Sinhala story Blog

දෙසැම්බර් 28, 2013

කිබිසිනි -කතන්දරයක් ඇතුලෙ කතන්දරයක්

Filed under: Uncategorized — arunishapiro @ 9:54 ප.ව.

“කතන්දරයක් ඇතුලෙ කතන්දරයක්?”

“එහෙම එව්වා තියෙනවා ද බේබි?”

“අරාබි නිසොල්ලාසය එහෙම එකක් නේද?”

“ඔව් ඇන්ටි, ඇයි මහාභාරතය, රාමායනය. ඒවයෙත් කතන්දර ඇතුලෙ තව කතා කියැවෙනවානේ.”

“ඉස්තෝප්පු කාමරෙන් ඔය තැන් තැන් වලට යන්න පුළුවන් කිව්වට … මම මේ කියන්නෙ එහෙම යන්න පුළුවන් වුනාට … ඒත් මම හිතන්නෙ නෑ මෙයාට මෙහෙම ඉඳගෙන කන බොන හුස්ම ගන්න ගමන් වෙන තැනකත් ගිහින් ඉන්න පුළුවනැයි කියල,” අම්මා නින්දේ ගොරවන තාත්තා දෙස බලාගෙන කීවාය.

කතාබහෙන් තොරව ඔවුන් තාත්තා හෙමිහිට ගොරවන සද්දයට කන් දුන්හ. නිශ්චල නිවස තුලින් වෙනත් කිසිම සද්දයක් ඇසුනේ නැත. පාරේ ගිය වාහනයක් හෝන් සද්දයක් නිකුත් කර ඉගිලී ගියේය. එයින් කුපිත වූ අයෙක් හෝන් ගසා ඉගිලී ගිය වාහනයට මහ හඬින් බැන වදිනවා ඔවුන්ගේ කණ වැදිණ.

“වෙන කතාවක නැවතිලා ඉන්නවා වෙන්න බැහැයි කියලා තමයි මටත් හිතෙන්නෙ,” මිස් සුරම්‍යා ඔවුන් අතර පැතිර ගිය නිහඬ බව බිඳිමින් අම්මා සමඟ එකඟ වූවාය.

“මේක මෙයාලගේ මහගෙදර. පුංචි කාලේ ඉඳන් ඔහොම ගමන් යන්න එන්න පටන් ගන්න ඇති,” මෙවර අම්මා ලීලා දෙසට නිකට පෑවේ දුවත් තාත්තා වගේ වෙන්නැති යැයි වදනින් තොරව කියමිනි.

“තියෙන ඒවායෙන් යන්න පුළුවන්කම ඉවර වෙනකම් තාත්තා ගමන් ගිහින් ඇති,” ලීලා කීවාය, “ඒකයි වැස්සකට පස්සෙ අලුත් මොකක් හරි ලැබෙනකම් බලාගෙන ඉඳලා තියෙන්නෙ.”

“ඔව් අපේ මහත්තයා ලොකු වැස්සක් වහිනවාට හරි කැමතියි,” මෙහෙකාරිය එකතු කළාය.

“තාත්තව එක්කන් යන්න පුළුවන් ආයේ වැස්සකට පස්සෙ මොකක් හරි හොයාගත්තම.”

“ඔව් ලීලා හරි කියල තමයි මටත් හිතෙන්නෙ,” ඒ මිස් සුරම්‍යා. “අපි ඒ තියෙන ඒවා දාගෙන එහෙ මෙහෙ ගිහින් ආවා කියල අපිට දැනගන්න ලැබෙන්නෙ නැහැ අන්කල්ට මොකක් වෙලා ද තියෙන්නෙ කියල. අන්කල් එක්කගෙනම ගිහින් අහගන්න ඕනෑ මොකද වුනේ කියල.”

“දෙපාරයි ද බේබි වැඩ කරන්නෙ?”

“එහෙම නැද්ද කියල බලන්න අපි ඒවා දාලම බලන්න ඕනි.”

“පොත් වල තියෙන කතන්දර වලට යනවා කියන්නෙ සීමාවන් නැති ගමන් යන එකයි. මොකද කතන්දර ගොතන අයටත් සීමාවන් නැහැනෙ.” මිස් සුරම්‍යා මෙහෙකාරියට පැහැදිලි කරන්නට උත්සාහයක් ගත්තාය.

“ඒ කියන්නෙ?”

“කතන්දරයක චරිතයක් කියන්නෙ ලියන එක්කෙනාගේ හිතේ මැවෙන අදහස් වලින් හැදෙන එකක්. වැටක් දැක්කම එතැන නැවතිලා ගේට්ටුව තියෙන්නෙ කොහෙද කියලා හොයන අයෙක් ගැන ලියන එක රසවත් නැහැ. වැට උඩින් හරි නැත්නම් වැට යටින් හරි පැනලා යන්න බැරි නම් කතන්දර ලියන අය කතාව රසවත් කරන්න ලියන්නෙ ඒ චරිතය වැට ගලවන විදියක් දන්න විදියට.”

“ආ .. එහෙනම් වැට හුළඟකට ගහගෙන අහසේ පාවෙලා ගියා කියලා වුනත් ලියන්න පුළුවන් නේද මිස්?” යැයි මෙහෙකාරිය අහද්දී ඇය තවමත් කුඩ හොරා ගැන හිතනවා යැයි ලීලාට සිතිණ.

“ඔව්, කතන්දර පොත් ලියන අය අනිත් හැමෝම යන අඩිපාරේ යන අය නෙමෙයි. තමන්ට යන්න අලුත් පාරවල් හදාගන්න අයයි. ඒ නිසා තමයි අපිට එක එක ජාතියේ කතන්දර කියවන්න ලැබෙන්නෙ,” යැයි මිස් සුරම්‍යා කියද්දී අම්මා යමක් මතක් වූ විලසින් වටපිට බැලුවාය.

“පොතක කතන්දරයකට යන්න පුළුවන්කමක් ගැන කතාවක් කවුරු හරි ලියලා තියෙනවා ද?”

“පොතක තියෙන කතන්දරයකට නෙමෙයි වුනාට මේරි පොපින්ස් යනවා පාරේ ඇඳලා තියෙන පින්තූරයක් ඇතුලට.”

“ඒත් මිස් සුරම්‍යා ඒක චිත්‍රපටියක් නේද?”

“ඒක චිත්‍රපටියක් වෙන්නෙ ලීලා ඔස්ට්‍රේලියාවේ කෙනෙක් ලියපු කතන්දර පොත් වගයකින්.”

“කතන්දරයක් ලියද්දී සීමාවන් නැත්නම් …” අම්මා කියන්නට අකමැති වූව ගිල ගත්තාය.

“ඔව් ඇන්ටි, ඉස්තෝප්පු කාමරෙන් යන්න පුළුවන් තැන් වලත් සීමා නැති වෙන්න ඕනෑ.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: