Sinhala story Blog

ජනවාරි 13, 2013

ලෝකය අපිට දෙන සාක්කි හඳුනාගන්න, මා හිතවත් ඇඩ්සෝ

Filed under: Uncategorized — arunishapiro @ 9:18 පෙ.ව.

දොරක් කෙඳිරිගාමින් ඇරෙන හඬක් ලීලාට ඇසුණි.

අඩි සද්දය තමා සිටි පැත්තට එනවා යැයි ලීලා සිතුවේ එය තමා සිටි කාමරයේ බිත්තියේ දෝංකාරය වූ නිසා යැයි ඇයට පැහැදිලි විය. ඇවිද ගිය අය තමා වෙතින් ඈතකට ගිහින්. ගලා ආ මඳ එළියෙන් ඇය ඉදිරියෙන් වූ මකුළු දැල් පිරි මේසය දිහා බැලුවාය. එය නිමැවී ඇත්තේ ඉතා ප්‍රාථමික ආකාරයෙන් යැයි ඇයට සිතිණ.

මේක මොනවා ගබඩා කරන කාමරයක් ද? ඇය වටපිට බැලුවාය. එහෙත් මකුළු දැල් පිරි මේසය හැරෙන්නට වෙනත් බඩු එහි නොවීය. ළඟක දී කිසිවෙක් මේ පැත්තට පැමිණ ඇතැයි කියත හැකි සලකුණක් ඇයට දැකිය නොහැකියි.

ගලා එන ආලෝකයේ වෙනසක් සෙලවීමක් නොවුනු හෙයින් අතපය හිරිවැටෙද්දී තවත් ගුලි වී සිටීමේ තේරුමක් නැතැයි සිතූ ලීලා හඬක් පිට නොවෙන සේ නැඟිට්ටාය. ඇයගේ ඇඟිලි රිදී පොටෙන් වැඩි ඈතක නොවීය.

ඇය දොරක් නොවූ කාමරයේ උළුවස්සේ සැඟ වී පිටත කොරිඩෝව දිහා ඇස් යොමු කළාය. අඳුරු කොරිඩෝවට යාන්තම් එළියක් ලැබුනේ ඒ අඩි සද්දය ඇතුල් වූ කාමරයෙන් ගලා ආ පන්දම් එළිය පමණකි. ගැහි ගැහී දිලෙන පන්දම් එළිය දිහා ඇය කොතරම් වේලාවක් බලාගෙන සිටියා දැයි ලීලා නොදත්තාය.

තමන්ගේ කාර්යය විය යුත්තේ එතැනට ගොස් එහි ඉන්නා අයව හමුවීම ද? එහෙත් එයට යම් පසුබෑමක් හිතේ ඇතැයි ඇයට සිතිණ. වටපිටාව ගැන වඩා දැනුමක් ලබා නොගෙන හමුවිය යුතු අය හමුවූවහොත් ඇය ආපසු යන්නේ අවශ්‍ය පමණින් තොරතුරු ලබා නොගෙන යැයි ඇයට සිත කියනවා ද?

ගලින් තැනූ තරප්පු පෙළ බහින තවත් අඩි සද්දයක් ඇයට ඇසේ. කළින් ඇසුණු අඩි සද්දයට වඩා මෙය ජවයෙන් පිරි වූවක් යැයි ඇය දත්තේ කෙසේද? මුලින් ආ අය මහල්ලෙක් සහ දැන් පැමිණෙන අය තරුණයෙක් යැයි ඇය සිතන්නේ මන්ද? ඇය දොරඋළුවස්සෙන් ඈත් වී බිත්තියට පිට දී සිටියාය.

වෙව්ලමින් හැම අත ගලා ගිය පන්දම් එළියකින් තමා සිටි කාමරය ද ආලෝකවත් වී නැවත මඳ අඳුරකට භාජනය විය.

කලබලයකින් නොයුතු එහෙත් බියක් චකිතයක් නොදක්වන තිර සේ පා තබමින් පන්දම් එළිය තිබූ කාමරයට දෙවැන්නා ඇතුල් වූ බව ලීලාට වැටහිණ. ඒ කාමරයෙන් ගලා ආ පන්දම් එළි දෙකෙන් ගැහෙන අමුතු රටා ලීලා සිටි කාමරයේ බිත්තිය පුරා නළියන්නට පටන් ගති.

පුරුෂ කටහඬවල් අවදි වූහ. ඔවුන් කතා කළේ අමුතු වහරකිනි. භාෂාව කුමක් දැයි නොදත්තාට ඔවුන් කියන්න ලීලාට වැටහුණි. ඇයත් කට ඇරියොත් ඔවුන් හා කතාබස් කරන්නට, ඇයගේ සිතේ වූ අදහස් එළියට බහින්නේ ද ඒ බස් වහරෙන්ම යැයි ඇය දත්තාය.

තරුණයා වදන් පිටකරන්නේ ඉතා ගරුසරුවකිනි. දැඩි භක්තියකින් මහල්ලා අමතයි. මෙය අඳුරු ගුහාවක් වුවත් මොවුන් සිරකරුවන් විය නොහැකියි. ඔවුන් කතාබස් කරන්නේ ඉතා විනීත වූ ආකාරයකිනි. එසේම උගත් බවක් ද වදන් වල මුසු වී ඇතැයි තමාට හිතෙන්නේ කෙසේදැයි ලීලා කල්පනා කළාය.

කාමරයෙන් එළියට ඔළුව දා වටපිට බැලූ ලීලා බිත්ති අසලින් හෙමිහිට ආලෝකය ගලා ආ කාමරය වෙත ඇදුනාය.

“ඔබ කොහොම ද දැනගත්තෙ එයා හෙව්වෙ අශ්වයාය කියල?” තරුණයාගේ වදන් ලීලාට පැහැදිලිව ඇසිණ.

“මගේ හිතවත් ඇඩ්සෝ, මම ඔයාට දැන් කාලයක් තිස්සෙ උගන්වන්නේ ශ්‍රේෂ්ඨ පොතක් විදියට ලෝකය අපිට කියවන්න දීලා ඇති සාක්කි හඳුනාගන්න හැටියි,” මහල්ලා පිළිතුරු දුන්නේය.

ඇතුලට යා නොයුතු බවත්, ඔවුන්ගේ කතාබහට තමන් බාධා නොකළ යුතු යැයි ද ඇයට සිතුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: