Sinhala story Blog

අගෝස්තු 15, 2012

කිබිසිනි -තාත්තා දන්නවා නම් අම්මාත් ඒක දන්නවා ද?

Filed under: Uncategorized — arunishapiro @ 8:57 ප.ව.

වත්තේ ඇවිදීම නවතා හනිකට නිවසට ඇතුල් වූ තාත්තා නිදන කාමරයට වැදුනේ දොරත් අඩවන් කරගෙන ය.

ලීලා නැවතත් ඇයගේ මේසය ළඟින් වාඩි වී පොත් වලට එබුණි. එළිමහන් සුළඟ වැදී, කියවන කරුණු කාරණා ඉක්මණින් අල්ලා ගන්නට මනස ප්‍රාණවත් වී ඇති සේ ය. රාත්‍රී ආහාර සුදානම් යැයි අම්මා හඬ ගා දෙතුන් වතාවක් කියනා තෙක් ම ලීලා පොත්වලින් ඇස් ඉවත් කළේ නැත.

කෑම මේසයට තාත්තා පැමිණියේ ලීලා අසුන් ගත්තාට පසුවයි. ඔහු වෙතින් වහනය වූ කොහොඹ සබන් සුවඳ ආහාර සුවඳින් මැකී ගියේය. කෑම මේසයට එන්නට ලීලා ප්‍රමාද වූ නිසා අම්මාගේ මුහුණේ පැතිර තිබු නෝක්කාඩුව මැකී ගියේ තාත්තා මේසයට වාඩි වෙන්නට පෙර අම්මාගේ හිස් මුදුන සෙමෙන් සිප ගත්තාට පසුවයි.

“මේ තියෙන්නෙ මං ආසම කෑම,” කොස් මැල්ලුම යහමින් බෙදා ගනිමින් තාත්තා කිව්වේ ප්‍රීතියෙන්.

“කරෝල කෑල්ලක් බැද්දෙ නැහැ. ඊ ළඟට වතුර බොන්න ඕන වෙලා රෑ පුරා ම ඇහැරුනොත් කියල,” අම්මා කීවාය.

“බලන්න ලීලා, අම්මා අපි ගැන කොච්චර වෙහෙසෙනවා ද?”

අම්මා බත් කෑවේ අහුරක් දෙකකි. කනවාට වඩා තාත්තාගේ හා ලීලාගේ පිඟානේ අඩුපාඩු බැලීම ඇයගේ සිරිතයි. ඔවුන්ගේ පිඟන් වතාවක් දෙකක් පුරවන්නට ලැබීම ඇයගේ සතුටයි. බත් ඇටයක් වත් ඉතිරි නොකර පිඟාන හිස් වෙන්නේ නම් ඒ තරම් සතුටක් අම්මාට නැත. ලීලා මෙන් තාත්තා ද එදා රාත්‍රියේ තම තමන්ගේ පිඟන්වල බත් ඇටයක් වත් ඉතිරි කළේ නැත.

එදා රෑ නින්දට යන්නට පෙර ඔවුන්ගේ නිදන කාමරය පැත්තෙන් තාත්තා “මම හෙට හොයාගෙන එන්නම් ගහ අයින් කරන්න කෙනෙක්,” යැයි කියනවා ලීලාට ඇසුණි. අම්මා ඊට දුන් පිළිතුර ඇසුනේ නැතත් එයින් පටන් ගත් තාත්තාගේ සිනාව නිවස පුරා පැතිරිණ.

මඩ වළට තාත්තා පයින් ගැසුවේ එහි යමක් තිබේදැයි සොයන්නට ද? ඉස්තෝප්පු කාමරයේ ඇති අනිත් අබරණ ද හමු වූයේ ඒ විදියට ම ද? කොළ, නිල් හා රතු පාටින් මිණිකැට ඇල්ලූ පදක්කම ඇති මාලයේ අද්භූත හාස්කමක් ඇති බව තාත්තා දන්නවා නම් අම්මාත් ඒක දන්නවා ද? එහෙම නම් ඇයි ඉස්තෝප්පු කාමරයේ දොරට අගුල් ලා නැත්තේ?

අද සොයාගත් මුද්ද නිසා ද තාත්තා එතරම් ප්‍රිතියකින් පසුවූයේ? ගහ කඩා වැටීමත් තම අත්දැකීමත් අතර සම්බන්ධයක් තියේ ද?

තමන් පාඩම් කරන අතර තුර තාත්තා නිදන කාමරයෙන් පිටතට ආවේ නැති බව ලීලාට සිහිවිය. සමහර විට ඇවිත් යන්නැති. මම දකින්නෙ නැතිව ඇති, ඇය සිතුවාය. මම ගියා වගේ මුද්ද දාගෙන කොහේ හරි යන්න පුළුවන් වුනා ද දන්නෑ … ඒ මුද්දෙන් යන්න පුළුවන් කොහාට දැයි සොයන්නට ඇයටත් සිත්විය.

මුද්ද කාගේ දැයි තාත්තා ගෙදර කිසිවෙක් ගෙන් විමසුවේ ද නැති බව සිහිවෙද්දී ලීලාගේ දෑස් නිදිමතින් පියැවුණි.

ප්‍රතිචාර 2 »

  1. අර කිව්වත් වගේ අම්මලා කොච්චර නම් වෙහෙසෙනවද…
    ලස්සන ලියවිල්ලක් !

    ප්‍රතිචාර විසින් මධුරංග — අගෝස්තු 15, 2012 @ 11:04 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: