Sinhala story Blog

නොවැම්බර් 23, 2013

කිබිසිනි -වැලි තලප සුවඳ තාත්තාව අවදි කරාවි ද?

Filed under: Uncategorized — arunishapiro @ 9:25 පෙ.ව.

මුළුතැන්ගෙය පැත්තෙන් ගලා ආ හැඳිගාද්දී පැතිරෙන වැලි තලප සුවඳෙන් ලීලා අවදි වූවාය.

මහත්තා කැමති දෙයක් කාලෙකින් හදා දෙන්න බැරි වුනා යැයි එදා ටවුමේ සිට ගෙදර එද්දී කියූ මෙහෙකාරිය ඔවුන්ගේ හංදිය අසල බස් රථයෙන් බහිද්දී සැනෙකින් දිව ගියේ සියදෝරිස්ගේ කඩේ ඇතුලට. එළියට ඇවිත් අල්ලේ වූ තලගුලි කැරලි දෙකක් ඇය සතුටින් පිරී ගිය සිනාවකින් ලීලා වෙත පෑවාය.

“මේවට සල්ලි ඉතුරු කරගත්තා එහෙනම්,” තලගුලියක් අතට ගත් ලීලා තරවටු ස්වරයකින් කීවත් මෙහෙකාරිය වෙත පෑවේ සිනාමුසු මුහුණක්. නෝංජල් හිනාවක් පෑ මෙහෙකාරිය සව්කඩදාසියත් තෙල් කඩදාසියත් ඉවත් කර තලගුලිය සම්පූර්ණයෙන්ම කටේ දමාගත්තාය.

සතියට දෙතුන් වතාවක් වත්තේ වැවූ එළවළු මල්ලක් ටවුමට ගෙනිහින් විකුණන්නට මෙහෙකාරිය සමත් වී සිටින්නීය. මඟහැරුණු පාඩම් කටයුතු වලට නැවතත් යොමු වූ ලීලා ඉස්තෝප්පු කාමරයට ඇතුල් නොවූවාය.

තාත්තා සුපුරුදු පරිදි දවසේ වැඩිපුර කාලය නිදි කිරමින් සිටියි.

අම්මා සමඟ මහතුන් මාමාගේ ඉඩම ගැන කතාබහක් ලීලා පටන් නොගත්තේ මිස් සුරම්‍යා ද ඒ කතාබහ දැනගත යුතු යැයි සිත කියූ නිසයි. අකමැති දේවල් ගැන කතා කරන්නට උනන්දුවක් කිසිදා නොතිබුණ අම්මා නිහඬ බව රැක්කේ ලීලා පාඩම් කරන්නට යළි පටන් ගත් නිසා නොවේ.

බලාපොරොත්තු රැසක් හිතේ පොදි කරගෙන මේ සති අන්තයේ මිස් සුරම්‍යා අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇතැයි ලීලා විශ්වාසයෙන් සිටින්නීය.

වැලි තලප සුවඳ තමන්ව පමණක් නොව තාත්තාවත් අවදි කරවන්නට සමත් වේ දැයි ලීලා කල්පනා කළාය. ඇය ගෙවී ගිය සතිය පුරා පාඩම් කරන අතරතුර සිය විශේෂ කොපි පොතේ සටහන් කරගත් ප්‍රශ්න රාශියකි.

පුටු පුටු ගා ගේට්ටුව ළඟ නැවතී සිට යළි ඉගිල්ලී ගිය මෝටර් සයිකලයේ හඬ ඇසී ලීලා ඇඳෙන් නැඟිට්ටාය. හනිකට මුහුණ සෝ දා පිරිසිදු වූ ඇය අම්මා සමඟ පිළිසඳරේ යෙදෙන මිස් සුරම්‍යා වෙතට ගියේ අද නම් කුමක් හෝ සැලකිය යුතු ජයග්‍රහණයක් අත්පත් කරගත හැකි දිනයක් යැයි සිත පිරී ගිය සතුටකින්.

“මම රැයක් නැවතිලා යන්නත් එක්ක ආවේ, ලීලලැයි අම්මා අකමැති නැත්නම්” මිස් සුරම්‍යා පොඩි මල්ලක් පෑවාය.

“අනේ දරුවෝ ඉතින් වැඩි පහසුකම් දෙන්න විදියක් නැහැ දැන් අපිට,” ඉස්තෝප්පුවට ආ ලීලා දිහා තැති ගැන්මකින් බලා අම්මා කියයි.

“කතා කර කර ඉන්න ඕනෙ මොන පහසුකම් ද අම්මා,” ලීලා නැවී අම්මාගේ හිස මුදුන සිප ගත්තේ ඇයගේ නොසන්සුන් බව අඩු කරන්නට.

“මං වෙනුවෙන් කියලා විශේෂ මුකුත් කරන්න අවශ්‍ය නෑ ආන්ටි,” මිස් සුරම්‍යා ද අම්මාව සනසන්නට උත්සාහයක.

මෙහෙකාරිය උණු උණුවේ දුම් දමන තේ කෝප්ප සමඟින් කෑලි කැපූ වැලි තලප දීසියක් ද සමඟින් ඉස්තෝප්පුවට පිවිසුනේ ලෝකය ජයගත් විජයග්‍රාහී මුහුණකින්. ටීපෝව මත ඇය බන්දේසිය තැබූ විට අම්මා එයින් සංග්‍රහයට සැරසෙද්දී නිදි කිරමින් සිටි තාත්තා ඇස් හැරියේය. ඔහුගේ දෑස් ඍජුවම එල්ල වූයේ වැලි තලප දීසියට.

“මහත්තයා ආසම කෑමක්,” ගේ ඇතුලට යන්න හැරුණ මෙහෙකාරිය නැවතී තවත් උද්දාම වී මිස් සුරම්‍යාට පැහැදිලි කරයි.

“අපිට ගොඩ කාලෙකින් පස්සෙ මේවා හදලා දෙන්න ඇහැක් වුනේ,” අම්මා කඳුළු බිංදුවක් සාරි පොටෙන් පිසදමින් කියන්නේ කණගාටුවත් සතුටත් අතර කොයි එක තෝරා බාර ගන්නවා දැයි සිතනු නොහැකිව යැයි ලීලාට සිතිණ.

“ගොඩ කාලෙකින් පස්සෙයි මෙහෙම මොකක් හරි දෙයක් දිහා තාත්තා ඕනකමෙන් බැලුවේ,” කියමින් ලීලා ද මිස් සුරම්‍යාට තතු පැහැදිලි කරන අනෙක් දෙදෙනාට එකතු වූවාය.

තමන් කියන දේවල් පමණක් කරන්නට හුරු වී සිටි මෙහෙකාරිය දිහා අම්මා එල්ල කළේ කතෘඥ පූර්ව බැල්මක්. මෙහෙකාරිය මඳ ලැජ්ජාවකින් ඔළුව නවාගෙන ගේ ඇතුලට රිංගන්නට හදද්දී, “තේ කෝප්පෙයි ඔයාගෙ වැලි තලපයි අරගෙන එන්න, අපි හැමෝම එකතුවෙලා දන්න දේවල් ඔක්කොම බෙදා ගන්න ඕනෑ” යැයි ලීලා කීවාය.

“මේ මං?”

“ඔව්, නොදන්නවා කියල හිටියට ඔයත් දන්න දේවල් ගොඩක් තියෙනවා!” අතේ වූ වැලි තලපය උස්සා ලීලා කියද්දී ඔවුන් සියල්ලන්ම මහත් ආශාවක් පෙන්වමින් අම්මා දෙන වැලි තලප කන්නට කුඩා දරුවෙක් මෙන් කට අරින තාත්තා දිහා බැලූහ.

කුරුළු රූනක් සට සට ගා තටු සලමින් තෘප්තිමත් නිහඬ බවක් පැතිරුන ඉස්තෝප්පුව ළඟින් පියාඹා ගියහ. මොහොතකට පමණක් ඇසුණ එය වෙසක් කූඩු වල දිගු සව්කොළ රැලි හෙළවෙන සද්දය වැනි යැයි වැලි තලපය රස විඳිමින් ලීලා සිතුවාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: