Sinhala story Blog

දෙසැම්බර් 15, 2012

කිබිසිනි -අප ඉන්නේ ඉඳුරා ම ඛේදනීය වූ සමයක

Filed under: Uncategorized — arunishapiro @ 7:49 පෙ.ව.

තමා ගිල දැමූ බත් පිඟානේ වූයේ මොනවා දැයි කිසිවෙක් හෝ ඇහුවා නම් විස්තර කියන්නට ලීලාට නොහැකිය.

රාත්‍රී අන්ධකාරය මුළු පරිසරයම වෙලා ගනිමින් පැතිර යද්දී ලීලාට දැනුනේ දැඩි වෙහෙසකි. ඇය නැවතත් තම නිදන කාමරයට වැදුනේ පොතේ ඉතිරිය කුමන ලෙසකින් ගලා යන්නේ දැයි සොයන්නට කැමැත්ත හා අකමැත්ත දෙකම පිරි සිතකිනි.

ඉස්තෝප්පු කාමරයේ ගොඩ ගැසී ඇති පොත් අතර ප්‍රබන්ධ කොතරම් සංඛ්‍යාවක් ඇත්තේ දැයි ඇය විශේෂයෙන් සොයා බලා නැත. මෙතෙක් ඇය වැඩියෙන් කාලයක් ගත්තේ රට රටවල් ගැන, මිනිස් සිරුර, වෙද හෙදකම් යනාදී තොරතුරු සඳහන් පොත් සොයන්නටයි. අනේක විෂයයන් අතර පියානෝ වාදනය සහ කරාතේ වැනි සටන්ක්‍රම ගැන පොත් වූයේ ප්‍රබන්ධයන් ගෙතෙන ස්ථානයන්හි මුහුණ පාන්නට වෙන අවස්ථා වලට මුහුණ දීමට සැරසී යනු පිණිස දැයි ලීලා කල්පනා කළාය.

එහෙත් හැමට නැති වරමක් ලැබී මෙයාකාරයෙන් යන ගමනේ අර්ථය කුමක් ද? තමනට කළින් තාත්තා ද මෙසේ ගමන් ගිහින් ඇතැයි අභ්‍යුපගමනය කරන්නට ලීලාට හැකියි. ලීලා මුල් ම ගමන ගියේ අහම්බෙන් කරේ දාගත් මාලයක් නිසාය. එහෙත් දැන් ඇය එවැනි ගමන් වලින් තාත්තාගේ අසනීපය නිවාරණයට යමක් කළ හැකි යැයි සිතීම ව්‍යර්ථ පරමාර්ථයක් ද?

තාත්තා මෙවැනි ගමන් ගියේ කුමකට පිළිතුරක් සොයා ගන්න ද?

මේ පොතේ දිග හැරෙන කතන්දරයට තාත්තා ගිහින් ඇත්නම් ඒ කුමක් පිණිස දැයි සොයන සිහියෙන් ලීලා යළි මුල පිටුව හැරියාය.

“අපි ජීවත්වෙන්නෙ ඉඳුරා ම ඛේදනීය වූ සමයක, ඉතින් අපි එය ඛේදාන්තයක් ලෙසින් බාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා.”

කතන්දරය පටන් ගැනුනේ එලෙසිනි. “මහා විනාශය සිද්ධ වී හමාරය, අපි ඉන්නේ සුන්බුන් මැද, අලුත් කුඩා ජනාවාස ගොඩනඟන්නට අපි පටන් ගෙන ඇත්තෙමු, අලුත් කුඩා බලාපොරොත්තුවන් ඇති කරගන්නට. එය ඉතා දුෂ්කර වැඩකි: අනාගතයට යන්න සමතලා පාරක් දැන් නැත්තේය, ඒත් අපි වටින් ගොඩෙන් යන්නෙමු, නැත්නම් බාධක මැදින් පැන යන්නෙමු. කොපමණ සැරයක් අහස කඩා වැටුනත්, අප ජීවත්විය යුතුය.”

ලීලා පොත වැසුවේ ලේඩි ෂැටර්ලිගේ තත්වය තමන්ගේ සහ මවගේ තත්වය නොවේදැයි සිතට නැඟුනු නිසාය. පියාත් මවත් සමඟ කෙළිලොල් බවින් ගත කළ කාලය අවසන් කරන ලද මහා විනාශය තාත්තාගේ අසනීපයයි. එදාට කන්න වියදම් පියවා ගත නොහැකි දවස වැඩි ඈතක නොවේ යැයි කිසිදා ගෙදරක විය හියදම් ගැන සිතා නැති ලීලාට අද වැටහී ඇත.

ඒත් ශෝකාන්තය පිරි සමයක් වූවාට එය ශෝකාන්තයක් ලෙසින් බාර ගැනීම තමා ද ප්‍රතික්ෂේප කළ යුත්තක් ද?

රන් වළල්ල දාගත් තමන් ගිය පුරාතන ප්‍රංශයේ දී ඇයට අසන්නට ලැබුනු ඩැනියෙල් ඩ’ආර්තේස් කිව්ව වදන් සමූහය සොයන්නට ඇය මේසයේ පොත් ගොඩ අස්සේ සඟවා තිබූ කොපි පොත හැර බැලුවාය.

“යමක් සඳහා කැප කිරීමක් නොකළොත් එහි දී ලැබෙන ඵලය අගයෙන් අඩුයි.”

ඇය එහි ගියේ එහෙනම් ඒ ඔවදන අසා එන්නට ද? ඊට කළින් ගිය ගමන් වලින් ලැබුණු උපදෙසක් ගැන ලීලාට සිතාගත නොහැකි විය. මඟහැරැනු ඒ කොටස් යළි පුරවා ගන්නට අවස්ථාවක් යළි ඇයට උදාවනුයේ ද?

දුෂ්කර වැඩක් වුවත් අලුත් කුඩා බලාපොරොත්තු ඇති කර ගත යුතුය. අනාගතයට යන්න සමතලා පාරක් නැත්නම් කළ යුත්තේ වටින් ගොඩෙන් යෑමයි. නැත්නම් බාධක මැදින් පැන යෑමයි.

ඇය සටහන් පොතේ නිදිමතේ ඒ සිතුවිලි ලියාගත්තේ නින්දෙන් ඇහෙරද්දී සියල්ල අමතක වී යාවි යැයි බියෙනි.

මේ යන පාර සමතලා එකක් නෙමෙයි. අනිවාර්යෙන් ම වටින් ගොඩින් යන එකක්. බාධක මැදින් පැන පැන යන එකක්. මේක මම යන්න ඕන පාරක් ද නැත්නම් තාත්තා යා යුතු වූ පාරක් දැයි හරියටම දන්නෙ නැතිවයි යන්නෙ.

“කොපමණ සැරයක් අහස කඩා වැටුනත්, අප ජීවත්විය යුතුය.” අපොයි එහෙම අදහස් කතන්දර පොත් වල ලියන්න ලේසි වෙන්නැති මේ මහා ගත්කරුවාට. එව්වා කරන්න වෙයි කියලා මෙහෙම ලියන අයට නිකම් වත් හිතනවා ද මන්දා … ඇස් පියැවෙන්නට නොදී ඇය තමා යා යුතු වූ පාර ගැන තවත් කල්පනා කරන්නට ගත් උත්සාහය නිශ්ඵල විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: