේ ඉස්තෝප්පු කාමරයේ දොර අරින්න බැරි නම් ඒ කියන්නෙ මේවා අල්ලන්නත් බැහැයි කියන එක.”
“තව අපි වගේ අය ඉන්නවා නම්?”
“ඔව් මිස් සුරම්‍යා. තව අපි වගේ අය ඉන්නවා නම් එයාලව හොයාගන්නෙ කොහොම ද?” ලීලා විමසයි.
“ඒක තමයි ප්‍රශ්නෙ! හැබැයි ප්‍රශ්න තියන්නෙ විසඳුමක් හොයාගන්න නේද? නැතිව ඒක ප්‍රශ්නයක් කියලා දැනගෙන ඉන්න විතරක් නෙමෙයිනෙ,” මිස් සුරම්‍යාගේ මුවේ සිනාවක් පැතිර යයි.
“අපි දැන්වීමක් දාමු ‘අපූරු ගමන් යා හැකි අය සොයනු ලැබේ,’ කියලා.” ඒ ලීලා.
“ඒ අපූරු ගමන් කොහෙද කියලා හොයන්න පොලීසියෙනුත් ඒවි,” මිස් සුරම්‍යාගේ සිනාව තවත් පුළුල් විය.
ලීලා කට බෙරි කළාය. “කොයි විදියෙ ගමන් යන්න හිතාගෙන මොන විදියේ අය ඒවි ද?”
“දැන්වීමක් දැම්මට පස්සෙ එන උත්තර වලින් තමයි ඒක දැනගන්න ලැබෙන්නෙ.”
“ඒවගෙ දැන්වීම් දාන්න පත්තර කන්තෝරුවක් බාර ගන්න එකකුත් නැහැ.”
“අපොයි නෑ ලීලා. දැන්වීම් නැතිව පත්තර කරගෙන යන්න කොහොම ද? දැන්වීම් කියවද්දී වගේම ඒවට එන ලියුම් වුනත් ඇත්ත ද නැත්ත ද කියලා හොයන එක අපේ වගකීම.”
“තාත්තාත් එහෙම දැන්වීමක් දාන්න හිතුවා ද දන්නෑ. අපි එහෙම නම් තාත්තගෙනුත් අහමු නේද?”
“ඔව් අපි අන්කල්ගෙනුත් අහමු. අපි මේ අනම් මනම් කතා කරන්නෙ ගමන යන එක කල් දාන්න නේද ලීලා?”
“මට තාත්තා එක්ක කතා කරන්නත් ඕන. ඒත් කළින් ගිය තැනේ දී කතා කරන්න ඉඩක් පෑදුනේ නැහැ. යන්නත් ඕන. ඒත් යන්නත් හරි මොකක් ද වගේ.”
“මාත් අන්කල් එක්ක කතා කරන්න ආසයි. ඒත් මේ වගෙ සිද්ධියක් මැද්දෙ නැතිව. ඒත් මෙහෙම වුනේ නැත්නම් අපි මුණගැහෙන්නෙත් නෑනේ. ඉතින් මටත් යන එක හරි මොකක් ද වගේ.”
“ඒත් යන්නම වෙනවා.”
“ඔව් ලීලා අපිට යන්නම වෙනවා.”
“අපිට තව වැඩි කාලයක් මේ විදියට ජීවත්වෙන්න බෑ. ගෙදර වියදම් හොයගන්න වත්තෙ වැවෙන එළවළුවක් පළතුරක් විකුණලා විතරක් මදි. අම්මාට ඉඩම විකුණන්න වෙලා තියන එක ගැනත් තාත්තා එක්ක කතා කරන්න ඕන.”
“ලීලා, අපි යන්න කළින් මේක කියන්නම්. මම මේ යෝජනාව කියන්නමයි හිටියෙ. මම ඉන්නෙ අපේ අම්මත් එක්ක. එයාට වැඩපල මුකුත් කරන්න බැහැ. මට හිටපු එකම සහෝදරයා නැතිවෙච්ච දා ඉඳලා අම්මා ඉන්නෙ වෙනම ලෝකයක. අපේ තාත්තා නැතිවුනේ අපි පුංචි කාලේ. ඉතින් මම මේ කියන්න හදන්නෙ ලීලා මටත් උදව්වක් වෙන විදියක් ගැන.”
ලීලා බලා සිටියා මිසෙක කිසිත් කීවේ නැත.
“මට සතියෙ දවස්වල ලන්ච් හදලා පුස්තකාලයට ගෙනැත් දෙන්න ඔයාලගෙ ගෙදර වැඩ කරන එක්කෙනාට පුළුවන් නම් මම ඒකට ගෙවන්නම්. දවල්ට මම නැති අතරෙ අම්මව බලාගන්න කෙනෙක් ගියාට මට උදේට නැගිටලා අම්මගෙ වැඩත් කරලා වැඩට අරන් යන්න කෑම වේලක් හදන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ.”
ලීලා බලා සිටියා මිසෙක තවමත් කිසිත් කීවේ නැත.
“මුලින් ඔය තියෙන විදියට කමු. සමහර විට පුස්තකාලේ අනිත් අයත් ඉල්ලන්න පටන් ගනීවි.”
“ඒකත් අපි තාත්තගෙන් අහමු,” යැයි ලීලා කීවේ ඇහෙන නෑහෙන හඬකින්.