“එහෙනම් ඉතින් මහත්තයා කොහෙ හරි ගිහින් තාම ඇවිල්ලා නැතෙයි?”
තාත්තා දිහා බලාගත් ගැහැණුන් තිදෙනාම වදනින් නඟන්නට පසුබට වූව තේ කෝප්පය දිහා බලා සිටින මෙහෙකාර ගැහැණියගේ මුවින් පිටවිණ.
“එහෙම නම්?” ඒ අම්මා. ඇය බියගත් දෑසින් මිස් සුරම්‍යා ගෙන් විමසන්නීය.
“මෙතන අපිත් එක්ක ඉන්න ගමන්ම අන්කල් එහෙම ගමනක් ගිහින් එහෙත් නැවතිලා ඉන්නවා කියලා මම හිතන්නෙ නෑ ඇන්ටි,” මිස් සුරම්‍යා යටි තොල ඇතුලෙන් කොණක් සපන්නීය.
“කාල ගමන් ගැන ලියලා තියෙන කතන්දර වල කොහොම ද මිස් ඒ ගැන ලියල තියෙන්නෙ?” එසේ ඇසුවේ අම්මාව සනසන්නට ද නැත්නම් තම සිත සනසාගන්නට දැයි ලීලා නොදත්තාය.
“මම කියවලා තියෙන කතන්දර වල තිබ්බෙ කාල ගමන් වල දී එහෙම යන එක්කෙනා යන තැනට යනවා කියල විතරයි. ඒ වේලාවේම ගමන පටන් ගත්තු තැනෙත් ඉන්නවා කියල ලියපුවා ගැන අහලා නැහැ.”
“මිස් කියවපු නැති පොතක ..” අම්මා ඉතිරිය ගිල ගත්තාය.
“සාමාන්‍යයෙන් විද්‍යා ප්‍රබන්ධ පොත් ලියන ලේඛකයෝ අනුගමනය කරන රීති තියෙනවා ඇන්ටි. විද්‍යාවේ එන දේවල් සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා නෙමෙයි කතන්දර ගොතන්නෙ.”
“ඊයේට යන්න පුළුවන් නම් අද, එතකොට ඊයෙට ගිහින් මකුළු දැල් කඩලා ආවොත් ඒ ඊයේ කරපු වැඩක් ද නැත්නම් අද කරපු වැඩක් ද?” මෙහෙකාරිය අසයි.
“මදැයි, අද කරන්න ඕන වැඩ ඊයේ කළැයි කියලා බේරෙන්න ද හදන්නෙ?” අම්මා මඳ නුරුස්නා බවකින් අසද්දී ලීලාත් මිස් සුරම්‍යාත් එකිනෙකා දිහා බලමින් හොරැහින් සිනා වූහ.
“නෑ නෝනා, මං මේ ඇහැව්වෙ එහෙම නම් වැඩ ගොඩක් ඉවර කරගන්න පුළුවන් නිසා.”
“මේකයි ඒක කරන්න බැරි. ඔය කාමරෙන් යන්නෙ කොයි කාලේට ද නැත්නම් කොයි තැන් වලට ද කියලා අපිට කළින් තීරණය කරන්න විදියක් නෑ කොහොමටත්.”
“මෙච්චර කල් ගියෙ අතීතයට විතරයි නේද ලීලා?” මිස් සුරම්‍යා අසන්නීය.
“ඔව් පරණ කාලේ කියලා තමයි මට හිතුනෙ.”
“දැන් තියෙනවාටත් වඩා .. දුකට පත්වෙච්ච පරිකල්පන සමාජ ගැනත් සමහර කතන්දර පොත්වල ඒවා අනාගතේ සිද්ධ වෙන හැටියට ලියැවිලා තියෙනවා ලීලා.”
“ඒ කියන්නෙ?”
“දිස්තෝපියන් විද්‍යා ප්‍රබන්ධ කියන්නෙ ඒවට. දිස්තෝපියා කියන්නෙ සාධාරණ විදියකට කිසිම දෙයක් සිද්ධ නොවෙන, මිනිස්සු දුකින් හා බයෙන් ඉන්න තැනක් ගැන. ෆැරන්හයිට් 451 කියලා විද්‍යා ප්‍රබන්ධයක් තියෙනවා. දිස්තෝපියන් ඇමෙරිකන් සමාජයක් ගැන. පොත් තහනම්. හිතන්න උදව් කරන පොත් ගිනි තියන ගිනි නිවන හමුදාවේ වැඩ කරන කතා නායකයා ගැනයි ඒ කතාව.”
“එහෙම නම් හැම තිස්සෙම ආදී කාලේට ගියා කියලා හිතුනට සමහර විට මම අනාගතයට .. දිස්තෝපියන් .. දිස්තෝපියන් අනාගතයකට ගියා ද දන්නෙත් නැහැ.”
“එහෙම ගියාම කරන කියන දෙයක් ඉවර කරලා ආපහු ආවැයි කියමු. ඒක මෙහාට ආවට පස්සෙ තමන්ට බලපාන්නෙ කොහොම ද?” අම්මා ඇසුවේ නිදාගෙන ඉන්නා තාත්තා දෙස නැවතත් බලමින්.
“විද්‍යා ප්‍රබන්ධ වල එන හැටියට, ඒක තමයි ඒ ඒ කතන්දරය ලියන එක්කෙනාට අනුව වෙනස් වෙන්නෙ ඇන්ටි. ඒත් ඒවා කතන්දර වලින් කියපුවා මිසක් .. මම ඇත්තටම මෙහෙම යන්න පුළුවන් කියලා කවදාවත් හිතුවේ නැහැ.”
“ඒ කියන්නෙ අම්මා, ඔය කාමරෙන් එහෙම ආභරණයක් දාගෙන එක එක කතන්දර වලට කියලා අපි හිතන තැන් වලට ගියාට, ඇත්තටම වෙන්නෙ මොකක් ද කියලා දැනගන්න විදියක් අපිට නැහැ.”
“මේවා ගැන අහන්න කෙනෙක් නැද්ද මිස්?”
“මේකනෙ ඇන්ටි, අපි කොහොම ද ඔප්පු කරන්නෙ. එහෙම ගෙන්න ගන්න කෙනෙක්ට ඔය කාමරේ ඇතුලට යන්න බැරි නම්? කාට ද යන්න පුළුවන් කාට ද යන්න බැරි කියලා හොයාගන්න නම් ඇතුලට යන්නම හදන්න ඕන. බැරිවෙන අය අපි බොරුකාරයෝ කියලා කියයි. නැත්නම් අපිට පිස්සු කියලා කියාවි. මිනිස්සු දැනගත්තොත් යන්න බැරි කාමරයක් තියෙනවා කියල ඊ ළඟට බයවෙලා ගේත් කඩා දාවි.”
මෙහෙකාරිය නළල රැළි කරගෙන ගැඹුරු කල්පනාවක නිමග්නව සිටින්නීය. ඇය වැලි තලප කා තේ බී අවසන් කර ඇත.
“මෙයා හෙට වැඩ ටික අද කරන හැටි හිතනවා ද කොහෙද?” ලීලා ඇයට විහිළු කළාය.
“නැහැ බේබි. මං මේ හිතුවේ ..” ඇය සිනා පා බිම බලාගත්තාය.
“මොකක් ද?”
“අනේ මන්දා බේබි. මට ඔය කියන දේවල් අගක් මුලක් කියන්න බැහැ. ඒත් මහත්තයා ..”
“ඔව් ..”
“.. මහත්තයාට මේ ගියා වගේ කතන්දරයකට ගිහින් එතැනින් තවත් කතාවකට යන්න පුළුවන් වුනා කියමු,” ඇය ඇසුවාය, “එහෙම නම් එන්නෙ ආයෙත් ඒ පාරෙන්ම ද? නැත්නම් කෙළින්ම මෙහාට ද?”
ගැහැණුන් තිදෙන විස්මයෙන් ඒ ගැහැණිය දිහා බලා සිටියහ.
ela ela
ප්‍රතිචාර විසින් chami — අප්‍රේල් 11, 2014 @ 9:50 පෙ.ව.