Sinhala story Blog

අප්‍රේල් 6, 2013

කිබිසිනි -මම ඇල්ලුවාට කමක් නැතෙයි?

Filed under: Uncategorized — arunishapiro @ 4:36 ප.ව.

“ඇයි දිය කරන් බොන්නෙ නැත්තෙ?”

අල්ලට සීනි ඩිංගක් හලා ගෙන එය දිව ගාමින් මෙහෙකාරිය තේ කෝප්පය බොයි.

“මෙහෙම බිව්වම රහ වැඩියි බේබි.”

“තේ වල ද? සීනි වල ද?”

“දෙකේම බේබි,” ඇය කියන්නේ සිනාවකිනි.

“කෝ අම්මා,” ලීලා ඇසුවේ රහසින්.

“නෝනා නාගන්න ගියා ද කොහෙද,” මෙහෙකාරිය වත්තේ ලිඳ පැත්තට ඔළුවෙන් ඉඟි කළාය.

ගේ ඇතුලට වත්තන් කරගෙන ආ තාත්තාගේ මඩ පැල්ලම් වැටුණු සරම මාරු කරන ලදි. ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක වාඩි ව සිටිය දී දෙපතුල් වල මඩ සෝදා හරින ලදි. නිදා කිරා වැටෙද්දී ම තේ කෝප්පයක් බලහත්කාරයෙන් වගේ පොවා දැමිණ. ඒ සියල්ල අම්මා කළේ ඇයව වත්ත පුරා ඇවිද්දපු කේන්තිය පිරිමහගන්නට වාගේ යැයි ලීලාට සිතුනත් තේ කෝප්පය බී අවසන් වෙද්දී තාත්තා හාන්සි පුටුවේම තද නින්දකට වැටී තිබුණි. ඒ කටයුතු ඉක්මණින් නොකළා නම් තාත්තා මඩ සරමෙන්, මඩ කකුල් වලින් හා තිබහෙන්ම නිදියනු ඇත.

අබරණය තවමත් ලීලාගේ අල්ලේ ගුලි වී ඇත. එය තම නිදන කාමරයේ තබන්නට හෝ ඉස්තෝප්පු කාමරයට ගෙන යන්නට ලීලා සූදානම් නැත. අතෙන් අයින් වුනොත් එය ඉස්තෝප්පු කාමරයේ අනෙක් අබරණ ඇති පෙට්ටියට වැටෙනු ඇත් දැයි නිශ්චිතව නොදත්ත ද එයට වැඩි සම්භාවිතාවක් ඇතැයි ලීලා ගේ සිත කියයි. එය ඉස්තෝප්පු කාමරයට ගෙන ගියොත් යළි එළියට ගෙන ඒමට නොහැකි දැයි නිශ්චිතව නොදත්ත ද එයට ද වැඩි සම්භාවිතාවක් ඇතැයි ඇයගේ සිත කියයි.

එහි අගය අපූරු ගමනක් යෑමට හැකියාව පමණක් ද?

“රත්තරන් පොටක් විකුණුවොත් කීයක් විතර ලැබෙයි ද?”

අල්ලත් දිවත් මුණ නොගැසී එහෙත් එකිනෙකට බොහෝ ආසන්නව තිබිය දී බියමුසු මුහුණකින් මෙහෙකාරිය ලීලා දෙස බැලුවාය.

“අම්මගේ මාලයක් නෙමෙයි, මේ මගේ එකක්,” ලීලා මිමිණුවේ වැරද්දක් නිවැරදි කරන ලෙසින්.

“දන්නෑ බේබි, ගිහින් අහලාම බලන්න වෙනවා. ඒත් ඊට පස්සෙ බේරගන්නෙ?”

“කාගෙන් ද අහන්නෙ?”

“බැංකුවට දෙන්නත් පුලුවන්, ඒත් ඊට වඩා හොඳ ගාණක් ලැබෙනවා ප්‍රියාන් මහත්තයාට දුන්නම.”

“කවුද එහෙම කියන්නෙ?”

“අහල පහල අය.”

“කවුද ප්‍රියාන් මහත්තය?”

“මං දන්නෑ හරියටම කවුද කියල. එහෙම කෙනෙක් ඉන්නව කියල විතරයි දන්නෙ. ඉස්සර ඩුබායි වැඩ කරපු කෙනෙක්ලු. දැන් පොලියට ණය දෙනවාලු. රත්‍රන් බඩු ගන්නවාලු … බඩු උගසටත් ගන්නවාලු.”

බැංකුවකට ගිහින් නම් ගම් දෙනවාට වඩා මෙය නොදන්නා අයෙකුට දී මුදල් කරගත හැකි නම් අගනේ යැයි ලීලාට සිතිණ. අල්ලේ තවත් සීනි කැටයකුදූ දකින්නට නොහැකි වුවත් අල්ල දිව ගා අන්තිම තේ උගුර බිව් මෙහෙකාරිය කොළොඹුවෙන් නැඟිට්ටාය.

“ඔහොම පොඩ්ඩක් වාඩිවෙන්නට,” ලීලා ඇයට අතින් සංඥා කර එළිපත්තට ඇස් යොමු කළේ අම්මා මග එනවා දැයි බලන්නට.

“ඇයි බේබි?”

“පොඩි අත්හදා බැලීමක් කරන්න, ඔයා බය වෙන්නැත්තම් විතරයි කරන්න පුලුවන්,” ලීලා උළුවස්සට හේත්තු වී කුස්සිය ඇතුලේ ඉන්නා මෙහෙකාරියට අත්ල දිගහැර අබරණය පෑවාය.

“චාම් නූපුරයක්, හරි ලස්සනයි, කොහෙන් ද ලැබුනෙ බේබි?”

“කොණ්ඩෙට දාන එකක් ද?”

“නෑ බේබි මේක කකුලේ දාන එකක්.”

ඇය වෙත හිමිහිට ළං වූ ලීලා අත පෑවේ ඇයට තවත් හොඳින් බලාගන්නට.

“මම ඇල්ලුවට කමක් නැතෙයි?” මෙහෙකාරිය අසයි.

“අල්ල දිග අරින්න, හැබැයි පරිස්සමෙන් වාඩිවෙලා ඉඳගෙන.”

මෙහෙකාරිය හැමදාම බරදෙන කොළොඹුවේ පස්ස එහාට මෙහාට කළේ මේකෙ තවත් හරිබරි ගැහෙන්නෙ කොහොමදැයි අහන විලසට. තේ කෝප්පය බිම තැබූ ඇය අත්දෙකම පෑවා ය.

ලීලා තම අල්ලේ වූ නූපුරය මෙහෙකාරිය ගේ අල්ලට අතහැරියේ උවමනාවෙන් ම ඇසි පිය නොහෙළා සිටිමින්.

කොළොඹුව පණ ලැබූ සතෙක් මෙන් දැඟලුවා ද?

මෙහෙකාරිය ලීලාට පහරක් ගැහුවා ද?

ලීලා මෙහෙකාරියට පහරක් ගැහුවා ද?

හිටගෙන සිටි ලීලා බිම දණගසා ගෙන සිටියාය.

කොළොඹුවේ වාඩි වී සිටි මෙහෙකාරිය බිම වැතිර සිටියාය.

එනැමල් තේ කෝප්පය විසි වී තිබුනේ දොර උළුවස්ස ළඟට.

“මොකක්ද මේ වුනේ බේබි?” මෙහෙකාරිය හැඬුම්බර හඬින් අහන්නේ තවමත් බිම වැතිරගෙන.

“බයවෙන්න එපා කිව්වෙ ඒක තමයි,” ලීලා සැර කළේ ඇයට ද, නැත්නම් තමාගේ බිය අඩු කරගන්නට ද?

ප්‍රතිචාර 4 »

  1. Lassanayi!

    ප්‍රතිචාර විසින් sarath perera — අප්‍රේල් 6, 2013 @ 7:38 ප.ව.

  2. So Leela has gone a tour?

    ප්‍රතිචාර විසින් Jay — අප්‍රේල් 7, 2013 @ 1:34 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: