Sinhala story Blog

නොවැම්බර් 28, 2012

කිබිසිනි -කැප කිරීමක් නොකළොත් ලැබෙන ඵලය අගයෙන් අඩුයි

Filed under: Uncategorized — arunishapiro @ 8:50 ප.ව.

“කවියෙක් වෙන්න අකුරු කුරුටු ගෑවට බැහැ, හද කකියන අත්දැකීමක් අත්විඳින්නම ඕනෑ.”

“ලුසියන් දැනටමත් ආදරෙන් පැරදිලා ඉන්නෙ, එයාගෙ හදවත සෑහෙන්න රිදිලා.”

“ඒත් ඒක මතුපිටින් දැනෙන රිදිල්ලක් විතරයි. වෙන ලස්සන කෙල්ලෙක් දැක්කම මුලින් හිත රිදෙව්ව එක්කෙනාව අමතක වෙලා යයි.”

“ඩැනියෙල් මොකක් ද කියන්නෙ?”

මෙතෙක් නිහඬ වී සිටි කඩවසම් තරුණයා සුප් පිඟානෙන් හිස එසැවූයේ සිනාවක් මුවේ පැතිර යද්දී.

“යමක් සඳහා කැප කිරීමක් නොකළොත් එහි දී ලැබෙන ඵලය අගයෙන් අඩුයි.”

මේසයේ හුන් අනෙක් අය අත්පුඩි ගැසූහ. අමලීගේ මුහුණේ පැතිර ගිය සෙනෙහස දුටු ලීලා මේ කේඩෑරී තරැණයාට අමලීගේ සිතේ කොනක් වෙන් වී ඇතැයි පසක් විය.

අරක්කැමියා ජග්ගු දෙකෙන් වාරයෙන් වාරයට තරුණයන්ගේ වීදුරු වලට වත් කරන්නේ වතුර නොව රතු වයින් යැයි දැකි ලීලා පුදුමයට පත් වූවාය. මේ මහ දවල් මේ තරුණ කොල්ලන්ට මත්පැන් බෙදන්නේ ඇයි? තරුණයන් කිසිත් අමුත්තක් නැතිව වතුර බොන්නා සේ බිව්වේ එය හැමදාම කරන සිරිතක් ලෙසට ය.

වටයක් දෙකක් යද්දී ඇය අත වූ පිඟන් වල පාන් කැබලි අවසන් වූයෙන් ලීලා හෙමිහිට කුස්සියට පියමං කළේ එතැන නැවතී ඔවුන් කන දිහා බලාගෙන සිටීම නුසුදුසු යැයි සිතුණ නිසයි.

පිඟන් මේසය මත තබනවාත් සමඟ අරක්කැමියා ඇයගේ පසුපසින් ඇවිත් තවත් පාන් කැබලි තොගයකින් ඒවා පිරවීය. එහෙත් ඇය පිඟන් ඔසවන්නට තැත් කළ සැනින් කොහෙ අරන් යන්න හදනවා දැයි ඔහු ගෙරවීය.

තක්බීරී වූ ලීලාට කියන්නට කිසිවක් සිතට ආවේ නැත.

ඔහු පාන් පිරි පිඟන් දෙක ලී අල්මාරියක් ඇතුලේ දැමුවේය. පාන් කැබලි දෙකක් මේසය මත ඉතිරි වී තිබිණ. එයින් හමා ආ පුසුඹින් ලීලාට නොදැනුවත්වම කෙළ ගිළුණි. කල්දේරම් වෙත ගිය අරක්කැමියා වැසූ පියනක් ඔසවා එයින් සුප් බොකු පිඟන් දෙකකට බෙදා මේසයේ පාන් අසලින් තැබීය.

“මම නොදන්නවායැ අමලී කරන වැඩේ. හිමින් කෑම බෙදන්නෙ කතා අහගෙන ඉන්නට. මගේ දර ගොඩ තමයි ඉවර වෙන්නෙ කෑම කාමරේ උණුසුම් කරන්නට. මොකෝ උණුසුම් කාමරයකින් මේ අය යයි ද ඉක්මණින් පිටවෙලා?” අරක්කැමියා සාස්පාන් හප්පමින් නෝක්කඩු කියයි.

පත්තරයක් දකින්නට නැත. නාම පුවරුවක් කොතැනක හෝ නැත. මේක අනාථ මඩමක් ද? තානායමක් ද? තරුණ දරුවන්ට පාසැලක් ද?

අත් වාටියේ සැඟවී ඇති රත්තරන් වළල්ල ඇය අත ගෑවේ ආපහු යන්නට හැකි ක්‍රමයක් ඇතිබව මතක් කරගන්නට මෙනි. එය ඉවත් කළ විගසින් වහාම ඇය ඉස්තෝප්පු කාමරයේ සිටිනු ඇත. එහෙත් තව විස්තර නොදැන ආපහු යෑමෙන් ඵලක් ඇත් ද? සොයා ගත යුත්තේ කුමක් දැයි නොදත් කළ යමක් සොයන්නේ කෙසේ ද?

අමලී එක අතකින් බාල්දිය අනෙක් අතෙන් හැන්දත් වනමින් සතුට උතුරා ගිය මුහුණකින් කුස්සියට ඇතුල් වූවත් අරක්කැමියාගේ හැසිරීම දැක බියගත්තාය. ලීලා දෙස ඈ බැලුවේ වැරැද්ද කුමක් දැයි අහන්නට මෙනි. හිස වනා අහන්න එපා යැයි ලීලා කීවේ මීට කළින් ඔවුන් දෙදෙනා අතර එසේ හුවමාරුවක් වී තිබෙනා ආකාරයටයි.

“ඔක්කොම ගියා ද?” අරක්කැමියා බෙරිහන් දෙයි.

“ඔව්, මහත්තයා,” අමලී කියද්දී ඒ ඉස්තෝප්පු කාමරයේ තිබි පොතකින් කියැවූ ප්‍රංශ භාෂාව බව ලීලාට වැටහිණ.

“මේ මොන වසර ද?” හිතන්නට පෙර ලීලාගේ කටින් පිට විය. අරක්කැමියා සහ අමලී දෙදෙනාම ඇය දිහා බැලුවේ අමුතු සතෙක් මුළුතැන්ගෙයට කඩා පැන ඇතැයි බලනා විලසිනි.

“සුප් නිවෙන්න කළින් කාලා කෑම කාමරේ අස්පස් කරලා දාන්න. මම මාකට් එකට ගිහින් එද්දී ඔක්කොම ඉවර කරලා තියෙන්න ඕනෑ,” යැයි ගුගුලා අරක්කැමියා අඩි හප්පමින් පිට වී ගියේය.

අමලී අසලින් මේසයට වාඩි වූ ලීලා හිස ඔසවන්නේ නැතිව පාන් කැබැල්ලක් මුවේ රුවාගත්තේ තවත් වදන් පිට නොවෙන්නටය.

“මේ 1819 වසර. ඇයි ඇහැව්වෙ?”

ලීලා සෙමෙන් රන්වන් පැහැයෙන් වූ පාන් වාටිය සැපුවේ උත්තරයක් හිතාගන්නට කාලය ලබාගනු පිණිසයි.

“ඩැනියෙල් ඩා’ආර්තේස් කියපු අදහස් වලට මේ අවුරුද්දට වඩා අනාගතේ දී වඩා සැලකිල්ලක් ලැබෙයි,” ලීලාට කියන්නට උවමනා වූ අදහස කෙසේ පිටවූවා දැයි බලන්නට ඇය අමලී දෙස යටැසින් බැලුවාය. අමලී ඔළුව වනමින් ඇය හා එකඟ වුනේ එය ඇයත් දරනා මතය යැයි කියන්නට මෙනි.

“යමක් සඳහා කැප කිරීමක් නොකළොත් එහි දී ලැබෙන ඵලය අගයෙන් අඩුයි,” ලීලා හිමිහිට මිමිණුවේ රන් වළල්ල ගලවන්නේ නැතිව 1819 වසරේ රාත්‍රියක් ගෙවන්නට ප්‍රංශයේ රැඳී ඉන්නට තීරණය කරමිනි.

****

Honoré Balzac ලියූ Lost Illusions (1893) කතන්දරයේ පසුබිම වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: