Sinhala story Blog

මාර්තු 3, 2013

කිබිසිනි -මම අඳුන්නලා දෙන්නම් ඕනෑම පොතක නමක් දන්න කෙනෙක්ව

Filed under: Uncategorized — arunishapiro @ 5:25 පෙ.ව.

“ඔය ළමයා, ඔය බඩු මළු උස්සන් ඉන්න ළමයා, ඕවා අරන් එන්න බෑ පුස්තකාලේ ඇතුලට.”

ලීලා වටපිට බැලුවාය.

“ඔව්, ඔය ළමයට තමයි කියන්නෙ,” මැදිවියේ කාන්තාවක් ඇය දිහා සැර පරුෂ දෙනෙත් එල්ල කරගෙන සිටින්නීය.

ලීලාට තම අත්වල එල්ලෙන බඩු මළු ඇතිබව මතක් වුනේ එවිටයි. පුස්තකාලය අයිනේ කාණු ගැට්ටක වාඩි වී සිටින කාන්තාවන් කිහිප දෙනෙක් දැක, හති දමමින් දුව ආ මෙහෙකාරියටත් එතැනින් වාඩි වෙන්නට සලස්වා බඩු මළු ඇය ළඟින් තබා ලීලා ආපහු පුස්තකාලයට දිව්වාය.

“පුස්තකාලයක් කියන්න සංසුන් පරිසරයක්. දාංගලයක් තියෙන අයට හදලා තියෙන තැනක් නෙමෙයි මේ,” අර කාන්තාව ලීලාට කීවේ හිසේ සිට පාදාන්තය තෙක් නෙත් යොමුකර තමන් දැක්ක කිසිවක් කිසිසේත් ම අනුමත කරන්නේ නැතැයි කියන බැල්මක් හෙළමින්.

“පොතක් ගැන අහගන්න ආවේ?”

“මොකක් ද නම?”

“පොතේ නම දන්නෙ නෑ.”

මැදිවියේ කාන්තාව අවඥා සහගතව සිනහා වූවාය. හීන්දෑරී වයසක මහත්තයෙක් කාමරයක දොරක් හැර එළියට එන සද්දයෙන් මැදිවියේ කාන්තාව තුල යම් තැති ගැන්මක් සිද්ධ වූ බව ලීලාට සිතුණි.

“ඇයි මිස් ප්‍රියදර්ශනී?”

“සර්, මේ ළමයා පොතක් හොයන්න ඇවිල්ල, ඒත් පොතේ නම දන්නෙ නැහැල්ලු.”

“එන්න මම අඳුන්නලා දෙන්නම් ඕනෑම පොතක නමක් දන්න කෙනෙක්ව,” ඔහු හැරී පොත් රාක්ක මැදින් ඇවිද ගියේ ලීලා පසුපසින් එනවා දැයි නොබලාම. ලීලා ආපහු හැරී බැලුවා නම් මිස් ප්‍රියදර්ශනී ගේ මුහුණේ කිසිම ප්‍රිය දර්ශනයක් නොමැති බව දකිනු ඇත.

තලතුනා කාන්තාවක් උපැස් යුවළක් අස්සෙන් දිග හැරුණු රෙජිස්තරයක කුරුටු ගායි.

“කෝ සුරම්‍යා මිස්?”

“අලුත් පොත් වලට කාඩ් ලියනවා සර්.”

“එළියට ඇවිත් මේ ළමයාට පොතක් හොයාගන්න උදව් කරන්න කියන්න,”

“හා සර්.”

“ඇතුලට යන්න එපා, මෙතෙන්නට ඒ මිස් ඒවි,” කියූ සර් වෙනතක ගියේය.

ලීලාට වඩා වැඩි වයසක් නොවූ තරුණියක් සිනා මුහුණින් ඇය වෙත එයි.

“මොකක්ද ඔයාට හොයාගන්න ඕනෑ පොත?”

“ප්‍රංශයේ හිරගෙයක් ඇතුලේ කතාවක් … ”

“මනුතාපය?”

“නෑ මේක ග්‍රීෂ්ම පරිසරයක, ලංකාවේ වගේ දේශගුණයක් … මඩ පිරිලා තියෙන, මැස්සො මදුරුවෝ පිරිච්ච තැනක තියෙන සිරගෙයක් … ඒ මිනිස්සුන්ට කන්න අඳින්න නැහැ .. ටින්කිරි ටින් කාලා ජීවත්වෙන කෙනෙක් ගැනත් තියෙනවා..”

ලීලා තව කරුණු මතක් කරගන්නට උත්සාහය කළාය.

සුරම්‍යා මිස් යටි තොලේ කොණක් දතින් හපමින් කල්පනා කරන්නීය.

“ඉංග්‍රීසි කතන්දර පොතක් වෙන්නැති එහෙනම් .. තවම සිංහලෙන් ලියැවිච්ච නැති.”

“ඔව්, ඔව් එහෙම එකක් වෙන්න ඕන.”

“ඔයාගේ නම මොකක් ද?”

“මම ලීලා.

“මම මිස් සුරම්‍යා. ආයේ දවසක එන්න පුලුවන් නම් මම ටිකක් හොයලා බලන්නම්,” ඇය තොල සැපීම නතර කර ඇත.

“වෙන පොතක් ගැන අහන්න ද?”

“අයියෝ ඕන පොතක් ගැන අහන්න නංගි.”

ලීලා මිස් ප්‍රියදර්ශනී හිටගෙන සිටි තැන දිහා බැලුවේ නිතැතයෙන්.

මිස් සුරම්‍යා වෙතින් කිංකිණි හිනා හඬක් පිටවිය, “මිස් ප්‍රියදර්ශනීව ගණන් ගන්න එපා, එයා පුස්තකාලේ එයාගෙ කියල හිතාගෙන ඉන්නෙ,” ඇය කීවේ පහත් ස්වරයකින්.

“මේක ගොඩාක් ම ගොඩාක් ඉස්සර කාලෙක වෙච්ච කතන්දරයක් මම හිතන්නෙ. මේකත් ප්‍රංශයේ. 1819 වසර. ඩැනියේ ඩ’ආර්තේස් කියල කඩවසම් තරුණයෙක් ඉන්න, එයාට ලුසියන් කියල යාළුවෙක් ඉන්න කතාවක්. ඒ පිරිමි ළමයි දුප්පත් ඒත් ඒ අය හොඳ අධ්‍යාපනයක් තියෙන …”

“…. රචකයෝ, ලේඛකයෝ කවි ලියන අය එහෙම නේද?” මිස් සුරම්‍යාගේ දෑස් කාන්තියෙන් පිරී ඇත.

“ඔව් ඔව් එහෙම කට්ටියක් තමයි.” ලීලා උනන්දුවෙන් කීවාය.

“අනුමානයක් නැහැ එහෙම නම් කතාව හොනරේ බල්සැක් ලියපු එකක් වෙන්න ඕනෑ. එයා ප්‍රංශයේ ඔය යුගය ගැන මහා දිග කතාවක් ලියලා තියෙනවා පොත් තුනකින්, ඒ පොත් තුනේ එක පොතකුත් හෙන දිගම දිගයි. මට මතක හැටියට ‘දුප්පත් ඥාතියෝ’ කියලා. හැබැයි ඒවයේ කොයි එකේ ද ඔය ඩැනියෙල් ඩ’ආර්තේස් කියන චරිතයයි ලුසියන් චරිතයයි තියෙන්නෙ, එයා නම් කර්තෘවරයා, එහෙම නම් ඒක හොයාගන්න ලේසි නැහැ.”

“පොත් තුනම කියවන්න වෙයි නේද?” ලීලා ඇසුවාය.

“ඒ ඇරෙන්නට වෙන කතන්දර පොතුත් එයා ලියලා තියෙන නිසා,” මිස් සුරම්‍යා කීවේ උදව් කරන්නට බැරි වූවා සේ ය.

“මිස් සුරම්‍යා ..”

“ඔව් ලීලා?”

“මේ පුස්තකාලයේ සාමාජිකත්වය ගන්නෙ කොහොම ද? පොත් කීයක් ගෙදර අරන් යන්න දෙනවා ද?”

“පොත කියවන්න ඕනෑ විභාගෙකට ද?”

“ම්හු … නැහැ .. ඔව් … මේකත් එක විදියක විභාගයක් තමයි මට හිතෙන්නෙ. ජීවිතේ විභාගයක්,” ලීලා පුස්තකාලයේ පොත් රාක්ක පිරී ඇති ආකරය දිහා වටපිට බලමින් මුමුණද්දී මිස් සුරම්‍යා ගේ මුහුණ කුතුහලයෙන් පිරී ගිය හැටි ඇය නොදැක්කාය.

ප්‍රතිචාර 4 »

  1. නම ප්‍රියදර්ශනි උනාට වැඩ (අ)ප්‍රියදර්ශනී යයි වගේ. මේ වගේ අය පුස්තකාලේ විතරක් නෙමෙයි හැම රජයේ ආයතනයකම 95%ක් ම ඉන්නවා..හැබැයි ලීලා වගේ අයත් අද ටිකක් හොයා ගන්න අමාරයි. මේ වගේ ලීලලා ගොඩක් මේ සමාජෙ ඉක්මනට බිහිනොවුනොත් තවතවත් රට අප්‍රියදර්ශනීය වේ.

    ප්‍රතිචාර විසින් Prabhath — මාර්තු 3, 2013 @ 8:04 පෙ.ව.

    • Eugénie Grandet is an 1833 novel by Honoré de Balzac. මෙය සිංහලට එම නමින්ම පරිවර්තනය කර ඇත.

      ප්‍රතිචාර විසින් sudheera gunasekara — මාර්තු 3, 2013 @ 9:29 පෙ.ව.

      • sudheera gunasekara,

        ඉතාමත් ස්තූතියි එය එකතු කළාට. පරිවර්තනය කළ කර්තෘ කවුදැයි කියන්නටත් හැකි නම් තවත් අගෙයි.

        ලීලා ගියේ Lost Illusions වලට.

        ඒකත් සිංහලට පරිවර්තනය වෙලා නම් කරුණාකරලා කියන්න. එතකොට ප්‍රබන්ධයේ කතා රසය වැඩිවෙන්නට ඒ අනුව සංශෝධනය කළ හැකියි.

        ප්‍රතිචාර විසින් arunishapiro — මාර්තු 3, 2013 @ 12:03 ප.ව.

    • Prabhath,
      🙂

      ප්‍රතිචාර විසින් arunishapiro — මාර්තු 3, 2013 @ 11:59 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: