Sinhala story Blog

අගෝස්තු 31, 2012

කිබිසිනි -අම්මා සකසුරුවමින් වැඩ පටන් ගෙන හමාර ය

Filed under: Uncategorized — arunishapiro @ 8:43 පෙ.ව.

ඉස්පිරිතාලයෙන් ගෙදර ආ තාත්තා සතියකට පසුවත් කිසිත් කතාබහකින් තොර විය.

අම්මා අතින් කවන ආහාරයක් ගිල දමන, මුවට ළං කරන වතුර වීදුරුවක් හෝ තේ කෝප්පයක් පානය කරන ඔහු ඉස්තෝප්පුවේ ඇඳි පුටුවේ දිගා වී කාලය ගෙවන්නේ වටපිටාව ගැන කිසිත් තැකීමකින් තොරව ය. ඥාතීන් වෙතින් හා දන්නා හඳුනන අයගෙන් මෙන් ම තාත්තාගේ කාර්යාලයේ හිත මිතුරන් වෙතින් ද අරහෙම කරලා බලන්න මෙහෙම කරලා බලන්න යැයි අවවාද රැසක් අම්මාට ලැබිණ. තාත්තා බලන්නට ආ කෙනෙක් වැඩි වේලාවක් රැඳී නොසිටියේ කතාබහක් හුවමාරු නොවූ නිසයි.

ලීලාගේ ජීවිතය වෙනස් මාර්ගයක යන ගමනක් අරඹා ඇත. මෙතෙක් කාලයක් ඇයට පැවරී තිබි වගකීම වූයේ අධ්‍යාපනික කටයුතු මනාව නිම කිරීම පමණකි. දැන් ඊට අමතරව ඇයට ගෙදර දොර පිරිසිදු කිරීම හා ඉස්තෝප්පුවේ තාත්තා හා කාලය ගෙවන්නට ද පැවරී තිබුණි. තාත්තාගේ ආදායම පමණකි ඔවුන්ට තිබි එකම ආදායම් මාර්ගය. තාත්තා නොගත් නිවාඩු සියල්ල මේ දිනවල ගෙවී යයි. අනතුරුව වේතනය නැවතෙනු ඇත. ආර්ථික අරපිරිමැස්ම දත් අම්මා තොරතුරු හොයාගන්නට බැංකුවට ගියාය. තාත්තාගේ කාර්යාලයට ගියාය. තාත්තාට සුවය ලැබෙන තෙක් පවුල රැකීමේ වගකීමට ඇය මූලික වුවාය.

“අර ගහ අයින් කරන්න කාත් එක්ක ද දන්නෑ මහත්තයා කතා කරගත්තෙ?” මෙහෙකාරිය ගෙන් අම්මා අසනවා ලීලාට ඇසිණ.

“මේ පැත්තෙ වැටිච්ච ගස් ටික ඔක්කොම අයින් කරලා තියෙන්නෙ සේන.”

“දන්නවැයි ඒ කවුද කියලා?”

“සිරිසෝම බාස් ගේ පුතා. අර හිස් ඉඩමට එහා පැත්තෙ සියඹලා ගහ ළඟ ගෙයක් හදන්න පටන් අරන් ඉන්නෙ ඒ අය තමයි.”

“කීයක් ගියා ද දන්නෑ ඒ තරම් ගහක් අයින් කරන්න.”

“මං අහලා බලන්නම් නෝනා, මේ ඊයේ පෙරේදා තමයි එහා වත්තෙ ගස් දෙකක් අයින් කළේ.”

“කීයක් ගියත් අහක් කරන්න වෙයි. ඒක වැටිච්ච හරියේ තමයි එළවළු පාත්ති ටික ඔක්කොම හරියන්නෙ.”

ඔවුන් කඩෙන් මිල දී ගන්නා බඩු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව ලීලාට වැටහුනේ එවිට. ඔවුන්ට එය නොදැනෙන්ට අම්මා සකසුරුවමින් වැඩ පටන් ගෙන හමාර ය.

ඉස්තෝප්පුවට ඔළුව දමා බැලූ අම්මා තාත්තා අසල පුටුවක වාඩි වී පොතක් ඇරගත් ලීලා දෙස බැලුවේ කිසිවක් ඕනෑ දැයි අසන්නට මෙනි. ලීලා නිකටෙන් තාත්තා නිදන බව අම්මාට පෙන්වීය. ඔහුගේ සංසුන් නිදන විලාසය දැකි අම්මාගේ මුහුණේ ද සිනාවක සේයාවක් පැතිරැණි. ඇය හිටියාට වඩා කෙට්ටු වී ඇතැයි ලීලාට සිතුණි.

පොත වෙතට යළි නෙත් යොමු වුනත් ලීලාගේ සිත ගියේ ඉස්තෝප්පු කාමරයටයි. තාත්තා ඉන්නා මේ තත්වය අනුව අම්මාව තනිකර කොහේවත් යෑම සුදුසු ද නැද්දැයි ලීලා සිතින් විමසුවාය. කිසිත් කාලයක් ගෙවී නොයන ලෙසින් ගිහින් එන්නට හැකි වුනත්, යන ගමනෙන් වැඩක් ගන්නට නොදැන යෑමෙන් ඵලක් ඇත් ද? පොතේ පිටු බොහොමයක් කියවන්නේ නැතිවම පෙරලා ඇති බව වැටහුනෙන් ලීලා පොත වසා දැමුවාය. එය අනිකුත් පොත් උඩින් තබද්දී ඇයගේ සිහියට ආවේ ඉස්තොප්පු කාමරයේ හැම අස්සක් මුල්ලක් පිරෙන්නට ම ගොඩගසා ඇති පොත්පත් හා සඟරා ය.

කොහේවත් නොගිහින් ඒවායෙන් යමක් දැනගන්නට ලැබේවි ද?

දවස පුරා නිවසේ හැම අතකම යන අම්මාට නොදැනෙන්නට ඉස්තෝප්පු කාමරයට ඇතුල් වෙන්නට ඉස්පාසුවක් සොයාගන්නේ කෙසේද?

තාත්තා නිවසේ සිටිය දී ඊට ඇතුල් වුවහොත් තාත්තාට තවත් අමාරු වෙයි ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: