Sinhala story Blog

ජනවාරි 18, 2014

කිබිසිනි -ගොඩක් පවුල් මෙහෙම තමයි

Filed under: Uncategorized — arunishapiro @ 6:12 පෙ.ව.

“වැස්සට පස්සෙ අහුලගන්න දෙයක් ඒ ඉඩමෙ නැතුවා වෙන්නැති.”

එහෙම කියූ මෙහෙකාරියට පහදන්නට “ඉස්තෝප්පු කාමරෙන් යන්න එහෙම එකක් ඕනෑ වුනාට …” යැයි මිස් සුරම්‍යා පටන් ගත් වාක්‍යය ඇය අවසන් නොකර යළිත් යටිතොල සපන්නට පටන් ගත්තාය.

“අර සී.එස්. ලුවිස් ලියපු නාර්නියාවේ වංශකතා වලින් එකක අල්මාරියක දොරක් ඇරගෙන නේද හතරදෙනාම පිටවෙන්නෙ?”

“අන්න හරි, මම මේ උදාහරණයක් කල්පනා කළේ.”

“ඉඩමෙන් මහතුන්ගෙ පුතා වෙන අහක ගියා නම් ඒක හොයාගන්නෙ කොහොම ද?”

“එයා එහෙම ගියා ද කියල හරියට දැනගන්න විදියක් නැහැ අම්මා. ඒ ඉඩමෙන් යන්න පුළුවන් විදිය හොයාගන්න දන්න කෙනෙක් ඉන්නවා තමයි ඉඩම එහෙම යන්න පුළුවන් තැනක් ද කියලා හරියටම කියන්න පුළුවන්.”

“තාත්තා දන්නෙ නැහැ,” යැයි මුමුණමින් අම්මා සුසුමක් හෙළුවාය.

“ඔව්, තාත්තා දන්නෙත් නැහැ,” ලීලා කීවාය.

“ඒත් යන්න පුළුවන් විදියක් නැත්තෙම නැහැයි කියන්නත් බැහැ, එයා එහෙම ගිහින් නැහැයි කියන්නත් බැහැ,” ඒ මිස් සුරම්‍යා.

බලාගත් අත බලාගෙන ඔවුන් නිහඬව තම තම සිතුවිලි තුල හිර වී සිටියහ. මධ්‍යහ්නය පසු වී ඇත. එහෙත් දිවා ආහාරයක් නොගත් බව කිසිවෙකුට මතක් නොවීය.

“මං මේ කල්පනා කළේ මහතුන් මල්ලිට මේක කියන්න ඕනෑ නේද කියල,” නිහඬතාවය බිඳිමින් අම්මා කියා සිටියාය.

“ඉඩම කොටස් කඩලා විකුණන්න එපා කියල ඔප්පුව ලියලා තිබ්බෙ කවුද අම්මා?”

“තාත්තගෙ මී මුත්තා. කිරි අත්තත් ඒක එහෙමම තිබ්බා,” නින්දේ ගොරවන හඬ මඳක් වැඩියෙන් කරගෙන යන තාත්තා දිහා බලා අම්මා පැවසුවාය.

“එයා දැනගෙන ඉන්නැති,” ලීලා කීවාය.

“එහෙම වෙන්නැති,” මිස් සුරම්‍යා එකඟ වූවාය.

“ඒ කියන්නෙ නෝනා එහෙනම් මහත්තයාගේ මී මුත්තට මේ කාමරෙන් යන්නත් පුළුවන්කම හරි, අර ඉඩමෙන් යන්නත් පුළුවන්කම හරි තියෙන්නැති. නැත්නම් එහෙම යන්න පුළුවන් බව දැනගෙන හිටියා වෙන්නැති නේද?”

“එහෙම වෙන්නැති,” ඒ ලීලා.

“වෙන්න පුළුවනි,” ඒ මිස් සුරම්‍යා.

“අනේ ඕවා මං දන්නෑ. මට කවුරුත් ඕවා ගැන කිව්වෙත් නැහැ,” ඒ අම්මා.

තමන්ගේ ගොරවන හඬින්ම නින්ද කැඩුණු තාත්තා දෑස් අයා වටපිට බැලුවේය. හඳුනාගත නොහැකිව ඔහු ඔවුන් දිහා බලා සිටියේ විමතියකිනි.

“දවාලට කෑම ඉව්වෙත් නෑ නෝනා,” මෙහෙකාරිය නැඟිට්ටාය.

“තියන මොනා හරි රත්කරලා කමු,” වෙනදා වතුර උණුකරන තැන පටන් උණු වතුර වත්කරන ආකාරය දක්වා පියවරෙන් පියවර උපදෙස් දෙන අම්මා දැන් මෙහෙකාරියට රිසි සේ ඉවුම් පිහුම් කරන්නට ඉඩකඩ දී ඇත.

තාත්තා හිඳගෙන සිටි පුටුවෙන් නැඟිටින උත්සාහයක් ගත්තේය. පුටුවේ අත් ඇඳි තදින් අල්ලා ගනිමින් හා අත්හරිමින් ද, අඩිපතුල් එතැන මෙතැන තබමින් ද ඔහු හැසිරුනේ යමක් කළ යුතු වුවත් එය කළ යුත්තේ කුමක්දැයි නොදන්නා ආකාරයෙනි.

“දොට්ට යන්න ඕනෑ වෙලා ද දන්නෑ,” අම්මා පුටුවෙන් නැඟිට ඔහුගේ ආධාරයට ගියාය.

“ගොඩක් පවුල් මෙහෙම තමයි,” මිස් සුරම්‍යා කීවේ අම්මාත් මෙහෙකාරියත් ඉස්තෝප්පුවෙන් නික්ම ගියාට පසුව.

කිසිත් නොකියා විමසිල්ලෙන් තමා දිහා බලා සිටින ලීලාට පහදන්නට “ගෙදර ගෑණිට, දරුමල්ලන්ට දැනගන්න අවශ්‍යම දේවල් නොකියා ඉන්න අය හරියට …” යැයි පටන් ගත් මිස් සුරම්‍යා පටන් ගත් වාක්‍යය ඇය අවසන් නොකර යළිත් යටිතොල සපන්නට පටන් ගත්තාය.

“එයාලට කිව්වොත් එයාල බයවෙයි හරි, දුක්වෙයි හරි, කළබලවෙයි හරි කියල ද නැත්නම් එයාලට තේරුම් ගන්න බැරිවෙයි කියල ද?”

මිස් සුරම්‍යාගේ මුවේ සිනාවක් පැතිරිණ. “නැහැ, මම හිතන්නෙ පිරිමි අය දන්නෙ නැහැ යමක් වැටහෙන විදියට පැහැදිලි කරන්නෙ කොහොම ද කියල. මොකද එයාලගෙ හිතෙත් ඒක හරියට ගොඩනැඟිච්ච සංකල්පයක් නෙමෙයි. අවුල සංකීර්ණ වෙන්න වෙන්න එයාලා තව තවත් නිහඬ වෙනවා. අවුලක්, ප්‍රශ්නයක් ගැනම හිතන්න ගිහින් බරපතලකම විහින් තවත් වැඩිකරගන්නවා. ඊට පස්සෙ ඒ ගැන කාටවත් කියන්න තවත් පසුබට වෙනවා.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: