Sinhala story Blog

නොවැම්බර් 16, 2013

කිබිසිනි -ආදරණීය මිස් සුරම්‍යා වෙත

Filed under: Uncategorized — arunishapiro @ 6:52 ප.ව.

මිගබස් ඉදිරියේ නොසැලී සිටි ලීලා දයාව හමුවේ හඬා වැටුනාය.

හිංසාව ඉදිරියේ ආත්මානුකම්පාව යටපත් වී ඇතිවන්නේ ගල් හිතක් ද? කරුණාව ඉදිරියේ දැඩි සිතක් වුව ද චංචල වෙනවා ද? එහෙමත් නැත්නම් කෙමෙන් කෙමෙන් පොදි ගැසුන වේදනාව තව දුරටත් දරා සිටිනු බැරි තරමට විශාල වූ පසු කඩාගෙන එළියට පනිනවා ද?

ඇයට රිසි සේ හඬන්නට හැර පුස්තකාලාධිපති හනිකට අවසන් කළ යුතු ලෙසකින් යම් ලියැවිල්ලක නිරත විය. ජීවිතයේ කිසිම දවසක පිටස්තරයෙක් ඉදිරියේ ලීලා කඳුළු පෙරා නැත. ලැජ්ජාවක් වෙනුවට හැඬිල්ල අවසන් වෙද්දී මහත් බරක් සැහැල්ලු වූවා සේ ඇයගේ හදවතට දැනිණ. ගවුමේ කොනක් උස්සා ලීලා නැහැයත් මුහුණත් දෑසත් පිසදා ගත්තීය.

පුස්තකාලාධිපති ලාච්චුවක් හැර ලියුම් කවරයක් ද ගෙන මේසය මත වූ කොළයක් හා පෑනක් ලීලා ඉදිරියෙන් තැබුවේය.

“පණිවිඩේ ලියන්න. මම සුරම්‍යා මිස්ගෙ ගෙදෙට්ට අදම යවන්නම්.”

ආදරණීය මිස් සුරම්‍යා වෙත,
එහෙම ගමනක් ගිහින් ආවම නිදිමත හැදෙනවා. මට ඒක අමතක වුනා. සමාවෙන්න. හැකි විගසින් අපේ ගෙදර පැත්තේ ඇවිත් යන්න එන්න. රාත්‍රියක් නැවතී සිට පසුදා ආපසු යන්නට හැකිනම් වඩා හොඳයි නේද?
මෙයට හිතවත්,
ලීලා.

කොළය නවා ලියුම් කවරයට බහා දිවෙන් තෙමා එය අලවා මේසය මත තබමින් ලීලා නැඟිට්ටාය.

“සමාවෙන්න කරදර කළාට. ගොඩක් ස්තූතියි මේ උදව්වට,” ලීලා කිව්වේ පැහැදිලි හඬින්.

“ඔය දරුවට එහෙනම් පරිස්සමෙන් ගෙදර යන්න පුළුවන් නේද?”

“ඔව්, අපේ ගෙදර වැඩට ඉන්න එක්කෙනා බස්හෝල්ට් එකේ මං එනකම් ඉන්නවා,” ඇය සිනාවක් පෑවේ දැන් ඔක්කොම හරි කියන්නට මෙනි.

ලීලා බස් හෝල්ට් එකට එද්දී බිම එරමිණිය ගොතාගෙන සිටි මෙහෙකාරිය ඇය දැක දත නියවමින් නැඟිට්ටාය. හිස් මල්ල මෙහෙකාරියගේ කිහිල්ලට හිර වී ඇත.

“මට තනියෙන් විකුණන්න පුළුවන්දැයි බලන්න මං එළියට ගන්නවත් එක්කම වාහනයක් ඇවිල්ල නතර කළා. ඒ මහත්තයා බතල ඔක්කොම ටික එකපාර ගත්තා බේබි,” ඇය ලීලාට ළංවී සතුටින් කියන්නීය.

“බඩු මොනවත් ගත්තෙ නැත්තෙ ඇයි?”

හැට්ට කරෙන් ඇතුලට ඇඟිලි තුඩු යවා ගුලි වූ මුදල් නෝට්ටු කිහිපයක් රැගෙන ලීලා අත තැබුවාය.

“ගාණ ටිකක් වැඩි වුනත් කමක් නෑ, එයා එපැයි කිව්වට අපේ බඩු ගන්න අය වෙන ඉන්නවා කියල පෙන්නන්නත් එක්ක හංදියෙන් බැහැලා යද්දී සියදෝරිස් අයියලැයි කඩෙන් බඩු ටිකක් ගම්මු,” මෙහෙකාරිය කියයි.

ගෙදර පැත්තට යන බස් රථයක් පැමිණ ඔවුන් ඉදිරියේ නතර විය. එය වෙත අඩියක් තැබූ මෙහෙකාරියව ඇද නවත්වා ගත් ලීලා කඩිමුඩියේ බහින නඟින අය නැවතී බස් රිය පිටත් වී යන තෙක් කිසිත් කිව්වේ නැත.

“අඩු ගාණට ගන්න පුළුවන් බඩුවකට වැඩි ගාණක් දීලා ගත්තම කාට ද වාසි?”

“ඒක නම් එහෙම තමයි …”

“කාට ද වාසි?”

“හංදියෙ කඩේට තමා බේබි.”

“කාට ද අවාසි?”

“ඒත් බේබි…”

“කාට ද අවාසි?”

“අපිට තමයි බේබි,” ඇය බිම බලාගත්තීය.

“හංදියේ කඩේ බඩුම ටවුමේ සතොසෙන් අඩුවට ගන්න පුළුවන් කියලා කිව්වා නේද?”

“ඔව්.”

“එහෙනම් යමු එතෙන්ට,” ලීලා මඟ පෙන්වන්න යැයි මෙහෙකාරියට ඉඟි කළාය.

ඔවුන් දෙදෙන පියවර කිහිපයක් ගමන් ගත්හ.

“මෙයා වැඩියෙන් සල්ලි දීලා බඩු ගන්න හදන්නෙ ගෙදර සීනි ඉවරවෙලා නැති හන්දා වෙන්නැති,” යැයි ලීලා හිමිහිට මතුරද්දී මෙහෙකාරිය වෙතින් තද කරගන්නට අපහසු වූ සිනහවක් පිට විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: