Sinhala story Blog

දෙසැම්බර් 29, 2012

කිබිසිනි -මයේ හිතේ කහටක් නැහැ සුදු නංගි

Filed under: Uncategorized — arunishapiro @ 10:04 පෙ.ව.

“මට බැහැ මහතුන් අයියෙ. වැඳලා කිව්වත් කරන්න බැරි වැඩක්.”

“නංගි ළඟට මේ වෙලාවෙ ඇවිත් කරදර කරන්නෙ කැමැත්තකින් නෙමෙයි.”

“මම නොදන්නවායැ.”

“මට වෙන යන්න අතක් නැහැ.”

“අපේ කැමැත්ත විතරක් මදිනෙ. අනිත් කට්ටිය …”

“මයෙ කැමැත්තයි මල්ලිගෙ කැමැත්තයි තිබුනාම ඇති .. ඒ කියන්නෙ දැන් මේ නංගිගෙ කැමැත්ත …”

“අනිත් කට්ටිය ඇවිත් සද්දෙ දාලා ගියා පහුගිය දොහක.”

“මම ඉන්න නරකාදිය ගැන එයාල දන්නෙ නැහැ.”

ලීලා සෙමෙන් සෙමෙන් ඔවුන් අසුන් ගත් පුටු අසලට තේ කෝප්ප දෙකක් තැබූ බන්දේසිය අත් දෙකෙන් අල්ලා ගෙන පිය මැන්නේ කතාබහ ඔවුන් කැමති නම් වෙනතක ගෙන යන්නට ඉඩ තියාය. ඇය දැකි ඔවුන් නිහඬ වූහ. ඔවුනොවුන්ගේ දොම්නස් ලෝක වලට යළි රිංගා ගත්හ. බන්දේසිය පෑ කල රූකඩයන් මෙන් අත් දිගු කර තේ කෝප්ප ගත්හ. අනතුරුව බොන්නේ මොනවාදැයි නොදැනම උගුරෙන් උගුර බිව්වහ.

තමා එතැන රැඳී සිටීමෙන් අම්මාට සහනයක් ලැබෙනවා ද නැත්නම් ඇයගේ සිත තවත් කරදරයට පත් කරනවා දැයි ලීලාට සිතාගත නොහැකි විය. තාත්තා දහවල් කාලයේ නිදාගෙන රාත්‍රියේ වැඩිපුර කාලයක් ඇහැර ගෙන සිටින්නට පටන් ගෙනය. අම්මාට හරියට නින්දක් නොමැති කමෙන් ඇයගේ ඇස්වට ගිලී ඇතැයි ලීලාට සිතුණි. අම්මාගේ ඇස් ඉදිමී ඇති සේ පෙනෙන්නේ ඇයට නිදි මඳ හෙයින් ද නැත්නම් ඇය හඬා වැලපී ඇති නිසා දැයි ලීලාට සිතාගත නොහැකි විය.

“මගෙ කොටහ විකුණන්න බැරි වුනත් මම කොහොම හරි රට යනවා,” මහතුන් බාප්පා කීවේ අන්තිම උගුර කටට හළා ගන්නා ගමන් පුටුවෙන් නැඟිටිමිනි.

“මම අහනවා හැමෝගෙන් ම. මයෙ නමට තිබ්බයි කියල මොකක්ද ඔය ඉඩමෙන් මට ඇති වාසිය? කවුරුත් ඒක මොකක්ද කියලා කියන්නෙ නැහැ, විකුණන්න එපා කියනවා විතරයි.”

අම්මා ඇයගේ හිස් තේ කෝප්පය දිහා බලාගෙන සිටියාය.

“නංගි කොහොම ගෙදර වියදම් කරගෙන යනවාද කියන්න මම දන්නෙ නැහැ. කැලෑවට යන ඉඩමක් තියාගෙන දුක් විඳින්නෙ නැතිව මල්ලිගෙ කෑල්ල විකුණලා දාලා කීයක් හරි බැංකුවෙ දාගන්න ඔච්චර අකමැති ඇයි?”

ඇය සුසුමක් හෙලුවා මිසක කිසිත් උත්තරයක් දුන්නේ නැත.

“උඹලැයි පවුලත් එක්ක මයෙ හිතේ කහටක් නැහැ සුදු නංගි. අනිත් කට්ටියගෙ හැටි මම දන්නවා. මල්ලි සනීපෙන් හිටියා නම් මේ වෙලාවේ එයා මට උදව් නොකර ඉන්නෙ නෑ.”

අම්මා ගෙන් වදනක් පිට වෙන තෙක් බලා නොසිට මහතුන් බාප්පා මිදුලට බැස පරාජිත විලසකින් පිට වී යන හැටි ලීලා බලා සිටියාය. තාත්තාගේ සහෝදර සහෝදරියන්ට උරුම වූ ඉඩමෙන් මහතුන් බාප්පාට අයිති කොටස විකුණත හැක්කේ තවත් එක සහෝදරයෙකු ගේ සහෝදරියකගේ හෝ අවසරය ලැබෙනවා නම් පමණි.

“ඉඩම බෙදන්න එපා කියන්න ඇවිත් ගියාට කෝ ඊට පස්සෙ තාත්තාට කොහොම ද කියල බලන්න කවුරුත් ආවේ නැහැනෙ,” ලීලා මිමිණුවේ අම්මා වෙතින් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවේ.

“නෑදෑයෝ තරහා කරගත්තොත් ආයේ ඉඩමෙ ගෙයක් වත් අටවාගන්නෙ කොහොමෙයි?” අම්මා ද මිමිණුවේ ලීලා දිහා නොබලාය.

ලීලා දිග හුස්මක් ඉහළට ඇද්දාය. ඇය අම්මා වාඩි වී පුටුව ඉස්සරහින් දණ ගසා ගෙන අම්මාට පුටුවෙන් නැඟිටිය නොහැකි වන සේ පුටු ඇඳි අත් දෙකෙන් අල්ලා ගත්තාය.

“තාත්තටත් යන්න පුලුවන් ඉස්තෝප්පු කාමරේට.”

අම්මා ඔළුව දෙපැත්තට වැනුවේ එය පිළිගන්නට අකැමත්තෙනි.

“අසනීප වෙච්ච දවසෙ තාත්තා ඉස්තෝප්පු කාමරේට ගිහින් තියෙනව.”

අම්මාගේ දෑස් වලින් කඳුළු රූ රා වැටෙයි.

“අසනීපෙට හේතුව ..” ලීලා නිකටින් කාමරය පෙන්වූවාය, “ඔය කාමරේත් එක්ක තියෙන පටලැවිල්ලක්.”

අම්මා සාරිපොටෙන් මුහුණ වසාගෙන ඉකිගසමින් හඬද්දී ලීලා හුන් තැනින් නොසෙල්වී සිටියාය. අම්මාට ඉස්තෝප්පු කාමරයෙන් යා හැකි අනෙක් තැන් ගැන කියනු අවශ්‍ය නැත. එහෙත් තමාට මෙන් ඉස්තෝප්පු කාමරයට යා හැකියාව තාත්තාට ද ඇතැයි අම්මා විසින් පිළිගැනීම ලීලාගේ සිතට මහත් අස්වැසිල්ලක් ගෙන දුනි.

“මම හිතනවා අම්මෙ .. තාත්තව සනීප කරන විදිය මට හොයාගන්න පුලුවන් කියලා,” ලීලා කිව්වේ අම්මාව සනසන්නටම නොවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: