Sinhala story Blog

පෙබරවාරි 8, 2014

කිබිසිනි -ඇයත් නොදත් තනිකමකින්

Filed under: Uncategorized — arunishapiro @ 6:30 ප.ව.

“අපි හිතේ තියන දේවල් ගැන දොඩවනවා වැඩි නේද?” ඒ ලීලා.

“අපි කිව්වෙ ගෑණු අය ද?” මිස් සුරම්‍යා අසන්නීය.

ලීලා කිසිවක් නොකියා හිසෙන් එසේ යැයි හැඟෙව්වාය.

මිස් සුරම්‍යා ද සිනාවක් පාමින් ඔළුව දෙපැත්තට වනමින් එහෙම නැහැයි කියද්දී ලීලාට සිනා ගියේ ඔවුන් දොඩවන්නේ නැතිව අදහස් හුවමාරු කරගන්නට සමත් වූ නිසයි.

මිස් සුරම්‍යා ඇස් බැමි නටවමින් ඔවුන් අතර වූ නිහඬ හුවමාරුව අගයන බැව් පෙන්වද්දී ලීලා තවත් සිනා වූවාය.

හමු වී මුල් වරට කතාබහ කළේ මෑතක දී වුවත්, පුංචි කාලයේ සිට දන්නා හඳුනන මිතුරියන්ට සහ ඥාතීන්ටත් වඩා ලීලාගේ ජීවිතයට මිස් සුරම්‍යා සමීප වී සිටින්නීය. පාසැලේ මිතුරියන් හා පාසැල් කටයුතු වලින් ද, මව සහ පියා සමඟ ගෙවූ එදිනෙදා ජීවිතයේ දී ද, ඇයට කිසිදිනෙක පාළුවක් දැනුනේ නැත. ඔවුනොවුන්ගේ සහෝදර සහෝදරියන් ගැන අවලාද හා ප්‍රශංසා අනෙකුත් මිතුරියන් කියද්දී ලීලා කිසි දිනෙක තමන්ටත් සහෝදර සහෝදරියන් හිටියා නම් හොඳ යැයි හෝ නැතිකම හොඳ යැයි හෝ ගැන විශේෂයෙන් සිතුවේ නැත.

ලීලාව තවත් සිනා ගන්වන්නට මිස් සුරම්‍යා නැවත නැවතත් ඇහි බැමි නැටවිල්ල කරගෙන ගියාය. වෙනත් අවස්ථාවක දී දැක්කා නම් මලවිකාරයක් යැයි සිතෙන්නට හැකි වුවත් මෙතැන දී එය හරියටම හරියට ගැලපෙන කෝලමකි. කරන්නාටත් දකින්නාටත් දෙදෙනාටම සතුට වඩවන්නකි. නවත්වන්නට උත්සාහ කරමින් එහෙත් නවතාගත නොහැකිව යළි යළිත් හඬ නඟා සිනාසෙද්දී හදිසියේම ලීලාට දැනුනේ තමනට වැඩිමහල් සොයුරියක් ලැබී ඇතැයි කියා සතුටකි.

මෙතෙක් කාලයක් ලීලා සිටියේ ඇයත් නොදත් තනිකමකින් ද? එය මැකී යද්දී පමණක් එයින් තමන් පෙළුනා යැයි ඇයට වැටහී ගියා ද?

“මොකෝ ඒ ගමන බයවෙලා වගේ?”

“මේ විශ්වාස කරගන්න බැරි දේවල් බෙදාගන්න මිස් සුරම්‍යා ඉන්න එක කොච්චර හොඳද කියලා හිතුන.”

“තනියම යමක් දකිද්දී ඇත්ත ද නැත්ත ද කියලා හිතාගන්න බැරිවුනාට ලීලා අපි දෙන්නෙක්ම එකපාර එකම දේ දකිද්දී දෙපාරක් හිතන්නෙ නැතිව ඒ දැක්ක දේ ඇත්ත කියලා හිතන්නෙ ඇයි?”

“එහෙම හිතන්න හරියටම හේතුවක් නැහැ නේද?”

“ඒකනෙ. හිතෙන එක එක දේවල් එහෙම හිතෙන්නෙ මොන හේතු නිසා ද කියලා හොයන්න ගියොත් අපිට වෙන වැඩක් නැති වෙයි.”

“වැඩියෙන් හිතන්න යන්න නරකයි?”

“ඔව්, වැඩියෙන් දොඩන්න යන එක නරක වගේමයි!”

“ඒත් හිතට එන දේවල් සම්පූර්ණයෙන්ම නොසලකා හරින්නත් බෑ.”

“ඔව් ලීලා. අපි ඉස්කෝලේ ගිහින් පුහුණු වෙනවා මේ විදියට ප්‍රශ්න විසඳන්න ඕනෑ කියල. අරහෙම උත්තර දුන්නම හරි කියල. එහෙම වෙන අනුන් තීරණය කරලා තියෙන විදියට කාලයක් තිස්සෙ පුහුණු වෙද්දී තමන් විසින් කරන්න ඕනෑ විදිහ, නැත්නම් තමන්ගෙ සිත කියන එක, ඒක ගැන අවධානයක් යොමුකරන එක හිමිහිට නැතිවෙලා යනවා.”

“අපි ඉගෙන ගන්න පොත්වල තියන උත්තර ඒවයෙ අහන ප්‍රශ්න වලට හරියන ඒවා විතරයි කියලා මටත් හිතිච්ච වාර ඕනෑ තරම්.”

“ජීවිතයේ දී මුහුණ දෙන ප්‍රශ්න වලට උත්තර ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න බැහැ ලීලා. විභාග පාස් වුනාට ඵලක් නැහැ ජීවිතේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න හැටි කියලා දෙන සිතට සවන් දෙන්න පුහුණුවක් නැත්නම්.”

“මේක පටන් ගත්තට පස්සෙ,” ලීලා ඉස්තෝප්පු කාමරය නිකටෙන් දක්වා කියන්නීය, “එහෙම ගිය තැන් වල දී මට ඒ ඒ තැනේ දී කරන්න ඕනෑ මොකක් ද කියලා ඉබේම දැනුන. එහෙම දැනෙන එක කළාම හරි ගියා කියල තමයි මට හිතුනෙ. ඒත් තාත්තා .. තාත්තාව ආපහු හිටිය විදියටම ගේන්නෙ කොහොම ද කියන එක ගැන කොච්චර කල්පනා කළත් .. හිතට කිසිම අදහසක් එන්නෙ නැහැ.”

“සමහර විට අපි නෙමෙයි වෙන්නැති ඒක කරන්න ඕනෑ.”

“තාත්තාව එක්කන් අපිට යන්න වෙයි නේද?”

“ඔව්, අන්කල් අපිට කියයි කරන්න පුළුවන් මොනව ද බැරි මොනව ද කියල.”

“වෙන විදියක් ඇත්තෙම නැහැ නේද?” අම්මා ඇසුවේ අඩි පතුල් බිම අතුල්ලමින් පා තබන තාත්තාව වත්තන් කරගෙන ඉස්තෝප්පුවට ඇතුල් වෙමින්.

“වෙන විදියක් නෑ ආන්ටි,” මිස් සුරම්‍යා නැඟිට තාත්තාව හාන්සි පුටුවේ වාඩි කරන්නට අම්මාට උදව් කළාය.

“දවල් කෑම ලෑස්තියි මයෙ හිතේ.”

“ඔව් ආන්ටි. කෑම කාල ඉවර වුනාට පස්සෙ.”

අම්මා වෙතින් දිග සුසුමක් පිටවිය.

සුසුම් හෙළනා අය තමන් සුසුම් හෙළන බව නොදනිති. එය දන්නේ අහළ පහළ ඉන්නා අය පමණකි. එහෙත් සුසුම් හෙළීමෙන් යම් මානසික සුවයක් ලැබෙනවා වෙන්නට පුළුවන් යැයි අම්මා දිහා බලාගෙන ලීලා කල්පනා කළාය.

එක් ප්‍රතිචාරයක් »

  1. “ඔව් ලීලා. අපි ඉස්කෝලේ ගිහින් පුහුණු වෙනවා මේ විදියට ප්‍රශ්න විසඳන්න ඕනෑ කියල. අරහෙම උත්තර දුන්නම හරි කියල. එහෙම වෙන අනුන් තීරණය කරලා තියෙන විදියට කාලයක් තිස්සෙ පුහුණු වෙද්දී තමන් විසින් කරන්න ඕනෑ විදිහ, නැත්නම් තමන්ගෙ සිත කියන එක, ඒක ගැන අවධානයක් යොමුකරන එක හිමිහිට නැතිවෙලා යනවා.”

    “අපි ඉගෙන ගන්න පොත්වල තියන උත්තර ඒවයෙ අහන ප්‍රශ්න වලට හරියන ඒවා විතරයි කියලා මටත් හිතිච්ච වාර ඕනෑ තරම්.” මේක මටත් දැනෙමින් තියෙන ගැඹුරු ඇත්තක් ලස්සනට අකුරු කිරිමක්

    ප්‍රතිචාර විසින් දුෂාන් ජේකොබ් — පෙබරවාරි 11, 2014 @ 3:02 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: