Sinhala story Blog

ජනවාරි 28, 2013

කිබිසිනි -කවුද අපිව සොයාගෙන ආවේ?

Filed under: Uncategorized — arunishapiro @ 7:29 ප.ව.

බිත්ති වල නටන පන්දම් එළියට ද යා යුතු තැන සොයාගත නොහැකි විය.

දෙතුන් වරක් ඉහළට නඟින්න ගත් උත්සාහයන් අත්හැරලා පන්දම් එළිය සමඟින් එහා මෙහා ඇවිද්ද අය පහළට බැස නොපෙනී ගියේය. තමා සිටියේ ඒ අසලම යැයි ද, තවත් ළං වෙන්නට ගත් උත්සාහය නිසා ඈත් වන්නට සිද්ධ වූයේ යැයි ද සිතී ලීලාට දැනුනේ පොඩි තරහක්. වටපිටාව දැඩි සේ සීතලය. දිගු කාලයක් එහි රැඳී සිටින්නට නම් ඇයගේ ඇඟ වටා එතී තිබෙන ගෝනි කඩමාල්ල වැනි වස්ත්‍රය කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි ඇයට සිතුණි.

අඳුරට හුරු වූ ඇස් වලින් ඇය මෙවර තරප්පු පඩි නැඟ්ගේ අරමුණක් ඇතිව නොවේ. ආරක්කු අස්සෙන් වටපිටාව බලන්නට උත්සාහ කරමින් ඇය පඩි ගණන් කරමින් නැඟ්ගාය. පඩි ගණන් කරමින් බැස්සාය. යම් සැලසුමක් එහි ඇතැයි ඇයට පෙනුනත් එය කුමක් දැයි වටහා ගැනීම පහසු නොවීය. ඇය පන්දම් එළිය සොයන්නට උත්සාහයක් ගත්තේ නැත. ඇය බිත්ති අතගාමින් වැසී ඇති දොරවල් වල යකඩ සරනේරු හා යකඩ අගුල් දිහා බලමින් ඒවා අරින්නට හැකියාව ඇති යතුර ඇති අයව සිතින් මවා ගන්නට උත්සාහ කළාය.

කවුදෝ හෙමිහිට කැස්සේය.

“මා හිතවත් ඇඩ්සෝ, ඔබ හොඳ නින්දක් ලැබුවා. අපිව හොයන්න ආපු අය ගැන නොදැනම.”

“කවුද අපිව සොයාගෙන ආවේ?”

“මම දන්නෙ නැහැ, එයාට අපිව සොයාගන්න බැරිවෙච්ච නිසා!”

ලීලා කළින් ඇය රැඳී සිටි තැනටම නැවත පැමිණ ඇත. ඔවුන් කතා කරන්නේ තමා ගැන ද?

පළමුවැන්නා නැවතත් කැස්සේය.

“වෙදරාළ කිව්වෙ කැස්සට හොඳයි කියලා කොල්ට්ස්ෆුට්. පැළෑටිය අඳුරගන්න හැටි දන්නවා ද ඇඩ්සෝ?”

“දැති අගිස්සක් තියෙන වටාපතක් වගේ කොළයක් තියෙන්නෙ .. මල දාස්පෙතියා වගේ, පාට කහයි වසන්තයේ පිපෙද්දී. ම් … නැට්ටෙ තියෙනවා මාළු කොරපොතු වගේ කෑලි …”

“පාවිච්චියට ගන්නෙ කොහොම ද?”

“කොටලා පත්තු බඳින්න. කුඩු කරලා දුම් පිඹින්න. සුප් විදියට බොන්න. සලාද හැටියට …”

“නැහැ සලාද වලට කන එක අවදානම්. ඇයි කියලා දැනගත්තෙ නැතිවුනාට තම්බලා බොන එක වඩා නුවණ වැඩක්.”

ලීලා හිටි තැනින් සෙලවුනේ නැත. ඇයගේ අත පා සීතල වී ගිහින් ඇත්තේ පරිසරයේ වූ දැඩි සීතල බව නිසා නොවෙයි. ඒ වදන් පිට කරනා අය තම පියා සුව කරන ක්‍රමය දන්නා අයෙක් විය යුතු නොවේ ද? ඔවුන් කියූ දේවල් වැටහුණ ද, ඒ කතාබහ සිද්ධ වූයේ මෙතෙක් තමා අසා තිබූ භාෂාවකින් නොවේ. තමා කුමක් හෝ කියන්නට පටන් ගත්තොත් ඒ භාෂාවෙන්ම තම වදන් ද පිටවන බව ඇය දත්තාය. ඒත් ඇය පැමිණ ඉන්නේ කුමන දේශයකට ද? කුමන කාලයකට දැයි නොදැන, ඔවුන් සිටිනා තැනට යන්නට තවත් සැරයක් උත්සාහ කර නොහැකි වුවහොත් තමනට මෙතැන සිට අහගන්නට හැකි දේත් මඟහැරේවි ද?

උවමනාවක් තිබ්බත් පඩියක් නඟින්නට නොහැකි තරම් ගැස්මකින් ඇය වෙව්ලන බව ඇයට දැනුණි.

“මේ උඩ තට්ටුවට එන්න වෙන කාටවත් අවසරයක් නැහැ නේද?”

පිළිතුරක් එකවර නොලැබුණි.

“ඔව් ඇඩ්සෝ ඔබටත් මෙහෙ එන්න අවසරයක් නැහැ!”

“එහෙනම් කළින් හොයාගෙන එන්න හැදූ අය සොයාගෙන ආවේ ‘අපි’ නෙමෙයි. ඔබව!”

“ඒත් ඔහු සාර්ථක වුනා නම් හමුවෙන්නේ ‘අපිව’!”

ප්‍රතිචාර 2 »

  1. බඩු ෂුවර්….
    හැබැය් බඩු ලේට්……

    ප්‍රතිචාර විසින් Jay — ජනවාරි 28, 2013 @ 11:48 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: