Sinhala story Blog

මැයි 4, 2013

කිබිසිනි -එහෙදි මට කතා කරන්නත් බැරි ද?

Filed under: Uncategorized — arunishapiro @ 7:00 පෙ.ව.

විටින් විට වචනයක් දෙකක් හුවමාරු වුව ද ඔවුන් අතර කතාබහ අඩුවෙන් ද වැඩ වැඩියෙන් ද සිද්ධ විය.

පාන්දර තුනට පමණ උඩුමහලේ වූ යුවතිය තරප්පු පෙළ බැස්සේය.

“කෝපි ටිකක් රත් කළා .. හපන්න දෙයක් නම් නෑ,” ඇය මුහුණ සඟවා ගනිමින් කීවාය.

තරබාරු කාන්තාව ඇයගේ සැමියාට ඉඟි කළාය. ඔහු කරවටේ ඔතාගෙන තිබි සාටකයක් ගැලවූයේය. එහි කොණක වූයේ ලොකු ගුලියකි. ගැට ලිහා ගන්නා තෙක් අනිත් සැවොම ඔහු දෙස බලා සිටියේ කුතුහලයෙනි. ගුලියේ ඇතුලත තෙල් කඩදාසියකින් මතු වූයේ සලාමි රෝලකි.

“එහා පැත්තට ගියාට පස්සෙ මේවා ඕන තරම් ගන්න ඇහැකි වේවි,” ඔහු කීවේ තොලකට ලෙවකමින්.

“සලාමි තරම් සුවිශේෂ නොවුනාට මේකත් අපි බෙදා ගම්මු,” කාමරයේ එහා කෙළවරක හිටි අයෙක් තොප්පියක් ගලවා පත්තර කඩදාසියකින් ඔතා තිබුණ බනිස් ගෙඩි තුනක් පෙන්වීය.

තාත්තා ඔහු හැඳ සිටි කබායේ හා කමිස, කලිසම් වල සාක්කු අත ගානවා ලීලා දැක්කාය.

“මේ තියෙන්න,” තාත්තා කීය, “ගුල්ලෝ ඉන්නවා හැබැයි මේ චීස් කෑල්ලෙ,” සාක්කුවෙන් එළියට ඇදගත් කුඩා චීස් කුට්ටිය දිහා තාත්තා ඇස් කුඩා කර බැලීය.

“ප්‍රෝටීන් මොන විදියෙන් ලැබුනත් කාරි නෑ,” සලාමි රෝල වනමින් මැදිවියේ පුරුෂයා ගෙරවීය.

ඔවුන් එකින් එකා හැකි තරම් නිහඬව තරප්පු පෙළ නැඟ්ගහ. බිත්ති වලට කන් ඇතැයි මුලින් නැඟ්ග අයෙක් කොඳුරනවා ඇසිණ.

එකා පස එකා යමින් ඔවුනොවුන්ගේ ඇඟේ හැප්පෙමින් ඔවුන් සියල්ලන්ම අඳුරැ කාමරයකට ඇතුල් වූහ. මේසය වටා තිබුනේ එකිනෙකට නොගැලපෙන පුටු කිහිපයකි. මැදිවියේ පුරැෂයා තියුණු පිහියකින් සලාමි රෝල ඉතා තුනීයට පෙති ගැසුවේය. තාත්තා ගුල්ලන් එහා මෙහා යන කුඩා චීස් කුට්ටිය තරුණිය අත තැබුවාය. එය කුඩා කෑලි වලට කඩා පිඟානක් පුරා තබන්නට ඇය සමත් වූවාය. බනිස් ගෙඩියකින් මේසයට තට්ටුවක් දැමූ එහි අයිතිකාරයා “කෝපි වල පොඟවන්න වෙයි, නැත්නම් දත් ගලවන්න දන්ත වෛද්‍යවරයෙක් ළඟට යන්න අවශ්‍ය නැති වේවි,” යැයි කීය.

“කෝ මෙහාට දෙන්න,” යුවතියගේ අයියා කුඩා කියතක් මේස ලාච්චුවකින් එළියට ගෙන බනිස් ගෙඩි වලට ළංවීය.

“ගල් බනිස් හරි කන්න ලැබෙනවා නම් ඒකත් පිනක්,” කවුදෝ සුසුම් ලෑවේය.

කවුදෝ පුටුවක් ඇද තාත්තාට වාඩි වෙන්නට දෙන හැටි දැකීමෙන් ලීලාගේ සිත සැනසිණ. තරුණ අය හිටගෙන සිටියහ. මහළු අය වාඩි වූහ. වැඩ කරද්දී සේ ම කෝපි කෝප්ප හා ආහාර හෙමින් හෙමින් අවසන් වූයේ ඉඳහිට වදනක් දෙකක් මිසෙක වැඩි කතාබහකින් නොවේ.

“අපි වැටේ එහා පැත්තට ළං වෙලා ඉන්නෙ. ඒත් තව අඩි විස්සක් වත් හාරන්න ඕනෑ. ඉවර කරන දවසේ අපි යනවා, එදාට එන්න බැරි වෙන අය ගැන කරන්න කිසිම දෙයක් නැහැ ඔන්න,” තරුණයා කීය.

ඔවුන් එකඟත්වය පාමින් හිස් වැනූහ.

කෝපි කෝප්ප හිස් වූවාට වඩා ඉක්මණින් කෑම අතුරුදහන් විණ. තැන් තැන් වල බිත්ති වලට පිටදුන් ඔවුන් නින්දට ගියේ කළින් හුරු පුරුදු ලෙසකින්. තාත්තා අසලින් ලීලා වාඩි වූවාය.

“මොකද වුනේ කියලා දන්නවා ද?” ඇය රහසින් ඇසීය.

“එහෙදි මට කතා කරන්නත් බැරි ද?” තාත්තා මිමුණුවේය.

ලීලා හිස වැනුවේ වදනක් පිට කළොත් හැඬුම් ඒවි යැයි බියෙනි.

“මෙහෙම ආවම ජීවිතේට ඕනෑ දෙයක් තමයි ඉගෙන ගන්න ලැබෙන්නෙ,” ඔහු ලීලාගේ හිස තම ළයට තුරුල් කරගත්තේය. අහන්නට දහසක් ප්‍රශ්න තිබුණ ද ලීලාගේ දෑස් පියවිණ. තාත්තා හුස්ම ඉහළ පහළ යවන රිද්මයත් සමඟින් ඇය ද කාමරයේ සිටි අන් අය අනුකරණයෙන් නිදිදුව වැළඳ ගති.

උදෑසන වටින් පිටින් එළිය වැටෙද්දී එකින් එකා අවදි වූහ.

“කාටවත් කියන්න එපා කියල ආයේ මම මතක් කරන්න අවශ්‍ය නෑ නේද?” තරුණයා සියල්ලන් ගේ ම මුහුණු එකින් එක දිහා බැලුවේ ය. ඔවුන් සියල්ලන්ම හිස් වනමින් එය මතක් කිරීම අනවශ්‍ය යැයි එකඟ වූහ.

පාරේ මගියන් වැඩි වෙත්ම එකින් එකා ගෙදර දොර හැරගෙන තනි තනියම පිටත් වී යන්නට වූහ. මැදිවියේ පුරුෂයා පිට වී ගියේ ඔහුගේ භාර්යාවට ප්‍රථමයෙනි. තව දෙන්නෙක් පිටව ගිය පසු ඇය එළියට බැස්සාය.

තාත්තා තනියම දොර වෙතට ළං වෙත්ම ලීලා ඔහු දෙසට දිව ගියේය. තාත්තාගේ අත අල්ලා ගත් ඇය නැවී අනෙක් අතෙන් නූපුරය ගලවා දැම්මේ තාත්තා කුමක් දෝ කියන්නට පටන් ගනිද්දී ය.

****

Reader’s Digest True Stories of Great Escapes (1978) කතන්දරයේ පසුබිම වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: