ඔවුන් ගැන සොයන්නට කිසිවෙක් ආවේ නැත.
“දැන් මොකද කරන්නෙ?” ලීලා වැඩිහිටියන් වෙතින් අසයි.
“අපිට කතාබහ කරගන්න වෙන්නැති මෙතැන්ට එන්න ඇත්තෙ,” මිස් සුරම්‍යා යටිතොලේ කොනක් සපමින් සැකයෙන් පවසයි.
“ඒ කියන්නෙ අපිට අවශ්‍ය දේ කළින් දැනගන්න හැකියාවක් .. අබරණ වලට නැත්නම් ඉස්තෝප්පු කාමරයට තියෙනවා කියලා ද?” ඒ ලීලා. “අපිව මෙතෙන්ට එව්වෙ කතාබහ කරගන්න නම් .. අපිව මෙහෙයවන වෙන බලයක්?”
“නෑ නෑ,” තාත්තා අසුනෙන් නැඟිට්ටේ කලබලයෙන් තොරව. ඔහු සිරමැදිරියේ එහා මෙහා ඇවිදින්නට පටන් ගති. ඒ දුටු ලීලාගේ දෙනෙතට කඳුළු මෝදු වුණි. තාත්තා මෙසේ කල්පනාවේ ගිලී ඇවිදිනවා දකින්නට ලැබුනේ කොච්චර කාලෙකට පස්සෙ ද?
“මේ අරුම පුදුම ගමන් හරියට ලෝක ස්වභාවය වගේ. සමහර දේවල් කිසිම විදියකට වෙනස් කරන්න බෑ. ඒත් එහෙම තියෙද්දී අපේ උත්සාහයෙන් අපිට ඕනෑ නම් .. ” තාත්තා සක්මන නවතා නිශ්චල වෙයි, “අපිට පුළුවන් වෙනස් කරගන්න අපේ තත්වය.”
ලීලාත් මිස් සුරම්‍යාත් තාත්තා දෙස බලා සිටියා මිසෙක කිසිත් නොකීහ.
“කොහොම ද මේක විස්තර කරන්නෙ?” තාත්තා යළිත් සක්මන පටන් ගනියි.
ලීලාත් මිස් සුරම්‍යාත් නිහඬව බලා සිටියහ.
පිටතින් ආ ආලෝකයක් නොමැති වූයෙන් මෙය දහවල දැයි හෝ රාත්‍රිය දැයි දැනගන්නට නොහැකියි. ඔවුනට ඇසුණු දෙබස් ගලා ආ සිරකාමරයේ කතාබහ අවසන් වී පැමිණ සිටියවුන් විසිර ගිහින් ඇත. ඒ පැත්තෙන් කිසිත් හඬක් ඔවුනට ඇසුනේ නැත. එහෙත් දවසක් නිමාවී අඳුර පහත් වෙන්නට සූදානම් නම් ඒ බවට දැනගන්නට මේ කාමරයේ සිටි කිසිවෙකුටත් අවශ්‍යතාවයක් ද නොවීය.
“මෙහෙම බලමු,” තාත්තා පටන් ගනියි, “වැස්සක් වහිනවා කියමු. ධාරානිපාතයක්. ඒක නවත්තන්න විදියක් අපි දන්නෙ නැහැ. ඒක ඇද හැලෙනවා කියල දැනගෙන හිටියත් ඒක වළක්වන්න අපිට බැහැ.”
ලීලාත් මිස් සුරම්‍යාත් එය වැටහුන බව පෙන්වන්නට හිස් වනති.
“ඒත් අපි දන්නවා නම් ඒක වළක්වන්න බැරි වුනාට ඒක ඒ විදියට සිද්ධ වෙනවා කියලා එතකොට අපි පුළුවන් එක්කෝ ඒ වැස්සෙන් බේරිලා ඉන්න වෙන තැනකට යන්න. නැත්නම් ඒ වැස්සෙ දී වුනත් තෙමෙන්නෙ නැතිව ගමනක් යන විදියක්, වාහනයක් හොයාගන්න. එහෙමත් නැතිනම් අපිට පුළුවන් පොඩ්ඩක් තෙමුණට මොකෝ කියලා වැස්සෙන් වැඩ ගන්න හැටි හොයාගන්න. තව තව ඒවා .. අර කරන්න බැරි රාමුව ඇතුලේ කරන්න පුළුවන් දේවල් කොච්චරක් කියලා තියෙනවා ද?”
ඔහු සක්මන නැවතීය.
“වැස්සෙ යන්න සිද්ධ නොවෙන්න ඊට කළින් වැහි දවසකට අවශ්‍ය ඔක්කොම ලෑස්ති කරලා තියාගන්න පුළුවන්,” ඔහු ඔවුන් දෙස බැලුවේය.
“ඒත් හෙට වහිනවා කියල අද දන්නෙ නැත්නම්?”
“අන්න එතැන දී තමයි ලීලා අපි අසරණයන් කියලා හිතෙන්නෙ,” තාත්තා කියයි.
“හෙට සිද්ධ වෙන හැම දෙයක් ගැනම අද දැනගන්න නොහැකියාවත් අර වෙනස් කරන්න බැරි ලෝක සිද්ධාන්තය වෙන්නැති,” මිස් සුරම්‍යා යටිතොල සැපීම මඳකට නවතා දමා ඇත.
“ඉතින් අපි අලුත් දේවල් හොයාගෙන ඒවයෙ බැරි පුළුවන්කම් ගැන දැනගන්නකම් අසරණයි.”
“ඒත් හොයාගන්න හැකි ඇබිත්තෙන් වුනත් වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණයකුත් තියෙනවා නේද අන්කල්?”
“ඔව් මිස්. සමහර විට ඒ ප්‍රමාණය ඇතිවේවි ජීවිතය බේරගන්න,” ඔහු ලීලා දෙස බැලුවේ දයාවෙන් පිරී ගිය දෙනෙතින්. “මයෙ කෙල්ල හොයාගත්තා මාව අරන් මෙහෙට එන හැටි. එහෙදි කතා කරන්න බැරි වුනාය කියල වෑයම අත්හැරලා දැම්මෙ නෑනේ.”
ලීලාට හදිසියේම යමක් මතක් විණ. “ඉතින් තාත්තට ආයේ එන්න ලැබෙන්නෙ අපිට අලුත් අබරණයක් වැස්සකින් පස්සෙ ලැබුනොත් විතරයි ද?”
“ඔව්, අනික් ඒවා ඔක්කොම පාවිච්චි කරලා ඉවරයි,” ඔහු කීවේ අන්න තවත් වෙනස් කරත නොහැකි වූවක් ඔබ සොයාගත්තා කියන ලෙසින්.
ලීලා නූපුරය දෙස බැලුවේ එය තම විලුඹෙන් ගිලිහී නැතැයි සැක හැරගන්නට මෙනි.
“දැන් අපි ඇවිත් ඉන්නෙ මේවා ගැන කතා කරගන්නට ඕන නිසා කියල ද තාත්තා හිතන්නෙ?”
“සමහර විට, එහෙම වෙන්නැති.”
“හරියටම දන්නෑ.”
“නැහැ.”
“හරියටම දැනගන්න විදියකුත් නැහැ.”
“නැහැ.”
“ගමන් යන්න පටන් ගත්තු කාලේ මට එච්චර නිච්චියක් තිබ්බෙ නෑ ඇයි මේ යන්නෙ කියල. ටික දොහක් යද්දි ඒත් තේරුම් ගියා මේවයෙ ගිහින් දැනගන්න ඒවා ජීවිතේට උදව් වෙන වග.”
“තාත්තා ලේඩි ෂැටර්ලිගෙ ආදරවන්තයාව දැකලා තියෙනවා නේද?” කටින් පැන්න වදන් ආපසු එකතු කරගන්නට හැකිනම් කියා සිතී ලීලාගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවිය.
“දුවත් ගියා ද? .. ඒත් ඒ කොහොම ද?”
“නෑ නෑ මම ගියෙ නෑ. දවසක් මගෙ යාළුවෝ ඇවිත් ඉන්න වේලාවෙ .. කවුද ඒ පොතේ නම කියද්දි තාත්තාට අසනීප වෙලා වැඩිය තේරුමක් නැතිව හිටියා වුනත් ඒ නම ඇහිලා ඒ ගැන දන්න බවක් පෙනුණ.”
“ජීවිතේට උදව් වෙන ඒවා?” මිස් සුරම්‍යාගේ ද මුහුණ මඳක් රතු වී ඇත.
“ඒ කාලේ ලීලැයි අම්මයි මායි පොඩ්ඩක් විරසක වෙලා හිටි කාලයක්. බැඳලා අවුරුදු දෙකක් විතර. ලීලා ලැබෙන්න කළියෙන්.”
ලීලාත් මිස් සුරම්‍යාත් නෙත් අයා ඔහු දිහා බලා සිටිති.
“විවාහ ජීවිතයක් පටන් ගත්තම වැටහේවි. ඒ පොතේ වගේ හැම දෙයක්ම අපි කියවපු අනිත් පොත්වල ලියලා තිබුනෙ නැහැනෙ,” මෙවර ඔහුගේ මුහුණ ද රතු වූ සේයාවක් දකින්නට හැකිවිණ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න