Sinhala story Blog

පෙබරවාරි 2, 2013

කිබිසිනි -වයින්, චීස්, ඔලිව්, පාන් සහ අනගි මුද්දරප්පලම්

Filed under: Uncategorized — arunishapiro @ 9:59 පෙ.ව.

කතාබහ නතර කළ දෙදෙනා පන්දම් අතැතිව එළියට ආහ.

පන්දම් එළියෙන් පෙනුනේ හිසේ සිට පාද දක්වා ආවරණය වූ දිගු ලෝගු ඇඳගත් දෙදෙනෙකි. පළමුවෙන් පා තැබූ අය වැඩිමහල් බවත් පසුව ගමන් ගත්තා තරුණ වියේ බවත් ඔවුන්ගේ ගමන් විලාසයෙන් ලීලා අනුමාන කළාය. කිසිත් කලබලයක් නැතිව ඔවුන් වංගගිරිය හොඳින් දන්නා අය සේ ගමන් කළහ. පන්දම් එළිය නොපෙනී යනතුරු බලා සිටිය ලීලාට ඔවුන් නොපෙනී ගිය පසුත් හුන් තැනම වාඩි වී සිටියාය.

කිසිවෙකුටත් මෙහි ඇවිදින්නට අවසර නැත්නම් තමන් ද මෙහි සිටිය දී කිසිවෙකුටත් හසුවිය නොයුතු යැයි ඇයට පැහැදිලිය. රිදී පොට අත ගා බැලුව ද එය ගලවා නික්ම යෑමට කිසිත් අදහසක් ලීලාට නැත. මේ අයගේ, විශේෂයෙන්ම වැඩිමහල්ලා යැයි කියත හැකි වූවාගේ, දැනුමෙන් ඇබිත්තක් තමන් විසින් දැනගත යුතු නිසා මෙහි ආ බව දැන් ලීලා තරයේම විශ්වාස කරන්නීය.

අඳුරට හුරු වූ දෑසෙන් ඇය මෙතෙක් එහා මෙහා ගිය දැනුම පදනම් කරගෙන ඔවුන් හැර ගිය කාමරය වෙත යන්නට ගත් උත්සාහය මෙවර සාර්ථක විය.

දොර අගුල් ලා වසා ඇත. යතුරු හිලෙන් ඇතුලත බලන්නට ගත් උත්සාහයෙන් ඵලක් නොවිණ.

ඇය සුසුමක් හෙළා දොර අසලින් වාඩි වූවාය.

කොහේදෝ සිට ආ කළු මීයෙක් නැහැය හකුළුවමින් ඇය දෙස කුඩා රවුම් කළු පබළු වැනි ඇස් දෙකකින් බලා සිටියි. තව ළඟට එන්න එපා යැයි මීයාට සිතෙන් කියමින් ලීලා සෙමෙන් සිටගත්තාය. ලීලාව කිසි ගණනකට නොගත් මීයා ඇය පසුකරගෙන ගියේ හදිසි වැඩක් කරන්නට යන විලාශයෙනි. වෙන කරන්නට යමක් නොවූයෙන් ලීලා ද මීයා පසුපසින් අඩියක් දෙකක් තැබුවාය. ආරුක්කුවකට යටින් වූ අඳුරු මුල්ලක ගල් අතරින් වූ කුහරයකින් මීයා ඇතුලට ගියේ කාට තහනම් වුවත් මේ අඩවිය මගේ යැයි කියන්නාක් මෙනි. මීයා ගිය කුඩා කුහරයෙන් ඇතුලට යන්න ලීලාට නොහැකිය. ඇය පහත් වී කුහරයෙන් ඇතුලත බලනු පිණිස බිම දණගසා ගත්තාය. කුහරය දෙපැත්තෙන් බිත්තියේ දෑත් තබනවාත් සමඟ පස් බිඳිති බිමට ඇද හැලිණ. කුහරයෙන් ඇතුලත බලනවා වෙනුවට ඇය ගලක් සොලවන්නට ගත් වෑයම සාර්ථක විය.

ඇතුලත වූයේ බිම සිට සිවිලිම දක්වා ඉහළට යන සේ පිහිටා ඇති රාක්ක පිරැණ පුස්තකාලයකි. රාක්ක වල පරණ දිරාගිය පොත් දුහුවිල්ලෙන් පිරී ඇත. හණ පටියෙන් බැඳි රවුමට එතූ විශාල කඩදාසි යම් අනුපිළිවෙලකට තබා ඇතැයි ලීලාට සිතිණ.

කාමරයේ පැත්තක පරණ ලී මේසයක් අසල එක පුටුවකි. ඇය එතැනට යනවාත් සමඟ ලී මේසයේ කකුලක් දිගේ උඩට නැඟ එන මීයා යන්නේ මේසයේ වූ පිඟානක් වෙතට යැයි ද ලීලාට දකින්නට හැකිවිය. ඇය මීයා එතැනට එන්නට කළින් පිඟාන ඉවත් කළේ පුරුද්දකින් මෙනි. නැහැය හකුළුවමින් පිඟාන තිබූ තැන එය නැත්තේ මන්දැයි විමසා මොහොතක් පමණක් බලා සිටි මීයා සූදුරු ඇටයක හැඩයකින් වූ ඇබිත්තන් කළු මී බෙට්ටක් දමා එතැනින් හනිකට නික්ම ගියේය.

මීයා පරදවා ජයගත්තාය යන සිනාවක් ලීලාගේ මුවේ ඇඳිණ. තම අතේ වූ පිඟානේ ඇත්තේ මොනවා දැයි ඇය බැලුවේ එවිටයි. එහි වූයේ කවුරු හෝ යාන්තමින් ටිකක් කා වැඩිපුර කොටස ඉතිරි කරන ලද චීස් කුට්ටියකි. කැබලි වලට කඩන ලද පාන් සමඟ වෙරළු හැඩයෙන් යුත් දම්පාට ගෙඩි කිහිපයක් ද විය. ලීලා කිසිත් දිනෙක නොදැකි තරමින් විශාල වූ වියළි මුද්දරප්පලම් ද පැත්තකින් ගොඩගසා තිබුණි. වියළි මුද්දරප්පලමක් ලීලාගේ කටට ගියේ මේ කෑම පිඟාන කාගේ දැයි හිතන්නට කළින්. එය අනගි රසෙන් යුතු වූවකි.

ඇය පිඟානේ වූ චීස් කුට්ටියේ දත් පහර නැති පැත්තෙන් කෑල්ලක් ඇඟිලි වලින් ගලවා ගන්නට සමත් වූවාය. එහි රසයට ලීලා එතරම් කැමති වූයේ නැත. පාන් කැබැල්ල වියැළී ගොස්ය. දම්පාට වෙරළු හැඩයෙන් වූ ගෙඩියේ ඇතුලත වෙරළු ඇටයක් හැපිණ. ලීලා ඒ රසයට කැමති වූවාය. ඇය වෙරළු ගෙඩි සියල්ල එකින් එක කෑවේ පිඟාන අතැතිව කාමරය වටා ඇවිදමිනි.

වෙරළු ගෙඩි සියල්ල කා අවසන් කළ ලීලා වියළි මුද්දරප්පලම් එකින් එක කන්නට පටන් ගති.

එක රාක්කයක දැවැන්ත පරණ පොතක් විවෘතය. එය අසලින් වූයේ රිදී දබරාවකි. දබරාව අසලින් බාගයක් හිස් වූ මඩ රතුපාට පරණ වීදූරු බෝතලයක් විය. පොතේ පිටු පෙරලී ඇත්තේ කුමක් කියවන්නට දැයි දැනගන්නට ලීලාගේ උස ප්‍රමාණවත් නැත.

දොර උළුවස්සේ දාර අස්සෙන් ඇතුලට ගලා ආ වෙව්ලන පන්දම් එළියෙන් පැතිරැණ ආලෝකයෙන් කලබල වූ ඇය පිඟාන මේසයේ තබා වටපිට බැලුවේ හැංගෙන්නට සුදුසු තැනක් සොයාගනු පිණිසයි. අඳුරු ආරුක්කුවක් අසලට ඇය මුවා වූවාය. ඇයගේ කකුලකට රෙදි කඩමාල්ලක් පෑගිණ.

දොර විවෘත කරමින් ලෝගුවෙන් වැසී ගත් අය පන්දම් එළියෙන් කාමරය සිසාරා බලද්දී ලීලා රෙදි කඩමාල්ලෙන් මුළු ගත වසාගෙන රිදී පොට අතෙන් ගැලවූයේ එතරම් සතුටු සිතකින් නොවේ.

Umberto Eco ලියූ The Name of the Rose කතන්දරයේ පසුබිමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: