Sinhala story Blog

නොවැම්බර් 12, 2012

කිබිසිනි -හාමතේ ඉන්න කොල්ලො ටික කොයි වේලාවේ හරි පාත්වේවි

Filed under: Uncategorized — arunishapiro @ 7:36 පෙ.ව.

“මහත්තයා ඉස්තෝප්පුවට එන්නෙ නැතිවෙයි අද,” ඉඳුල් පිඟාන ලීලාගෙන් ඉල්ලා ගන්නා ගමන් මෙහෙකාරිය රහසින් කියුවාය.

“ඇයි?”

“ඊයේ රෑ පොඩ්ඩක් වත් නිදා ගත්තෙ නැහැයි කියල නෝනා කිව්වා,” ඇය කට අතින් වසාගෙන කියන්නේ එය උච්චාරණයෙන් යම් දෝෂයක් සිදුවේ යැයි බියෙනි.

ඊයේ රූ ඇද හැලුණු ධාරාණිපාතයත්, හාස්කම් පෙන්වන්නට සමත් ඉස්තෝප්පු කාමරයත්, සමඟින් තාත්තාගේ අසනීප තත්වය සම්බන්ධ වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්නට නොදත්ත ද එහි පැටලුම ඉක්මණින් ලිහාගත යුතු යැයි ලීලා දත්තාය.

තවත් පමා කළ යුතු හේතුවක් ඇයට සිතාගත නොහැක. සියළු අබරණ එකින් එක හෝ පැළැඳ හෝ කුමක් වේ දැයි බැලිය යුතු යැයි ලීලා සිතුවාය. ඉස්තෝප්පු කාමරයට ගිය ඇය රන් අබරණ පෙට්ටියෙන් ගත් රත්තරන් වළල්ලක් අතේ දාගත්තේ කුතුහලයත් බියත් අපේක්ෂාවත් එකිනෙක හා තරඟ කරන සිතකිනි.

කවුදෝ පිටට තට්ටු කරද්දී ලීලා තිගැස්සී උඩ පැන්නාය. ඒ ඉස්තෝප්පු කාමරයට වෙනත් කිසිවෙකු ඇතුල් වෙනවා ඇය නොදැකි නිසයි. එහෙත් ඇය සිටියේ ඉස්තෝප්පු කාමරයේ නොවේ. ඇය සිටියේ ගොජ ගොජ දාමින් උණු උණුවේ තැම්බෙන කල්දේරම් පේලියක් පිරි උණුසුම් කුස්සියකය.

“ලීආලා, ඔතන හිටගෙන අහක බලාගෙන ඉඳලා බැහැ. හැඳි ගෑවේ නැත්නම් උතුරලා ගිහින් ගින්නත් නිවෙයි. ඔයාට බැනුම් අහන්න ඕනෑ ද?”

භාෂාව වෙනකක් වූවාට ලීලාට හැම වචනයක් ම වැටහුණි. උත්තර දුන්නොත් තමා ද ඒ භාෂාවම පාවිච්චි කරන බවට ඇයට සැකයක් නැත. එය මුලින් ම ලත් අත්දැකීමේ ඇසූ භාෂාවට සමාන බව ඇයට නිසැකය. එහෙත් ඒ නිසැක බව දන්නේ කෙසේදැයි පැහැදිලි කරගත නොහැක. මෙවර වළල්ල ගලවන්නට පෙර කොයි වසර ද? කොයි භාෂාව ද? කුමන රට ද? යනාදිය දැනගෙන යා යුතු යැයි ලිලා තරයේ සිතා ගත්තීය.

කවුදෝ ඔවුන් සිටි කුස්සියේ දොර හැරියේය. ලීලාගේ පිටට තට්ටු කරමින් ඇයව බිය ගැන්වූ කෙල්ල විසල් ඇස් වලින් කල්දේරම දිහා බලන්න යැයි ලීලාට රැව්වාය.

පිටු පා සිටි කල්දේරම වෙත හැරුණු ලීලා එහි වූ විසල් හැන්ද කරකවන්නට ගත්තාය. ඇයගේ මුහුණුට දැඩි උණුසුමක් දැනුණි. දහදිය බිංදු එකින් එක රූ රා බෙල්ල දිගේ ගලා යන හැටි ඇයට දැනුණි. ඇය හැඳ සිටියේ අත් දිගට වැටුණු හා කකුල් වැසෙන්නටම දික් වූ සායක් ඇති ගවුමකි. ඒප්‍රනයක් ගවුමට උඩින් තිබුණ ද එහි කිසිත් පැල්ලම් වැටී නොතිබුණි. ඇය හොරැහින් අනිත් කල්දේරම හැඳි ගාමින් සිටි කෙල්ල දිහා බැලුවාය.

ඇයත් ලීලාගේ ම වයසේ වූවාය. ඇයත් හැඳ සිටියේ ලීලා හැඳ සිටි විලාසිතාවේ ම ඇඳුම් ය.

“හාමතේ ඉන්න අපේ කොල්ලො ටික දැන් කොයි වෙලාවේ හරි පාත්වේවි.” ගැඹුරු කටහඬක් සමඟින් තරබාරු මැදිවියේ පිරිමියෙක් ඔවුන්ගේ උරහිස් අතරෙන් කල්දේරම දිහාට එබී බලයි.

“අපි ලෑස්තියි,” අනිත් කෙල්ල ගරුසරු ඇතිව කීවාය.

පිළිතුරක් දෙනවා වෙනුවට ගොරවන හඬක් පිට කළ පුද්ගලයා ලීලා අත වූ දැවැන්ත හැන්ද රැගෙන කල්දේරමේ වූ ආහාරයෙන් රස විපරම් කළේය. ඔහු එහි රසයෙන් තුටු වූ බවක් පෙනිණ.

“බෙදන්න ලෑස්ති වෙන්න,” කියූ ඔහු මේසයක් මත වූ පුරවන ලද ජග්ගු කිහිපයක් රැගෙන කුස්සියෙන් පිට වී ගියේය.

කළින් ගිය හැම වතාවක දී ම තමාට කාට හෝ යමක් ගෙනිහින් දෙන්නට සිද්ධ වූ බව මතකයේ තිබි ලීලා මෙවර ඒ ගැන වඩා සැලකිල්ලක් දක්වන්නට සූදානම් වූවාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: