Sinhala story Blog

ජනවාරි 5, 2013

කිබිසිනි – සුසුම් ලෑම කාට ඇහේවි ද?

Filed under: Uncategorized — arunishapiro @ 8:45 පෙ.ව.

අම්මා කුඩා දැරියක් මෙන් මෙසේ හඬනවා ලීලා කිසිකලෙක දැක නැත.

ලීලාගේ ඇස්වල කඳුළු පිරුනේ නැත. ඇය බලා සිටියේ අම්මාගේ ඉකිගැසිල්ල නැවතෙන තුරු. අම්මා තුල ඇති බිය සැක යාන්තමකට හෝ අඩු කරන්නට උවමනා වුවත් එය කරන්නේ කෙසේදැයි ලීලා නොදත්තාය.

“මහත්තයා නැඟිටලා වගේ ඇහෙනවා නෝනා,” මෙහෙකාරිය ඉස්තෝප්පුව අතුගාන්න කොස්සකුත් රැගෙන ඇවිත්.

අම්මා පුටුවෙන් නැඟිට්ටේ සුසුම් ලමින්. ඇය ගේ ඇතුලට ගියේ එතරම් ඉක්මණකින් නොවේ.

“දෙන්න මම අතුගාන්නම්, තේ හදන්න වෙයි ආයෙත්,” ලීලා මෙහෙකාරිය ගෙන් කොස්ස ඉල්ලා ගත්තාය.

“බෝතලේ අන්තිම සීනි කැට ටික තමයි දැන් තියෙන්නෙ,” යැයි මුමුණමින් කොස්ස ලීලා අතට දුන් මෙහෙකාරිය කුස්සිය පැත්තට ඇදුනාය.

කොස්ස අතට ගත්ත ද, අතුගෑම පැත්තක දැමූ ලීලා ඉස්තෝප්පු කාමරයට ඇතුල් වූයේ සිතේ මෙන්ම ගතේ ද කිසිත් ප්‍රාණවත් ගතියකින් තොරවය.

ඇය යෙහෙළිය ගෙනැවිත් දුන් ලේඩි ෂැටර්ලිගෙ ආදරවන්තයා පොත කියවා හමාරය. රන් අබරණ පෙට්ටිය හැරගත් ලීලා ඒ ප්‍රබන්ධයේ සඳහන් අතීතයට තාත්තා ගියේ නම් ඒ කුමන අබරණක් පැළඳ ගෙන ද යැයි ඒවා අතගාමින් කල්පනා කළාය. ඇය වාඩි වී සිටියේ බිම. කකුල් එරමිණිය ගොතාගෙන. බොකු ගැහුණ පුටුවට හිස හේත්තු කරගත් ඇය පොත් රාක්ක වල අතරින් පතර කියැවිය හැකි පොත්වල නම් දිහා බලාගෙන සිටියාය.

තාත්තා ගිය තැන් සියල්ල මේ කාමරයේ ඇති කතන්දර පොත් වලින් හොයාගත හැකි ද?

කතන්දරයත්, යන ස්ථානයත් හා මේ රන් අබරණ පෙට්ටියත් අතර ඇති සම්බන්ධයක් තාත්තාට සොයාගත හැකිවීද? ඒවා ඔහුට රිසි සේ පාවිච්චියට තාත්තා සමත්වීද?

ලීලා තම අත රන් අබරණ පෙට්ටිය ඇතුලට රිංගවා මුතු මැණික් ඇල්ලූ අබරණ රැසක් එකවර පිටිඅල්ලෙන් ඔසවන්නට උත්සාහ ගත්තේ සිතාමතා නොවේ. හාල් ගෝනියකට අත දමාගෙන සිටිය දී මෙසේ පිටිඅල්ලෙන් ඔසවද්දී සහල් ඇට ඇඟිලි අස්සෙන් බේරි වැටෙනවා ඇය අත්දැක ඇත. එයින් සතුටක් සිතේ මෝදුවුණි. එහෙත් කාලෙකින් පිරී ඇති සහල් ගෝනියක් දැක නැතැයි ඇයට සිහිවුනේ දොම්නස සිතේ නැවතත් අරක් ගනිමිනි. ඇය සහල් ඇට මෙන් ඇඟිලි අස්සෙන් ආපසු පෙට්ටියට වැටෙන්නට රන් අබරණ වලට ඉඩ දුන්නාය.

අනෙක් සියල්ල වැටී අවසන් වෙද්දී කුඩා රිදී පොටක් ඇයගේ අතේ මැණික්කටුව වටා එතී තිබුණි.

ඇසිපිය ගහනා සැනින් ඇය සිටියේ අඳුරු ගල්ගුහාවක.

සීතලෙන් ගැහෙමින් තෙතමනය ඇති අළු බිත්ති අතර ඇය වාඩිවී සිටියේ ගඩොලින් හැදූ බිමක. තමා පුරාතන කතන්දරයක ඇති දඟ ගෙයකට වැටී ඇතැයි ලීලාගේ සිතේ මහත් බියක් පැතිර ගියා. ඇය හිටි තැනින් හෙලවුනේ නැහැ.

ගඩොල් මත වැදෙන බර පියවර හඬ ගුහාව ඇතුලත දෝංකාරය දුණි. පහන් එළියක මාත්‍රාවක් අඳුරු බිත්ති වලට ඈතින් මතුවුණි. ලීලා දණ ගා ගෙන ගොස් මකුළු දැල් පිරුණු මේසයක් පිටුපසින් සැඟවුනේ ඇයි කියන්නට නොදත්තාය. පහන් එළියෙන් යාන්තම් ආලෝක වූ වටපිටාව දිහා ඇය බැලුවේ එක අතක ඇඟිලි වලින් අනෙක් අතේ වූ රිදී පොට අල්ලා ගෙනය. එය ගලවා වහා ආපහු යා හැකි වුවත් මෙතැනින් ලබාගත හැකි යම් තොරතුරක් ඇත්නම් එය නොගෙන පළා යා යුතු නැතැයි ඇය තරයේ තමාට කියා ගත්තාය.

ඇය ගැහෙන්නේ බියෙන් ද? නැත්නම් සීතලෙන් ද? මෙතැනින් පළා යා හැකි ක්‍රමයක් මැණික්කටුව වටා එතී තිබෙද්දී තමා බියෙන් ගැහෙන්නට අවශ්‍ය නැතැයි සිතුවත් ඇයගේ වෙව්ලීම නම් අඩුවුනේ නැහැ.

පා වැදෙන හඬ සමඟ සුරුස් සුරුස් ගා ඇතිල්ලෙන හඬ එන්න එන්නම ළං වෙයි.

අඳුර මකන මඳ ආලෝකයෙන් තමා ඉන්නේ ගල් ගුහාවක නොව ගලින් තනන ලද කාමරයක යැයි ලීලාට පසක් විය. වැරහැලි ඇඳුම් ඇගේ සිරුරේ රැඳුනේ ඉනේ බැඳි පටියක් නිසා පමණි. එහෙත් තමන්ගේ අත් පා වල මාංචු කිසිවක් නැති බව දැක ඇය සැනසුම් සුසුමක් හෙලුවාය. එය අම්මා පුටුවෙන් නැඟිටිද්දී හෙලූ සුසුම් ලෑම සේ ම පිට වූ බව වැටහී ඇය අතින් කට වසා ගත්තේ අම්මාගේ සුසුම් ලෑම තමන්ට ඇහුනා නම් තම සුසුම් ලෑම කාට ඇහේවිදැයි කියා බියෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: