Sinhala story Blog

දෙසැම්බර් 7, 2013

කිබිසිනි -බේබි කුඩ හොරාව දැක්කද?

Filed under: Uncategorized — arunishapiro @ 8:09 පෙ.ව.

ඉස්තෝප්පු පඩියක හිඳගත් මෙහෙකාරිය උණු තේ කෝප්පය බිම තබා ඔවුන් වෙත හැරුනේ නෝංජල් හිනාවකින්.

“මම වැහි දවසක නිකමට ගියා ඔය කාමරේට. ඒකෙ තියනවා මාල වළලු දාලා තියෙන පෙට්ටියක්. ඒකක් දාගත්තම වෙන තැනකට යැවෙනවා. යන්නෙ කොහෙද කියලා යන්න කලින් කියන්න විදියක් නැහැ. ඒ වගේම ඔය කාමරේට ගෙනියන කිසි දෙයක් ආපහු එළියට ගේන්නත් බැහැ. තාත්තට අසනීප වෙන්න කළින් හොඳටෝම වැහපු දවසකට පස්සෙ තාත්තයි මායි වත්තෙ ඇවිදින කොට අපිට හම්බ වුනා මුද්දක්. තාත්තා ඒක හොයන්නමයි එදා මිදුලට බැස්සෙ කියලයි මට දැන් හිතෙන්නෙ. තාත්තටයි, මටයි වගේම සුරම්‍යා මිස්ටත් ඒ කාමරේට යන්න පුළුවන්,” ලීලා පටන් ගත්තෙ එහෙමයි.

“නෝනටයි මටයි දොර අල්ලන්නත් බැහැ,” මෙහෙකාරිය උණු තේ කෝප්පය අතට රැගෙන එයට පිඹිමින් මිස් සුරම්‍යාට කීවාය.

අම්මා නිහඬය. මිස් සුරම්‍යා මෙහෙකාරිය වෙත හිසෙන් ඉඟි කළේ ඔවුනට නොහැකියාව තමන් දන්නා බවයි.

“ඒ යන්නෙ, අපි හිතන්නෙ ඒවා කතන්දර පොත් වල තියෙන තැන්. ඒවයෙ චරිත ඇත්තටම අපිට හමුවෙනවා.” ලීලා කීවාය.

“කතන්දර වල ඉන්න අය ඇත්තටම දකින්න පුළුවන්?” අම්මා විමතියෙන් අසයි.

“ඔව්, ඒ අය ඒ කතාවේ විදියට ඉඳිද්දී .. ඒ කතාවේ කියලා තියෙන විදියට” මිස් සුරම්‍යා එය පහදන්නට උත්සාහයක.

“බේබි කුඩ හොරාව දැක්ක ද?” මෙහෙකාරිය අසයි.

“කුඩ හොරා?”

“අර බේබිගෙ කතන්දර පොතක ඉන්නෙ?”

“නෑ. මේවා නවකතා නේද?” ලීලා හැරී ඇසුවේ මිස් සුරම්‍යා වෙතින්.

“ඔව්,” කියූ මිස් සුරම්‍යා යටි තොලේ කොණක් දතින් හපන්නට පටන් ගෙන ඇත.

“කුඩ හොරා පුංචි ළමයින්ට ලියපු කතන්දර පොතක්.” ලීලා මෙහෙකාරියට කියා දෙයි. “මේ ගමන් වලින් යන්නෙ දිග කතන්දර පොත් වල තියෙන තැන් වලට.”

“ලීලා, ඔයා සිංහල නවකතාවක එන තැනකට ගියා ද?”

“තාම නැහැ. ඔක්කොම පිටරට.”

අම්මාත් මෙහෙකාරියත් වික්ෂිප්තව බලා සිටිති.

“ලීලා ගිය තැන් ගැන කතන්දර පොත් එයා කියවලා නැහැ. ඒත් අපි දෙන්නම ගිය තැනේ කතන්දර පොත මම කියවලා තිබුණ. අපි දෙන්නා විතරක් නෙමෙයි ඇන්ටිගෙ අම්මලා තාත්තලා ඉපදෙන්නත් කළින් ලියපු කතන්දර පොතක්. ඒ පොතේ කාලෙට තමයි අපි ගියේ. 1900 ගණන් වලට.”

අම්මා වෙතින් හෝ මෙහෙකාරිය වෙතින් කිසිදු ප්‍රතිචාරයක් නොමැත.

“එහෙම ගිහින් ආවම හරියට වෙහෙසයි, නිදිමතයි. තාත්තා ඒක දැනගෙන හිටියා කියලයි මම හිතන්නෙ,” සැනසුම්දායක නින්දකට පිවිස සිටින තාත්තා දිහා බලමින් ලීලා කීවාය.

“තාත්තයි මායි ගියා ගමනක් තාත්තට අසනීප වුනාට පස්සෙ. එහෙදි තාත්තායි මායි කතා කළා ඩිංගක්. ඒත් එහෙම ගියාම කතාවේ හැටියට මිසක් එයින් පිට යන්න බැහැ මම හිතන්නෙ,” ලීලා බැලුවේ මිස් සුරම්‍යා දිහා.

මිස් සුරම්‍යා දෑත් දෙපැත්තට විහිදුවේ ඒ ගැන තමන් නොදන්නා බව පෙන්වන්නට.

“ආපහු ගෙදර ආවම ආයේ තාත්තාට කතා කරන්න බැහැ,” යැයි ලීලා කියද්දී අම්මා අත් දෙකෙන් ඇයගේ මුහුණ වසා ගත්තාය.

“අපි ආයේ යන්න හිතාගෙන ඉන්නෙ, මේ සැරේ අන්කල් එක්ක ගෙන මායි ලීලායි දෙන්නම.”

අම්මා මුහුණෙන් අත් ඉවත් කළේ සැනෙකින්. බියපත් මුහුණකින්.

“තාත්තා දන්න තරම .. තාත්ත කළින් මෙහෙම ගමන් ගොඩක් ගිහින් තියෙන නිසා .. කරන්න ඕනා මොකක්ද කියලා තාත්තාගෙන්ම අහගන්න ඇහැක් වේවි කියලා අපි හිතන්නෙ.”

“අන්කල් දන්නෙ නැත්නම් ඒත් අපිට අන්කල් එක්ක කතා කළොත් කරන්න දෙයක් ගැන අඩුගානේ …” මිස් සුරම්‍යා ඇයගේ වාක්‍යය අවසන් කළේ නැහැ.

“ඒත් එහෙම යන්න කළින් ..” ලීලා පටන් ගත්තාය.

“වැදගත් වේවි කියල හිතන දේවල් ඇන්ටි කියනවා නම් ..” මිස් සුරම්‍යා හවුල් වූවාය.

“මහත්තයා බෙහෙත් අනෝදා තම්බල තියන්න කියන්නෙ එහෙම ගිහින් ආවම නම්..” මෙහෙකාරිය අම්මාගේ මුහුණ මඟ හැර මිස් සුරම්‍යා සහ ලීලා දෙස පමණක් මාරුවෙන් මාරුවට බලන්නීය, “එහෙම නම් හැම ධාරානිපාතයකටම පස්සෙ මහත්තයා කොහෙ හරි යන්න ඇති.”

“කළින් දා වැස්සක් පාත්වුනෙ නැත්නම් තාත්තා බෙහෙත් අනෝදා තම්බලා දෙන්න කියලා ඉල්ලලාම නැද්ද?”

මෙහෙකාරිය හිස දෙපැත්තට වනමින් නැතැයි කියයි.

“සමහර විට .. තියෙන සේරම ඒවායෙන් තාත්තා ගිහින් ඒවයෙන් ආයේ යන්න බැරිව ඇති. මම එකකින් ගමන් දෙකක් ගිහින් ආවට පස්සෙ ඒක වැඩ කළේ නැහැ.”

“ඒ කියන්නෙ අන්කල් බලාගෙන ඉන්නෙ වැස්සකින් පස්සෙ අළුතින් එකක් හම්බ වෙනකන්.”

“එයා ඔය කාමරේට ගියාට තප්පරේකට දෙකකට වඩා වැඩිය ඉන්නෙ නෑ,” අම්මා බැරෑඬි හඬකින් කටහඬ අවදි කරයි.

“කොච්චර කල් ගිහින් හිටියත් එහෙම තමයි. ආපහු එද්දී මෙහෙ වෙලාව වෙනස් නැහැ,” ලීලා කියද්දී අම්මා එය තමනට විශ්වාස කරන්නට නොහැකි යැයි හඟවමින් හිස වැනුවාය.

“බේබිලා ආපහු මෙහාටම එන්න දන්නෙ කොහොම ද?”

“දාගත්තු මාලේ හරි වළල්ල හරි ගැලෙව්වම ආපහු මෙහාටම එනවා.”

“දාගෙන ගිය එක ගැලෙව්වෙ නැත්නම්?” අම්මා වේගයෙන් ඉහළ පහළ යන පපුවට දෑත් තබාගෙන අසන්නීය.

ලීලා සහ මිස් සුරම්‍යා එකිනෙකා දිහා බලාගත්හ.

“එතකොට නෝනා කතන්දරේ ඉවර වෙනකම් එහෙ ඉන්න පුළුවන් ඇති.”

“කතන්දරේ ඉවර වුනාට පස්සෙ?” අම්මා මිමුණුවේ ඇහෙන නොඇසෙන හඬකින්.

ගැහැණුන් තිදෙනාම එකවර හැරුනේ ගොරවමින් නින්දට වැටී සිටින තාත්තා දිහාට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: