Sinhala story Blog

පෙබරවාරි 10, 2013

කිබිසිනි -තාත්තා මහ දවාලේ බිම නිදියන්නට පටන් ගත්තොත්?

Filed under: Uncategorized — arunishapiro @ 7:40 පෙ.ව.

“ඇඳෙන් වැටුනේ නෑ මයෙ හිතේ, ඇඳ කියලා හිතාගෙන ඔය බිමට වෙලා නිදි වෙන්නැති.”

“ඔව් වැටෙන සද්දයක් ඇහුනෙ නෑ නෝනා.”

අම්මාත් මෙහෙකාරියත් කසුකුසුවේ දොඩන්නේ පැදුරක්, ඇතිරිල්ලක් නොමැතිව සිමෙන්ති පොළවේ නිදිගත් තාත්තාව නැඟිට්ටවා ගන්නේ කෙසේ ද කියාය.

තමන් ගිය ස්ථානයේ දිගු කාලයක් ගෙවා දැම්මත් ලීලා ආපහු නිවසට ඇවිත් ඉන්නේ පිට වී ගියාට පසු තත්පරයක් හෝ ගෙවී නොගිය ලෙසකටය. දෙමව්පියන්ගේ කාමරය ලීලා පසුකරගෙන ගියේ අමතක වෙන්නට පෙර සිද්ධ වූ සියල්ල ඇයගේ කාමරයේ වූ කොපි පොතේ ද ලියා තියන්නට.

“බත් ලෑස්තියි දවල්ට කන්න,” මෙහෙකාරිය අම්මාට කියුවාය.

“ඊයේ හරියමකට නිදාගත්තෙ නැති නිසා ඔන්න ඔහෙ නිදාගත්තාවේ,” තාත්තාව නැඟිට්ටවන අදහස අත්හැර දමමින් අම්මා මෙහෙකාරියට රහසින් කියනවා ලීලාට ඇසුණි.

“මං හදල දුන්න තේ කෝප්පෙටත් සීනි නැහැයි කියලා නොබී හිටියෙ නෑ,” මෙහෙකාරිය කාමරයෙන් එළියට එමින් කිව්වේ තාත්තාගේ තේ කෝප්පයට සීනි නැතිකම නිසා නොව ඇයගේ තේ කෝප්පයට සීනි නැතිකම නිසා යැයි පසක් වූ ලීලාගේ මුව’ග සිනාවක් මෝදු විය. සීනි බෝතලය හිස්වී තිබීම කුස්සියේ දැඩි අඩුපාඩුවක් ලෙසින් මෙහෙකාරිය සලකන්නීය.

තාත්තා මහ දවාලේ බිම නිදියන්නට පටන් ගත්තොත්?

හැම දෙයක්ම කලට වේලාවට, සකසුරුවමට සහ විශිෂ්ඨ ලෙසින් නිම කරන්නට හුරු වී සිටිනා අම්මා එයින් පත්වෙන දොම්නස් තත්වය ගැන ලීලාට සිහිවී මුව’ග මෝදු වූ සිනාව මැකී ගියේය.

ඉස්තෝප්පු කාමරයට ගෙන ගිය කොපි පොතේ සටහන් තැබූ සියල්ල නිදන කාමරයේ ඇති පොතේ ද ලීලා පිටපත් කරන්නට පටන් ගත්තාය. එසේ පොත් දෙකක ලිවිය යුත්තේ මන්දැයි සිත කිව්වාට ඒ ඇයිදැයි ඇය විමසන්නට ගියේ නැත.

“ලෝකය අපිට දෙන සාක්ෂි හඳුනාගන්න, මා හිතවත් ඇඩ්සෝ,” ඇය මුලින්ම ලියුවේය.

කොයි රට ද? සීතල රටක්.

කොයි කාලය ද? ආදී කාලේ!!!

“භාෂාව: ?” යැයි ඇය ලියුවේ ඔවුන්ගේ කතාබහ වැටහුනාට එය කුමන බසකින් සිද්ධ වූවා දැයි නොදත් නිසා.

කාපු දේවල්: වෙරළු, චීස්, පාන්, වියළි මුද්දරප්පලම්… මුද්දරප්පලම් රහයි ඒත්, චීස් රහ නැහැ.

හමු වූ අය: වැඩිහිටි පිරිමියෙක් සහ තරුණයෙක්. නෑ නෑ ඒ දෙන්නාව හමුවුනේ නෑ! දැක්කා පමණයි.

ස්ථානය: වංගගිරියක් ? හැමෝටම ඇතුල්වෙන්නට අවසර නැති තැනක්.

දැනගත් දෙය: වැඩිහිටියා වෙද හෙදකම් දන්න බව.

ලීලා අතේ වූ රිදී පොට ගලවා ආපහු එන්නට තීරණය කළේ හැමෝටම ඇතුල්වෙන්නට අවසර නැති තැනක් බව ඔවුන්ගේ කතාවෙන් දැනගත් නිසාම නෙමෙයි. ඇයගේ සිත ඔවුන්ට අසුවෙන්නට එපා යැයි තදින්ම කියා සිටි බැවිනි. ලීලා පෑනේ කොණක් මුවේ රුවාගෙන කල්පනා කළේ සිතට සවන් දෙන්නට තමා පටන් ගත්තේ, තම සිත තමාට කතා කරන බව වටහා ගත්තේ තාත්තාගේ අසනීපය හටගත් සමඟින් බව මතක් කරගනිමිනි. එය කොපි පොතේ සටහන් කළ යුතු ද?

ඇය කොපි පොතේ පිටු පෙරලුවේ තම ගමන ගැන තව ලියන්නට අවශ්‍ය විස්තර මොනවා දැයි සිතාගත නොහැකිව.

“කවියෙක් වෙන්න අකුරු කුරුටු ගෑවට බැහැ, හද කකියන අත්දැකීමක් අත්විඳින්නම ඕනෑ.” හෝඩුවාවක් අල්ලා ගත් ගමනකින් පසු ලියාගත්ත ඇය නැවතත් කියෙව්වාය.

ලීලාගේ හද කකියන අත්දැකීම තාත්තාගේ අසනීපය ද?

“යමක් සඳහා කැප කිරීමක් නොකළොත් එහි දී ලැබෙන ඵලය අගයෙන් අඩුයි.”

ඇය කැප කරන්නේ කුමක් ද? අම්මා කරන කැප කිරීම කුමක් දැයි ලීලාට සිතාගත හැකිවුවත් ලීලා ඇත්තෙන්ම යමක් කැප කරනවා දැයි කියා ඇයට සිතාගත නොහැකි විය. තාත්තාගේ අසනීපය නිසා විභාගයට පාඩම් කිරීම ඇණහිට නැත. වෙනදාට වඩා කාලයක් ගෙදර වැඩ වලට යෙදෙව්වත් වෙනදා කරන කිසිවක් ඒ නිසා කියා මඟහැරී ගිහින් ද නැත.

මා මෙච්චර කාලයක් කාලයට කිසිත් වැදගත් කමක් නොදී ඔහේ ගෙවී යන්නට ඉඩ දී සිටියේ ද? ඇය කල්පනා කළාය. ඇය එකින් එක පිටු පෙරළමින් නැවතත් පොතේ මුලට පැමිණ තිබුණි.

“දැන් ම කාටවත් කියන්න අවශ්‍ය ද?” යැයි ලීලා කොපි පොතේ මුලින්ම ලියා තිබුණි. එතැන ඇය ‘අම්මා!’ යැයි ලියුවේ අම්මාට කියූවා යැයි සටහනක් ගැසිය යුතු නිසාම නෙවෙයි. නැවතත් මුල සිට අගට තමා ලියාගත් සටහන් කියවාගෙන ගිය ලීලා මෙවර ගමනෙන් දැනගත්තේ අවුල ලිහා ගන්නා කුමන ක්‍රමයක් දැයි කල්පනා කරමින් ඇඳේ වැතිරුනාය. ගැලවිය නොහැකි නිදිමතක් සිරුර වෙළා ගනිද්දී, ඔසවන්නට නොහැකි ලෙසින් ඔළුව බර වෙද්දී, මුවේ රඳවා ගත් පෑන ඇඳටත් ඇඳෙන් බිමටත් වැටී පෙරළී යද්දී, ඔළුවේ කොහේදෝ කොනක ‘වංගගිරියේ උඩ තිබ්බේ පුස්තකාලයක්’ යැයි සිතුවිල්ල ඇයගේ සිත කොනහන්නට විණ. එය කොපි පොතේ සටහන් කරගන්නට පෙර ඇය නින්දට වැටුනාය.

ප්‍රතිචාර 2 »

  1. අපිටත් වංග ගිරියට යන්න වෙයිද?

    ප්‍රතිචාර විසින් Jay — පෙබරවාරි 11, 2013 @ 6:43 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: