Sinhala story Blog

අගෝස්තු 21, 2012

කිබිසිනි -මහේශාක්‍ය ෂටෝනි

Filed under: Uncategorized — arunishapiro @ 9:19 පෙ.ව.

දුම්රියක් එන හඬක් ඇසුනෙන් තමන් ඉන්නේ රඟහලක නොව දුම්රිය තොටුපොළක බව ලීලාට වැටහිණ.

ඇය වහාම මහපටැඟිල්ල දිහා බැලුවාය. අත වැසී තිබි හම් අත්වැසුම් අස්සෙන් එහි මුද්ද රැඳී ඇත්දැයි අත ගා සැක පහන් කරගත්තා ය. ඇය තුල චකිතයක් හෝ බියක් නොවීය. රඟහලට නැවත ගියේ නැතැයි පසුතැවිල්ලක් ද නොවීය.

දුම්රිය නැවතුම් පල වූයේ සීතල පරිසරයක. ඇයගේ වත වැසෙන්නට දිගු රැළි අත් වලින් යුතු සන්ධ්‍යා ගවුමක් නොවීය. සත්ව ලොම් වලින් එන පිළුණු ගඳකින් යුතු කබල් කබායකින් ඇයගේ ගත ආවරණය වී තිබිණ. ලොම් තොප්පියක් හිස මත විය. සීතල සුළඟක් හඹා ගියේ මුහුණ ගිනියම් කරන වේදනාවක් උපදවමින්.

තිරිංග තද කරන කෙඳිරියකින් දුම්රියක් තොටුපළ වෙත පැමිණියේය. දුහුවිලි පිරි ලෑලි පදිකවේදිකාවේ දුහුවිලි පිරි බූට් සපත්තු වැදෙනා හඬ ඇසිණ. දුම්රියෙන් බහින මඟීන් දිහා සුපරීක්ෂාකාරීව බලා සිටිනා බයිනේත්තු උරුක් කරගත් සොල්දාදුවන් ලීලා දැක්කේ එවිටයි. බහින මඟීන් පොදි හා මළු උස්සා ගෙන ලහි ලහියේ වේදිකාවෙන් ඉවත් වී දොරටු වෙත දිව ගියේ නැතිවා පමණයි. හරියට සොල්දාදුවන්ගේ ඇස් වලින් පලා යන්නට මෙනි.

දුම්රිය දිහා බලද්දී එහි මඟී ප්‍රවාහනයට වූයේ එක මැදිරියකි. හමුදා නිලධාරියන් ප්‍රවාහනයට තවත් මැදිරියක් විය. බහුතරය බඩු ප්‍රවාහනයට වූ වසා දමන ලද මැදිරියන් ය.

ලීලා තමන් වාඩි වී සිටි පොට්ටනි ගොඩෙන් නැඟිට හිටගත්තේ මේ ස්ථානය කුමක් ද? මෙහි තමා ඇවිත් ඉන්නේ කුමකට දැයි සොයා බලන්නට ය. නලාව පිඹමින් ආ දුම්රියක් අනිත් වේදිකාවට පිවිසියේ සැවොම තැති ගන්වමින්. දුම්රිය ස්ථානයේ වූ සියල්ලන් ම තැති ගත් බව තමා කෙසේ දත්තේ ද යන්න ලීලාට පහදා ගත නොහැකිය. නමුත් කුමක් හෝ අවදානමක් හා කලබැගෑනියක් සිදුවන බව ඇය දත්තාය.

අලුතින් ආ දුම්රියෙන් බැසි සිය ගණනක සොල්දාදුවන් බයිනේත්තු උරුක් කරගෙන දිව ගොස් අර නිලධාරීන් සිටි දුම්රිය මැදිරිය වටකර ගත්හ.

“මොකක්ද ඒ සොල්දාදුවන් කරන්න යන්නෙ?” අමුතු බසකින් ඇගෙන් ඇහැව්වේ දිරා වැටිච්ච කබායක් පැළඳි මුවේ දත් නැති මහළු කාන්තාවකි. බස කුමක් දැයි නොදත්ත ද කියන්නේ කුමක් දැයි ලීලාට තේරුම් ගත හැකිවිය. මම උත්තරය දන්නවා නම්, ඒක කියන්න ගියොත් මේ මනුස්සයාගේ භාෂාවෙන් ම පිටවෙයි උත්තරයත්, ඇය සතුටින් සිතුවාය.

“වෙන මොකක් ද ඉතින්, අනිත් හැම වතාවෙ ම කරන එකම මිසක්,” ලීලා අසල වූ කෙසඟ මිනිසෙක් සූර්යකාන්ත මල් ඇටයක් සූප්පු කරමින් කීවේය.

මම කොහොම ද දන්නෙ මේ මිනිහාගේ කටේ තියෙන්නෙ සූර්යකාන්ත මල් ඇටයක් කියලා? ලීලා සිතුවාය. ඔහු ඇටය සපා පොත්ත දිවෙන් පදිකවේදිකාවට විසි කළේය. කබායේ පොකැට්ටුවකින් තවත් ඇටයක් ගෙන කටට දමා ගති.

මහළු ලුතිනන්වරයෙක් සහායකයෙක් සමඟින් ඒ පැත්තට ඇදුනි. ඔහුගේ නිල ඇඳුම් ලුතිනන්වරයෙකුගේ බව තමා දන්නේ කොහොම දැයි ලීලා නොදත්තාය.

මුවේ දත් නොමැති මහළු කාන්තාවගේ දෑස් අමුතු දිස්නයකින් පිරී ඉතිරී ගියේය.

“මහේෂාක්‍ය ෂටෝනි!” ඇය මිමිණුවාය.

මේ මිනිහාගේ කටේ හැපෙන්නෙ සූර්යකාන්ත මල් ඇටයක් කියලා දැනගත්තාට, අර නිල ඇඳුම් ලුතිනන්වරයෙකු ගේ යැයි දන්නවා වුනාට, ඇයි මම එයා මහේෂාක්‍ය ෂටෝනි බව දන්නෙ නැත්තෙ? ලීලා නොසන්සුන් වූවාය. මෙයා ඒ දුම්රියෙන් බැස්ස සොල්දාදුවන්ගේ ලුතිනන්වරයා වෙන්න බැහැ. ඒ සොල්දාදුවන් ලුතිනන්වරයා වෙත පෑවේ රදුරු දෑස්. ඒ සොල්දාදුවන්ගේ බයිනේත්තු රැගත් තුවක්කු මනා ඔපයෙන් දිළිසුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: