Sinhala story Blog

ජූලි 16, 2012

වෙළඹක් පැටව් ගහන්න සූදානම් කරන ආකාරයට

Filed under: Uncategorized — sinhalashortstories @ 9:59 පෙ.ව.

ඔහු ඇයගේ කැමැත්ත ඉටු කළේය.

ඔහු කොතරම් ඇයගේ කැමැත්ත කරන්නට උත්සාහ ගත්තා දැයි කිවහොත් රතු මිණිකැට මෙන් වූ දෙළුම් ඇට එකින් එක මහපැටඟිල්ලෙන් හා වෙදැඟිල්ලෙන් ගලවමින් දෙළුම් ගෙඩියකින් බාගයක් කන්නට පවා ඉදිරිපත් විය. ඔහු එය මිනිත්තු දෙක තුනක් කර අනතුරුව එහි ලෙල්ල රීදි බන්දේසියේ තැබුවේය. ඔහු තම තනි කාච ඇස් කණ්ණාඩිය ඇසේ නිසි සේ රැඳ වී ඇත්දැයි අත ගා බැලීය. “ආදිපාදවරියෙනි, මම ඔබේ තාත්තාට සේවය කරලා තියෙනවා වසර විස්සක්. ඉතින් දෙවියන්ගේ ආශීර්වාදයෙන් මම හිතනවා මටත් වසර විස්සක් ඔබට සේවය කරන්නට හැකි වේවි කියල.”

“මමත් එහෙම පතනවා,” ග්ලෝරියානා කීවේ විඩාබරිතව ය. මවුන්ට්ජෝයි සිටුවරයා මෙසේ කතාව පටන් ගනිද්දී යම්කිසි සැලැස්මක් මඟ එන බව ඇය දත්තා ය.

“මගේ පවුල,” සිටුවරයා කියාගෙන ගියේය, “ග්‍රෑන්ඩ් ෆෙන්වික් පාලකයන්ට සේවය කරලා තියෙනවා දනව්වේ ආරම්භක දවසේ සිට. ඔබට මතක් කරගන්න පුළුවන් ඇති ආදිපාදවරියෙනි, මගේ මුත්තා මෝටිමර් පර්සිමන් තමයි සර් රොජර් ෆෙන්වික්ගෙ ආරක්ෂක සගයා වූයේ. මේ මාලිගාව අද පිහිටන කන්ද අල්ලා ගෙන ඔහු සර් රොජර් එක්ක එකට සටන් වැදුන කෙනෙක්. ඒ නිසයි ඔහුට සිටුවරයෙක්ගෙ තනතුර ලැබුනෙ.”

“ඔව් මම ඒක දන්නවා,” ග්ලෝරියානා කීවාය.

“ඉතින්, මගේ වඩාත්ම කැමැත්ත තමයි මවුන්ට්ජෝයි පවුලට සර් රොජර්ගෙ පරම්පරාවෙන් එන අයට සේවය කරන්න ලැබීම නොනවත්වා ම කරගෙන යන්න. අනාගතයේ දී ත්. හැම කාලයකට ම. ඒත් ඉතින් මේක සිද්ධ නොවෙන්න ඉඩ තියනවා.”

“මොකක් ද ඒ කතාව?” ග්ලෝරියානා ඇසුවේ සිත් කැළඹිල්ලකිනි. “ඔයා වෙන කොහේවත් යන්න හිතනවා නොවේ නේද?”

“නැහැ, ආදිපාදවරියෙනි. අනාගතය රඳා පවතින්නෙ මගේ පවුල මත නෙමෙයි, ඔබේ අතේ.”

“මගේ අතේ?” ග්ලෝරියානා හඬ වැඩිකරමින් ඇසුවාය.

“ඔව්,” මවුන්ට්ජෝයි සිටුවරයා කීය. “ඔබේ අතේ. මේ කාරණාව ටිකක් පරිස්සමින් ගෙනෙන්න ඕන එකක්. ඒත් ඔබගේ පරණතම අනුශාසකයා හැටියට, මම ඔබේ අවසරය ඉල්ලනවා ඒ ගැන කතා කරන්න. කෙළින් ම කාරණාවට බැස්සොත්, ආදිපාදවරියෙනි, ඔබ අවිවාහකයි, ඔබට කාත් කවුරුත් නැහැ. ඒ නිසා ෆෙන්වික් නාමයේ වඳ වීම අත ළඟ.”

ග්ලෝරියානාගේ මුහුණ රතු විය. “මම ලැහැස්ති නැහැ විවාහය ගැන සිතන්න,” ඇය කීවාය. “අනික, මට විවාහ වෙන්න ඕන කිසිම කෙනෙක් නැහැ,” මේ අවසන් වාක්‍ය සත්‍ය්‍යක් නොවීය. මන්ද ග්ලෝරියානා හොඳ හැටියෙන් තමන් විවාහ වීමට කැමැත්තේ කා සමඟ දැයි දැන සිටියාය.

මවුන්ට්ජෝයි සිටුවරයා තම අසුනේ පිටුපස්සට බර දුන්නේ ය. ඔහුගේ අත් දෙකේ ඇඟිලි තුඩු එකට එකතු කළේය. තම නායිකාව දිහා ඔහු බැලුවේ පියෙක් දරු සුරතලයකින් බලනා බැල්මත්, විනිශ්චයකරුවෙක් දක්වන ඥානවන්ත බැල්මත් අතර මිශ්‍රණයකින් වූවකි. “ආදිපාදවරියෙනි,” ඔහු කීවේය, “විවාහයක දී තමන්ගෙ කැමැත්ත හෝ තමන්ගේ ආශාව කියන දේ ගැන සැලකිල්ලට ගැනීමක් අනුන්ගේ ජීවිත ගැන වගකීමක් ඇති පුද්ගලයන්ගේ අතේ තියෙන්නක් බව ඔබ සිතනවා වෙන්න බැහැ. හුදු රොමැන්තික බවට වඩා ආණ්ඩුක්‍රම පිළිවෙත් වැදගත් වෙනවා. පාලකයෙක් ගේ විවාහය කියන්නෙ දේශපාලන වශයෙන් ඉතා වැදගත් වූ සුවිශේෂී උදාහරණයක්. මම විවාහයේ තියන ආගමික පැත්තේ වැදගත්කම අඩු කරනවා නෙමෙයි. ඒත් සිවිල් උත්සවයක්, රෙජිස්ට්‍රාර්වරයෙක් ඉදිරිපිට විවාහ සහතිකයකට අත්සන් තැබිමක් වගේ වුවොත් ඒකෙන් ජනතාවට කිසිත් වැදගත්කමක් ලැබෙන්නෙ නැහැ.

“ඔබ වගේ කෙනෙක් විවාහ වෙද්දී එහි මූලික අරමුණ ඊ ළඟ නායකයෙක්ගේ බිහිවීමට දායක වීමයි. මේක ඉතින් සහකරුවාගේ ශාරීරික සෞඛ්‍යය ගැන විතරක් නෙමෙයි එයාගේ දේශපාලන පක්ෂපාතීත්වය, රටේ ආරක්ෂාව යනාදී සියල්ල සලකා බැලෙන්නක් විය යුතු වෙනවා.”

“ඔයා කතා කරන්නෙ හරියට වෙළඹක් පැටව් ගහන්න සූදානම් කරන ආකාරයටයි,” ග්ලෝරියානා කීවේ අකමැත්ත ප්‍රකාශ කරන තරහ හඬකිනි.

“ආදිපාදවරිය මට සමාව දෙන්න ඕනෑ මගේ වචන හරි හැටියට පාවිච්චි වෙන්නෙ නැතිකම ගැන. මේ පරණ සේවකයා හදන්නේ ඇයට සේවයක් කරන්න විතරයි. ඔහුගේ රටට සේවයක් කරන්නත් විතරයි,” නිහතමානී ලෙසින් ඔළුව නැවූ මවුන්ට්ජෝයි සිටුවරයා කීය.

“බෝබෝ,” ග්ලෝරියානා උත්තර දුන්නේ ය, ඇයගේ තරහ තවමත් සංසිඳී නැත. “ඔයා ඔය වගේ හැසිරීම් කරන්න කැමති නම් ඔයාට මීට වඩා ලොකු සභාවක් ඉන්න ඕන. ඒත් කමක් නැහැ කියන්නකො. මම මේ ගැන පැත්තක් ගන්නෙ නැතිව බලන්න උත්සාහ කරන්නම්. මම හිතන්නෙ ඔයා කියාගෙන එන්නෙ, ඔයා ගොඩක් හිතලා බලලා තීරණය කරලා තියෙනවා දැන් මම විවාහ විය යුතුයි කියලා.”

“ඒක මගේ යුතුකම, මේ වගේ දේවල් ගැන සිතීම,” සිටුවරයා කීය. “මම තනියම නෙමෙයි මෙහෙම සිතුවේ. ආදිපාදවරියෙග් මන්ත්‍රී සභාවේ අයත් එක්කත් කතා කෙරුවා.”

“ඔයා කියන්නෙ බෙන්ටර් ගැනනෙ,” ග්ලෝරියානා කීවාය.

“ඔහු සහ ආචාර්ය කොකින්ට්ස් එක්කත්.”

“ආචාර්ය කොකින්ට්ස්? එයා මොනව ද දන්නෙ බෝම්බ ගැනයි කුරුල්ලෝ ගැනයි හැරුනම?”

“ඒ තමයි එයාගෙ විශේෂඥ දැනුම. ඒත් මිනිහා හොඳ සුපරීක්ෂාකාරී පුද්ගලයෙක්. ඉතින් හැමෝම එකඟ වෙනවා මේ මම යෝජනා කරන විවාහ සම්බන්ධය ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද පුටුවේ ස්ථිරත්වය හා ශක්තිය වැඩි කරන බවට.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: