Sinhala story Blog

දෙසැම්බර් 9, 2012

කිබිසිනි -ලේඩි චැටර්ලිගේ ආදරවන්තයා

Filed under: Uncategorized — arunishapiro @ 9:03 ප.ව.

දිවා ආහාරයත් එපා කියා පොතත් රැගෙන නිදන කාමරයට වැදුණු ලීලා පොතේ පිටු දහයක් ඉක්මවා යන්නට පෙර කාමරේ දොර වසා දැමුවාය.

ලැජ්ජාවෙන් වෙව්ලන ඇඟිලි වලින් ඇය පිටු පෙරලුවේ ලිංගික හැසිරීම් ගැන මෙතරම් විස්තරාත්මකව ලියන්නට එතරම් සුප්‍රසිද්ධ වූ කතුවරයාට ලැජ්ජාවක් තිබුනේ නැද්ද යැයි සිතමිනි. එදා යෙහෙළියන් පැමිණ සිටිය දී පොතේ නම ඇහෙද්දී තාත්තාගේ මූණෙ ඇදුණු සිනාව යළි මතක් කරගන්නට ඇය ඇස් පියාගෙන උත්සාහයක් ගත්තාය. එය අහිංසක සතුටු සිනාවක් යැයි තමාගේ මතකයේ තියෙන්නේ පොතේ අන්තර්ගතය එදා නොදැන සිටි නිසා ද? එය ලැජ්ජා සහගත සිනාවක් නොවූ බවට ලීලාට සහතික කර මතක් කරගත හැකි ද?

මෙය තමා කියවන්නේ යැයි දැනගත්තොත් ඔහු කුමක් කියනු ඇත් ද?

මෙයින් තමනට දැනගන්නට අවශ්‍ය දැයක් තියෙන්නේ කෙසේද?

දොර වසා තිබි කාමරය ඇතුලේ තනිවම සිටි ලීලාගේ මුහුණ ලැජ්ජාවෙන් රතු විය.

කොන්ස්ටන්ස් නමින් වූයේ ක්ලිෆර්ඩ්ගේ විවාහක බිරිඳ වූ චැටර්ලි ආර්යාවයි. ඇය සිය සැමියාගේ යුද ආබාධයක් නිසා ඇති වී තිබෙන ශාරීරික අපහසුතාවයන් මැද්දේ සතුටින් ඉන්නට වෑයමක් ගන්නීය. ක්ලිෆර්ඩ් ඇය හා හිතේ ඇති වැඩි දෙයක් බෙදා හදා නොගන්නා චරිතයකි. ජව සම්පන්න බවින් පරිණත ඔවුන්ගේ උයන්පල්ලා වූ මෙලර් නැමැත්තා හා ඇය ඇසුරක් පටන් ගැනීම හා ඔවුන් අතර වූ හමුවන් ගැන විස්තර පිටු පුරා මෙසේ දැක්වී ඇත්තේ මන්දැයි සිතාගන්නට ලීලාට අපහසු විය.

උයන්පල්ලා සමාජ තත්වයෙන් පහළ පංතියක වූවෙකි. කොන්ස්ටන්ස්ට වඩා රදළ වූ පවුලකින් ක්ලිෆර්ඩ් පැවත ආවේය. මෙය සමාජ පංති අතර පවතින මිනිස් අවශ්‍යතාවයන් එක හා සමාන වූවක් යැයි කියනු අරබයා ලියන ලද්දක් දැයි ලීලා කල්පනා කළාය. ඒත් එහෙම පෙන්වන්නට මෙච්චර පැහැදිලි ලිංගික විස්තර ලියන්න අවශ්‍ය නැහැනේ යැයි ඇය සිතුවාය.

තාත්තා හා අම්මා අතර හැමදාම පැවතියේ දැඩි ලෙන්ගතු වූ සබඳතාවයකි. ඔවුන් කලහ කරගන්නවා ලීලා කිසිදාක දැක නැත. එහෙත් ඔවුන් ආදරයෙන් සිප ගන්නවා ද ලීලා දැක නැත. වැඩිම වුනොත් තාත්තා අම්මාගේ අතින් අල්ලගන්නවා විතරයි. පොත ගැන මිතුරියන් කියූ පසුව සිනා පෑ තාත්තා අම්මාගේ අත අල්ලාගත් බවත් ඇය වෙත සිනා පෑ බවත් ලීලාගේ සිහියේ සනිටුහන් වී ඇත.

සිය මවත් පියාත් එකම සමාජ පසුබිමකින් පැමිණි අයයි. දැන් ලෙඩ වී ඇති තාත්තා මීට කළින් කිසිදාක ලෙඩ ඇඳක නොසිටියෙකි. ඔහු යුද සෙබලෙක් ලෙසින් සේවය කළ අයෙක් ද නොවේ. අම්මා තාත්තා හැර වෙන කිසි පිරිමියෙක් දිහා උවමනාවකින් බලා නැතැයි ලීලාට සැක නැතිව කියන්නට පුළුවන.

මේකෙන් මොනවා හරි පාඩමක් තාත්තා ඉගෙන ගන්නට ඇති. ඇය සැනසුම් සුසුමක් හෙළා පොත වසා දැමුවේ රෑ කෑම මේසයට ඇරියා යැයි මෙහෙකාරිය ලීලාගේ දොරට තට්ටු කර කියද්දීය.

අරින්න හෝ අරින්න එපා යැයි කියන්නට පෙර මෙහෙකාරිය දොර පළුවකින් හිස කාමරයට දැම්මාය.

“බේබි දවල්ටත් කෑවෙ නැහැ, බඩගිනි ඇති.”

“මේ එනවා,” කියූ තම කටහඬ වෙනස් වී ඇතැයි ලීලාට සිතෙද්දී “වැස්ස නිසා වෙන්නැති බේබිගෙ උගුර බැරෑඬි වෙලා,” යැයි මෙහෙකාරිය කීවාය.

දොර වෙත යන්නට ඇඳෙන් නැඟිට්ට ලීලා මේසය දිහා නොබලා පොත ඒ මතට විසිකරන්නට ගිය විට දී එය බිමට පතිත විය. හැරුණු පිටුවේ ප්‍රකාශන දිනය 1928 යැයි සඳහන් විය.

තාත්තා අබරණක් පැළඳ ගෙන අතීතයට ගියා දැයි සිතුවිල්ලක් ලීලාගේ සිත ගත පුරා දිව ගියේ විදුලි දහරාවක් වැදුණු කලක මෙනි.

තාත්තා මේ කතන්දරයේ ඇති නිවහනට ගියා ද?

කාගේ චරිතයක් ඔහුට ලැබුනේ ද?

මේක කතන්දර පොතක් නම් තමා ගිය තැන් ද සත්‍ය ලෝකය නොව ප්‍රබන්ධ ලෝකයක් ද?

ලීලාව ඇඳ මත හිඳගත්තේ කකුල් පණ නැති වී යන ලෙසක් දැනුනු හෙයිනි.

“ඇයි බේබී සනීප මදි ද?”

“ආ .. නෑ… ඔව් … නෑ… මම තව ඩිංගෙන් එන්නම් …. මම එන්නම් කන්න තව පොඩ්ඩකින්,” ලීලා මිමුණුවාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: