Sinhala story Blog

පෙබරවාරි 18, 2013

කිබිසිනි -හැම වතාවක්ම අලුත් අත්දැකීමක් ලෙසින් ඔහු දකිනවා ද?

Filed under: Uncategorized — arunishapiro @ 2:24 ප.ව.

ලීලා නින්දෙන් අවදි වූයේ පුස්තකාලය, පුස්තකාලය යැයි සිත හඬගා කියද්දී.

ඇය ඇඳෙන් නොබැස අත දිගුකර බිමට වැටුණු පෑන අහුලා ගෙන කොපි පොත යළි දිග හැරියාය. ඇය එහි අලුතින් ලියාගත් පේලි නැවත නැවතත් කියෙව්වාය.

ඇයි ඒ පුස්තකාලයකට යන්න තහනමක්?

වංගගිරිය මුදුනේ තිබූ එයත් ඉස්තෝප්පු කාමරය වැනි අපූර්ව හාස්කම් දක්වන තැනක් නිසා ද? එහෙම නම් එහි හාස්කම කුමක් ද?

ඒ ගිය තැනට වඩා අතුරු සිදුරු නැතිව තමන්ගේ ගෙදර ඉස්තෝප්පු කාමරයේ පොත් ගොඩ ගසා ඇතැයි ලීලාට හොඳටම විශ්වාසයි. ඉතින් එහෙනම් පුස්තකාලය ගැන සෙවිය යුතු යැයි හිත කියන්නේ තමන්ගේ ගෙදර වූව ගැන ද? කෝ, මෙච්චර දවසක් හෙව්වා ඒත් ඉස්තෝප්පු කාමරයේ පොත් වලින් සොයා ගත් වැදගත් යමක් අහුවුනේ නැහැනේ, ඇය තමාටම කියාගත්තාය.

වංගගිරියට ගිහින් ලබාගත් හෝඩුවාව ගෙදර තියෙන දෙයක් ගැන හොයලා බලන්නට යැයි කියන එක වෙන්න බැහැ. ගිය තැනේ සිටි වැඩිහිටි පුරුෂයා වෙද හෙදකම් දන්නා අයෙක් යැයි තමන්ට අහන්නට ලැබුනේ වැදගත්කම එයැයි ඇය එහි දී සිතුවත් ආපසු එන්නට සිද්ධ වීම නිසා එම වැදගත්කමෙන් ඇති වාසිය කුමක් ද?

ඔහු සමඟ කතාබහ නුසුදුසු නම් ආපසු එහි යෑමෙන්, ඵලක් ලැබේවි ද? ආපසු එතැනටම යන්න හැකියාවක් ඇත් ද?

ඇය ඇඳෙන් බිමට බැස්සේ තවත් ගුලි ගැසී නිදන්නට හැකි නම් අගනේ යැයි පුංචි නොරිස්සුමක් එක පැත්තකින් ද, වෙන වේලාවකට කල් දාන්න බැහැ, දැන් ගිහින් හොයලා නොබැලුවොත් අවුල් ලිහා ගන්නට හැකි යමක් අතපසු වේවි යැයි අනෙක් පැත්තකින් ද හිතේ කඹ ඇදිල්ලක් සිද්ධ වෙද්දීය.

ඔළුවේ බර සැහැල්ලු වී නැත. තව ටිකක් පියාගෙන ඉන්නවා නම් වඩා කැමතියි කියන්නාක් මෙන් ඇස් අඩවන් වෙයි. ඇඳෙන් නැඟිටින්නට එරෙහි වෙමින් එක කකුලක් මඳක් වෙව්ලා ගියේය. විඩාව පහ වී යනතෙක් ආපසු ඇඳේ වැතිරීම පහසුවෙන් කළ හැකිය. එහෙත් ලීලා අපහසුවෙන් කළ යුත්ත තෝරා ගත්තාය.

“බත් පිළුණු වෙන්න කළියෙන් කෑවා නම් හරි බේබි. උදේ උයපුවා ඔන්න මං ආයෙත් රත් කළා,” කාමරයට එබෙමින් මෙහෙකාරිය කියුවාය.

“තාත්තා නැඟිටලා ද?”

“ඔව්, නෝනා රස අඹ මාළුවකුත් හදලා ඔන්න බත් කවනවා.” ඇය දොර උලුවස්සට හේත්තු වී කුමක් හෝ කියන්නට අදිමදි කරන්නීය.

“අඹ පැහිලා ද?”

“ඔව්.”

“ඉදෙන්න කළින් අඹ චට්නි දාන්න සීනි ඕනෑ නේද?” ලීලා හිමිහිට ඇසුවාය.

මෙහෙකාරිය පුළුල් සිනාවක් පා හිස වැනීය.

“මම සීනි ගේන්නම්. අම්මාට කියන්න ඕනේ නෑ.”

මෙහෙකාරියගේ සිනාව තවත් පුළුල් විය. ලීලා පසුපසින් කෑම මේසය කරා ආ ඇය ලීලාට වාඩිවෙන්නට පුටුව ඇද දුන්නාය. අත හෝදන්නට වතුර කෝප්පයකුත් බොන්නට වතුර වීදුරුවක් වත්කර ලීලාගේ පිඟාන අසලින් තබා කිසිත් වදනක් නොදොඩා ඇය මුළුතැන්ගෙයට රිංගා ගත්තාය.

කෑම මේසයට වාඩි වී සිටින තාත්තාට බත් ගුලි කරමින් කවන අම්මා දිහා බලමින් ලීලා පිඟානට බත් බෙදාගත්තේ කුමක් හෝ අඩුපාඩුවක් ඇතැයි හැඟීමකින්. තාත්තා ලීලා දෙස කිහිප වරක්ම බැලුවත් ඇය කවුදැයි හඳුනාගත් බවක් නොපෙනුණි. ඔහු අම්මා දිහා ද බැලුවේ එවැනිම හිස් බැල්මකින්.

බත් ගුලිය මුව අසලට එද්දී ඔහු කට හරිනවා ද නැත්නම් ඒ දිහා විශ්මයෙන් බලද්දී කට ඉබේම හැරෙනවා ද?

අඹ මාළුවේ සැඟවුන කරපිංචා කොළ සූප්පු කරන සිරිතක් ලීලාට තිබිණ. ඇයටත් නොදැනුවත්වම ඇගේ ඇඟිලි මුලින්ම ඇදුනේ කරපිංචා කොළයකට. එය කටේ දමා ගන්නවාත් සමඟ ආහාර සමඟ සෙල්ලම් කරන්නට එපා යැයි අම්මා කියන්න මතක් වූ ලීලා කිසිවෙක් අවවාද කරන්නට මත්තෙන් අනාගත් බත් ගුලියක් ද කරපිංචා කොළය හා එකතු කළාය. තාත්තා ගේ ඇස් ලීලා ගේ ඇස් හමුවිණ. වෙනදා ඇසක් ගසා අම්මාට හොරෙන් මගෝඩියට උල් පන්දම් දෙන තාත්තා මෙදා එය හඳුනාගත් බවක් නොපෙනුණි. ඔහු මුව අසලට ආ තවත් බත් ගුලියක් දෙස පුදුමයෙන් බලා එය කටට වැටුනු පසු විකන්නට පටන් ගත්තේය.

බත් කටක් කටට වැටෙන හැම වතාවක්ම අලුත් අත්දැකීමක් ලෙසින් ඔහු දකිනවා ද?

හදිසියේම, දෙමව්පියන් දෙදෙනාම නිහඬ බව කෑම මේසයේ පවතින අඩුපාඩුව යැයි ලීලාට පසක් විය.

තේ පොවද්දී, බත් කවද්දී තාත්තාට රටේ තොටේ විස්තර කියූ අම්මා එය නවතා දැම්මේ කවදා ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: