Sinhala story Blog

ජූලි 5, 2012

ඉතින් කොහොම ද මේ මීයෝ සිංහයන් හීලෑ කරන්නෙ?

Filed under: Uncategorized — sinhalashortstories @ 10:24 පෙ.ව.

“මේ ප්‍රශ්නය උපන්‍යාසයක්,” ආචාර්ය කොකින්ට්ස් දෙවුර හකුලමින් කීවේය.

“ඒ වගේ එකඟතාවයක් ඇති කරගෙන නැහැ. ඉතින් ඔබටයි මටයි, මේ කැලෑවේ මෙතැන හිඳගෙන, ඒ වගේ එකඟතාවයක් ගෙනෙන්නටත් බැහැ.”

“ඒක කිසිසේත් ම උපන්‍යාසයක් නෙමෙයි,” පියර්ස් කියා සිටියේ ය. “මොකද මම කියන්නම් ඔබට වැඩි කලක් යන්නට මත්තෙන් ඒ වගේ ජාත්‍යන්තර එකඟතාවයක් සිද්ධ වෙයි කියල. ඒක එන්නෙ ලොකු ආරවුල් ඇති දැවැන්ත රටවල් වලින් නෙමෙයි. ඒ අයට කොච්චර ඒ වගේ ගිවිසුමක් අවශ්‍ය වුවත් ඔවුන් එකිනෙකාව විශ්වාස කරන්නෙ නැහැ. ඉතින් පුංචි රටවල් වලට තමයි සිද්ධ වෙන්නෙ එකට එකතු වෙලා ඒ වගේ එකඟතාවයට ඔවුන් කැමති කරවා ගන්නට. කැමති කරවා ගෙන ඔවුන් ඊට සවන් දී ඒ අනුව ඔවුන් ලවා පිළිපැදීමට නතු කරගන්නට.”

කොකින්ට්ස් කෙකර ගෑවේය. “ඉතින් කොහොම ද මේ මීයෝ සිංහයන් හීලෑ කරගන්නෙ?” ඔහු ඇසුවේ බාගයක් සරදම් කරන විලසකිනි.

“සිංහයන් අතරින් ලොකුම සිංහයා, ඒ කියන්නෙ ඇමෙරිකාව, දැනටමත් උගුලක අහුවෙලා ඉන්නෙ, එයාගෙ ශක්තියෙන් කිසිම වැඩක් නැහැ,” පියර්ස් පිළිතුරු දුන්නේ ය. “මේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල ඉන්න අපි, අපිට තමයි දැන් කුවේඩියම් බෝම්බය අයිති. ලෝකයේ තියන එකම එක බෝම්බය. අපි, ඒ නිසා, හදිසියේ ම, ලෝකයේ ම බලවත් රට. අපිට තියෙනවා අනිත් අයට කියලා අපේ කැමැත්ත කරවා ගන්න. අපිට පුළුවන් කිසි කරදරයක් නැතිව කුඩා ජාතීන්ගේ සංගමයක් ආරම්භ කරන්න. ෆින්ලන්තය, බෙල්ජියම, උරගුවේ, එල් සැල්වදොර්, අයර්ලන්තය, ලික්ට්අන්ෂ්ටයින්, සැන් මැරීනෝ, පෘතුගාලය, නොර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්ක්, පැරගුවේ, පේරු, චිලේ, මෙක්සිකෝ, ලයිබීරියාව, ඊජිප්තුව, පැනමා, ස්විට්ස්සර්ලන්තය -මේ සේරම ලෝකයේ තියන ස්වාධීන රටවල් එකතුවෙන්. ඒ වගේ සංගමයකට පුළුවන් ලොකු රටවල් වලට කියන්න පරමාණු ආයුධ නිෂ්පාදනය නවත්වන්න එකඟවෙන්න කියල. ඒ අයගේ පරමාණු කම්හල් වල අළුත් ඒවා නිපැදවෙන්නෙ නැහැයි කියල සොයා බලන්න කොයි පැත්තට වත් අයිති නැති පුංචි රටවල් වල විද්‍යාඥයන්ට ජාත්‍යන්තර අවසරය ලබා දෙන්න කියන්න. ඒ අය ඒකට කැමැත්තක් දැක්වූයේ නැත්නම් ඉතින් අන්තිමේ දී අපිට කරන්න තියෙන්නෙ ඉතින් කුවේඩියම් බෝම්බය පුපුරවන්න තමයි.”

“සද්ගුණය ඉස්සරහට දාලා පීඩනයක් කරන එකේ බලයක් තියෙනවා කියල මම විශ්වාස කරන්නෙ නැහැ,” ආචාර්ය කොකින්ට්ස් කීවේය. “ඉතින් කුවේඩියම් බෝම්බය පාවිච්චිය, ඔබ ඒක කොහෙත් ම කරන්නෙ නැහැ. ඒක පිපිරුවොත් ඔබත් එක්කො බෝම්බයෙන් විනාශ වෙයි, නැත්නම් ඒකෙන් විසුරුවා හරින කාබන් 14 රසායනය නිසා විනාශ වෙයි, නැත්නම් බෝම්බයෙන් පසුව ඇතිවන සුළං හා ලෝක පිපුරුම් නිසා, මම හිතනවා එහෙම ඒවත් ඇති වේවි කියල, ඒවයෙන් විනාශ වෙලා යයි.”

“ඔබ හිතනවා ද අර ගහ, කවදා හරි වැටෙන්න තියන ගහ, ටිකක් කළින් වැටිලා ගහ කපන්නව යට කර මරන්න කැමති වෙයි ද කියලා?” පියර්ස් ඇසුවේ හිමිහිට ය. “නියමාකාරයෙන් කුවේඩියම් බෝම්බය අවලංගු නොකළහොත්, වෙන කාගේ හරි ආරවුලක් නිසා, වෙන කාගේ හරි අවි ආයුධ නිසා අපි හැමෝම විනාශ වෙලා යාවි. ඒ ගැන අපිට කියන්න දෙයක් තියෙන එකක් නැහැ. අවදානම් දවසක් දැනගන්න විදියකුත් නැහැ. මේ විදියට, අඩු ගානේ, අපිට ඉඩක් තියෙනවා ලෝකය නැවතත් හොඳ සිහියට ගෙනෙන්නට. නැත්නම් අපිම පටන් ගන්න විනාශයක් තමයි ඇතිවෙන්නෙ.”

“මම හිතන්නෙ නැහැ ඔබට සොයාගන්න පුළුවන් වේවි කියලා ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලින් හෝ ලෝකයේ වෙන කිසිම තැනකින් මේක පුපුරවන්න මිනිසෙක් ව,” කොකින්ට්ස් කීවේය.

“මම හිතුවා ඔබ මගේ පුතාව ඊට වඩා හොඳින් දන්නවා කියල,” පියර්ස් මඳ ආඩම්බරයකින් උත්තර දුනි. “එයා පසුබට වෙන්නෙ නැහැ එයාට අණක් ලැබුනොත් එය කරන්නට.”

“ඒත් කවුද එයාට අණ දෙන්නෙ, තමන් වත් විනාශ වෙන බව දැන දැන ම?” කොකින්ට්ස් ඇසුවේ ය.

පියර්ස් නැඟිට ඔහු දිහා මුදු විලසකින් බැලුවේ ය. “මම දෙනවා ඒ අණ,” ඔහු කීවේය.

ටිකක් කාලය ගෙවී යන තුරු දෙදෙනා ගෙන් එකෙකු වත් කතා නොකළේ ය. අනතුරුව “මම ඔයාට තනියම ඉන්න දීලා යන්නම්. ඔයා කැමති නම් ඔයාට යන්න පුළුවන්. දිය ඇල්ල පසු කරගෙන යන අඩි පාරේ දිගට ම ගියාම වැටෙන්නෙ ප්‍රංශයේ මායිමට. අඩි සියයක් විතර දුර ඇති. මුරකරුවෝ ඉන්නවා. ඒත් එයාලට අණ ලැබිලා තියෙන්නෙ ඔබට යන්න ඉඩ දෙන්න කියල. එළියට ගියාම ඔබට පුළුවන් තව දුරටත් බෝම්බ හැදීමේ නිරත වෙන්න.”

බැස්කොම්බ් පිටත් වී ගිය පසු, ආචාර්ය කොකින්ට්ස් ඉතා සෙමින් නැඟිට තමා වාඩි වී සිටි කඳ දිහා බැලුවේය. එහි එක කොණකින් ලා කොළ දල්ලක් විය. එය ශක්තියෙන් ද, කෙළින් ද, ජවයෙන් ද පිරි වූවකි. දිය ඇල්ලේ හීන් හඬට ඔහු සවන් දුනි. විශාල නිල්පැහැති බත්කූරා මානෙල් මල් කොලයක හිඳගෙන සූර්යාලෝකයේ රස්නය විඳින්නට තටු ඉතා සැප පහසු ලෙසින් විහදා සිටිනවා දැක්කේ ය.

ඔහු ප්‍රංශ මායිමට යන අඩි පාර දිහා බැලුවේය. උස ගහක සිටි කුරැල්ලන්ගේ කිචිබිචියක් එවිට ඔහුට ඇසිණ. nuthatch වෙන්නැති, ඔහු සිතුවේ ය. එවිට ඔහුට ඌට ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ දී කියන්නේ ගේ කුරුල්ලෙක් කියා බව මතක් විය. සම්මත නම් වලට මෙහෙම ඇට්ටර විදියට එකඟ නොවීම මහා විහිළුවක්. ඔහු කුරුල්ලා දිහා මඳ වේලාවක් බලා සිටියේය. අතු අතරින් ආභරණයක් සේ ඔබ මොබ යමින් සිටි කුරුල්ලා දිහා බලාගෙන සිටිය දී ඔහුගේ අත හුරුව නිසා සාක්කුවට ගියේ පාන් කුඩු සොයන්නට ය. එහෙත් සාක්කුවේ කිසිත් නොවීය. ඔහු හැරී ග්‍රෑන්ඩ් ෆෙන්වික් මාලිගාව දෙසට පියමං කළේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: