Sinhala story Blog

අප්‍රේල් 27, 2013

කිබිසිනි -අපි හැමෝම එක දවසේ යන්න ඕනෑ ඒ නිසා

Filed under: Uncategorized — arunishapiro @ 7:26 පෙ.ව.

උඩු මහලට ගිය තරුණයා සමඟ එක් වූ තරුණිය ඔවුන් වෙතින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරය ඔවුනට යාන්තමෙන් ඇසිණ.

දොරක් වැසෙන හඬකින් පසුව තරුණයාගේ අඩි තරප්පු පෙළේ පහළට එන අන්දම දෝංකාරය දුනි.

“හැමදාම අහන ප්‍රශ්න තමයි,” ඔහු දන්වා සිටියේය. “ඇයි මේ රූ වැඩ කරන්නෙ අහනවා, මම කිව්වා දවස පුරාම මට පැය හතරක් ඈත තියෙන කම්හල් රැකියාව කරන්නයි මේ ගේ රෙපෙයාර් කරන්නයි එකවර බැහැ කියල.”

“එහෙම කරන්න පුලුවන් ක්‍රමයක් තියේ නම් ඒකත් අපි ලව්වා කරවාවි,” මැදිවියේ පුරුෂයෙක් ගෙරවීය.

“මම ඉන්නවා ද කියල ඇහැව්වෙ නැත් ද අයියේ?” අනික් කඩවසම් තරුණයා සිනාවකින් ඇසීය.

“මොකෝ නැත්තෙ, එක එක්කෙනා ඉන්නෙ ගෙදර මොන කාමරේ ද කියලා ඇහැව්වෙ නැති එක විතරයි,” අයියා පිළිතුරු දුන්නේ ය.

“අපි හැමෝම එක දවසේ යන්න ඕනෑ ඒ නිසා,” මැදිවියේ පුරුෂයා නැවතත් ගෙරවීය.

“කල් යවන්න බැහැ, දැන් වැටෙන් පැනලා යන අයට වෙඩි තියලා මරණ නිසා ගොඩක් අය උමං හාරනවා කියල මේ මායිමේ තියෙන ගෙවල් ඔක්කොම ගැන පරීක්ෂාවෙන් ඉන්නත් පටන් ගෙන.” මෙතෙක් නිහඬව සිටි තරබාරු මැදිවියේ කාන්තාවක් මිමිණුවා ය.

වල වටා රැස් වූ සියල්ලන් ම හිස් වනමින් එකඟ වෙද්දී, තාත්තා ද ඔවුන් හා එකඟ වෙමින් මොනවා දෝ හිමිහිට මුමුණන බව ලීලා දැකීය. කතාබහට හැකියාවක් හා ලෝකය ගැන අවධානයක් යළි ලැබී ඇති ඔහුව පැත්තකට ඇදගෙන යන්නට නළියන සිත ලීලා දමනය කරගත්තේ ඉතා අපහසුවෙනි.

මෙවැනි ගමනක දී තමන්ට නියම වී ඇති භූමිකාවෙන් වෙනතක යන්නට හැකියාවක් නැතැයි ඇයගේ සිත කියයි. තාත්තා යා යුතු ගමනක තමන් ගිය නිසා ඔහුට අසනීප වූවා යැයි ලීලාගේ සිත තවමත් කොනහයි. කඩවසම් තරුණයන් දෙදෙනා නැවතත් වලට බැස කැනීම් පටන් ගෙන ඇත. අනිකුත් අය උඩට අදින පස් පැත්තක ගොඩ ගසන්නට නැවතත් පටන් ගෙන ඇත. ලීලා අතට බාල්දිය නැවත බාර විය.

ලීලා තාත්තා දෙස යටැසින් බලමින් පස් ඇද්දේ කතාබස් කරන්නට අවස්ථාවක් පාදා ගන්නේ කෙසේදැයි සිතමිනි. ඉඳහිට වචනයක් දෙකක් ඔවුන් හා මුමුණන තාත්තා ඉන්නා ස්ථානය ගැන දන්නා ලෙසකින් හැසිරෙයි. කුමන රට ද, කුමන කාලයක් ද, කුමන බාසාවක් දැයි දැන ගැනීමට ලීලාට තිබෙන උවමනාව වෙනත් මෙවැනි ගමනක් ආ කලක සේ දැඩි නොවීය. ලීලාගේ හදිසිය තාත්තා වෙතින් ඔහුට හදිසියේ ම සිහිකල්පනාව නැති වී ගියේ මන්දැයි දැන ගැනීමටයි.

තමනට සැබෑ ලෝකයේ දී සිහි කල්පනාව අහිමි බව ඔහු දන්නවා ද? ඇය නැවතත් තාත්තා දිහා විපරමින් බැලුවාය. ඒ ගැන අහන්නට ගියොත් ඔහුට යම් අවදානමක් මෙහි දී හට ගනියි ද? ලීලාගේ හද ගැස්ම සීඝ්‍ර විය. ඩොක් ඩොක් ගා පපුව ගැහෙන හඬ පිටතට ඇසේවි යැයි බියෙන් ඇය දිගු හුස්මක් ගෙන සෙමෙන් පිට කළාය.

විලුඹේ එල්ලෙන නූපුරය දිහා ලීලාගේ දෑස් යොමුවිණ. නූපුරය ගැලවුනොත් තාත්තා මෙහි දමා තමා පමණක් ආපසු යාවි ද? ඇයගේ හද ගැස්ම තවත් වැඩි විය. ඇය තවත් දිගු හුස්මක් ඉහළට ඇද්දා ය. ඉතා සෙමෙන් හුස්ම පිට කරමින් ඇස් පියාගත්තාය.

“හොඳටම බය වුනා නේද?” ලීලා අත වූ බාල්දිය ඉවත් කරමින් මැදිවියේ තරබාරු කාන්තාව ඇය දෙස කාරුණික ඇස් වලින් බලා සිටියි.

“ඔව්,” ලීලා කීවත් ඇය අදහස් කළේ තරුණයාව ප්‍රශ්න කරන්නට පැමිණි අය ගැන ඇති වූ බිය ගැන නෙමෙයි.

“ඔහොම තමයි ස්ටාසි බය කරලා තමයි හොයා ගන්නෙ විස්තර ඔක්කොම,” ඇය පැහැදිලි කරයි, “අපි විස්තර දුන්නෙ නැත්නම් එයාලට හොයා ගන්න විදියක් නැහැ. ඒත් බයට මිනිස්සු විස්තර කියන නිසා උන්ට හොයාගන්න ලැබෙනවා ඔක්කොම.” ඇය ද සුසුමක් පිට කළාය.

“ෆ්‍රවුලයින් ලීනාව තවත් බය කරන්න එපා,” මැදිවියේ පුරුෂයා කරුණාබරිත හඬකින් ගෙරවීය. ඔහු ඇයගේ සැමියා බව ලීලාට පසක් විය.

“බය වෙන්න ඕනෑ තරමකට. නිර්භීතකම කියන්නෙ තියෙන අවදානම් සියල්ල ගැන දැනීම නිසා ඇතිවෙන බය ජයගන්න හැකියාව ලැබීමයි,” තරබාරු කාන්තාව කියා සිටියේය, “ඔයා වගෙ,” ඇය සැමියාට කීවේ ඊට ඔහු වෙත ප්‍රශංසාවක් ද එකතු කරමිනි.

“මගේ ටොක්ටහ් නිර්භීතයි, ඇය බය ගුල්ලියක් නෙමෙයි,” තාත්තා ඔවුන් දෙස බලා කියද්දී ලීලාගේ ඇස් වලින් කඳුළු ගලන්නට පටන් ගති. දීර්ඝ කාලයකට පසු තාත්තාගේ කටහඬ අසන්නට හැකිවීම, එම වදන් නුහුරු බසකින් වූ උච්චාරණයක් වුවත් එහි අදහස වැටහී යාම නිසා ඇයගේ හදවත දැඩි වේදනාවත් නිම්හිම් නැති සතුටත් අතර ගැටෙන හැඟීමකින් පිරී ඉතිරී ගියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: