Sinhala story Blog

ජනවාරි 20, 2013

කිබිසිනි -අඩියෙන් අඩිය තබමින් පඩියෙන් පඩිය උඩට නඟිනා අය

Filed under: Uncategorized — arunishapiro @ 11:15 පෙ.ව.

ඔවුන්ගේ කතාබහ නැවතිය ද දෙන්නා ගෙන් එක් අයෙක් වත් කාමරයෙන් පිටතට ආවේ නැත.

වෙව්ලමින් දැල්වෙන පහන් එළිය එන කාමරය පැත්තට යනු පිණිස ලීලා හෙමින් ඇදුනේ එහි ඇතුලට යන අදහසකින් නොවේ. තමා සිටි කාමරයෙන් පිටතට පැමිණි ඇය යාන්තමින් ආලෝක වූ වටපිටාව දැක පුදුමයට පත් වූවාය. ඇය සිටි කාමරය, ඉහළින් හා පහළින් තට්ටු ඇති ගොඩනැඟිල්ලක මැද වූවකි. කාමරයෙන් කාමරයට යා හැකි වූයේ මැද පිහිටන ලද හැම අත දිවෙන තරප්පු වලින් නිමැවී ඇති වංගගිරියකිනි. එය ඉතා පැරණි ගොඩනැඟිල්ලක් බව බිත්තිවල රුගුම් දක්වන පන්දම් එළිය පෙන්වයි.

තම නිවසේ ඉස්තෝප්පු කාමරයේ සිටි කළුවර රාත්‍රියක දැක්ක හඳ එළිය ලීලාට සිහිවිය. එහෙත් පිටත දැකිය හැකි ජනේලයක් ඇයට නොපෙනේ. හඳ එළිය සේ බිත්තිවල දිස්නයක් වදින්නේ කතාබහ කළ දෙදෙනා සිටින කාමරයෙන් එන පන්දම් එළියයි. එය මහල් නිවසක් හෝ සිරකඳවුරක් නොව සිද්ධස්ථානයක් යැයි ඇයගේ සිත කියයි.

පහන් එළිය එන පැත්තට යන්නට නම් කෙළින්ම ඇවිදගෙන අනිත් පැත්තට යා නොහැකි බව ඇය දුටුවාය. තරප්පුවක ලී අත්වැට අල්ලා ගත් ඇය ඈතට යද්දී මැකී යන ආලෝකයෙන් වෙන කවුරුත් වටපිටාවේ ඇත්දැයි බලන්නට උත්සාහයක් ගත්තාය. කිසිම තරප්පු පෙළක නඟින හෝ බසින කිසිවෙක් දකින්නට නැත. පන්දම් එළිය එන කාමරයට යන්න නම් රවුමට වටේ ගිහින් අනිත් පැත්තට යා යුතුය. එයට තරප්පු පෙළක් නැඟ තවත් තරප්පු පෙළක් බැසිය යුතුය.

ඇය කිසිත් සද්දයක් පිට නොවන සේ සීතල පඩියකට පාවහන් නොමැති අඩි පතුලක් තිබ්බාය. දුහුවිල්ලෙන් පිරී ඇති පඩි ගලින් නොව ලීයෙන් නිම වී ඇත. ගලක් මත අඩි වැදෙන සේ හඬ නංවමින් පඩි බැස ආ තැනැත්තා උස මහතෙන් හෝ සිරුරේ බරින් දැඩි වූවෙකු වෙන්නට ඇතැයි ලීලාට සිතුණි.

ලීලා තරප්පු පෙළක් නැඟ්ගාය. එහෙත් පන්දම් එළිය එන කාමරය තිබුණාටත් වඩා ඈතකට ගිහින් ඇතැයි ඇයට සිතිණ. එළිය එන පැත්ත දිහා බලාගෙන ඇය තරප්පු පෙළක් බැස්සාය. කාමරයට ළං වෙනවා වෙනුවට ඇය තවත් ඈතට ගිහින්. තමා ආ පැත්තටම ආයෙත් ගිහින් රවුමේ අනික් පැත්තෙන් ගියොත් උත්සාහය සාර්ථක වෙනු ඇතැයි සිතූ ලීලා තමන් ආ මඟ ආපහු යන්නට පියවර තැබුවාය.

එහෙත් තමා සිටි කාමරයෙන් ඉදිරිපස වූ කාමරය දැන් ඇත්තේ තට්ටු කිහිපයකට උඩින් බව ඇයට පෙනුණි. ගඩොල් ආරුක්කු යටින් දිවෙන තරප්පු, එකම තට්ටුවේ ඇති කාමරයෙන් කාමරයට යා නොහැකි සේ ඉදි වී ඇත. වැසී ඇති විසල් දොරක් අරින්නට කළු පැහැ ගැහිච්ච දැවැන්ත යකඩ අගුලකට අත තිබ්බත් ඇය අගුල කැරකැවුයේ නැත. කෙඳිරිගාමින් දොර හැරැණු සද්දය සිහියට නංවමින් මේ දොරත් එසේ කෙඳිරි ගෑවොත් තමන් ඉන්නා බව හෙළිවනු ඇතැයි ඇයගේ සිත අනතුරු හඟවයි.

කුමන හේතුවක් නිසා හෝ තමන් සිටිනා බවක් කිසිවෙකුට දැනෙන්නට ඉඩ නොහැරිය යුතු බව සිත තරයේ කියන්නට සවන් දෙන්නට ලීලා තීරණය කළාය. ඇය සීතල බිත්තියට පිට දී හැම අත දිවෙනා තරප්පු පේළි දිහා බලා සිටියේ අගක් මුලක් සොයාගන්නටයි.

කොහේදෝ කොණකින් මෙතෙක් පැවති ආලෝකයට තවත් ආලෝකයක් මුසු විය. අඩියෙන් අඩිය තබමින් පඩියෙන් පඩිය උඩට නඟිනා අයගේ පන්දම් එළිය බිත්තියේ මෙතෙක් යාන්තමින් දිලිසෙමින් වූ පන්දම් එළියට මුසු වී තවත් රුඟුම් දක්වයි.

ගල් ගුහාවක් යැයි සිතූව වංගගිරි මහල් ප්‍රාසාදයකි.

ගලින් තනා ඇතැයි සිතූ පඩි ලීයෙන් තනන ලද ඒවාය.

ඉදිරිපසින් ඇතැයි පෙනුනු එළිය දැන් ඇත්තේ තට්ටු කිහිපයකට උඩින්.

හනිකට ගලවන්නට හැකිවන සේ ලීලා අතේ වූ රිදී පොට මත ඇඟිලි තබා ගත්තාය. බිත්ති පුරා නටමින් පහළක සිට ඉහළට ඇදී එන පන්දම් එළිය අනුව ඇය ද ඈත් මෑත්වී අඳුරට මුවා වෙමින් ගමන් කළාය. පඩි නඟිනා අය තමන්ව පසුකර ඉහළින් වූ පන්දම් එළිය එන කාමරයට ඇතුල් වෙන්නේ මොන පඩි පෙළවල් වලින් දැයි සොයා ගන්නට ලීලා සූදානම්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: