Sinhala story Blog

ඔක්තෝබර් 26, 2012

කිබිසිනි -හෙණහඬ ආලෝකය හඹා ආවේය

Filed under: Uncategorized — arunishapiro @ 7:06 පෙ.ව.

යෙහෙළියන් තවම පොතත් රැගෙන පැමිණ නැත.

ඉස්තෝප්පු කාමරයේ පොත ඇත්දැයි සෙව්වාට ඵලක් නොවුණි. දැන් එහි යන එන බව රහසක් සේ තියාගන්නට හේතුවක් ලීලාට නැත. අම්මා ඉදිරියේ දී එහි ඇතුල් වෙන්නට හෝ ඉන් පිටට නොඑන්නට පමණක් ලීලා වගබලා ගත්තේ තමා දකින හැම අවස්ථාවක දී ම හටගන්නා මවගේ තැති ගැන්ම සති දෙක තුනක් ඉක්ම ගියත් යාන්තමකින් හෝ අඩු වී නැති නිසාය.

තවත් රන් අබරණක් පැළඳ ගෙන කොහේ හෝ ගිහින් අලුත් තොරතුරක් සොයාගෙන එන්නට හැකිවේවි යැයි කළින් තිබු අදහස ලීලා සිතින් ඉවත් කළාය. අම්මා ඇයව මුහුණට මුහුණ ලා හමුවීම මඟහැර යයි. අම්මාට තමා ගැන ඇති බිය මන්දැයි විමසන්නට ලීලා ගත් සෑම උත්සාහයක් ම නිරර්ථකය. ඉතින් ලීලා තුල පවතින්නේ දැඩි කැළඹිල්ලකි. තාත්තා අසනීප වී ඉන්නා මේ අවස්ථාවේ, ඥාතීන් විසින් ඉඩකඩම් පලහිලව්වක් පටන් ගන්නට ද යන්නා අවස්ථාවක දී, අම්මා සමඟ වදනකට දෙකකට වඩා හුවමාරු කරගත නොහැකි තත්වයක දී, ලීලා තවත් ගමනක් ගිහින් එන්නට පියවරක් ගත්තොත්, ලීලාටත් තාත්තාට සේ අසනීප වුවෙහාත්, අම්මා කොතරම් අසරණ වේ දැයි සිතා ඇය අදහස අත්හැර දැමුවාය.

ඇය සිය නිදියහනේ පාඩම් කරන්නීය. තාත්තා අසලින් වාඩි වී ඉස්තෝප්පුවේ දී පාඩම් කරන්නීය. ගේ අතුගාන, මකුළු දැල් කඩන, පුටු මේසයන්හි දුහුවිලි පිසදැමීම යනාදිය ඇය නොකඩවා කරගෙන යන්නීය. තමන්ගේ ඇඳුම් පැළඳුම් සෝදා වේලා ගන්නීය. ඒ සියල්ලම කරන්නේ ඊ ළඟට ගත යුතු පියවර කුමක් දැයි සිතාගන්නට නොහැකි හිස් බවකිනි.

තහනම් පොතේ නම කිසිවෙක් අහල පහළ නැති විටෙක ලීලා තාත්තාට ඇසෙන්නට යළි කීවාය. ලීලා දෙස බලනා ඔහුගේ මුහුණේ වික්ෂිප්ත බවක් පමණක් පැතිරේ. සිනහව දකින්නට නැත. අම්මා කවද්දී පොවද්දී යමක් වටහාගන්නට උත්සාහ කරන දෑස් වලින් ඔහු ඇය දිහා එක එල්ලයේ බලා සිටියි. අම්මා ඔහුට නොයෙක් තොරතුරු පැවසීම නවතා නැතත් ඒවා ඇහෙන පාටක් දකින්නට නැත. ඒවා අවසන ඔහු යළි නින්දට වැටේ.

පොත කියවන යෙහෙළිය සොයා යෑමට කොතරම් සිත කිව්වත්, ඔවුන් තම ගෙදර ද ආවේ තවත් කොහේ දෝ යන ගමනක දී බව ලීලා දත්තාය. පොත ඉල්ලා ගන්නට යෙහෙළියගේ ගෙදර ගියොත් ඔවුන් ඔවුන්ගේ දෙමාපියන්ට ලීලාගේ ගෙදර එනවා යැයි කියා වෙන කොහේ හෝ ගිහින් ඇත්නම් ඔවුන්ගේ දෙමව්පියන් කළබල වනු ඇත. නොසන්සුන් වී ඉන්නා අම්මාට එවැන්නක් ආරංචි වුවහොත් ඇය තවත් අප්‍රසාදයට හා කළකිරීමට පත්වන බව ලීලා දනියි.

ලීලා ලෑලි පියන හැර රන් අබරණ පෙට්ටියෙන් එළියට ගෙන ඒවායේ සෑම හැඩරුවක් දිහාම බැලුවාය. මැණික් ගැන සහ ආභරණ ගැන වූ පින්තූරු සහිත දැවැන්ත පොත් දෙකක පිටු පෙරලා පෙට්ටියේ ඇති රන් අබරණ ඒවායේ ඇත්දැයි සොයන්නට ඇය දින කිහිපයක් පුරා වෙහෙස වුවාය. එහෙත් සමානකම් ඇති වූවක් දකින්නට නොලැබුණි. මැණික් වල නම් කියැවූ ඇය පුදුම වූවාය. ගෝමේද, තෝරමල්ලි, දියතරිප්පු, මරාමිණි, වෙරළුමිණී යනාදී නම් මැණික් යැයි ඇයට කවුරු හෝ කිව්වා නම් මීට පෙර ඇය සිනාවෙනවා නිසැකය. එහෙත් දැන් මැණික් වල නම් පමණක් නොව අබරණ සඳහා එකතු කරන ලද මැණික් කපා ඇති හැඩයන් ගැන ද, අමුණා ඇති රිදී රත්තරන් හැඩයන් මොනවා දැයි කියන්නට ද ලීලා සමත්. ඇය ඒවා අතපත ගා නැවත පෙට්ටියේ තැබුවේ පැළඳ බලන්නට තිබි දැඩි උවමනාව යටපත් කරගෙන ය.

හෙන හඬක් පුපුරා ගෙදර දෙදරුම් දුනි. තිගැස්සුනු ලීලාට හදිසියේ ම පාත්වෙන මහා වර්ෂාවක හඬ ඇසුණි. ඉස්තෝප්පු කාමරයෙන් එළියට එනවාත් සමඟ පළාතේ විදුලිය ඇණ හිටියේය.

“ඉස්සර වෙලා ජනේල දොරවල් වහලා හිටින්. නැත්නම් ඉටිපන්දම් නිවිලා යාවි හුළඟට.”

“පත්තු කරන්න ඕන්නෑනේ නෝනා. දැන් නිදාගන්නට යන එකනේ.”

මෙහෙකාරියත් අම්මාත් කුස්සිය පැත්තේ සංවාදයක. රෑ කෑම කෑවාද නැද්ද යැයි ලීලාට මතකයක් නැත. බඩගින්නක් ද නොදැනුනු හෙයින් කන්නට ඇතැයි ඇයට සිතිණ. අනික කෑවේ නැත්නම් එයාල කෑම මේසේ අස් කරන්නෙ නැහැනේ යැයි සිතුණත් ඒ දෙන්නාටම තමාව අමතක වුනා දැයි සිතී මනස්තාපයක් ද හටගති. තවත් අකුණක් සමඟින් පළාත ආලෝකවත් විය. තත්පරයයි, තත්පර දෙකයි … හෙනහඬ ආලෝකය හඹා ආවේය.

රූකඩයක් සේ ඇවිද ගොස් අන්ධකාරය තුලින් ළඟින් ළඟ ලැබෙන අකුණු එළියෙන් දත් මැදගත් ලීලා පහනක් පත්තු නොකරම නිදියහනේ ගුලි වූවාය. පීලි අස්සෙන් වතුර ගලනා හඬට ඇය සවන් දුන්නාය. වේගයෙන් හඹන සුළං සමඟින් වහලට වැටෙන වතුර ප්‍රමාණයන් ද අඩු වැඩි වෙන හඬ ඇයට ඇසෙයි. නින්දට වැටෙන්න ඔන්න මෙන්න තිබිය දී ඇයට මුලින් ම ඇසුණු හෙන හඬත් සමඟින් ගසක් ඇද වැටෙනවා ඇසුනා දැයි සිතන්නට උවමනා විය. ඇයි ඒ බව දැනගන්නට ඇති උවමනාව? එහෙත් ඒ ගැන හිතන්නට තරම් කාලයක් අවදියෙන් සිටිය නොහැකි වු ඇය නින්දට වැටුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Shocking Blue Green තේමාව. WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

පසුහඹන්න

Get every new post delivered to your Inbox.

Join 25 other followers

%d bloggers like this: