Sinhala story Blog

මාර්තු 22, 2013

කිබිසිනි -සීනි ටිකක් ගෙනැත් දීලා ඔක්කොම ශේප් නේද?

Filed under: Uncategorized — arunishapiro @ 8:15 පෙ.ව.

හදිසියේ කඩා වැටුණු ධාරානිපාතයෙන් බස් රථයෙන් බැසි ලීලාත් මෙහෙකාරියත් ඇඳුම් ඇඟට ඇලෙන ලෙසින් තෙත බරිතව තෙමී ගියහ.

කාලයකට පස්සේ ගෙදරින් බැහැරක ගිය නිසාවෙන් ඇති වූ ගමනේ විඩාවත්, පුස්තකාලයේ ක්ලාන්ත වී වැටීමේ සිද්ධියත් දෙකෙන් ම කරකියා ගත නොහැකි ලෙසකින් සිතින් ගතින් දෙකෙන් ම හෙම්බත් වී සිටි ලීලා සහ මෙහෙකාරිය එකිනෙකා දිහා බලා අද දවස විශ්වාස කරන්න පුලුවන් දැයි වචන නැතිව අසන බැල්මක් හුවමාරු කර ගත්හ.

හංදියේ සියදෝරිස් කඩේ ලෑලි කිහිපයක් වසා තිබුනේ ඇතුලට වැසි වතුර වැදෙන නිසා. ලීලාත් මෙහෙකාරියත් ලෑලි වලට පිට දී බඩු මලු දෙන්නා මැද්දෙන් තියාගත්තේ වැසි වතුරෙන් ඒවා ආරක්ෂා කරගන්නට.

“අපරාදේ තෙමුනොත් බඩු ඔක්කොම නරක් වෙයි,” ලීලා සිතුවාය.

“අපරාදේ තෙමුනොත් සීනි ටික දියවෙලා යාවි,” මෙහෙකාරිය සිතුවාය.

ඔවුන් දෙදෙන එකිනෙකාට තවත් ළං වූහ. කඩය ඉදිරියෙන් චිරි චිරි ගා වැස්සෙන් තෙමී ගිය රෝද වලට තිරිංග අල්ලමින් නැවැත්වූ බස් රථයක් ඔවුන් දෙදෙනාවම වැසී යන සේ වැසි වතුර පහරක් ඉලක්කයට එල්ල කරන්නට සමත් විය.

හදිසියේ හටගත් ධාරානිපාතය හදිසියේ ම අවසන් විය.

බොරළු කැට මෙන් බිමට ඇද වැටුණු වැසි බිංදු හඬ නැවතී කුරුල්ලන් ගේ කිචිබිචිය පටන් ගන්නා හඬ ඇසුණි.

ලීලා ගේට්ටුව ඇර වත්තට අඩිය තබා හුන් තැනම නතර වූවාය. ඇයගේ පිටුපසින් ඇතුලට ආ මෙහෙකාරිය නැවතුනේ ලීලාගේ ඇඟේ වැදී.

තාත්තා වත්ත පුරා වේගයෙන් ඇවිදියි. අම්මා කඩා වැටෙන සාරිය පටලවා ගන්නට වෑයම් කරමින් තාත්තාගේ පිටුපසින් දුවයි.

“අපි මේ බඩු කුස්සියේ දාලා ඇඳුම් මාරැ කරගෙන ඊට පස්සෙ හොයමු මේ මොකද වෙන්නෙ කියලා” ලීලා සංසුන් හඬින් කීවාය.

“ගේට්ටුවට ඉබ්බා දාලාම යමු බේබි,” මෙහෙකාරියත් ලීලාගේ ස්වරයෙන් ම කීවාය.

දැන් අපි දෙන්නටයි වගකීම් බාරගන්න වෙලා තියෙන්නෙ, ඉස්තෝප්පුවට අඩිය තියද්දී ලීලාට සිතිණ.

ලීලා ඇඳුම් මාරු කළාය. සාළුවක් තෙත් වී යනතෙක් ම ඔළුව පිස දා ගත්තාය. ඇය මුළුතැන්ගෙයට යද්දී මෙහෙකාරිය ඇඳුම් මාරු කර, කොණ්ඩය වේලෙන්ට දිග හැර තබාගෙන, බඩු අඩුක් කරන්නට පටන් ගෙනය. ලිප මත වතුර කේතලයකි.

“තේ?”

“ඔව්, නෝනයි මහත්තයයි ඇතුලට ආවම තේ බොමු.”

“පුස්තකාලේ දී වෙච්ච ..”

“මම නෝනට කියන්නෑ, බේබිට ඕන විදියක් කරන්න. මේ වෙලාවේ ලොකු මහත්තයටයි නෝනටයි වඩා බේබි දන්නවා මොකක් ද කරන්න ඕන කියල.”

“සීනි ටිකක් ගෙනැත් දීලා ඔක්කොම ශේප් නේද?” ලීලා ඇසුවේ සිනාවකින්.

“අනේ බේබි, …” කියන්න ගිය වදන් කියාගත නොහැකිව මෙහෙකාරියගේ දෑස් කඳුළු බිඳු වලින් පිරී ගියේය.

“විහිළුවක් කළේ, අඬන්න දෙයක් නෑනේ,” මෙහෙකාරියගේ ලිහා දැමුණු කොණ්ඩයෙන් අගිස්සක් අල්ලා නොරිදෙන සේ හෙල වූ ලීලා කීවාය. “මං ගිහින් අම්මවයි තාත්තවයි තේ බොන්න එක්කන් එන්නම්,” කියූ ලීලා තවත් හිත රිදවන වදනක් පිටවෙන්නට කළින් එතැනින් පිට වී ගියාය.

මුළුතැන්ගෙයි පැත්තෙන් එළිපත්තට බැස්ස ලීලා වත්ත සිසාරා බැලුවේ දෙමව්පියන් ඉන්නා අතක් සොයාගන්නටයි. එහෙත් ඇයගේ රබර් සෙරෙප්පුවට දැනුනේ පඩිය අයිනේ පීල්ලකින් ගසා ගෙන ආ වතුර ගොඩක් මැද්දේ නළියන්නකි. ඇය රබර් සෙරෙප්පුව උස්සා අඩියට හසුවූයේ කුමක් දැයි බැලුවාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: