Sinhala story Blog

මාර්තු 30, 2013

කිබිසිනි -සියළු ආබරණ පැළඳ ඒවායෙන් අපූර්ව ගමන් ගිහින් අවසන් ද?

Filed under: Uncategorized — arunishapiro @ 8:27 පෙ.ව.

මඩ වතුරේ දිළිසෙන්නේ නා නා වර්ණ ඇබිත්තන් මැණික් ගල් ඇල්ලූ රත්තරනින් නිම කළ නූපුරයකි.

ගෙට ගොඩ වෙන්නට පෙර කකුල් හෝදන්නට තිබූ වතුර බාල්දියෙන් ලීලා එය සෝදා ගත්තාය. අල්ලේ තබාගෙන එය කෙසේ පළඳින්නක් දැයි ඇය කල්පනා කරන්නට වූවාය.

“ලීලා තාත්තා එනවා ඔන්න පඩිය නඟිද්දී පොඩ්ඩක් බලන්න,” හති දමමින් තාත්තා පසුපස තවමත් දුවන අම්මා කියයි.

එහෙත් තාත්තා ගෙට ගොඩවෙන්නට පඩිය නැඟ්ඟේ නැත. නිවස අසලට අවුත් ඔහු ලීලා දිහා නොබලා ම ආපසු හැරී වෙනතකට ඇවිද්දේය.

“මම යන්නම් තාත්තා එක්ක, අම්මා ගෙට ගිහින් මහන්සි අරින්න,” ලීලා ආබරණය රැගත් අත සිරුර පිටුපසට ගෙන ගියත් අම්මාට ඇය කුමක් කරන්නේ දැයි නිච්චියක් නොවීය.

මවගේ මුහුණේ වූයේ කරකියාගත නොහැකි බවකින් ද පිරී ගිය තැති ගැන්මකි. ඇය ලීලා දෙසත් ගස් අතරින් කුමන මොහොතේ හෝ ඔවුනට නොපෙනී යා හැකි තාත්තා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ තෝරා ගැනීමක් කරන්නට අකමැත්තෙන්.

ලීලා කිසිත් නොකියා මව පසුකරගෙන තාත්තා දිහාවට දිව්වාය.

තාත්තා වත්ත පුරා ඇවිදමින් සොයන්නේ මේ ආබරණය ද? ඔහුගේ මතකයක් අවදි වී ඇත් ද?

ඔහු සමඟ ඇවිදින්නට ගිහින් කහපාටින් මැණික් ගලක් ඇල්ලූ රත්තරන් මුද්ද සොයාගත් හැටි ලීලාට මතක් විය. එය තමා පැළඳි නිසා ඔවුනට සියළු කරදර ළඟා වූවා යැයි ලීලාගේ සිත කෙනහිල්ල තවමත් ඇයට වදයකි.

තාත්තා යන්නේ වටපිට හෝ බිම බලමින් නොවේ. ඔහු හිස කෙළින් කරගෙන හැල්මේ යයි. ඔහු පසුපසින් යන ලීලාට මඳක් දුවමින් මඳක් හතිලමින් යන්නට සිද්ධ විය. තාත්තාත් සමඟ වත්තේ ඇවිද ඔහු මුද්ද අහුලා ගත් දිනය මතකයට නඟන්නට ලීලා උත්සාහ දැරුවත් එය පහසු නොවීය.

එදා තාත්තා මිදුලට බැස්සේ ලීලාටත් එන්න කියමින්. වැස්සක් නිසා ගසක් කඩා වැටුණු බවක් කියමින් අම්මා කළ දොස් මුරයකින් ගැලවෙන්නට නොවේ ද?

වැස්සකින් පසු සොයාගන්නට ලැබෙන මෙවැනි අබරණ වලින් ඉස්තෝප්පු කාමරයේ සඟවා ඇති පෙට්ටිය පුරවන්නට ඇත්තේ තාත්තා නම් ඔහු එහි සියළු අබරණ පැළඳ ඒවායෙන් අපූර්ව ගමන් ගිහින් අවසන් ද?

දැන් හමුවෙන අලුත් අබරණ ඔහු යා යුතු තැන් පිණිස ලැබෙන ඒවා ද?

“තාත්තේ, අපි යමු ගෙදෙට්ට. මේක මට හම්බ වුනා,” තවත් පියවරක් තබන්නට නොහැකි ලෙසින් ඉදිරියෙන් හිටගෙන ලීලා තාත්තාගේ අතේ එල්ලුනාය. ඔහුගේ දෑස් වලට හසුවන්නට ලීලා අත උස්සා නූපුරය එහාට මෙහාට සෙලෙව්වාය.

ඔහු නැවතිණ. නූපුරය දෙස බැලීය. අනතුරුව ලීලා දෙස බැලුවේය. යමක් කියන්නට ගියත් හඬක් පිට නොවීය. ලීලා නූපුරය ඔහු අත තබන්නට අල්ල හැරවීය. එහෙත් ඇය කරන්නට යන්නේ කුමක් දැයි දත් ලෙසකින් අත අහක් කරගන්නට උත්සාහයක් ගනිමින් ඔහු එපා යැයි කියන්නට ඔළුව වැනීය.

“ඇයි එපා?”

ඔහුගේ දෑස් තියුණු ය. යමක් කියන්නට ගන්නා උත්සාහයකින් ද ඒ කාර්යය කරගැනීමේ නොහැකියාවෙන් යුතු අඩපණ බැවින් පිරී ගිය නොඉවසුම් ගතියකින් ද යුතුය.

“මටත් යන්න පුලුවන්,” ලීලා වචනයෙන් වචනය එකින් එක හෙමිහිට ව්‍යක්තව උච්චාරණය කළාය.

ඔහුගේ දෑස්වල පැතිර ගියේ සතුටක් ද, සැනසුමක් ද, අසරණ බවක් දැයි හරි හැටියට කියන්නට ලීලාට නොහැකි වුනත් ඒ වදන් ඔහු වටහා ගත්තා යැයි ඇයට නිශ්චිතවම පැහැදිලි වුණි.

“ලීලා .. බේබි .. ලීලා …” අම්මාත් මෙහෙකාරියත් ඔවුන් සොයාගෙන ඇවිදින්.

ඔවුන්ගේ කටහඬින් තිගැස්සුණු තාත්තා විඩාබරිත ලෙසකින් මඩේ වාඩිවෙන්නට ගියේය.

“අනේ බේබි ලොකු මහත්තයට මඩේ වාඩිවෙන්න දෙන්න එපා,” මෙහෙකාරිය දුවගෙන එයි.

“ලීලා තාත්තව අල්ල ගන්න, ඔන්න වැටෙයි වැටෙයි,” අම්මා කිව්වේ ඔවුන් අසලටම වේගයෙන් ඇවිත්.

ලීලා අල්ලා ගන්නට පෙර අම්මා සහ මෙහෙකාරිය ඔහුව වත්තන් කරගත්හ. ඔවුනට අවනත වෙමින් තාත්තා නිවස බලා පිටත් වූයේ වරදක් කර අසුවුන කුඩා ළමයෙක් ලෙසිනි.

ඔහුගේ අවදි තත්වය යළි මැකී ගිය බව කියන්නට ඔහුගේ මුහුණ බලන්නට ලීලාට අනවශ්‍යයය. නූපුරයේ හැඩ බලමින් ඔවුන් පසුපසින් පිය මැන්න ලීලා කල්පනා කළේ ඊ ළඟට තමන් විසින් කළ යුත්ත කුමක් දැයි කියාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: