Sinhala story Blog

මාර්තු 23, 2014

කිබිසිනි -ඔවුනට වඩා යමක් දන්න මම ඇයි ඔවුනට අවනත විය යුත්තේ

Filed under: Uncategorized — arunishapiro @ 9:58 පෙ.ව.

“මම … මම ඔබෙන් ක්ෂමාව යදිනවා, මිස්ටර් ගාල්ට්,” අල්ලපු කාමරයෙන් ඔවුනට ඇසිණ.

“ඔබ නිවැරදියි. මම පිළිගන්නම් ඔබ නිවැරදියි කියල. ඉතින් මම ඉල්ලා සිටින්නෙ ඔබේ අනුකම්පාව. මගෙ හද පතුලෙන් මට විශ්වාස කරන්නට බැහැ ඔබ මේ ජනතාව ගැන කණගාටුවක් නැති ස්වාර්ථකාමියෙක් කියල.

“බලන්න මේ.. මේක පාසැල් දරැවන් දහ දාහක් අත්සන් කරපු කන්නලව්වක් ඔයාට අපි එක්ක එකතු වෙලා ඔවුන්ගේ ජීවිත බේරා දෙන්න කියල. මේක අංග විකල අයගෙ නිවාසයකින් එවපු ආයාචනයක්. මේ තියෙන්නෙ මේක එවලා තියෙන්නෙ විවිධ ආගමික ස්ථාන දෙසියයක් එකතු වෙලා. මේක රටේ අම්මලා කරන බැගෑපත්වීමක්, කියවන්න මේවා.”

“මේක ඕඩර් එකක් ද?”

“නෑ!” යැයි කවුදෝ කෙනෙක් හැඬුම්බර ලෙසකින් කෑ ගැසීය. “ඒක ඕඩර් එකක් නෙමෙයි.”

“මේ සරල මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු, මිස්ටර් ගාල්ට්,” කළින් කටහඬ නැවතත් බැගෑපත් බවකින් කියන්නට විණ. “ඔබ කුමක් කළ යුතුද කියා ඔවුන්ට බැහැ ඔබට කියන්න. ඔවුන් දන්නෙ නැහැ. ඔවුන් ආයාචනය කරනවා පමණයි. ඔවුන් දුර්වල, අසරණ, අන්ධ, මුග්ධ බවින් සිටින අය වෙන්නැති. ඒත් ඔබ, ඔබ බුද්ධිමත්. ඔබ ශක්තිමත්. ඉතින් ඒ නිසා ඒ අය ගැන අනුකම්පා කරල, ඒ අයට පිහිට වෙන්න බැරි ද?” මුලින් යාප්පු වූ තැනැත්තා නැවතත් කියාගෙන යයි.

“මගේ බුද්ධිමත් මට්ටම පහළට ගෙනැවිත් ඔවුන්ගේ අන්ධ බව අනුගමනය කරන්න යැයි මට කියනව ද?” මිස්ටර් ගාල්ට් අසයි.

“ඔවුන් වැරදි වෙන්නැති, ඒත් ඊට වඩා යමක් ඔවුන් දන්නෙ නැහැ!”

“ඉතින් මම, ඔවුනට වඩා යමක් දන්න මම, ඇයි මම ඔවුන්ට අවනත විය යුත්තේ?”

“මට වාද කරන්න බැහැ, මිස්ටර් ගාල්ට්. මම ඔබේ අනුකම්පාව ඉල්ලා ආයාචනය කරනවා පමණයි. ඔවුන් දුකින් ඉන්නෙ. මම ඉල්ලා සිටින්නෙ ඒ දුකින් ඉන්න අයට පිහිට වෙන්න කියල.”

එහා කාමරයේ අය දිගින් දිගට බැගෑපත් වූව ද කිසිම බුරුලක් නොලැබෙන බව, ඒ ආයාචනා සියල්ල හිස් බවකින් වැය කරන නිශ්ඵල වෙහෙසක් යැයි ද, එය මෙම ගමනෙන් ඔවුන් තිදෙනා පසක් කරගත යුතු වූව බවත් මෙහා කාමරයේ සිට සවන් දී සිටින මිස් සුරම්‍යාටත්, ලීලාටත්, ලීලාගේ තාත්තාටත් වැටහී ගියේ එකම මොහොතක දී.

ඔවුන්ගේ දෑස් හමුවූහ.

ඔවුන් තිදෙනා හිස් වනමින් තමන්ට එය වැටහී ගිය බැව් ගැන කතාබහකින් තොරව එකඟත්වය පළ කළහ.

“මෙහෙම ආපු ගමන්වලදී මගෙ හිත එපා කියද්දී මම ගියා කතාවෙන් පිටට. පළාතේ රටේ ලෝකෙ විස්තර වලින් මහතුන්ගෙ කොළුවා ගැන හොයාගන්න ලැබේවි කියල හිතිල. එහෙම ගිහින් තමයි මට විඩාව වැඩිවුනේ. අසනීපෙ හැදුන වතාවේ මම ගියෙ කඩමණ්ඩියකට. එතැන රැඳිලා ඉන්න කියල හිත කියද්දි මම ගියා ඈත දැක්ක දුම්රිය නැවතුම් පොලකට. කඩමණ්ඩියෙන් ඈත් වෙද්දි ඇඟට වාරු නැතිවේගන යනවා වගේ දැනුනත් මම ඒක නිකම් මහන්සියක් වෙන්නැති කියල ගණන් ගත්තෙ නෑ. හොඳ වේලාවට පාරේ ඇදගෙන වැටෙන්න කළින් එදා මුද්ද ගලවන්න මතක් වුනේ.”

“ඒකයි එහෙනම් අර උමග කපන කතාවට ගියාම උදේ අනික් අය පිටවෙලා යද්දි තාත්තත් ඒ ගෙදරින් යන්න හැදුවේ?”

“ඔව්, කතාවෙන් පිට යන්න බැරි සීමාව අපි කැඩුවොත් තව මොන වින්නැහියක් පාත්වෙයි ද කියල හිතල.”

“ඒත් ඉතින් අන්කල් ඒ ගමන් යන එක නවත්තලා හිටිය කාලේ අසනීපෙන් ගොඩ ආවේ නැත්තෙ ඇයි?”

“ඒ අසනීප වෙච්ච ගමනෙන් පස්සෙ ගෙදර හිටිය කාලේ ගැන වැඩි නිච්චියක් නෑ මිස්,” ලීලාගේ තාත්තාගේ මුහුණ දොම්නසින් පිරි තිබිණ.

“මිස් සුරම්‍යාට මෙහෙ එන්න කළින් පුස්තකාලේ දී ගෙදර දී වෙච්ච දේවල් මතක තියෙනවා නේද?” ලීලා ඇසුවාය.

“ඔව්.”

“ආපහු ගියාට පස්සෙ ඒත් ගමන මතකයිනෙ, අර අපි දැක්ක ඈන් කෙල්ල ගැන තවම මතකයිනෙ?”

“ඔව්.”

“ඒත් තාත්තා .. තාත්තා අර උමග කපන ගෙදෙට්ට ගියාමයි දැනගත්තෙ ගෙදර දී කතා කරන්නත් බැරිබව,” ලීලා පැහැදිලි කරද්දී තාත්තාගේ මුහුණේ අඳුර මැකී ගොස් දෙනෙත් දීප්තියකින් බබළන්නට පටන් ගති.

“මහතුන්ගෙ කොල්ලා කැමැත්තෙන් ගිය ගමනක් නම්, ඌ කැමැත්තෙන් ගිය තැනක කැමැත්තෙන් නතර වුනා නම්, ඒක වෙනස් කරන්න හරි ඒක ගැන තීරණයක් දෙන්න හරි මගේ වැඩක් නෙමෙයි කියලා මම අවබෝධ කරගත්තෙ නැති නිසා නොවෙන්නැති,” තාත්තා කීවේය.

“ඒ කියන්නෙ අර අයියා අතුරුදහන් වුනාට පස්සෙ තාත්තා ගිය මේ වගෙ අපූරු ගමන් වලින් තාත්තගෙ ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය දේවල් තාත්තා මඟ හැරියා කියන එක ද?” ලීලා ඇසුවාය.

“ඔව්.”

“අසනීප වුනේ පාඩමක් උගන්වන්න?” මිස් සුරම්‍යා යටිතොලේ කොනක් සපමින් ඇසුවාය.

“එහෙම වෙන්නැති. උඩ දැම්මම බිම වැටෙනවා. අපිට ඕනෑ වුනයි කියලා එහෙම නොවී තියෙන්නෙ නැහැනෙ. ඒත් එහෙම නොවන වාතාවරණයක් අපි හදාගත්තම බිමට නොවැටි පාවි පාවි තියේවි. සීමාවන් හොයාගෙන ස්වභාවික නීති කඩන්නෙ නැතිව සීමාව ඉක්මවා යන හැටි හොයාගන්නයි ඕනෑ.”

“මේ වගේ අස්වාභාවික ගමන් වල දී වුනත්,” යැයි ලීලා කියද්දී ඔවුනට දැනුනේ සැනසිලිදායක සුවයකි.

“ආපහු යමු එහෙනම්,” තාත්තා කීය. මිස් සුරම්‍යා ලීලාගේ වැලමිටක් අල්ලා ගත්තාය. ලීලා තාත්තාගේ අත අල්ලා ගෙන හිමිහිට නූපුරය ගැලවීය.

අයින් රෑන්ඩ් ලියූ ඇට්ලස් හැකිළුණි -Atlas Shrugged (1957) කතන්දරයේ පසුබිම වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: