Sinhala story Blog

දෙසැම්බර් 2, 2012

කිබිසිනි -මට කන්න බොන්න පුළුවන් මෙහෙම ගමනක් ගියාම

Filed under: Uncategorized — arunishapiro @ 10:33 පෙ.ව.

රත්තරන් වළල්ල රන් අබරණ පෙට්ටියේ දිළිසෙමින් හිනාවෙයි.

පිඟන් හෝදන සුවිසල් වතුර කල්දේරමේ සබන් පෙණ අස්සේ ලීලාගේ රත්තරන් වළල්ල ගැල වී ගියෙන් ලීලා නැවතත් ඉස්තෝප්පු කාමරයේ සිටගෙන සිටියේ කුමක් දැයි කියාගත නොහැකි තරම් දැඩි ආවේගයකින් පිරිල. එය වළලුකරයෙන් ගිලි හී යද්දී තමා ආපහු ඉස්තෝප්පු කාමරයට ක්ෂණයෙන් යන බව නිසැකව දත් ඇයට සබන් වතුර කල්දේරමේ එය සොයන්නට තත්පරයක් හෝ ඉඩක් ලැබුණේ නැත.

එය නැවත දමාගත හොත් නැවත එතැනටම යාවි ද?

නැතිනම් 1819 වසරට ගිය ඒ ගමනෙන් තමා සොයාගත යුතු දේ ලැබුණ නිසා ද එසේ රත්තරන් වළල්ල ගිලි හී ගියේ?

වටපිටාවට සවන් දුන් ලීලාට මහා වැස්සක් අවසන් වූ රාත්‍රියකින් පසු වටපිටාව අවදිවන අරැණළු උදයක පටන් ගැන්ම හැම අතින් ඇසුණි. තමා උදෑසනක් හා දහවල් කාලයක් ගෙවා පැමිණ ඇතත්, ගමන පටන ගත් ස්ථානය වූ ඉස්තෝප්පු කාමරයේ කාලය ගෙවී ගිහින් නැත. ඇය එහි වූ කොපි පොතේ හැම මතකයක් ම සටහන් කළාය. අනතුරුව විගසින් නිදන කාමරයට ගිය ලීලා එහි වූ කොපි පොතේ ද නැවතත් සටහන් ගසා ගත්තාය.

යන තැනක කාලය කොතරම් ගෙවී ගියත් ගිය තැනේ වේලාව වෙනස් වෙන්නේ නැහැ.

වසර 1819.

ස්ථානය ප්‍රංශය.

අමලී. බඩ තඩි අරක්කැමියෙක්. කෙසඟ කොල්ලන් ආහාර ගන්නා අවන්හලක්? නවාතැනක්? ඩැනියෙල් ඩ’ආර්තේස්. ලුසියන්.

ලුසියන් කවියෙක්. ඒත් එයාට අනිත් අය කිව්වෙ කවියෙක් වෙන්න අකුරු කුරුටු ගෑවට බැහැයි කියල. හද කකියන අත්දැකීමක් අවශ්‍යයයි කියල. ඒත් ආදරෙන් පැරදිච්ච ලුසියන්ට එහෙම අත්දැකීමක් තියෙනවා. කවුදෝ කිව්වෙ ඒක මතුපිටින් දැනෙන රිදිල්ලක් විතරයි කියලයි.

ඩැනියෙල් ඩ’ආර්තේස් කිව්ව වදන් සමූහය: යමක් සඳහා කැප කිරීමක් නොකළොත් එහි දී ලැබෙන ඵලය අගයෙන් අඩුයි.

පාන්. සුප්. මට කන්න බොන්න පුළුවන් මෙහෙම ගමනක් ගියාම.

අන්තිම ටික නැවත කොපි කරද්දී ඇයට කාලය ගෙවී ගිහින් නැතත් දිවා ආහාරයක් අනවශ්‍ය තරමට බඩ පිරිලා යැයි සිතුණි. කොපි පොත මේසයේ පොත් ගොඩක් අස්සේ නැවත සඟවා ඇය මුළුතැන්ගෙය වෙතට ඇදුනාය.

“මට දවල්ට කන්න මුකුත් හදන්න එපා.” ඇය මෙහෙකාරියට කීවාය.

“ඇයි බේබි, තම්බපු කොස් කාලා බඩ රිදෙනවා ද?”

“නෑ, බඩ හොඳටම පිරිලා නිසයි.” ඇය මෙහෙකාරියට සිනාවක් පෑවාය.

“ලීලා … ආන්ටී …” ඉස්තෝප්පුවේ අඩි වැදෙන හඬක් ඔවුනට ඇසිණ. ඒ ගලා එන්නේ ලීලාට පොත ගෙනැවිත් දෙන්නට පොරොන්දු වූ යෙහෙළියගේ කටහඬයි. රැයක් නිදි මැරූ අම්මා සහ තාත්තා අවදි වේ යැයි සිතා ලීලා විගසින් ඉස්තොප්පුවට දිව ගියේ සිමෙන්ති පොළවේ හඬ පැතිරී නොයන ලෙසින් පාඟිලි වලට බර දී ය.

“ඊයේ රූ වැස්සට තාත්තාට නින්ද ගියේ නැති නිසා අම්මත් ඇහැරලා හිටියලු. දැන් දෙන්නම නිදි,” ඇය මිමිණුවේ යෙහෙළියගේ අතේ පොත් ගොන්නක් ඇතිබව දැක සතුටින් සිත පිරී යද්දී.

“මම උදෙන්ම ආවේ මේක දීලා යන්න,” හැමදාම පංති යන්න ලෑස්ති වෙනකොට අම්මා එනවා උදව් කරන්න. ඉතින් පොත අහුවේය කියල බයේ ගෙනාවේ නැත්තෙ. මම මයුරිගේ ගෙදර පාඩම් කරන්න යනවා කියලයි අද උදෙන්ම පිටත් වුනේ. අපේ ගෙදර අයත් ඊයේ වැස්ස නිසා හරියට නිදා ගත්තෙ නැති නිසා ද කොහෙද තාම හරියට ඇහැරලා හිටියෙ නැහැ.”

ඇය පොත් ගොඩ අස්සෙ වෙන නමක් ලියා කවරයක් දමා තිබූ ‘ලේඩි ෂැටර්ලිගේ ආදරවන්තයා” පොත ලීලාගේ අතේ තැබුවේ ලැජ්ජාවෙන් රතු වූ මුහුණකිනි. මිතුරිය තමාගේ ඇස් හමුවීම මඟහරිනා උත්සාහය ලීලා දැක්කාය.

“ඔයාට තේකක්?”

“එපා අනේ, මම මයුරීලාගේ ගෙදරින් බොන්නම්,” ඇය කීවේ හනිකට එතැනින් පිටවී යන්නට මිදුල දිහාට හැරෙන ගමන්.

“ඒයි … මම කියෙව්වට පස්සෙ කාට ද දෙන්නෙ?” පිටුපා ඉක්මන් පියවර තබනා යෙහෙළිය ගෙන් ලීලා ඇසුවාය.

“මයුරී … ඒත් එයා දැන් කියනවා එයාට එපාලු. මම කාට ද ඊ ළඟට ඕන කියල අහන්නම්.” ඇය පොත ගැන තවත් කතා කරන්නට ඇති ලැජ්ජාවෙන් ලීලා දිහා නොබලාම කියා, අඩි කිහිපයක් දුවමින් අඩි කිහිපයක් හයියෙන් පියවර තබමින් පිට වී ගියාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: