Sinhala story Blog

අගෝස්තු 13, 2012

කිබිසිනි -අල්ලේ දිලෙන ඔපයක් නැති රත්තරන් මුද්ද

Filed under: Uncategorized — arunishapiro @ 9:05 පෙ.ව.

දින කිහිපයක් ගෙවී ගියේ නොදැනුවත්ව.

අනේක වාරයක් ඉස්තෝප්පු කාමරයේ අබරණ පෙට්ටිය සිහියට ආව ද, ලීලා දොරට අත තැබුවේ නැත. එදා සිද්ධ වූයේ කුමක් දැයි ගෙදර කාගෙන් හෝ අහන්නට දිව නළියෙව්ව ද ඇය ඒ ගැන වදනකුදු පිට නොකළාය. තමාගේ අත්දැකීම සත්‍ය්‍යක් ද නැත්නම් මායාවක් ද යන්න ඇයට තෝරා බේරා ගත නොහැකි විය.

ඒත් මායාවක් අත්දකින කෙනෙක් ට පසුව එය මායාවක් යැයි හිතන්නට හැකියාවක් තියෙනවා ද?

ඇය බලහත්කාරයෙන් ම සිත යොමු කළේ පාඩම් පොත්වලට. පොත්වල පිටු අස්සේ ඇය උත්තරයක් හොයන්නට ගියේ නැත. පොත්වල පිටු අස්සේ කිඳා බැස ඇය එයින් අබරණ පෙට්ටිය ගැන හා එදා රෑ ගමන ගැන සිත යොමු නොකර ඉන්නට හැකි තරම් උත්සාහ ගත්තාය.

“ලීලා මේ පාර නම් පොතපතේ වැඩට ටිකක් බැහැලා වගේ,” තාත්තාට කියන අම්මාගේ වදන් ඇසී ලීලාගේ මුවේ සිනාවක් පැතිර ගියේය.

“දරුවට ඉඩක් දෙන්න, හැම තිස්සෙ ම පස්සෙන් පන්නන්නෙ නැතිව,” තාත්තා ගෙරවීය.

“පස්සෙන් පන්නපු නිසා තමයි දැන් ටිකක් හරි ..” යැයි අම්මා පටන් ගනිද්දී තාත්තා නළල රැලිකර රැවිල්ලකින් සංග්‍රහ කළේය. වටපිට බැලූ අම්මා තම වදන් ලීලාගේ සවනට ගලා යන දුරින් ඇය සිටින බව දැක නිහඬ වූවාය.

“අර ගහ තාම කපන්න කෙනෙක් හොයාගත්තෙ නැහැ.”

“මෙදා පාර වැස්සට මැරිච්ච ගස් ගොඩක් වැටිලා. තව සති දෙක තුනක් වත් යයි කාට හරි ඉවරයක් ලැබෙන්න.”

මුළුතැන්ගෙය පැත්තෙන් හොද්දක් සමඟින් වූ හට්ටියක් බිම වැටී තැලී පොඩි වී යන හඬක් ඇසිණ.

“නෝනා, නෝනා …”

අම්මා ඔවුන් අසලින් ඉවත් වී ගියේ සැනෙකින්. තමාටත් වඩා වේගයකින් අම්මාට ඇවිදින්නට හැකි බව දුටු ලීලා මෙතෙක් තමා නොදැකි දේවල් කොතරම් මේ ගෙදර ඇත්දැයි මොහොතකට සිතුවාය.

“යමු වත්තට. අපිට කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ තව පැය දෙතුන් හමාරක් යනකම්,” තාත්තා ලීලාට අතින් සංඥා කළේ ඔහු හා එක්වන ලෙසට ය. පොත් ටික මේසයේ පැත්තක ගොඩ ගසා, පුටුව මේසයට ළං කර තබා ලීලා තාත්තාගේ පස්සෙන් ගමනට එක් වූවාය.

ඔවුන් දෙදෙනා නිහඬව වත්ත පුරා තිබි අඩිපාරේ ඇවිද්දහ. දැවැන්ත ගස් වලින් පොළව උඩට මතු වී තිබි මුල් උඩින් පා තබමින් ගියහ. ඉඳහිටක නැවතී මලක සුවඳ ඉඹින්නට අත්තක් පහලට ගෙනැවිත් ලීලාට අවස්ථාවක් තාත්තා පාදා දුන්නේ ය. ගස්ලබු ගෙඩියක් ඉදෙන්නට පෙර ම කපුටෙක් කොටා ඇති හැටි දැක ඔහුගේ මුවේ සිනාවක් ඇඳින. ඔහු කිසිත් නොකියා නිකටෙන් එය ලීලාට පෙන්වීය.

අම්මා දැක්කා නම් ඕක කපුටන්ට කන්න බැරිවෙන්න එතුවෙ නැහැ කියලයි අවලාදය ඇහෙන්නෙ. කපුටන්ට කන්නට හැකිවීම ගැන තාත්තා සතුටක් ලැබුවා සේ ය.

ඔවුන් ඉදිරියේ මඩ වළකි. වැස්සෙන් එකතු වූ වතුර බැස යන්නට නොහැකිව වතුරට ගහගෙන ඇවිත් හැදුණු පස් කණ්ඩියකට හිර වී අකමැත්තෙන් පල් වෙවී කල් ගෙවනා සේ ය. පස් කණ්ඩියට පයින් පහරක් ගැසූ තාත්තා කැඩුණු තැනින් වතුර ගලා යන හැටි බලා සිටියේය.

වතුර ගලා ගොස් දිළිසෙන යමක් වල මැද්දේ ඉතිරි කළේය. තාත්තා එය අපේක්ෂාවෙන් සිටියා ද? ඔහු සරමේ කොනක් එක අතකින් අල්ලා මඩේ නොවැදෙන සේ උස්සා ගෙන අනෙක් අතින් එය ඇහින්ඳේය. ලීලා වෙත අල්ල පෑවේය. තාත්තාගේ අල්ලේ රත්තරන් මුද්දකි. රත්තරන් මුද්දේ ඔපයක් නැතත් එහි අල්ලා තිබුනේ කහ පාටින් දිලෙන මැණික් කැටයකි.

ඔසවා ගත් සරමේ කොන අතහැර ප්‍රශ්නයක් නඟනු එපා යැයි තොල් මතට වෙදැඟිල්ලක් තබා සංඥා කළ තාත්තා අල්ල ගුලි කරගත්තේ මුද්ද නොපෙනෙන්නට ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: