Sinhala story Blog

අප්‍රේල් 22, 2014

කිබිසිනි – නිමාව

Filed under: Uncategorized — arunishapiro @ 11:11 පෙ.ව.

ඔවුන් තිදෙන නිවසට පැමිණියහ.

අම්මාගේ තනි රකිනු පිණිස දෙදෙනාටම තේ කෝප්ප හදාගෙන මෙහෙකාරිය ඉස්තෝප්පුව වෙත ගමන් කරමින් සිටියාය.

ඉස්තෝප්පු කාමරයේ දොර හැරගෙන එළියට ආ ඔවුන් තිදෙන දකිද්දී මෙහෙකාරිය සිතුවිලි කිහිපයක හිරවෙන හැටි ලීලා දුටුවේ සිත සතුටින් පිරී යද්දී.

“ඔව්, අපි ගිහිනුත් ආවා,” ඇසුවේ නැති ප්‍රශ්න වලට පිළිතුරැ දෙමින් ලීලා කීවාය.

“ඔව්, අපිටත් තේ ඕනෑ,” ඇය මෙහෙකාරිය වෙතින් තේ කෝප්ප ඉවත් කළේ නැත්නම් ඒවා බිම ඉහිරෙන නිසයි.

“ඔව්, ඉක්මණට නූනත් වැඩි කලක් නොයා තාත්තාට හොඳටම හොඳට සනීප වේවි.”

මෙහෙකාරිය අත් දෙක එකට එක බැඳගත්තාය. ඇය අම්මා ළඟට දිව්වාය. ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක හරිබරි ගැහෙන්නට උත්සාහ කරමින් සිටි අම්මා අසුනින් හනිකට නැඟිට්ටේ දෑතින් මුව වසා ගනිමින්.

තාත්තාගේ මුහුණින් ඔහු වටපිටාව හඳුනාගත් බව මනාවට කියත හැකියි. වාත්තම් කරගෙන යන ඔහු අඩියෙන් අඩිය දුර්වල ලෙසකින් තැබුව ද එහි වූයේ අම්මා ළඟට යන්නට ඔහු විසින්ම ගත් දැඩි අධිෂ්ඨානයයි.

ලීලාගේ වදන් සිහි වී මෙහෙකාරිය කඩාගෙන බිඳගෙන මුළුතැන්ගෙයට දිව්වේ ගමනේ විස්තරය මඟහැරෙන්න කළින් අනික් අයටත් තේ හදාගෙන විජහට එන්න.

“තේ හදාගෙන එනකම් අපි ඉන්නම්,” දිව යන ඇයට ලීලා හඬ ගෑවේ තවත් පිරෙන්නට ඉඩක් නැතැයි ඇයට දැනුනු සතුටු හදවතින්. දිව යන මෙහෙකාරිය කෑම මේසයේ පුටුවක ද වැදෙන හඬත් “නෑ නෑ මුකුත් කැඩුනේ නෑ” යැයි ඇය කියන හඬත් ඇසී ඔවුන් සියල්ලන්ටම සිනහා නවත්වා ගනු නොහැකි විණ.

තාත්තා හාන්සි පුටුවේ වාඩිගත් විගස අම්මා තමනට ගෙනා තේ කෝප්පය තාත්තාට පොවන්නට ලැහැස්ති වූවාය. ඔහු අනිත් අයටත් තේ හදාගෙන එන තෙක් තමන් ද ඉන්නවා යැයි අතින් සංඥා කරද්දී අම්මාගේ දෑසින් කදුළු බිංදු එකින් එක කම්මුල් දිගේ පහළට රූස්සා යන හැටි දැක තාත්තා ඇඟිලි තුඩුවලින් ඒ කඳුළු පිස දැම්මේය.

ඔහු කුමක්දෝ මුමුණන්ට උත්සාහ කරයි.

“නෑ නෑ මට කියන්න ඕනෙ නෑ වෙච්ච දේවල්. සනීප වෙනවා නම් ඒ ඇති,” යැයි අම්මා කඳුළු අස්සෙන් කියන්නීය.

“මතකනෙ අම්මා,” ලීලා සුමුදු හඬකින් අම්මාට මතක් කර දුන්නාය, “එපා කියන්න එපා. අම්මා දැනගන්න ඕනෙ කියල තාත්තා හිතනවා නම් ඒවා කියන්න ඉඩක් දෙන්න.”

අම්මා ඔළුව මඳක් උස්සා ලීලා සමඟ එකඟ වෙමින් කෘතඥ සිනාවක් පෑවාය.

ලීලා දෙසට ඇඟිල්ලක් පෑ තාත්තා “හරි,” යැයි කීවේය. ගිලන් වූවාට පසු තාත්තා වෙතින් පිට වූ ඒ එක වචනයේ වැදගත්කම කොතරම් දැයි හරියටම වැටහෙන්නට අම්මාටත් ලීලාටත් තවත් කාලයක් ගතවෙනු නිසැකය.

ඔහු තුල වූ විඩාබර බව හොඳටම පෙනුනත් තාත්තා නිදි කිරුවේ නැත. ඔහු ගෙවත්ත දිහා ඇස් යොමු කළේය. එය පාළුවට යා නොදී බලාගත්තාට ස්තූතියි කියන්නට අම්මා දෙස බලා සිනාවකින් සංග්‍රහ කළේය.

“පිටුවක් පෙරලපුවාම නැත්නම් පරිච්ඡේදයක් අවසානයේ පොත වසා දැම්මාම කතාව ඉවර වෙන්නෙ නැහැ. මොකක් හරි පොතක මම කියවල තියනවා ලීලා ඉඳ හිටලා වත්තෙ හොඳ හෙවනක් හොයාගෙන සුමුදු තණකොළ පිඩැල්ලක වාඩිවෙලා පොත කියවීම නතර කරලා සතුටු වෙන්නත් ඕනෑ කියල.”

“අවසානයක් නැහැ ඒ කියන්නෙ?”

“ඔව්.”

“කතන්දරේ කියන එක නවත්තවා විතරයි එහෙනම්.”

“ඔව්.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: