Sinhala story Blog

අගෝස්තු 20, 2012

කිබිසිනි -අහුවුනොත් තාත්තා සමාව දෙයි ද?

Filed under: Uncategorized — arunishapiro @ 11:00 පෙ.ව.

ලීලා සිටියේ ඉස්තෝප්පු කාමරයේ ඇතුලත ය. වැසුණු දොරට පිට දීගෙන ය.

ඇස් වසමින් ඇස් අරිමින් ඇය තමා සිටි රඟහලෙන් නික් ම ආපසු නිවසට ඇවිත් බව නිශ්චය කරගත්තා ය. උදෑසනින් වැඩ පටන් ගන්නා කුරුල්ලෝ ගී ගයන්නට රැල් බුරුල් හරිනා හඬ වටපිටාවෙන් ගලා එයි.

ඇයගේ ඇඟිල්ලෙන් ගිලිහුණු මුද්ද පෙරළී ගියේ බිමට නිසා ඇය දණහිසට මඳක් උඩින් අත් දෙක තබා නැවිච්ච කකුල් වලින් සිමෙන්ති පොළවේ හැම අඟලක්ම පිරික්සන්නට වූවාය. තාත්තා වැඩට යන්න කළියෙන් මුද්ද බලලා යන්න ඉස්තෝප්පු කාමරයට ඒවි ද? ඒත් තාත්තා කිසි දිනයෙක මෙහි ඇතුල් වෙනවා තමා දැක නැති බව මතක් වී ඇය සැනසුම් සුසුමක් හෙළුවාය.

ලීලාට උවමනා වූයේ මුද්ද සොයාගෙන එය පෙට්ටියට දමා කාමරයෙන් පිටවෙන්නට යි. ඒත් කුස්සිය පැත්තෙන් අම්මා දවසේ වැඩ පටන් ගෙන ඇති බව කියා පාන නාදයන් ඉස්තෝප්පු කාමරයට ඇහෙන්නට පටන් ගති. අනිත් අය ඇහැරේවි යැයි අම්මා මෙහෙකාරියට රහසින් කියන අණ නිහඬ පරිසරයේ පැහැදිලි නැති මුත් ඔවුන් හැම දිනයෙක පටන් ගන්නා එකම කාල සටහන මැනවින් කියා පායි.

රතු සිමෙන්ති පොළවේ මුද්ද පෙනෙන්නට නැත. ලීලා පුටුව අසල වූ රතු පැහැති ලෑලී තීරුව එසවූයේ මුද්ද එහි ඇත්දැයි බලන්නට ය. එහෙත් ඇතුලත කුහරයේ බහා ලූ අගුල් නැති පෙට්ටියට අත තබනවාත් සමඟ තාත්තා නිදිමතෙන් උගුර කාරමින් ඉස්තෝප්පුව වෙත පියමං තබන හඬ ලීලාට ඇසිණ. ලීලාගේ හදවත වේගයෙන් ස්පන්දනය වුණි. තාත්තා හෝ අම්මා එපා යැයි කියූ දෙයක් ඇය උවමනාවෙන් ම කළ දවසක් ඇයගේ සිහියට නංවා ගත නොහැකියි. මෙහි ඇතුල්වන්නට එපා යැයි තාත්තා කෙළින් ම කියා නැතත් අම්මා නම් ඊට ඇතුල් වන්නට එපා යැයි තරවටු කර ඇත.

අහුවුනොත් තාත්තා සමාව දෙයි ද?

උගුර කාරා කෙළ පිඬක් මිදුලට ගැසූ තාත්තා ඇඳි පුටුවට බර දුන් විට චිරි චිරි ගා පුටුව ඒ බරෙන් විරෝධය පානා සද්දය ලීලාගේ හෘද ස්පන්දනය තවත් ඉක්මන් කළේය. දැන් මෙතැනින් පිට වී යන්නේ කෙසේ ද?

තේ කෝප්ප දෙකක් බන්දේසියක තබාගෙන ආ අම්මා එකක් තාත්තා අතට මාරු කරද්දී කෝපපයත් පීරිසියත් වෙව්ලන හඬත්, අනතුරුව අම්මා තම තේ කෝප්පය හා පීරිසිය වෙව්ලද්දී පුටුවකට බර දෙන හඬත්, ඒ පුටුවත් විරෝධය පාමින් චිරි චිරි ගානා සද්දයත් ලීලා අසා ගෙන සිටියේ උගුලකට හසු වූ හාවෙක් මෙන් බියේ ගැහෙද්දී ය.

කුමක් වෙනවා දැයි නොදන්න නොතේරෙන තැන් වලට යන්න බයක් නැහැ. ඒත් අම්මා තාත්තාට නෙ පුදුම බයක් තියෙන්නෙ. එසේ සිහි වූවාට බිය පහවූයේ නම් නැත. ඔවුන් දෙදෙන තව කොපමණ කාලයක් ඉස්තෝප්පුවේ රැඳී සිටිනු ඇත් ද? තාත්තා පුටුවෙන් නැඟිට මේ කාමරයට එයි ද? අම්මා පුටුවෙන් නැඟිට ලීලාව කූද්දන්නට ලීලාගේ නිදන කාමරයට යයි ද?

කරකියා ගන්නේ කුමක් දැයි නොදත් ලීලා බිම ඉඳගෙන, කකුල් වටා අත් බැඳගෙන, පොත් අල්මාරියකට පිට දී දොර දෙස බලාගෙන සිටියාය. තාත්තා අම්මා සමඟ ගහ කපා ඉවත් කරන්නාට දිය යුතු මුදල් ගැන කතාබහක නියැළෙයි. අම්මා තාත්තා ගෙන් ඒ දර කොටන් අඩුක් කරන්නේ වත්තෙ කොයි පැත්තේ දැයි විමසයි. කරන්නට වෙන දෙයක් නැති නිසා ලීලා නැවතත් රතු සිමෙන්ති පොළවේ එක කොණකින් පටන් ගෙන හැම සෙන්ටි මීටරයක් දිහා ම ඇස් යොමු කරන්නට පටන් ගත්තා ය.

අඩු ගානේ මුද්ද වත් හොයා ගන්න පුළුවන් නම්!

අම්මා හිස් තේ කෝප්ප බන්දේසියට තබාගෙන පුටුවෙන් නැඟිට ගේ ඇතුලට යන බව ලීලාට ඇසුණි. ඇය මොහොතක් දෙකක් හුස්ම නොගෙන සිටියේ තාත්තා කුමක් කරයි දැයි කන් යොමු කරගෙන ය. මේසයේ ලී කකුලක් අසල මුද්ද හැංගී සිටිනා බව ලීලා දැක්කේ තාත්තා පුටුවෙන් නැඟිටින සද්දය ඇහෙද්දී ය. ගෙරවිලි හඬකින් උගුර පෑදූ ඔහු ගේ ඇතුලට නොයා ඉස්තොප්පු කාමරයේ දොර වෙත එන බව ලීලාට දැනිණ. මේස කකුල වෙත පැන්න ඇය වහාම මුද්ද රැගෙන එය කළින් පැළඳි මහපටැඟිල්ලේ දමා ගත්තේ දැන් ආපහු ගියාම තමා අතුරුදහන් වූවා කියා අර අක්කා බනිවී ද දන්නෑ යැයි සිතමිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: