Sinhala story Blog

නොවැම්බර් 18, 2012

කිබිසිනි -හදවත් හා සිත් වලින් එකතු වූ මිතුරු කැළ

Filed under: Uncategorized — arunishapiro @ 12:53 ප.ව.

කල්දේරම් වල සූදානමින් ඇති ආහාරය කුමක් දැයි ලීලාට සිතාගත නොහැකිය.

එය කෑම කාමරයට ගෙන යන්නේ කෙසේදැයි කියා ද ඇය නොදත්තාය. එහෙත් ඇය හා සේවය කරන අනික් මෙහෙකාරිය ගෙන් ඒ ප්‍රශ්න ඇසුවොත්, කිසිත් සැකයක් නැතිව මෙවන් ගමන් ආ කළින් වතාවන් හි දී මෙන් තමන්ට ලැබි ප්‍රතිචාර හා සමාන ප්‍රතිචාරයක්, එනම් සිද්ධ වෙන්නේ කුමකට දැයි සිහිකල්පනාව නොදක්වන අයෙකුට ලැබෙන සැලකිල්ල, තමනට නැවතත් ලැබෙන බව ද ලීලා දත්තාය.

“ලීආලා, ඔයා අද පාන් බෙදනවා ද, මට සුප් බෙදන්න දීලා, කරුණාකරලා?” අනික් කෙල්ල විමසයි.

“හා,” ලීලා එක පයින්ම එකඟවුනේ තමා කළ යුතු වූ පැහැදිලි දෙයක් ගැන දැනගත් නිසයි.

අනික් කෙල්ල ඇය දිහා බැලුවේ එය විශ්වාස කරනවා ද නැද්ද යන්න මුහුණේ ඉරියව් වලින් අසමින්.

“ඔයා සුප් බෙදන්න, අද මම පාන් බෙදන්නම්,” ඇය කීවේ තමාගේ කැමැත්ත ප්‍රකාශය වීම කටින් පිට වූ වැරැද්දක් නොවන බව තහවුරු කරන්නටයි. ලීලා රවුම් පොලු මෙන් මේසයක් උඩ ගොඩ ගසා තිබි රත්තරන් පාට පාන් වෙත ගියේ මේවා එකක් එක් අයෙක් කනවා දැයි සිතෙන් විමසමිනි.

“අද මටත් ඩැනියෙල් ඩ’ආර්තේස් කියන ලස්සන අදහස් ටිකක් වැඩිපුර අහන් ඉන්න ලැබේවි එහෙනම්,” අනෙක් කෙල්ල කීවේ සතුට පිරුණ මුහුණක් පාමිනි.

“ඒ කොහොම ද?” සිතන්නට පෙර ලීලාගේ මුවින් වදන් එළියට පැන්නේ ය.

“සුප් බෙදන කොට ඔයා ගාට ගාට හෙමින් හෙමින් බෙදන ගමන් එයාලා කියන ඔක්කොම අහාගෙන ඉන්න හැටි මම දකින්නෙ නැහැ කියලා ද හිතන්නේ?” යැයි ඇය සිනහා වෙමින් ඇසුවාය.

“එහෙනම් අපි මාරුවෙන් මාරුවට, දවසක් හැර දවසක සුප් බෙදමු. එතකොට අපි දෙන්නාට ම එයාලා කියන දේවල් අහගන්න පුළුවන්,” ලීලා යෝජනා කළාය. තමන් මොනවා අහන්නට යෝජනා කරනවා දැයි ඇය දැන සිටියේ නැත.

“ඔය ඇත්තටම ද ඔයා කියන්නෙ? දෙවියනේ, මේක මගේ ජීවිතයේ සතුටුම දවසක්,” යැයි මෙහෙකාර කෙල්ල කියද්දී මුළුතැන්ගෙයට යළි ඇතුළු වූ තරබාරු මැදිවියේ පිරිමියා ඔවුන් දෙදෙනාට තරවටු කළේ විහිළු කරමින් කාලය නාස්ති නොකර කුසගින්නේ පෙළෙනා කොල්ලන්ට ආහාර රැගෙන යන්නට කියාය.

ලීලා සිටි මේසය වෙතට පැමිණි ඔහු දැති පිහියකින් පාන් කෑලි වලට කපා පිඟානක අසුරන්නට පටන් නොගත්තේ නම්, ඔහුගේ ගර්ජනයෙන් බිය වූ ලීලා පාන් පොලු උස්සාගෙන කුස්සියෙන් පිටතට යනවා නිසැකය.

ලීලා ඔහු කපා දුන් පාන් කැබලි පිරි එක පිඟානක් එක අතකට ගනිද්දී අරක්කැමියා ඇයගේ අනිත් අතේ පාන් කැබලි පිරි තවත් පිඟානක් තැබීය. අනෙක් කෙල්ල උණුසුම් දුම් පිටවෙන බාල්දියක් හා පොල්කටු හැන්දක් සේ වටකුරු පිත්තල රවුම් හැන්දක් අතැතිව තමා පසුපසින් එනවා ලීලා දුටුවාය. ඇයට තමාට කළින් යන්නට ලීලා ඉඩ දුන්නේ කොහේ යනවාදැයි නොදන්නාකම නොපෙන්වනු පිණිසය. අනිත් කෙල්ලගේ බාල්දියේ වූයේ තමන් කළින් හැඳි ගාමින් සිටි කල්දේරමේ වූවයි. ඒ සුප් යැයි කාගෙන්වත් අහන්නේ නැතිව දැනගත්තා යැයි ලීලාට සතුටක් දැනිණ.

“අමලී, සුබ දවසක්!” යැයි කේඩෑරී සිරුරකින් වූ තරැණයෙක් කියනවා කෑම කන ශාලාවට පිවිසෙත්ම ලීලාට ඇසුණි. තමන් හා එකට සේවය කරන්නියගේ නම අමලී. ලීලාගේ සතුට තවත් වැඩිවුණි.

“ලීආලා, සුබ දවසක්!” යැයි ඔහු කියද්දී මුළු ශාලාවම පිරී ඉන්නේ තරුණ කොල්ලන් රැසකගෙන් බව දැකි ලීලාගේ මුහුණ රතු විණ. එහෙත් සිහින් සිරුරින් වූ තරුණයා හැරෙන්නට අනිත් කොල්ලෝ ඔවුන් එකිනෙකා හා කතාබහේ වූවා මිස මේ වැඩකරන කෙල්ලන් දෙදෙනා දිහා බැලුවේ නැත.

ලීලා බිම බලාගෙන කේඩෑරී සිරුරින් වූ තරුණයා අසලට එනවාත් සමඟ ම ඔහු ඇය අත වූ පිඟානකින් පාන් කැබැල්ලක් ඩැහැ ගති. අනික් අය ද ඇය ළං වෙන්නටත් පෙරම වාගේ අත් දිගු කර පාන් කැබලි ඩැහැ ගත්හ. එහෙත් එක් කොල්ලෙක් වත් එක පාන් කැබැල්ලකට වඩා ගන්නට උත්සාහ කලේ නැත. එසේම ඔවුන් ඩැහැගත් පාන් කැබලි කටේ ඔබාගත්තේ ද නැත. හැඳි ගෑරුප්පු වලින් සුප් කන ගමන් ඔවුන් පාන් කැබලි ද කපා කෑවේ චාරිත්‍රානුකූලව ය. ඔවුන් කුසගින්නේ පෙළෙන්නවුන් බව ඔවුන්ගේ සිරුරු දිහා බැලූ කළ ඇයට පෙනුණි. ඔවුන් කඩවසම් තරුණයන් වූහ. එහෙත් කෙසඟ සිරුරු වලින් යුතු වූහ. චාරිත්‍රානුකූලව කෑවත් තම තම පිඟන් වල තිබි කෑම හැම කටක් ම අන්තිම ආහාර වේලක් රස විඳින ලෙසින් ඔවුන් අනුභව කළහ.

එහෙත් මෙය සිරකඳවුරක් නෙමෙයි යැයි ඇයට සිතිණ. කඩමාලු වස්ත්‍ර හැඳ සිටිය ද ඔවුන්ගේ හැසිරීම තමා පළමුවෙන් ගිය ස්ථානයේ මෙන් වූ බලාපොරොත්තු සුන් වූ ගතියෙන් නොමැති බව ඇයට දැනුණි. ඔවුන් කතාබස් කළේ හදවත් හා සිත් වලින් එකතු වූ මිතුරු කැළක් මෙනි.

අමලී ඉතා සෙමෙන් සුප් බෙදනා ආකාරය දැකි ලීලාත් පාන් පිඟාන රැගෙන යන වේගය මඳක් අඩු කළේ මෙම ශාලාවේ කතාබහ වෙන්නේ මොනවා දැයි දැනගනු පිණිසය.

අමලීට වඩා මේ අය කියන තොරතුරු වැදගත් වෙන්නේ මට යැයි ලීලා සිතුවාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: